
කෙටියෙන් දේශනා කරන ධර්මය විස්තර ලෙස දක්වන භික්ෂූන් අතර අග්‍රස්ථානය දැරූ මහා කච්චාන මහ රහතන් වහන්සේ …
අප බුදුරදුන්ගේ කාලයෙහි උදේනි නුවර පුරෝහිත බමුණු කුලයේ පින්වත් කුමාරයෙක් ඉපදුනා. මුළු සිරුරම රන්වන් පාටින් බැබලුනා. එසේවීමට හේතුව කලින් වැඩ සිටි කාශ්‍යප බුදුරදුන් පිරිණිවන් පෑ පසු ධාතු තැන්පත් කොට සෑයක් සාදද්දී රන් ගඩොලක් පූජා කොට මතු ආත්ම වල උපදින වාරයක් පාසාම සිරුර රන්වන් පැහැයෙන් බැබලේවායි ප්‍රාර්ථනා කොට තිබූ නිසයි. ඒ අන්දමට රන්වන් සිරුරක් ලැබූ හෙයින් කුමරුවාට නම තැබුයේ ‘කඤ්චන’ යන නමයි. එහෙත් ඔහුගේ් ගෝත්‍ර‍්‍රය ‘කච්චාන’ වූයෙන් ඒ නමින් ද හැඳින්වූවා. වැඩි වියට පත් ඔහුට රජතුමාගේ පුරෝහිත තනතුර හිමිවුණා. බුදුරදුන් ලෝකයේ පහළ වී ඇති බව දැනගත් උදේනි රජතුමා මුළු ඇමති මණ්ඩලයේම කැමැත්ත පරිදි කච්චාන පුරෝහිතයාගෙන් ඉල්ලා සිටියා බුදුරදුන් තම රාජ්‍යයට වඩම්මාගෙන එන ලෙස. තමාට පැවිදි වීමට අවසර ලබා දෙන්නේ නම් ඉල්ලීම ඉටු කරන්න කච්චාන බමුණා පොරොන්දු වුණා.
යහළුවන් සත් දෙනෙකු සමඟ බුදුරදුන් වෙත ගිය කච්චාන පැවිද්ද ලබා සසර සිදුකළ පින්වල මහිමයෙන් රහත් භාවය ලබා ගත්තා පමණක් නොවෙයි ඒහි භික්ෂු භාවයෙන් පැවිදි බිමට ද පත් වුණා. ටික කලකට පසු පැවිදි උපසම්පදාව ලැබූ හිතවත් හිමිවරුන් සත් දෙනා සමඟ බුදුරදුන් හමුවෙහි උදේනි නුවර පිළිබඳ වර්ණනාත්මකව විස්තරයක් ඉදිරිපත් කළා. එවිට බුදුරදුන් ‘පළමුව තමා උපන් උදේනි නුවරට කච්චාන හිමියන්ම වැඩමවන්න’යයි නියම කළා. ඒ අනුව රහත් සත් නම සමග කච්චාන හිමියන් උදේනි නුවරට වැඩමවන අතර තේලප්පතාලි ගමෙහි පිඬුසිඟා වැඩියා. එහි විසූ ඉතා සුරූපි දුප්පත් එක් සිටු දියණියකගේ කේශ කලාපය කහවනු ලක්ෂයක් වුවත් ගෙවා මිලයට ගැනීමට තවත් සිටු දුවක් සූදානම්ව සිටිය නමුත් මුල දී එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළා.