ලෝකයේ පවතින විශාලත්වයෙන් අගතැන්පත් බෞද්ධ ස්තූපය වූ ජේතවන චෛත්‍ය දෙවැනි වන්නේ ලෝකයේ පුදුම හතෙන් එකක්සේ ගැනෙන මිසරයේ පිරමීඩයන්ට පමණි.
මහසෙන් රජතුමා (ක්‍රි.ව. 276 – 303 ) කරවූ ස්තූපය අඩි 400 ක් පමණ උස් වූ බව කියැවෙයි. එහෙත් 1832 වසරේ මේජර් ස්කිනර් විසින් ඇඳින ලද සැලැස්මට අනුව සෑයේ උස අඩි 244 කි. වලිසිංහ හරිස්චන්ද්‍රයන්ගේ ‘සිතියම් සහිත පුරාවිද්‍යාව‘ පොතේ සඳහන්ව ඇත්තේ දා ගැබේ උස අඩි 249 ක් බවත් වට අඩි ප්‍රමාණය අඩි 1200 ක් බවත් ය. මෙම සුවිසල් ස්තූපය අක්කර 8 ක පමණ භූමි ප්‍රමාණයක් වසා පැතිරී පවති යි.
සෑයේ නිධන් කර ඇති දේ පිළිබඳව මහාවංශයේ සඳහන් නොකළ ද පූජාවලියට අනුව මෙහි නිධන් කර ඇත්තේ බුදුන් වහන්සේගේ පටී ධාතුවයි. අනුරාධපුරයේ ඇති මහා ස්තූපයන් තුනෙන්, එකක් වන ජේතවන චෛත්‍ය ඇත්තේ අනුරාධපුරයේ ජෝතිවනය නම් භූමියේ ය. එමනිසා මෙය ජේතවනාරාමය ලෙස ප්‍රචලිත විය. එහෙත් ශිලා ලේඛනයන්හි හා පැරැණි පොත පතෙහි සඳහන් ව ඇත්තේ දෙනාවෙහෙර – දෙනායකය ආදී නම් වලිනි.
මිහිඳු මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් බිහි වූ මහා විහාර සම්ප්‍රදායට එරෙහි වූ මහසෙන් රජතුමා ලෝවාමහාපාය සහ තවත් පූජනීය වස්තූන් විනාශ කිරීමට තරම් කුරිරු වූයේ මහායාන සම්ප්‍රදායට නතු වූ සංඝමිත්‍ර නම් පාපමිත්‍ර භික්‍ෂූන් වහන්සේගේ බහට මුලා වී එම භික්‍ෂුවගේ උපදෙස් අනුව ය. මෙම සැහැසි ක්‍රියා හමුවේ මුළු රටම කැළඹුණි. රජතුමාගේ කුළුපග මිතුරකු වූ මේඝවර්ණ නම් අමාත්‍යවරයා මලය රටට පලාගොස් සේනා සංවිධානය කර යුද වදින්නට පෙරලා පැමිණියේ රජතුමා කළ මෙම නොපනත්කම් ඉවසීමට නොහැකි වූ නිසාවෙනි.