බුදුරදුන්ගේ ආරණ්‍යය ශ්‍රාවක භික්‍ෂූන් අතර අග්‍රස්ථානයට පත් වූයේ ඛදිරවනිය රේවත රහතන් වහන්සේ යි. බොහෝ භික්‍ෂූන් ආරණ්‍යකව විසුවත් පැන් පහසුව, පිණ්ඩපාත පහසුව, ගමනාගමන පහසුව වැනි දේ බොහෝ දුරට සලකා ආරණ්‍ය ගතව වැඩ වාසය කළා. මේ රේවත හාමුදුරුවන් ඒ කිසිදු පහසුකමක් නොබලා ඉතා කටුක මග ඇති දරුණු කිහිරි ගස් වැවී තිබුණු ආරණ්‍යයක ඉතා සතුටින් වැඩ වාසය කළා. පදුමුත්තර බුදුරදුන් කළ විවරණ ලබා සසර ගමන් කොට අප බුදුරදුන් කල උපත ලබා සිටි උන් වහන්සේ ගේ චරිත කතාව ඉතා සිත් ඇද ගන්නා මෙන්ම වැදගත් වූවක්.
මගධ රාජ්‍යයෙහි නාලක නම් බමුණු ගමෙහි උපතිස්ස මහාසාල බමුණා නිසා සාරි නම් බැමිණියගේ කුසෙහි පිළිසිඳ උපත ලැබීමෙන් පසු රේවත නමින් හැඳින්වූවා. වැඩි මහලු සොහොයුරන් තිදෙනෙක් සහ වැඩි මහලු සොහොයුරියන් තිදෙනෙක් රේවත කුමරුවන්ට සිටියා. ඒ වැඩි මහලු සය දෙනාම බුදුරදුන්ගේ ශාසනයෙහි පැවිදි වූ නිසා මේ රේවත පුතණුවන් කෙසේ හෝ ගෙදර නතර කර ගැනීමට මෑණියන්ට දැඩි ඕනෑකමක් තිබුනා. ඒ අනුව තරුණ වියට පා තබන්නටත් පෙර සුදුසු කුමරියක හා අතිනත ගැනීමට කටයුතු යෙදුවා. විවාහ උත්සව අවස්ථාවෙහි ඒ සුරූපී කාන්තාවට තම මිත්තනියට මෙන් අවුරුදු එකසිය විස්සක් ජීවත් වීමට වාසනාව ලැබේවා යි ඤාතීන් ප්‍රාර්ථනා කළා. මේ අවස්ථාවෙහි එකසිය විසි වයස් වූ මිත්තනිය කොහිදැයි රේවත කුමාරයා විමසූ විට දත් වැටුනු, කෙස් ඉදුනු, සම රැලි ගැසුනු, දුර්වල ඉඳුරන් ඇති, අපැහැදිලි කථා ඇති, කුදු සිරුරක් ඇති, සැරයටි වාරුවෙන් ගමන් කරන මහලු කාන්තාවක් පෙන්නුවා. ඒ මහළු කාන්තාවගේ තත්ත්වය තම අතිනත ගත් බිරියට ද සිදුවන්නේ දැයි විමසා ඇයට පමණක් නොව තමන්ටත් ඒ තත්ත්වය උදා වන බව මැනවින් වටහා ගත්තා. මෙයින් රේවත කුමරුවන්ගේ සිත මහත් සේ වෙනස් වූවා.
Read More