එ වේලෙහි මහ පිරිස මහතෙරුන් වහන්සේට සාධු කියා පූජා කොට ‘ස්වාමීනී අප බුදුන් කවර දවස් දකුමෝද , කුමක් වදාළ සේක් දැ’ යි විචාළහ. එකල මහ තෙරුන් වහන්සේ ‘උපාසක ජනයෙනි ! බුදුහු සත්වන දවස් සකස්පුර දොරට බස්නා සේක, බුදුන් දක්නා කැමති කෙනෙක් එතැනට රැස්වව’ යි වදාළ සේක. ‘ස්වාමීනී ! ඒ සකස්පුර දොර නම් මේ සැවැත් නුවරට කෙතෙක් තැන් දැ’ යි විචාළහ. ‘උපාසක ජනයෙනි ! මේ නුවරට තිස් යොදුනකැ’ යි වදාළ සේක…
….. එ කෙණෙහි බුදුන්ගේ ආනුභාවයෙන් මහ පිරිස් ආකාශයෙන් යන සක්විති පිරිසක් සේ ඉක්බිති ගෙයක් මඟුල් බලන්නට යන්නා සේ, කිසි පීඩාවකුත් නැතිව පතුල් බොලැට ගැහුමකුත් නැතිව යන්නාහු, සමහරු මුඛයෙහි තිබූ බුලතට සුණු වත තිස් යොදුන් මග ගෙවා ගොස් සකස්පුර දොරදී කෑහ. සමහරු ඉසකේ බැඳ බැඳ යන්නාහු, ඔබ වන් කලම බැඳ නිම වූහ…..”
(උපුටා ගැනීම – පූජාවලිය, දෙවොරොහණ පූජා කථා)
පූජාවලියේ එන මෙම කථා පුවතින් කියවෙන්නේ බුද්ධ චරිතයේ තවත් එක් අසිරිමත් මොහොතකි. කිමෙක් ද යත්, බුදු හිමියන් තව්තිසා දෙව්ලොව වස් වැඩ සිට (සත් වන වස් කාලය) නැවත දඹදිව් තලයට බට අසිරිමත් පුවතයි. තුන් මසක් පුරාවට බුදු හිමියන් නොදුටු ජනයා නැවත බුදු හිමියන් ජේතවන වෙහෙරට වඩින තුරා නො ඉවසිල්ලෙන් බලා සිටින්නට විය. එහිදී මුගලන් මහ තෙරුන් වහන්සේ එම ජනයා හට පවසා සිටින්නේ බුදු හිමියන් එහි නො වඩින බවත්, සැවත් නුවරින් යොදුන් 30 ක් දුරින් වූ සංකස්ස පුරයට වඩින බවත් ය. ඒ අසා සාංකාවට පත් ජනතාව, මුගලන් හිමියන් ගේ සෘධි බලයෙන් අසුරු සැනක දී සැවත් නුවර සිට සංකස්සය ට ගෙන යන ආකාරය පූජාවලියේ දීර්ඝ ලෙස සහ විසිතුරු ලෙස රචනා වී ඇත. ඒ අනුව තම කෙස් වැටිය බඳිමින් ගමන් ඇරඹූ කාන්තාවන් එය බැඳ අවසන් වනවාත් සමගම ගමනාන්තය කරා පැමිණියා ආදී වශයෙන් රූපක ආදිය යොදා ගනිමින් මෙම කතාව රසවත් කිරීමට කතුවරයා විසින් සමත්ව ඇති ආකාරය පෙනී යයි.
Read More