Skip to main content
” සෙංකඩගලපුර දළදා බුදුරැස්
විහිදෙනතුරු නෑ වරදින්නේ … … …
සිංහලයන් හට සිංහල දේසට
සරණයි දළදා සමිදුන්නේ … … …”

පරම පූජෝත්තම ත්‍රයිලෝක තිලක දසබලධාරී අමාමෑනී සර්වඥරාජෝත්තමයන් වහන්සේගේ ශ්‍රී මුඛයෙහි පහළවූ ඉදුනිල්මිනි වන් වූ චත්තාලිස දන්තයන්ගේ වාම දළදා වහන්සේ වැඩසිටින්නාවූ සදාවන්දනීය සිරි දළදා මාලිගාවේදී ඒ පාරිශුද්ධ වස්තුවට කෙරෙන ඇපඋපස්ථාන, නැතිනම් තේවාව පිලිබද මොහොතක් සිතා බලමු.

ක්‍රි. ව. 04 වන සියවසේ කීර්ති ශ්‍රී මේඝවර්ණ රජු දවස හේමමාලා සහ දන්ත කුමරුන් විසින් මෙරටට වැඩම කරන ලද ශ්‍රී දළදා වහන්සේ අනෙකුත් පූජ්‍ය වස්තූන් මෙන් ස්ථූපයක් තුළ නිධන් නොකොට, “ධම්මචක්කගේහ” නම් වූ මුල්ම දළදා මැදුර තුළ තැන්පත්කොට අන් අයට සියැසින් දැක වැඳපුදා ගතහැකි ලෙස පැවතීම නිසාත්, සුවාසු දහසක් ධර්මස්කන්ධයේ පහස ලද පූජ්‍ය වස්තුවක් වීම නිසාත්, දළදා වහන්සේ විෂයෙහි ආරම්භයේ සිට සෙසු ධාතුන් වහන්සේලාට වඩා සුවිශේෂ ගෞරවයක් ඇති වන්නට හේතු වූවා විය හැක. මේ නිසාම දළදා වහන්සේ අනෙකුත් පූජ්‍ය වස්තුන්ට වඩා ශ්‍රේෂ්ඨත්වයට පත්වූවා පමණක් නොව රාජකීයන්ගේ හස්ත සාර වස්තුවක් බවට ද කල්යාමේ දී පත්විය. එබැවින් දළදා වහන්සේ විෂයෙහි පවත්වන ලද මෙම පූජා චාරිත්‍ර තුළද ආරම්භයේ සිටම යම් සුවිශේෂ බවක් දක්නට ලැබුණි.


ද්‍රවිඩ භාෂාමය “තේවෙයි” යන වචනයෙන් උපන් තේවාව යන පදය සේවාව, මෙහෙය යන අරුත්හි ගැනේ. ඊටම තේවය, තේව යනු ද භාවිතා වේ. බුද්ධෝපස්ථාන, බුදු පුද, පුද සිරිත්, පූජා චාරිත්‍ර, පූජා විධි, පුද පිළිවෙත් යනාදී ආමිස පූජාමය බුදු පුද දැක්වීමේදී තේවාව යන අරුතින් ද ඈත එපිට උඩරට පිටිසර ගම්මානයන්හි සේවය යන අරුතින් ද තේවාව යන පදය භාවිතා කෙරේ.
දළදා වහන්සේ රාජ්‍ය උරුමයෙහි සංකේතය වූයෙන් දළදා තේවාව රජ මාලිගාවේ සේවාවන්, වතාවත් හා සමග සම්මිශ්‍රණය වී රාජකාරි ස්වරූපය ගෙන වර්ධනය වී ඇත. වර්තමානයෙහි පවත්නා බොහෝ දළදා තේවා විධි සිව්වන පරාක්‍රමබාහු රජු දවස කෙරුණු දළදා සිරිතෙහි එන ව්‍යවස්ථාවන්ට අනුකූලව සැකසී ඇත. නායක්කර්වංශික රජවරු යටතේ ඇතැම් හින්දු ආගමික පුද සිරිත් ලක්ෂණ ද, වර්තමාන දළදා පුද සිරිත් වලට එක්වී ඇති බවක් දක්නා ලැබේ. රජ මාලිගාවේ රජුට ඉටු කෙරෙන බොහෝ සේවාවන්ට සමාන සේවාවන් දළදා වහන්සේ විෂයෙහි ද ඉටුකළ බව අද දක්වාත් පැවතගෙන එන දළදා තේවා විධි තුළින් අනාවරණය වේ. පෙර රජ දවස දිනපතා ශ්‍රී දළදා මාලිගාවෙහි පැවැත්වෙන අමුතු මුල්තැන් බුද්ධ පූජාව රජ මාලිගාවේ මුල්තැන්ගෙයි සම්පාදනය කොට හේම කදක තබා රජු විසින්ම දළදා මාලිගාව වෙත පයිංඩ කළ බව කියැවේ. දළදා සිරිතේ නව වන ව්‍යවස්ථාවේ “මහරජු දළදා ගෙට ගොස් වඳනා කල සියලූ පිරිවර පිටත රඳවා පිරිසිදුව ආදර බුහුමන් ඇතුව ගෙට වැද මුසුන් ගෙන ගෙය ඇමැද අත් දෙව රුවන් හා මල් ආදිය පුද නව අරහාදි බුදු ගුණ මෙනෙහි කැර පුද වැඳ පන්සිල් සමාදන් විය යුතුය.” “රජවරුන්ගෙන් පොහොයක් පාසා පොහොතලියක් පූජා කළ යුතුය.” “රජ ඇමතියන් තමන්ගේ තරාතිරමට අනුකූලව මාණ්ඩලික තලිය ඇතුළුව දවස එක් කෙනෙකු බැගින් බත් පාත්‍ර කැඳ පූජා කළ යුතුවිය. මේ කරුණු තුළින් දළදා තේවා සම්බන්ධයෙන් රජුගේ සබැදියාව මනාව පැහැදිලි වේ.

දළදා තේවා බුද පුද වත් පිළිවෙත්
ජීවමාන බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක ලෙස කටයුතු කළේ ආනන්ද මහතෙරුන් වහන්සේය. උන්වහන්සේ විසිපස් වසරක් තිස්සේ බුදුරජාණන් වහන්සේගේ සෙවනැල්ලක් සේ පැවතෙමින් ගෞරවයෙන්, භක්තියෙන්, ස්නේහයෙන් සියලූ බුද්ධෝපස්ථාන බුදු පුද ඉටුකළහ. බුදුරජාණන් වහන්සේ විසින් සුදේශිත සියලූ ධර්මය අසා දැන බහුශ්‍රැත භාවයෙන්, ධාරණ ස්මෘතියෙන් අගයන්ගෙන් ආනන්ද තෙරුන් වහන්සේ තථාගතයන් වහන්සේ කෙරෙහි දැක් වූ සෙනෙහස, ගෞරවය අපරිමිතය. පිවිතුරුය. කිසිදු ලාභ ප්‍රයෝජනයන් හෝ ප්‍රශංසාවන් අපේක්ෂා නොකර ස්වකීය ජීවිතය බුද්ධෝපස්ථානයට කැපකළ ශ්‍රාවකයන් වහන්සේ නමකි.

වර්තමානයෙහි ජීවමාන බුදුරජාණන් වහන්සේ ලෙස සලකා බුදු පුද දක්වනුයේ සුවාසු දහසක් ධර්මස්කන්ධයේ පහස ලැබුවා වූ මහනුවර වැඩසිටින ශ්‍රී දළදා වහන්සේය. ජීවමාන බුදුරජාණන් වහන්සේට ආනන්ද මහතෙරුන් වහන්සේ ඉටුකළා වූ සියලූ චිරාගත සාම්පර‍න්දායික බුද්ධෝපස්ථාන බුුදු පුද, තේවා කටයුතු අද පැවරී ඇත්තේ මල්වතු අස්ගිරි උභය මහා විහාරයේ අතිගරු මහානායක මාහිමිපාණන් වහන්සේලා ප්‍රමුඛ එම විහාර වාසී මහා සංඝ රත්නය වෙතය. වසරින් වසර මුර මාරු වෙමින් අදාළ පාර්ශවයේ අතිගරු මහානායක මාහිමිපාණන් වහන්සේ හෝ උන්වහන්සේ නියෝජනය කරමින් පත් කෙරෙන තේවා භාර නායක මාහිමිපාණන් වහන්සේ කෙනෙකුගේ ප්‍රධානත්වයෙන් තේවා කටයුතු ඉෂ්ට සිද්ධකෙරේ.

සාම්ප්‍රදායික තේවා කටයුතු
වාර්ෂිකව ඇසළ මාසයට එළඹෙන පසලොස්වක පෝය දිනයේදී මල්වතු අස්ගිරි උභය මහා විහාරයන්හි අතිගරු මහා නායක ස්වාමීන් වහන්සේලා දෙනමගේ හා ගිහිභාරකාර දියවඩන නිලමේතුමාගේ ප්‍රධානත්වයෙන් ශරීව දළදා තේවා මුර මාරුවීම සිදුවේ. එම අවස්ථාවේදී ඉහළ මාලයේත්, පල්ලේ මාලයේත්, පත්තිරිප්පුවේත්, තේවාභාර ස්වාමීන් වහන්සේලා වැඩසිටින පන්සලේත් ඇති භාණ්ඩ ලේඛන ශරී දළදාමාලිගාවේ ලේකම් මොහොට්ටාල විසින් එකින් එක කියවා පෙන්වා භාණ්ඩභාරදීම සිදුකෙරේ. අනතුරුව එම ලේඛන අතිගරු මහානායක ස්වාමීන්දුයන් වහන්සේලා දෙනම හා දියවඩන නිලමේතුමා අත්සන් තබා කෙටි අනුශාසනාවක් පවත්වා අදාල යතුරු භාරගැනීම හා භාර දීම සිදුකෙරේ. මෙසේ ශ්‍රී දන්තධාතූන් වහන්සේ උදෙසා දිනපතා තේවාකටයුතු ඉටු කිරීමේ භාග්‍යය ලැබීම භික්ෂු ජීවිතයේ වාසනාවන්ත පින්බර අවස්ථාවක් සේ සැලකේ.

එය පෙර පිනෙන් ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අදාල පාර්ශවය තේවා කටයුතු භාර ගැනී‍ෙමන් පසු දියවඩන නිලමේතුමා විසින් දැහැත් වට්ටියක් පිළිගන්වා වස් වැසීම සඳහා ආරාධනා කරනු ලැබේ. අතිගරු මහානායක ස්වාමීන් වහන්සේලා සතුව පවතින සාම්ප්‍රදායික තේවා භාර කාරීත්වය තමන් වහන්සේ වෙනුවෙන් නියමිත වර්ෂය පුරා ඉටුකිරීම සඳහා එකී පාර්ශවයේ ස්වාමීන් වහන්සේලා තුන් නමක් යොදවා ගැනීම සිරිතයි. එම තුන් නම පත්කරනුයේ උඩමාලයට දෙනමක් හා පල්ලේ මාලයට එක්නමක් වශයෙනි. එභෙත් මෑතක දී සිට පත්තිරිප්පුව සඳහා තවත් ස්වාමීන් වහන්සේ නමක් පත්කිරීම සිදුවේ. බුදුරජාණන් වහන්සේට ආනන්ද තෙරුන් වහන්සේ විසින් ඉටුකළාවූ සියලූ බුද්ධ උපස්ථාන එසේම ශ්‍රී දළදා තේවා භාර ස්වාමීන් වහන්සේලා ශ්‍රී දළදා වහන්සේ උදෙසා ද ඉටුකරති.

තේවා කටයුතු නියමිත භික්ෂූන් වහන්සේලාට ගිහිභාරකාර දියවඩන නිලමේතුමා, කාරිය කරවන කෝරාව වට්ටෝරුරාළ, කත්තියන රාළලා දෙදෙනා, ගෙපරාළ, හක්ගෙඩි අප්පු, දොරේ ආරච්චි, පල්ලේමාල රාළ, මුළුතැන් රාලළා දෙදෙනා ආදී ගිහි සේවා කට්ටලයක සහාය ද ලැබේ.

මීට අමතරව හේවිසි, තම්මැට්ටම්, මගුල් බෙරය, හොරණෑව, ආදී භාණ්ඩ නියමිත තේවාමුර සඳහා වාදනය කිරීමට පනික්කි මුර හතරක සහාය ලැබේ. කවිකාර මඩුවල නානුමුර මංගල දිනවල පෝය දිනවල හා වෙනත් උත්සව අවස්ථාවන් වල ශ්‍රී දළදා ගුණ ගායනා කරති. උඩැක්කි දෙකයි, පන්තේරු දෙකයි, තාලම්පොටයි, ඔවුන්ගේ වාද්‍යන භාණ්ඩ වේ. විශේෂයෙන් පෙරහැර දිනවලදී පෙරහර කරඬුව බැහැරට වැඩම වූ අවස්ථාවේ සිට පෙරහර ගෙවදී කරඬුව තැන්පත් කරන තුරු නොකඩවා ශ්‍රී දළදා ගුණ ගායනා කිරීම චාරිත්‍රයක් වශයෙන් පැවැත්වේ.

අති උත්තම දළදා බුදපුද තේවාවන් සඳහා භාවිතා කෙරෙන විවිධ පූජා උපකරණ වස්තූන් රාශියකි. ඒවා කෞතුක වශයෙන්ද, පූජනීය වශයෙන්ද ඉතා අගනේය. මෙම පූජනීය වස්තූන් අතර කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් පූජා කරන ලද ඉදිකටු හුලාව, කඩකැතිය (දැලිපිහිය) ආදිය ඇතුළත් අටපිරිකර, රනින් හා මැණිකෙන් නිමවන ලද අවාන, රන්මිටකින් නිර්මිත චාමරය, රන් වටාපත, මහරන් කෙණ්ඩිය කුඩා රන්කෙන්ඩිය, රනින් තැනූ මිනි ගෙඩිය, රනින් නිමවූ සඳුන් හෙප්පුව, කබරෝස මල කීර්ති ශීරිය රාජසිංහ රජුගේ මෑණියන් පූජා කළ අගනා මැණික් ඇල්ලූ දළුමුර තට්ටුව හා ඇහැලේපොළ අධිකාරම පූජා කළ මුදුනට ගලක් බැදි කෙණ්ඩිය, කැටයම් කළ රන් හෙප්පුව, රනින් කැටයම් කළ හුණු හැඳි, රිදී හුණු කිල්ලෝටය, රන් හඳුන් හෙප්පුව, රන් කපුරු පහන් තිර, රන් පාතරටුව, ශීර , විජය රාජසිංහ රජුගේ අගමෙහෙසිය පූජා කළ රන් පාතර මෑය, ආදිය අතිශයින් අගනේය.

අලූයම 5.15 ට පමණ හේවිසි කරුවෝ අලූයම් දුරය අරඹති. ඒ හේවිසි පද ඇසෙත්ම තේවා භාර තෙරුන් වහන්සේලා හා ගිහි නිලකරුවෝ තේවා කටයුතු සඳහා සූදානම් වෙති. තේවාවෙහි නියුක්තවන තෙරුන් වහන්සේලා අඳනය ඇඳ, දෙපට සිවුරක් පොරවා, එය නොගැලවෙන සේ කරිසිමවත්ව පළල් පටියකින් බඳිනු ලැබේ. අනතුරුව සඟල සිවුර වම් උරමත දෙපැත්තට එල්ලෙන සේ දමා නැවත ද පටියකින් බඳී. මෙසේ පටි බැඳගෙන තේවා කටයුතු සඳහා සූදානම් වන්නේ දළදා වහන්සේ උදෙසා ඉටුකෙරෙන පූජා විධි කිසිම අවහිරයකින් තොරව ඉතා ගෞරවයෙන් සිදුකිරීම සඳහාය.

උඩමාලේ ගිහි සේවක පිරිස ද තමන්ට නියමිත නිල ඇඳුමින් සැරසී නියමිත වේලාවට තේවා භාර නායක ස්වාමින් වහන්සේගේ ලැගුම් ගෙට පැමිණ සිටිය යුතුය.

ඉන්පසු පට ලේන්සුවකින් එතූ යතුරු මිටිය තේවා භාර නායක ස්වාමින්ද්රවයන් වහන්සේ විසින් වට්ටෝරුරාළට භාරදෙනු ලැබේ. ඔහු මහත් ගෞරවයෙන් යතුරු මිටිය උරමත තබාගෙන වැඩසිටින මාලිගාව කරා යතුරු පයිංඩ කිරීම අරඹයි. උදෑසන තේවා මුරයේදී පන්දම්කරු අත් පන්දම රැගෙන ඉදිරියෙන් පසෙකින් ගමන් කරයි. ඉන්පසු පළමුව යතුරු පයිංඩ කරන වට්ටෝරුරාළ ද, අනතුරුව පිළිවෙලින් තේවා භාර නාහිමිපාණන් වහන්සේ, දෙවන තේවා භාර හිමිපාණන් වහන්සේ, පල්ලේමාලේ තේවාභාර ස්වාමින්වහන්සේ, පත්තිරිප්පුවේ ස්වාමින්වහන්සේ හා ගිහිසේවක පිරිස ගමන් කරති.

හේවිසි මණඩපය අසලට ලඟාවූ විට පැන් බඳුනෙන් පා දෝවනය කරගෙන ඇත්දත් වාහල්කඩ ඉදිරියේ සඳගල අසලදී යතුරු මිටිය ලිහා පල්ලේමාලේ යතුර පල්ලේමාලේ රාළට භාරදෙයි. අනතුරුව වැඩසිටින මාලිගාවේ දොරවල් එකිනෙක විවෘත කර ගන්ධ කුටියේ දොර විවෘත කර අවසන් වූ පසු ඝංඨාරය නාදකරයි. තේවා භාර නායක ස්වාමින්ද්රවයන් වහන්සේ දොහොත් මුදුන්දී නමස්කාර කරමින් ධාතු මන්දිරයට ඇතුල්වේ. පත්කඩය එලා පසඟ පිහිටුවා වැඳ පහන් දල්වයි. දූවිලි පිස දමයි. නැවත දෑත් දෝවනය කරගෙන, බොල පැන පයිංඩ කරන තුරු තේවා උපකරණ සූදානම් කරගනී. මේ අතර ගෙපරාළ බොලපැන පයිංඩ කරගෙන උඩමාලයට පැමිනෙත්ම හේවිසි පූජාව නැවත ඇරඹේ.

බොලපැන පයිංඩ කළ පසු රන් කෙණ්ඩි පුරවා තබයි. මල් ආසනයෙහි පරමල් ඉවතලා අලූත් මල් තබා තිර මෑත් කොට සුළු වේලාවක් වන්දනා කරුවන් සඳහා ඉඩ සලසා දෙයි. මේ අතර වාරයේ කත්තියනරාළ හේමකද පයිංඩ කරයි. මල්පූජා කිරීම අවසානයේ දොරවල් වසා පූජා කටයුතු අරඹති. තේවාභාර හිමිවරු ජීවමාන බුදුරජාණන් වහන්සේ උදෙසා ආනන්ද තෙරුන් වහන්සේ විසින් ඉටු කරනු ලැබුවා වූ මුව දෝවනය සංකේතවත් කිරීම සඳහා උණු පැන් කෙණ්ඩිය උඩට ඔසවා යළිත් පහත් කොට පූජාකරයි. අනතුරුව රන්මිට යෙදූ දැහැටි පූජා කරයි. පූජාවෙන් පසු දැහැටිය ඉවත්කර රන්මිට ආසනය මත තැන්පත් කරනු ලැබේ. ඉන්පසු තුන්වරක් කාලංසියට පැන් වත් කරයි. මින් ශ්‍රී මුඛය දෝවනය කිරීම සංකේතවත් කෙරේ. සේදීම සංකේතවත් කිරීමෙන් අනතුරුව තෙත මාත්තුව සිදුවේ. මෙම පූජා අවස්ථාවේදී ගාථා සජ්ජායන කිරීම සිරිතය. තුන් සිවුරු පූජාවෙන් පසු, පා දෝවනය කිරීම සංකේතවත් කරමින් කාලංසියට ජලය ඉවත් කිරීම සිදුවේ. ඉක්බිති ආසන පූජාව ද චාමරයෙන් පවන් සැලීම ද නිමකර මිණිගෙඩි නාද කර මිණි පූජාව පවත්වේ. කපුරු පහන් පූජාව සිදු කොට පසඟ පිහිටුවා වැඳ අවසන් වෙත්ම ඝංඨාරය තුන්වරක් නාදවේ. තේවාභාර හිමවරු නැවත දෑත් දෝවනය කරගෙන මල් පූජාව සිදු කරයි. ඉක්බිති සුළු වේලාවක් වන්දනා කරුවන්ට මල් පිදීමට ඉඩ සලසා දීමෙන් පසු නියමිත වේලාවට මල් ආසනය පිරුවටයකින් වසා ඒමත බුද්ධ පූජාව තැන්පත් කරති.

උදෑසන බුද්ධ පූජාව සඳහා බතින් පිරවූ මහරන් පාත්තරයද, කැඳ පාත්තරයද, බතින් පිරවු රිදී පාත්තර දෙකක්, රිදී ව්‍යංජන තැටි දෙකක්, අවුල්පත් භාජන දෙකක්, කුසලාන, බොලපැන පිරවූ රන් කෙණ්ඩිය ආදිය ආසනය මත ක්‍රමවත්ව, තැන්පත් කර ගාථා කියා ආහාර පූජා කොට තේවාභාර හිමිවරු මඳක් ගන්ධකුටයෙන් මෑත්වෙති. සුළු වේලාවකින් නැවත ගන්ධ කුටියට වැඩම කොට පූජා භාජන ඉවත් කරති.

මෙසේ බුද්ධ පූජාව පවත්වා අවසන් වූ පසු නැවත වන්දනා කරුවන්ට මල් පූජා කිරීමට අවස්ථාව සලසා දෙනු ලැබේ.

තේවාවන් සඳහා නියමිත වේලාව අවසන් වූ පසු හක්ගෙඩිය පූගා ඝංඨාරය නාද කොට යළි දොරවල් එකිනෙක වසා පරීක්ෂා කොට පළමුව ගිහිපිරිස පිටතට පැමිණෙති. දෙවනුව තේවාභාර දෙවන හිමිද අවසානයේ තේවා භාර නාහිමි ද පහළට වැඩම කරති. ප්‍රධාන රිදී දොර වසා අවසන් වී පල්ලේමාලේ යතුරු ද සඳගල අසලට පයිංඩ කළ පසු යතුරු මිටිය එකට ඔතා වට්ටෝරුරාළ විසින් පෙර පරිදි ලැගුම්ගෙට පයිංඩ කිරීම සිදු කරනු ලබයි. තේවාභාර ස්වාමින් වහන්සේලා ලැගුම්ගෙට වැඩම කළ පසු ගිහිසේවකයෝ උන්වහන්සේලාට පසඟ පිහිටුවා වැඳ නමස්කාර කර පිටවෙති. මේ අන්දමින් අලූයම තේවා කටයුතු අවසන් වීම සිදුවේ.

දිනයේ පෙරවරු 9.30 ට ආරම්භ වන දහවල් නවපෑ බුද්ධ පූජාවේ මුල්ම පූජාව වෙන්වන්නේ රජතුමා වෙනුවෙන්ය. ඒ අනුව පළමු මහරන් පාතරල් ය රජතුමාට වෙන්වේ. කුඩා රන්පාතරවෙන වලින් එක් පාතරපරණයක් කාරිය කරවන කෝරාළට ද, වට්ටෝරුරාළට තවත් කුඩා රන් පාතරරජතයක් ද, තවත් රන් පාතරේඅසයක් ගෙපරාළට ද, කත්තියනරාළට රිදී පාතර අනයක් ද තවත් රිදී පාතරතරරයක් දොරේ ආරච්චිට ද, පිත්තල පාතරල්නයක් හක්ගෙඩි අප්පුට ද වෙන්වේ. පූජා පිළිවෙත් උදෑසන පූජා සිදු කළ ආකාරයටම ඉෂ්ට සිද්ධ වේ.

සෙසු විහාරස්ථානවල බුදුපියාණන් වහන්සේ උදෙසා පවත්වන පූජාව “බුද්ධ පූජාව” ලෙස හැඳින්වෙන අතර දළදා මාලිගාවේ පවත්වන පූජාව “මුළුතැන් පූජාව” යනුවෙන් හැඳින්වීම ද විශේෂත්වයක් ගනී.

සවස ප්‍රධාන වශයෙන් ගිලන්පස පූජා දෙකක් පැවැත්වේ. දෙවන ගිලන්පස කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ සමයෙහි සිට ආරම්භ වී ඇත. ශ්‍රී දළදා වහන්සේ උදෙසා කෙරෙන බුද පුද තේවාවන් සඳහා රජතුමා ද සහභාගීවීම එදා පැවති සිරිතය. එක් දිනක් රජතුමා ප්‍රමාද වී පැමිණි අතර තේවාභාර නාහිමි නියමිත වේලාව අවසන්වූයෙන් දොරවල් වසා වැඩම කරන ලදී. මෙම සිදුවීමෙන් අනතුරුව රජතුමා විසින් කරන ලද ඉල්ලීමක ප්‍රතිඵලයක් වශයෙන් දෙවන ගිලන්පසක් පූජා කිරීම ඇරඹිණ.

සවස ගිලන්පස පූජාවට සීනි, සූකිරි, අඹ, ඉඟුරු, මීපැණි, දොඩම්, අන්නාසි, උක්පැණි, හකුරු, මුද්රරප්පලම්, ඇල්තෙලිජ්ජ , ඉඟුරු දෝසි, ආදී ද්‍රව්‍ය යොදා ගනී.

අලූයම, දහවල්, හැන්දෑ, යන තුන්වරුවේදී පූජා සිදුකෙරන ආකාරයේ සුළු සුළු වෙනස්කම් දක්නට හැකිය. සමස්තයක් වශයෙන් ගත් කළ හේවිසි පූජාව, යතුරු පයිංඩ කිරීම, බොලපැන පයිංඩ කිරීම, හේම කද පයිංඩ කිරීම ආදී චාරිත්‍ර වන්දනා කරුවන්ට දක්නට ලැබුනත් ගන්ධකුටිය අභ්‍යන්තරයේ සිදුකෙරෙන වත්පිළිවෙත් බොහොමයක් රහසිගතව සිදුකිරීම සිරිතය.

උඩමාලේ ගන්ධ කුටියේදී ශ්‍රී දළදා වහන්සේ උදෙසා තේවා කටයුතු සිදු කෙරෙන වේලාවන්හිදීම පල්ලේමාලේ විහාරගෙහි ද තේවා කටයුතු සිදුකරනු ලබේ.

තේවා කටයුතු සිදු කෙරෙන වේලාවන්

අලූයම තේවාව(හීල්දාන පූජාව) පෙ.ව. 5.30 – 7.00
නව පෑ පූජාව(දවල් ආහාර පූජාව) පෙ.ව. 9.30 – 11.00
හැන්දෑ තේවාව (සවස ගිලන්පස පූජාව) ප.ව. 6.30 – 8.00

දන්ත ධාතූන් වහන්සේ උදෙසා සිදුකෙරෙන සාම්ප්‍රදායික තේවා චාරිත්‍ර විධි පැරණි රජදවස ආරම්භ වූ ඒවාමය. එකල රජවාසලේ මුළුතැන් ගෙයි පිළියෙල කරන රාජ භෝජනයේ අග්‍රතර කොටස අමුතු මුළුතැන් බුද්ධපූජාව නමින් හේමකදක (රන් කදක ) තැන්පත් කරවාගෙන රජතුමා විසින්ම ශ්‍රී දළදා මාලිගාවට පයින්ඩ කරන ලද බව පැවසේ. මහනුවර රජදවස අමුතු මුළුතැන් බුද්ධ පූජාව පයිංඩ කරන ලද හේම කද දැනට ශ්‍රී දළදා කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.

හේවිසි පූජාව
හේවිසි පූජාව සඳහා පනික්ක මුර හතරක් පත්කර ඇත. එම පණික්කමුර හතර නම් .

1. ඉහළ දොළොස්පත්තුව. (කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාවතගම ආදී ප්‍රදේශය)
2. පහල දොළොස්පත්තුව. (හිරියාල හත්පත්තුව ඇතුළු ප්‍රදේශය)
3. දුම්බර.
4. මාතලේ.
යනුයි.

මෙමම පනික්කිමුර පැවත එනුයේ දඹදෙණි රාජධානියේදී හා මහනුවර රාජධානියේදී රජවරුන් විසින් පත්කරන ලද පරම්පරා අතුරිනි. පැරණියේදී මොවුන් රජතුමා විසින් පත්කරනු ලැබුවද වර්තමානයේ එම පත්වීම් කරනුයේ ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේතුමා විසිනි. මෙකී පළාත් වලින් පත්කෙරෙන ශිල්පීන් දක්ෂ පරම්පරාවලින් පැවත එන අය විය යුතුයි. මෙම රාජකාරිය නොකඩවා නිසිලෙස ඉටුකිරීම සඳහා ඔවුනට ගම්වර පවරා දී ඇත්තේය. ශ්‍රී දළදා මාලිගාවේ හේවිසි රාජකාරි දිනපතා අලූයම් බුද්ධ පූජාව, නවපෑ බුද්ධ පූජාව, හැන්දෑ ගිලන්පස පූජාව යන තුන් අවස්ථාවලදීත් බදාදා නානුමුර මංගල්ලය හා පෝය දිනවලත් සතර මංගල්ලය යන අවස්ථාවන්හිදීත් ඉටුකිරීමට නියමිතය. පෙරහර මංගල්ලයන්හිදී අවශ්‍ය නැටුම් ශිල්පීන් සපයා දීම ද මෙම පනික්කිමුර හතරට පැවරේ. දිනපතා තේවාවන් සඳහා හේවිසි වාදන සිදු කෙරෙන්නේ හේවිසි මණ්ඩපයේ සිටයි. අලූයම 5.15 ට පමණ තේවාව භාර ස්වාමීන්වහන්සේලාට සූදානම්වීමට අලූයම් දුරය නමින් මුල් හේවිසි වාදනය සිදුකරයි.

ඉන්පසු තේවාවේ එක් එක් අවස්ථාවන් වලට අනුකූල වන පරිදි හේවිසි පද මාරු කරමින් වාදනය සිදුකරයි. බදාදා දිනවල නානුමුර මංගල්ලය අවස්ථාවේදී හේවිසි පද තරමක් වෙනස්ය. බදාදා දිනවල නාගසින්නම්, තබ්බෝරුව හා කයිතාලම යන භාණ්ඩ විශේෂයෙන් වාදනය කරන අතර ඊට අමතරව වැඩසිටින මාලිගාව වටා තුන්විටක් කුඩා පෙරහැරකින් පැද කුණු කරයි. උඩමාලයේ හඳුන්කුඩමට දකුණුපස බරාදයේ සිට කවිකාර මඩුවේ හතර දෙනා උඩැක්කිල පන්තේරු හා තාලම්පොට වාදනය කරමින් දළදා ගුණ ගායනා කරති. මෙසේ තූර්ය භාණ්ඩ වාදනයෙන් පූජා පැවැත්වීම පෙර සිටම පැවත එන චාරිත්‍රයකි. හේවිසි වාදනයට අමතරව උඩමාලයට මල් හත්සීයක්ද පල්ලෙමාලයට මල් හත්සීයක්ද සපයා දීම පනික්කි මුරයට භාරයි. එසේම දිනපතා දෙන්නෙක් මුර කළ යුතුයි. මේ අයට මල්මුර පාතර ම ය හා පෝයදාට පෝය පාතරික්ය ලැබෙයි.

