
තවද එක්සමයෙක්හි මෛත්‍රී නැමැති ජලයෙන් නිමවන ලද කොපාග්නි ඇති තිලෝගුරු බුදුරජානන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවසන සේක් අනේ පිඩු මහ සිටානන් අරභයා මේ ජාතකය වදාළ සේක.
අනේ පිඩු මහ සිටානෝ විහාරයම උදෙසා සුපණස් කෙළක් ධන සර්වඥ ශාසනයෙහි ම විසුරුවා රත්නත්‍රයෙහි සරණ හැර අන් තැනෙක්හි රත්න සංඥාවක් නූපදවා සර්වඥයන් වහන්සේ දෙව්රම් වෙහෙර වසන කල්හි දවසක් පාසා තුන් විටකම උපස්ථානයට යන්නාහුය. උදෑසනම එක්වරෙක යෙති. දාවල් බත් අනුභව කොට ඉක්බිති එක්වරෙක යෙති. සවස් වේලෙහෙි එක්වරෙක යති. තවත් අතරතුරෙහි උපස්ථානයට යෙති. මෙසේ යන්නාවූ අනේපිඩු මහ සිටානෝ කුමක් ඇරගෙණ අවුදෝහෝයි සාමණේරයන් වහන්සේ හා ලදරු භික්ෂූන් වහන්සේ මාගේ අත බලනසේක් වේදැයි කියා සිස් වූ අතින් එක් දවසකුත් නොගිය විරූය. උදෑසන යෙත් නම් කැඳ අවුළු පත් ගෙන්වා ගෙණ යෙති. වළඳ අන්තයෙහි යෙත් නම් ගිතෙල් මී උක්සකුරු ආදිය ගෙන්වා ගෙණ යෙති. Read More