වග්ගන්ත පුත්‍ර උපසේන මහරහතන් වහන්සේ හැම අතින් ම පැහැදීම් ගෙනදෙන භික්ෂූන් අතර අගතැන්පත් වූ සේක. තමා පමණක් නොව තමාගේ පිරිස ද එබඳු පැහැදීම් ගෙනදෙන ගති පැවතුම් ඇති හෙයින් ඒ පදිංචියට සුදුසු කම් ඇති භික්ෂුවක් වූ සේක. උන්වහන්සේගේ පූර්වාපර චරිතාපදානය පහතින් දැක්වේ.
කල්ප ලක්ෂයකට පූර්වයෙහි මෙලොව පහළ වූ පදුමුත්තර නම් බුදුරජාණන් වහන්සේ සියලු සතුන් සසරින් එතෙර කරවනු පිණිස ධර්ම දේශනා කරන සමයෙහි මේ උපසේන තෙරුන් වහන්සේ හංසවතී නුවර කුලගෙයක ඉපිද වැඩිවිය පැමිණ. බුදුරජාණන් වහන්සේගෙන් බණ අසනු පිණිස විහරස්ථානයට ගිය. එකල්හි බුදුරජාණන් වහන්සේ එක්තරා භික්ෂුවක් “හැම අතින්ම පැහැදීම ගෙනදෙන භික්ෂූන් අතරෙහි අග්‍රස්ථානය“ ලබනු දැක මම ද අනාගතයෙහි මෙබඳු පදවියක් ලබන්නේ අධිෂ්ඨාන කොට සත් දවසක් බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට මහ දන් පවත්වා අවසානයේ දී තම අපේක්ෂාව බුදු බුදුරජාණන් වහන්සේට සැලකර සිටියේය. බුදුරජාණන් වහන්සේ අනාගතය බලා ඔහුගේ ප්‍රාර්ථනාවන් සඵල වනු දැක “ කුල පුත්‍රය, තොප ගේ අභිප්‍රාය මෙයින් කල්ප ලක්ෂයකටයකට මත්තෙහි බුදුවන ගෞතම නම් බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි සිද්ධ වන්නේ යැ“ යි නියත විවරණ දුන් සේක.