
ආශ්චර්යය යනුවෙන් අදහස් කෙරෙන්නේ ආසියාවේ ආශ්චර්යය ආදී තැන්වල දී කියෑවෙන දේවල් නො වේ. ආශ්චර්යය යනු, සිතාගැනීමට, අදහා ගැනීමට නො හැකි දේ හැඳින්වීමට යොදා ගැනෙන පදයක් ලෙස ගැනීම වඩාත් සුදුසු ය. තව ද, බටහිර විද්‍යාවෙන් පැහැදිලි කළ නො හැකි එසේ නොමැති නම් එයට එරෙහි ව යන දැ හැඳින්වීමට මෙහි දී ‘ආශ්චර්යය’ යන්න යෙදේ. විවිධ ආගමික මතවාද දරන්නෝ, විවිධ දේවාල, කෝවිල් ඇසුරු කරන්නෝ තම තමන්ට අදාළ ශාස්‌තෘන්ට සහ අදාළ ස්‌ථානවලට සබැඳි ව මෙවැනි ආශ්චර්යයන් ඇතැ’යි පෙන්වීමට උත්සාහ ගනිති. එසේ ම, බටහිර විද්‍යාව තම ආගම කරගත්තෝ එවැනි දැ නැතැ’යි පෙන්වීමට උත්සාහ ගනිති. ඔවුන් බොහෝ විට පෙන්වීමට උත්සාහ ගන්නේ මේ ආශ්චර්යයන් ලෙස සලකන දැ සැබෑ ආශ්චර්යයන් එනම්, බටහිර විද්‍යාවෙන් පැහැදිලි කළ නොහැකි හෝ ඊට එරෙහි ව යන දැ නො ව ඊට අනුගත, එමඟින් පැහැදිලි කළ හැකි දැ බව ය. එසේ නොමැති නම් මේ උදවිය (බටහිර විද්‍යාව තම ආගම කරගත්) පවසනු ඇත්තේ, විද්‍යාව, ඉදිරියේ දී මේ පිළිබඳ ව නිවැරැදි විග්‍රහයක් කරනු ඇති බව ය.
මේ සියල්ල පිටුපස ඇත්තේ, අප සහ අප අවට සියල්ල පිළිබඳ සියල්ල දැනගැනීමේ ඒකායන මඟ බටහිර විද්‍යාව ය යන අදහස ය. දැනුම ලැබී ඇත්තේ, සහ ඉදිරියට ලැබෙන්නේ මේ (බටහිර) විද්‍යාව ඔස්‌සේ පමණක් බව මෙහි අදහස ය.
බටහිර විද්‍යාවේ සීමා පිළිබඳ ව විදුසර පාඨකයාට අමුතුවෙන් කියා දිය යුතු නැත. විශේෂයෙන් පසුගිය සංවත්සර කලාපය කියෑවීමෙන් වුව ඒ පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලද හැකි ය.