මේ ශාසනයෙහි බොහෝ ඇසූ පිරූ තැන් ඇති හෙයින් බහුශ්‍රැත භික්ෂුන් අතුරින් අග්‍රවුද, බුද්ධ වචනය ඉගෙන සිත්හි ධාරණය කළ භික්ෂුන් අතුරින් අග්‍රවුද, එකම මොහොතක ගාථා පදයන් සැට දහසක් උගත හැකි භික්ෂුන් අතුරින් අග්‍ර වුද, හැම කටයුත්තකම දක්‍ෂ බව ඇති භික්ෂුන් අතුරින් අග්‍රවුද, සියලු උපස්ථායක ‘ භික්ෂුන් අතුරින් අග්‍රවුද, ආනන්ද මහරහතන් වහන්සේන්ගේ පූර්වාපර චරිතාපදානය මෙසේ ය.
මේ මහා භද්‍ර කල්පයෙන් කල්ප ලක්ෂයට පූර්වයෙහි ලොව පහළ වු පදුමුත්තර නම් සර්වඥයන් වහන්සේ ලෝක සත්වයා සසරින් එතර කරවනු පිණිස ධර්ම දේශනා කරන සමයෙහි මේ ආන්නද තෙරුන් වහන්සේ එම පියුමතුරා නම් බුදුන්ගේ බාල සහෝදර වූ සුමන නම් ඇති රාජකුමරෙක් විය. එම බුදුරජාණන් වහන්සේට සුමන නම් ඇති භික්ෂුවක් උපස්ථානයෙහි යෙදී සිටියේ ය. සුමන තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේට බොහෝ සෙයින් කුළුපග වු සේක. එම උපස්ථායක සුමන තෙරුන් ගැන අතිශයින් පැහැදුණු සුමන රාජකුමාරයා මම ද අනාගත යෙහි බුදුරජාණන් වහන්සේට කුළුපග උපස්ථායක භික්ෂුවක වන්නෙමි” යි අධිෂ්ඨාන කොට ගත්තේ ය. හෙතෙම සතියක් මුළුල්ලෙහි බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට මහ දන්පවත්වා සත්වන දිනයේ දී ලක්‍ෂයක් භික්ෂුන් වහන්සේල්ලා ගේ පාමුල තුන් සිවුරු තබා බුදුරජාණන් වහන්සේට වැඳ ” සවාමීනී, සතියක් මුළුල්ලෙහි මහදන් පවත්වා යම් පිනක් අත්පත් කර ගත්තේ නම් එම පිනෙන් මම ද අනාගතයෙහි උපස්ථායක සුමන තෙරුන් වහන්සේ මෙන් එක් බුදුකෙනෙකුගේ උපස්ථායකු වන්නෙමි” යි ප්‍රාර්ථනා කෙළේ ය. බුදුරජාණන් වහන්සේ ඔහුගේ ප්‍රාර්ථනාව සිද්ධවන බව දිවසින් දැක කුමාරය ඔබගේ ප්‍රාර්ථනාව මෙයින් කල්ප ලක්‍ෂයකට මතු බුදුවන ගෞතම නම් බුදුන්ගේ ශාසනයෙහි සඵල වන්නේය යි විවරණ දුන් සේක.