සවස ගිලන්පස පූජාවට වර්ග 14 කින් සමන්විත සුවිශේෂ ගිලන්පස පූජාවක් පවත්වනු ලැබේ. ඒවායින් අවශ්‍ය උපාංගයන් සමහරක්

1. සීනි.
2. සූකිරි.
3. මුද්දරප්පලම්.
4. අඹ.
5. අන්නාසි.
6. පැණිදොඩම්.
7. බටර් හෝ මාජරීන්.
8. ඉගුරු.
9. ඉගුරු දෝසි.
10. තෙලිජ්ජ හෝ සුදුසු කෝඩියල් විශේෂයක්.

දවල් දානයට අවශ්‍ය දෑ සමහරක්

1. තම්බපු හාල් සේරු 32.
2. ව්‍යංජන – 32 ක් (එළවළු වර්ග 32 ක් එකකින් ග්රෑම් 750 ක් බැගින් පමණ ගෙන සකස් කෙරේ.)
3. කැවිලි වර්ග – දැති කැවුම් කොණ්ඩ කැවුම් දිය කැවුම් (හැඳි කැවුම් අතිරස ආදිය පිළියෙල කළ යුතුය.)

දෙවන ගිලන්පස පූජාව ආරම්භ වූ ආකාරය

තේවා කටයුතු අවසාන වී වැඩ සිටින මාලිගාවේ දොරවල් වැසූ පසු කවරෙකු සඳහාවත් යළි දොරවල් විවෘත නොකිරීම චිරාගත සම්පර වැදායයි. එසේ එක් දිනක තේවාව අවසන් වී දොරවල් වැසූ පසු කීර්ති ශරීිය රාජසිංහ රජතුමා ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමට පැමිණියත් රජ අණ නිසාවත් එදා තේවාව භාර හිමිවරු නැවත දොරවල් විවෘත කළේ නැති බවත් එදා සිට රජතුමාගේ විශේෂ ඉල්ලීමක් අනුව දෙවන ගිලන්පස පූජාවක් පැවැත්වීමේ සම්ප්‍රදාය ඇරඹුන බවත් කලින් සදහන් විය.

සෑම විටකම තේවාව නිම වී තේවාභාර නා හිමියන්ගේ කාමරයට යන සියලු රාජකාරි කරුවන් වැඩ හිඳින මාලිගයේ යතුරු නාහිමිගේ කාමරයේ ඇති යකඩ සේප්පු ව තුළ තැන්පත් කොට තේවාවේ නියුතු නාහිමි වරුනට වැඳ ආචාර කොට පිටව යාමද දළදා මාලිගයෙහි දක්නට ලැබෙන විශේෂ චාරිත්‍ර අතර වේ.

බදාදා දිනවල පූජාවන්හි විශේෂයක් පවතින බව ඉහත සදහන් කල‍ා මතකයි නේද?

මේ හා බැඳී ඇත්තේ ද සුවිශේෂ චාරිත්‍ර සමුදායකි. අඟහරුවාදා දින සවස පූජාව නිමවා දළදාගෙහි ඇති අනවශ්‍ය පුද පූජා ද්‍රව්‍ය ඉවත් කොට පවිත්‍ර කළයුතුය. බදාදා දින අළුයම තේවාව නිමවා ගන්ධ කුටිය සහ වැඩසිටින මාලිගයෙහි අනෙකුත් තැන් සියල්ල ශුද්ධ පවිත්‍ර කරනු ලබයි. සියලු පූජා භාණ්ඩ සෝදා පිරිසුදු කොට සුවඳ දුම් අල්ලා දහවල් නානුමුර මංගල්‍යයට සකස්කොට තැබිම මෙදින සිදුවෙන විශේෂිත කාර්යයකි. අනතුරුව දහවල් තේවාවට පෙර ගිහි පැවිදි තේවා කට්ටලය දෙහි ඇඹුල් ගා ස්නානය කිරීම සහ අලුත් සිවුරු හැඳ පෙරවීම සිදුකළ යුතුය.

බදාදා දිනවල මෙම නානුමුර මංගල්‍යය සඳහා පෙරවරු 09. 15 ට පමණ දළදා වහන්සේ වැඩ සිටින මාලයේ දොරවල් විවෘත කරනු ලැබේ. කාරිය කෝරාළගේ නියමය පරිදි ඒවන විට පෞරාණික ඖෂධ වට්ටෝරුවලට අනුකූලව නානු විශේෂයක් මුලුතැන්ගේ සකස් කොට තබයි. ගෙපරාළ විසින් එම නානු ශබ්ද පූජා මධ්‍යයයේ උඩුමහලට රැගෙනවිත් වට්ටෝරු රාළ හරහා තේවාභාර නාහිමියන් වෙත භාර දෙයි. අනතුරුව ගන්ධකුටිය තුළින් ලබාදෙන දැනුම්දීම අනුව හක්ගෙඩිරාළ සක් පිඹින අතර හේවිසි ගැසීම, කවි ගායනා කිරීම වැනි කටයුතු සමඟ නානුමුර මංගල්‍යය සිදුකරයි. එම අවස්ථාව අන් අයට දැක බලාගත නොහැකි ය. එකී නානුමුර මංගල්‍යයට යොදාගනු ලබන නානු ආශිර්වාදාත්මක මෙන්ම ඖෂධ ගුණයෙන් ද යුතු බැවින් ඒවා ලබාගැනීම සඳහා විශාල පිරිසක් ඒකරාශි වී සිටිති. එසේම බිලිඳු දරුවන් දළදා සමිදුන්ට භාර කිරීම සඳහා වැඩි වශයෙන් රැගෙන එන්නේ ද මෙම නානුමුර මංගල්‍යය දවසේම ය.

දළදා වහන්සේ උදෙසා පැවැත්වෙන වාර්ෂික පූජාවන් ලෙස සැලකෙන්නේ සතර මංගල්‍ය පූජාවයි.

එනම්

01. අලුත් සහල් මංගල්‍යය
02. අලුත් අවුරුදු මංගල්‍යය
03. පෙරහර මංගල්‍යය
04. කාර්තික මංගල්‍යය

අලුත් සහල් මංගල්‍යය
දළදා මාලිගාවට අයත් කුණ්ඩසාලේ සහල් ගබඩාවෙන් දළදා මාලිගාව ඇතුලු විහාර දේවාලවලට බෙදාදෙනු ලබන අග්‍ර ශස්‍ය වලින් හාල් සේරු 80 ක දානය පිළියෙළ කොට දළදා මාලිගාවේ ඇති කිරිබොඩ පාත්‍රයට පුරවා පුජා කිරීමයි. මෙය ජනවාරි මස එළඹෙන දුරුතු පුර පසළොස්වක් පොහෝ දින සිදු කෙරේ.

අලුත් අවුරුදු මංගල්‍යය
මෙයද දළදා මාලිගාවේ පූජා චාරිත්‍ර අතර වැදගත් තැනක් ගනියි. සිංහල හා හින්දු අලුත් අවුරුදුවලට කෙරෙන චාරිත්‍ර දළදා මාලිගාවට ආවේණික පරිදි සිදුකිරීම මෙයින් අදහස් කෙරේ. දළදා මාලිගාවේ නැකත් මොහොට්ටාල විසින් සකස් කරනු ලබන සුබ මුහුර්තීන් වලට අනුව ලිප් ගිනි මෙළවීම, කිරිබත් පිසීම, කණ්ඨස්නානය කිරීම වැනි විශේෂ පුජා සමුදායක් මේ යටතේ සිදු කරනු ලබයි. ඒවා හුදෙක් පෞරාණික චාරිත්‍රානුකූලවම සිදුකිරීම මෙහි ඇති විශේෂත්වය යි.

පෙරහර මංගල්‍යය
මේ ඇසළ මංගල්‍යය දළදා වහන්සේ උදෙසා පැවැත්වෙන පුජා චාරිත්‍ර අතර සුවිශේෂි තැනැක් උසුලනු ලබයි. කෘෂිකාර්මික ජීවන රටාවකට හුරුවී සිටි ප්‍රාග් බෞද්ධ වැසියෝ නිසිකලට වැසි ඵල ලබා ගැනීමේ අටියෙන් අව්වැසි ආදිය දේවත්වයෙන් සළකා නොයෙක් පූජාවන් පැවැත්වීමට පුරුදු වී සිටියහ. බුදු දහම මෙරටට හඳුන්වා දීමත් සමඟ එකී ප්‍රාථමික විශ්වාස බුදු දහම සමඟ මිශ්‍ර වී විකාශනය වී ගිය බව පෙනේ. එහි ප්‍රතිඵලයක් ලෙස දළදා වහන්සේ මෙරටට වැඩම වීමත් සමඟ දළදා වහන්සේ ගේ පිහිට ආරක්‍ෂාව තුළින් නිසිකල වැසි ඵල ලබා සිය ගොවිතැන් බත් කටයුතු සාර්ථක කරගත හැකි බව ඔවුහු විශ්වාස කළහ. අතීතයේ සිටි පැරැන්නෝ ඇසළ මාසය දෙවියන් උදෙසා කැපකළ මාසයක් සේ සැලකූහ. දෙවියන්ගේ ආශිර්වාදය වෙනුවට දළදා සමිඳුන්ගේ ආශිර්වාදය ලබනු වස් ඇසළ මාසය තුළ පෙරහර පැවැත්වීමට ඔවුහු උත්සුක වූහ. මහනුවර රාජධානි සමය වන විට දේවාල පෙරහරට පමණක් සීමාවී තිබූ මෙම ඇසළ පෙරහර ස්‍යාමෝපසම්පදාව පිහිටුවීම සඳහා සියම් රටින් මෙරටට වැඩි ප්‍රවර උපාලි මහ තෙරුන්ගේ සහ උභය මහා විහාරයේ මහානායක හිමිවරුන්ගේ මග පෙන්වීම අනුව කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් දළදා පෙරහර ද ඊට එකතු කොට වර්තමාන පෙරහර සමාරම්භ කළ බව පිළිගැනේ. සතර දේවාලවල කප් සිටුවීමේ චාරිත්‍රයෙන් වර්තමාන පෙරහරේ සමාරම්භය සිදුවන අතර දින 05 ක් කුඹල් පෙරහර ද දින 05 ක් රන්දෝලි පෙරහර ද පවත්වා දිය කැපීමේ මංගල්‍යයෙන් මෙකී ඇසළ පෙරහර නිමාවට පත්වේ.
තිලොවට තිලක වූ අප ශාන්තිනායක මුනිදුන්ගේ ශ්‍රී දළදා වහන්සේ සදා මේ මව් බිමට ශාන්තිය ගෙන දෙමින් වැඩසිටිත්වා. ඒ අනන්ත බුදුගුණ බලෙන් ඔබ සැමට යහපත උදාවේවා … … …
බෞද්ධ සන්නිවේදකය සදහා වූ ජාත්‍යන්තර පදනම වෙනුවෙන් මම එරන්ද

 

 

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.