මධ්‍යම ප්‍රතිපදාව යන්නෙහි ධර්මාර්ථය එකෙකි, වචනාර්ථය අනෙකෙකි. සමහරු ධර්මය පිළිබඳ වචනවලට පවා ධර්මාර්ථය ගැන නො සලකා වචනාර්ථය අනුවැ අර්ථ දෙන්නට ගොස් මහජනයාට වැරදි හැඟීම් දෙන බව දැනගන්නට ලැබෙයි. ධර්මය පිළිබඳ කරුණුවලදී ව්‍යඤ්ජනඡායාව ම ගැනීම ධර්මන්‍යාය නොවන බැවින් එයින් කියැවෙන ධර්මාර්ථයට බුදුරජාණන් වහන්සේ ගේ අදහස සලකා ම අර්ථ දිය යුතු ය.
මධ්‍යම ප්‍රතිපදා යනු ඉතා දීර්ඝ විසිතුරු ඉතිහාසයක් ඇති වචනයෙකි. අවුරුදු දෙ දහස් පන්සියයකටත් අධික ඉතිහාසයක් ඇති වචනයෙකි. ආරම්භය බරණැස ඉසිපතනයෙහි පැවැත්වුණු බුදුරජාණන් වහන්සේ ගේ මංගල ධර්ම දේශනය යි. පරිණාමවාදය අනුවැ සලකා බලන විට වචනයක් වුව ද අවුරුදු දෙ දහස් පන්සියයක් යන විට නොයෙක් බෙදුම් හා නොයෙක් තේරුම් ඇති වී පැතිරී යෑම ස්වභාවයෙකි. මධ්‍යම ප්‍රතිපදාව යන වචනය ද මුල් අදහස අමතක වන තරමට විනාශයට පැමිණ තිබෙන බව කිව හැකි ය. එය කොතරම් දුරට ගියා දැ යි කිව හොත් ඇතැම් දේශපාලනඥයන් පවා “අප දේශපාලනය කරන්නේ මධ්‍යම ප්‍රතිපදාව අනුව යැ” යි කියමින් මධ්‍යම ප්‍රතිපදාව දේශපාලනයටත් ඈඳගෙන ඇත.
වචනාර්ථය අනුවැ නම් “මධ්‍යම ප්‍රතිපදාව” යන්න කවර කරුණක් හා සමඟ වුව ද යෙදිය හැකි ය. එහෙත් මෙහි වැඩි දෙනා කල්පනා නොකරන බලවත් වරදක් වෙයි. එ නම් යටැ කී මධ්‍යම ප්‍රතිපදා ගැන කථා කරන බොහෝ දෙනා අප මේ කටයුතු කරන්නේ බුදුරජාණන් වහන්සේ ගේ මධ්‍යම ප්‍රතිපදාව අනුව යැ යි කීම ය.
බුදුරජාණන් වහන්සේ ගේ මධ්‍යම ප්‍රතිපදාව උන් වහන්සේ ම දේශනා කොට ඇති හෙයින් ඒ ඒ අයට තමන් තමන් කැමැති පරිදි ඒ ඒ අත හරවා දක්වනු නොහැකි වෙයි. එය එකම ප්‍රතිපදාව යි. එනම්, ආර්ය අෂ්ටාංගික මාර්ගය යි, මෝක්‍ෂ මාර්ගය යි. Read More