
ව්‍යවහාරික වර්ෂ 310 හෙළ බෞද්ධයන්ගේ පුණ්‍ය වාසනා මහිමයේ උතුම් පින් අස්වැන්නකින් හෙළදිව පිදුම් ලැබූ වසරක්. ශ්‍රී සුගත තථාගත ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනයෙන් පසුව නො විසිරී ඉතිරි වුණු සප්ත ධාතුන් වහන්සේලා අතර වූ වාම ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ හෙළදිවට වැඩම කළේ එ් වර්ෂයේ දී. හේමමාලා – දන්ත දෙපළ වාම ශ්‍රී දන්ත ධාතූන් වහන්සේව මෙරටට වැඩම කරවූ එ් යුගයේ හෙළදිව රජකම් කළේ මහසෙන් රජ පුත් කීර්ති ශ්රී මේඝවර්ණ රජුයි. තමන් අතපත් වුණ මේ සුපූජනීය වස්තුව මහත් සැදැහැයෙන් බාරගත්ත රජතුමා දළදා මාලිගාවක් ඉදිකරලා, දිනපතා පූජාවන් සහ වාර්ෂිකව පෙරහැර පවත්වලා ආරම්භ කරපු දළදා පූජාවන් සියවස් ගණනාවක් පුරා පැවතගෙන ඇවිත් අද දක්වා ම ක‍්‍රියාත්මක වෙනවා.
එ් විචිත‍්‍ර වූ දළදා පූජාවන් අතරින් ඇසළ පෙරහැර මංගල්‍යය හෙළයේ මහා කලා මංගල්‍යයක් ලෙසින් පිළිගැනෙනවා. අලි ඇතුන් සියයකගේ පමණත්, කලා ශිල්පීන් දහසකගේ පමණත් සහභාගීත්වයෙන් දින දහයක් පුරා වීදි සංචාරයේ යෙදෙන මේ පෙරහැර මංගල්‍යයට සමාන වූ වෙනත් සංස්කෘතික මංගල්‍යයක් ලෝකයේ මුණ ගැසෙන්නේ නැහැ.
දළදා වහන්සේ වැඩ හිඳින කරඬුව සංකේතවත් කරන ‘වැඩමවන කරඬුව’ පිටෙහි තබාගෙන රාජ රාජ ලීලාවෙන්, මහා අභිමානයෙන් පෙරහැර තුළ ගමන් කරන හස්තිරාජයා මේ පෙරහැර තුළ ඉටු කරන්නේ මහා මෙහෙවරක්. දුටුවන් ප‍්‍රසාදයට පත් කරවන තේජසින් යුතු වුණ මේ දළදා ඇත් පරපුර ගැන බොහොම රසවත්, එ් වගේ ම විස්මය සහගත තොරතුරු රැසක් තිබෙනවා.