
මීට කල්ප ලක්‍ෂයකට පෙර පදුමුත්තර ලෝකනායකයාණන් වහන්සේ ලෝ සතුන් සසර දුකින් එතෙර කිරීම සඳහා දම් දෙසන සමයෙහි රට්ඨපාල මහරහතන් වහන්සේ මහාසාර කුලයක ඉපිද, වැඩිවියට පත් වූ කල්හි දෙමාපියන්ගේ අභාවයෙන් පසුව මහත් ධනස්කන්දයකට හිමිකම් කියන්නට විය. දිනක් මේ කුල පුත්‍රයා තමාට පිය උරුමයෙන් හිමි වූ අපරිමිත ධනය පිළිබඳ මෙසේ සිතීය. මාගේ දෙමාපියන් මෙතරම් වු ධනයක් රැස්කොට කිසිවක් නොගෙන පරලොව ගියහ. එබැවින් මා විසින් මේ සියලු ධනයන් පරලොව ගෙන යා යුතුයැ’යි කල්පනා කොට මේ ධනස්කන්ධය පරලොව ගෙන යා හැකි එකම මඟ දන්දීම යැයි නුවණින් දැන එතැන් සිට දුගී මගී යාචකාදීන්ට මහ දන් දෙන්නට වූයේය.
දිනක් තම යහළුවකු සමඟ දිය නෑම සඳහා යමින් සිටිය දී සෘද්ධිමත් තාපසයෙකු දැක උන්වහන්සේ කෙරෙහි පැහැදී, එම තාපසතුමා නිතිපතා තම නිවසට වැඩමවා දනින් පැනින් උපස්ථාන කරන්නට විය. එසේ නිතිපතා දනට වඩින තාපසතුමා දන් වළදා අවසානයේ පින් දෙමින් ‘ සක් දෙවි රජුට මෙන් ඔබට සම්පත් ලැබේවා’ යි ප්‍රාර්ථනා කරන්නේය. මෙයින් සක්දෙව් සම්පත්තිය පිළිබඳ සිත් අලවාගත් මෙතුමා දිවි අවසානයේ එයින් චුතව දෙව්ලොව සක්දෙවි රජව ඉපිද ඇත.