
පෙර දවස පියුමතුරා බුදුන් සමයෙහි දඹදිව හංසවතී නුවර කුලගෙයක දැහැමි ඇමැති දියණියක ලෙස උපන් ඕතොමෝ යෙහෙළියන් පිරිවරා ගොස් බුදුබණ අසන්නී බුදුහිමි ශාසනයේ මූලින්ම පැවිදි වූ උන්වහන්සේ සුළු මව්තුමිය චිරරාත්‍රඥ යන ගෞරව නාමය තබනු දුටහ. මින් ඉමහත් ප්‍රමෝදයට පත් මෙතුමිය ‘මම ද යම් කලෙක බුදු කෙනෙකුට සුළු මව වී භික්ෂුනි ශාසනයේ මුලින්ම පැවිදිව ‘චිරරාත්‍රඥ’ ගෞරව නාමය ලබමි’ යි අදිටන්කොට බුදු සිරිපතුල වැන්දාහ. බුදුහිමි මින් කල්ප ලක්ෂයක් ගිය කළ පහළවන ගෞතම බුද්ධ ශාසනයේදී ඒ පැතුම ඉටුවන්නේ යයි විවරණ ප්‍රකාශ කළහ. ඕ තොමෝ දිවි ගමනේ දන් දී, සිල් සමාදන්ව, පෙහෙවස් වැස සසර සැරිසරනුයේ පසේබුදුවරුනට වස් එළඹෙන කුටි තනවා, දන්දීම් ආදිය කරමින් දෙව් මිනිස් දෙගතියෙහි සැරිසරමින් අප ගෞතම බුදුරදුන් පහළවීමට පෙර දඹදිව දෙව්දහ නුවර කෝලිය වංශයෙහි මහා සුප්‍රබුද්ධ අංජන රජතුමාගේ කණිටු දියණිය ලෙසින් උපන්නී ‘ගෞතමි’ නම් වූවා ය. ඇයගේ වැඩිමහල් සොයුරිය මහාමායා දේවිය වූ අතර මෑණියන් වූයේ කිඹුල්වත්නුවර සිංහහනු රජුගේ නැගණිය වූද සුදොවුන් රජුගේ නැන්දනිය වූද ශුභ ලක්ඛණ හෙවත් ‘මහා යසෝධරා’ දේවිය යි.
මහත් වූ ප්‍රජාවට පති වන්නේ යයි නැකත්කරුවෝ මැය ‘ මහ ප්‍රජාපතී ’ නම තැබූහ. තවද මහාමායා ප්‍රජාපති දේවින් දෙපොළගේ කුස උපන් දරුවෝ මතු සක්විති වන්නායි ද ඔවුහු ප්‍රකාශ කළහ. Read More