541 වෙස්සන්තර ජාතකය

ත්‍රිභුවන චන්‍ද්‍රවූ ජගදානන්‍ද ලොචන වූ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් නුවර නිග්‍රොධාරාමයෙහි වැඩවසන සේක් බන්ධු සමාගමයෙහි පොකුරු වැසි වැසිම අරභයා මේ ජාතකය වඳාළසේක.

බුදුරජාණන් වහන්සේ ඉසිපතන්හි දම්සක් දෙසා පිළිවෙලින් දනව් සැරිසරා කිඹුල්වත් නුවරට වැඩ මනාව සරසන ලද නිග්‍රොධ නම් ශාක්‍ය රජ්ජුරුවන්ගේ උයනෙහි වැඩඋන් සේක. අභිමානයෙන් යුත් ශාක්‍ය රජ්ජුරුවෝ සිතන්නාහු සිද්ධාර්ථ කුමාරයෝ ඉතා බාලයහ. අපගේ කණිටු සොහොවුරුය. අපගේ බෑණාහ. අපගේ පුත්‍රයහ. අපගේ මුණුබුරුහ. යනාදීන් සිතා කුඩාකුමාරවරු ළඟට කැඳවා තෙපි පෙරට ගොස් සිද්ධාර්ථ කුමාරයන් වඳිව්, අපි තොප හැමට පසුවලා නොහඟවා වදුම්හයි යවූහ. එබස් අසා බුදුන්ට බාලවූ රජකුමරුවෝ පෙරටුව සිට බුදුන් වැඳ මහළු නෑයන්ට අවකාශ නොදීම සිටගත්හ.

මෙසේ මහළු නෑයෝ නොවැඳ සිටිකල්හි ඔවුන්ගේ අදහස් දැන මොවුන්ගේ අභිමානය බිඳ දැන්ම මොවුන්ගෙන් වැඳුම් ලබමියි සිතා වදාරා අභිඥාපාදක චතුත්‍ර්‍ථධ්‍යානයට සමවැද අහස කුසට පැනනැග ඒ නෑයන්ගේ හිස මුදුන්හි පස්වගුරුවන්නාසේ ගණ්ඩබ්බනම් අඹරුක් මුල්හිදී යමාමහ පෙළහර පෑවාසේ පෙළහර පා වඳාලසේක. ඒ ආශ්චය්‍ර්‍ය දුටු සුද්ධෝදන රජු පුතණුවන්ගේ ශ්‍රීපාද මූලයට ගොස් ස්වාමීනී ඔබ බුදු වීමට පෙර මා දෙවරක් වැන්දෙමි. දැන්ද ඔබගේ මේ ආශ්චර්යය දැක ශ්‍රීපාදය වඳිමි. මේ මාගේ තුන්වන වැදීමයයි කියා වැන්දාහ. එකල්හි සියළු රජදරුවෝද බිමවැටී වැන්දාහ.

මෙසේ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ සියළු නෑයින් වන්දවා අහසින් බැස පනවන ලද බුද්ධාසනයෙහි වැඩහුන් සේක. එකල සියළු බන්ධුහුම බිඳුනාවූ මන් ඇතිව එකඟ සිතින් යුතුව බුදුන් සමීපයෙහි හුන්නාහුය. ඉක්බිති අකාල මේඝයක් නැගී පොකුරු වැස්සක් වටුයේය. ඒ වැස්සෙහි තඹවන් දිය රැව්දෙමින් පොළොවෙහි දිවෙයි. ඉන් තෙමනු කැමැත්තෝ තෙමෙති. අකමැත්තන් සිරුරෙහි දිය බින්දුවකුදු නොවැටෙයි. ඒ ආශ්චර්යය දැක විසිදහසක් භික්ෂුහු බුදුන්ගේ බන්ධු සමාගමෙහි මෙබදු පොකුරු වැස්සක් වටුයේ ඉතා ආශ්චර්යයයි කථාවක් ඉපදවූවාහුය. බුදුරජාණන් වහන්සේ ඒ කතාව අසා වදාරා මහණෙන, පොකුරු වැසි වටුයේ දැන්මතු නොවෙයි. පෙරත් මාගේ බන්ධු සමාගමයෙහි එසේවූයේ වේදැයි වදාරා ඉකුත්වත වඳාළසේක.

යටගිය දවස දඹදිව සිවිරට ජයතුරා නම්විය. සියළු සම්පත්තියෙන් සමුර්ධවූ එනුවර සිවිනම් මහරජෙක් රාජ්‍යය කරන්නේය. ඒ රජහට සඤ්ජය නම් පුත්‍රයෙක් උපන්නේය. ඒ පුත්‍රයා වැඩිවිය පැමිණි කල්හි මධුරජ දූ වූ ඵුසතී නම් රාජ කන්‍යාව ගෙන්වා අග මෙහෙසුන් කොට රාජ්‍යය පාවාදුන්නේය. ඒ ඵුසති දේවී තොමෝ පෙරකරන ලද මහා පින් ඇත්තීය. මෙයට ඒකානූවන කප ලොව පහලවූ විපස්සී නම් පසේ බුදුන්ට සඳුන් සුවඳ පූජාවක් කොට මතු බුදුකෙනෙකුන්ට මව්වන්නෙමියි කරන ලද ප්‍රාත්‍ර්‍ථනාව ඇත්තී එයින් චුතව දෙව් මිනිස් දෙගතියෙහි සැරිසරා හැසිරෙමින් අවුත් පසු කලෙක සක්දෙව් රජහට අග්‍රමහෙෂිකාව උපන්නී ඉන් චුතව අවුත් මධුරට ක්‍ෂත්‍රිය කුලයෙක ඉතා රූපත්ව ඉපිද සඤ්ජය කුමරුහට අගමෙහෙසුන් වූවාය.

මෙසේ ඒ දෙදෙනා සුවසේ වසන සමයෙහි පිරූ පාරමිතා ඇති ලොවට ඇසක් වැනිවූ මතුබුදු වන මහතාණෝ දෙව්ලොවින් සැව අවුත් ඈ කුස පිළිසිඳගත් කෙනෙහිම සැට දහසක් පමණ කුමාරයෝ ඒ ඒ අමාත්‍යයන්ගේ ගෙවල ස්ත්‍රීන් කුස පිළිසිඳ ගත්හ. ඔවුන් පිළිසිඳගත් කෙනෙහිම දේවියට “දවස සලක්‍ෂයක් ධන වියදම්කොට සදන්හල කරවා දිළිඳු යාචකාදීන්ට දන්දෙනසේ දොළ උපන”. බෝසතාණන් මව්කුස පිළිසිඳ ගත් දවස පටන් දඹදිව නොයෙක් රජදරුවන් එවන රන් රුවන් ආදීවූ නොයෙක් පඬුරෙන් අතුරු නැතිවිය. සඳමහ රජාණෝ බිසවගේ දොළ අසා නුවර සඳන්හල් කරවා දේවීන් දොළ නිවා යාචකයන් සිත් නිවා දන් දෙන කල්හි ක්‍රමයෙන් දසමන් පිරුනේය. එසඳ නුවර පැදකුණු කරන්නට දේවීන්ට සිතක් උපන. සඳමහ රජාණෝ එපවත් අසා අමාත්‍යයන් කැඳවා නුවර දෙව්පුරයක් සේ සරසවා මනහර රථයක් ගෙන්වා බිසවුන් එහි වඩා හිඳුවා මහත්වූ පෙළහරින් රාජවීථියට බැස ගමන් ගත්හ. බිසවුන් නුවර පැදකුණු කරවමින් ව්‍යාපාර වීථියට වන් සඳ බිසවුන්ට විලි පහරනට පටන්ගත. එපවත් ඇසූ සඳමහ රජාණෝ එකෙනෙහි විසිතුරු මණ්ඩපයක් කරවා වටතිර බඳවා රැකවල් ලැවූ කල්හි ලොවට ඇසක් වැනිවූ යාචකයන්ට ධන රාශියක් බඳුවූ පිරූ පාරමිතා ඇති අප මහබෝසතාණෝ මව්කුසින් බිහිවත්ම අත දිගුකරමින් මෑණියන් වහන්ස, දන්දෙන්ට සුදුස්සක් ඇද්දැයි කීහ. එබස් ඇසූ මෑණියෝ දහසින් බැඳි පියල්ලක් මහාබෝසතාණන් දික්කල අත තබාලූහ. එදිනම ඔවුන් පූර්‍වයෙහි කළාවූ කුසල බලයෙන් රිදී පර්‍වතයක්සේ අතිධවලවූ පණ්ඩරනම් මඟුලැත් පොවුවකු දෙවියෝ තමන්ගේ ආනුභාවයෙන් ඇත්හල ලාගියහ. පිය මහරජාණෝ පුතනුවන්ට නම් තබන්නාහු බමුණන් ගෙන්වා ව්‍යාපාර වීථියෙහි උපන් හෙයින් වෙස්සන්තර කුමාරයෝයයි නම් තැබූහ. ඉක්බිති රජ්ජුරුවෝ එකදා උපන් කුමරුවරු සැට දහසක් දෙන ගෙන්වා පුතණුවන්ට පිරිවර කොට පාවා දුන්හ. සූසැටක් කිරිමව්වරු තෝරා ගෙන උන්ට සම්පත් දුන්හ. මහබෝසතාණෝ එක් හැවිරිදි කල්හි තමන් පළඳවාලූ ලක්‍ෂයක් වටිනා ආභරණ කිරිමව්වරුන්ට දන් දුන්හ. පියමහ රජාණෝ තමන් පැළඳවූ පළඳනා දන්දුන් බව අසා සතුටුව මාහැඟි පළඳනා යවා පළඳවති. මහබෝසතාණෝ තමන් පැළඳවූ පළඳනා දන් ගන්නා සිඟන්නන් නැත්තෙන් තව වාරයක් කිරිමව්වරුන්ටම දන් දුන්නාහ

මෙසේ ළඳ බොළඳව සිට දන්දීම කෙළිකොට සිතා දන් දෙන්නාහු අටහැවිරිදි කල වෙසතුරු කුමාරයෝ ශ්‍රීයහන් මස්තකයෙහි පලක් බැඳගෙන හිඳ සිතන සේක් මම දාන ක්‍රියාවෙහි සුව නොවිඳ බොහෝ කලක් ඉක්ම ගියේය. ඒ දැන් අට අවුරුද්දෙක ඉඳින් යාචකයෝ පැමිණ මගේ ඉස්මස් ලේ ඉල්ලුනම් දෙමියි මෙසේ සිතත් සිතත්ම දෙලක්‍ෂසතළිස් දහසක් යොදුන් ඝණකඩ බොල් මහපොළව අනෙක ගර්ජනා කරමින් සතුටුව නටන්නට වන. එක්ලක්‍ෂ අටසැට දහසකයොදුන් උස ඇති මහමේරු පර්වතයද ඒ මහතාණන්ගේ දානචේතනා බලයෙන් නටන්නට වන. සප්තකූඨ පර්වතයෝ ගැසෙන්නටවන. මෙසේ මහපොළව ගුගුරුවා දන් දෙන්නාවූ මහතාණෝ ක්‍රමයෙන් වැඩී සොළොස් හැවිරිදි වයසට පැමිණ සුසැට ශිල්පයෙහි හා අෂ්ටාදස විද්‍යාවෙහි නිපුණවූහ.

එසමයෙහි පියමහ රජාණෝ මාගේ පුතණුවන්ගේ රාජශ්‍රිය මා ඇස් හමුවෙහි දකිමියි සිතා චෙතිය රට රජ්ජුරුවන්ගේ දූවූ මද්‍රිදේවීන් ගෙන්වා මඟුල් පෙළහරින් මහ බෝසතාණන්ට පාවාදී රාජ්‍යශ්‍රීයට පත්කළහ. මෙසේ අනේකප්‍රකාරයෙන් දන් දෙමින් ප්‍රීතියෙන් වසන මහ බෝසතාණන්ට ටික කලකින් පුතණු කෙනෙකුන් හා දියණි කෙනෙකුන් ලදින් පුතණුවන්ට ජාලීය කුමාරයෝද දියණියන්ට කෘෂ්ණ ජිනාවෝ යයිද නම්තබා සුවයෙන් වසන කල්හි කලිඟුරට වැසි නැතිව දුර්භික්‍ෂයක් ඇතිවිය. එරට මනුෂ්‍යයෝ ජීවත් වන්නට නොහැක්කාවූ සොරකම් කරන්නට පටන්ගත්තාහුය. එයින් පීඩිතවූ දනව් වැස්සෝ රාජාංගනයෙහි රැස්ව මහත් වූ ශබ්ද පැවැත්වූවාහුය.

ඉක්බිති රජ්ජුරුවෝ ඔවුන් අමතා දරුවෙනි මම පෙහෙවස් වැස සීල සම්පන්නවද වැසි වස්වන්නට නොහැකිවිය. දැන් කුමක් කරමෝදැයි ඇසූහ. ඇමැත්තෝ කියන්නාහු ඉල්ලූ දෙයක් නැතැයි නොකියා දන්දෙන්නෝ වෙස්සන්තර රජ්ජුරුවෝය. උන්ට දෙවියන් විසින් දෙනලද සