කෙළෙස්, ප්‍රහීණ කිරීම සඳහා අනුගමනය කළ යුතු අංග ධුතංග යනුවෙන් හැඳින්වෙන මේවා පංශුකුලික, තේවීවරික, පිණ්ඩපාතික ආදී වශයෙන් අංග දහතුණකින් යුක්තයි. අප බුදුරදුන්ගේ ශාසනයෙහි ‘ඒතදග්ගං භික්‍ඛවේ මම සාවකානං භික්‍ඛුනං ධුතවාදීනං සදිදං මහා කස්සපො” යනුවෙන් මහා කාශ්‍යප හිමියන් ධුතංගධාරී භික්‍ෂූන් අතර අග්‍රයයි බුදුරදුන් උසස් ස්ථානයෙහි තබා වදාළා. මේ මහා කාශ්‍යප හිමියන්ගේ චරිතය මහා පුදුම අපූර්ව එකක්.
මගධ රටෙහි මහා තිත්ථ ගමේ මේ කාශ්‍යප හිමියන් කපිල බමුණාත් එම බැමිණියත් මව්පියන් කොට ‘පිප්පලි’ නමින් උපත ලබා විසිවයස් වූ කල්හි මවුපියන්ගේ බලවත් ඉල්ලීම අනුව විවාහයට කැමැත්ත දුන්නා. අතීත ආත්මභාව රාශියක් ම මේ පිප්පලි මානවකයාට භාර්යාව වීමට ප්‍රාර්ථනා තබා එක්ව සසර සැරිසැරූ, මේ වන විට මදුරට සාගල නුවර විසූ කාමයෙහි ඇලීමට මද හෝ ආසාවක් නො තිබූ ‘භද්දාකාපිලානී’ කුමාරිය සමඟ මව්පිය හිතවතුන්ගේ උපක්‍රම මත සරණ මංගල්‍යය සිදු කෙරුණා. විවාහ පත් වූ දින සිට කාමරයක් තුළ එක් ඇඳක මැදින් සුවඳ මල් දමකින් වෙන් කොට අල්ප වූ ද රාගික හැඟීමක් නැතුව මුළු ගිහි ජීවිත කාලය ගත කළ යුවලක් ගැන ලෝක ඉතිහාසයේ සෙව්වහොත් මේ පිප්පලී හා භද්‍රකාපිලානි යුවල හැර වෙනත් කිසිවෙකු සොයාගත නොහැකියි. ඒ තරමට ම කාමයන්ගෙන් වෙන් වූ ජීවිතයක් ගත කොට මව්පියන් කළුරිය කිරීමෙන් අනතුරුව සියලු සම්පත් හැර දැමූ මේ දෙදෙන නිවන් සොයා නික්ම වෙන් වී ගියා. Read More