
ශ්‍රී ලාංකීය දේවාත්මයක් ලෙස සැලකෙන කඩවර දෙවියන් කතරගම දෙවියන්ගේ අණ ක්‍රියාත්මක කරමින් මෙරට කෘෂිකර්මාන්තයටත් වාපී කර්මාන්තයටත් අධිගෘහිතව වැඩවාසය කරන බැව් පැවැසේ. ඈත අතීතයේ මෙන්ම වර්තමානයේ ද ඉතාම දියුණු ප්‍රදේශයක් වන අනුරාධපුර පිහිටි කලාවැව සෑදීමේ පුරෝගාමියෙකු ලෙසද සලකනු ලබන කඩවර දෙවියන්ගේ උප්පත්තිය පිළිබඳව ජනප්‍රවාද කීපයක්‌ම පවතී.
කඩවරදෙවි යන නාමයෙන් මෙන්ම කඩවර යක්‍ෂ යන නාමයෙන්ද හඳුන්වනු ලබන කඩවර දෙවියන් උඩරට සත්කෝරළය සතර කෝරළය ආදී ප්‍රදේශවල පවතින කොහොඹායක් ශාන්තිකර්ම යෙහි පුදලබන කඩවර දෙවියන් සහ නුවරකලාවිය හෙවත් වැව්බැඳි රටේ පැවැතෙන ශාන්තිකර්මවල පුද ලබන කඩවරදෙවියන් යනුවෙන් කඩවර දෙකොට්‌ඨාසයක් බව පෙනේ. වන්නි හත්පත්තුවේ ජනතාවගේ පුදපූජාවන්ට පාත්‍රව සිටින කඩවර දෙවියන් වාරිමාර්ග කර්මාන්ත ශිල්පයෙහි අති දක්‍ෂයෙකි. මොහුගේ උපන් කතාවට අනුව කඩවර දෙවියන් සෙනෙවිරත් පදවිය ලැබූවෙකි. වාරි ශිල්පය වෘත්තීය මිල මුදලට සීමා නොකළ හෙතෙම වාරි කර්මාන්තයට සිය ජීවිතයම කැපකළ අයෙකු ලෙස සැලකේ. වාරිකටයුතු සඳහා සිය ජීවිතයේ වැඩි කොටසක් ගත කළ සෙනෙවිරත්න කෙරෙහි ඔහුගේ බිරිඳ සිටියේද දැඩි අමනාපයෙනි. මේ හේතුව නිසා මේ දෙදෙනා අතර නිතර නිතර අඬදබර ඇතිවිය. බිරිඳගේ කෝපය ඉතා උස්‌සන්න වූ අවස්‌ථාවක සෙනෙවිරත්න සිය පවුල් ජීවිතය හැරදමා වනගත විය. මෙසේ වනගතවූ මොහුගේ ජීවිතය වනයටම හුරු පුරුදු වූ අතර ඔහු තම දිවිපෙවෙත රැකගත්තේ වනයේ තිබුණ පලතුරු ගස්‌වල කොළ පොතු ආහාර ලෙස ගනිමිනි. මෙසේ වනචාරී ජීවිතයක් ගතකළ මොහු සමඟ බොහෝ වන සිව්පාවුන් කුළුපග වූහ.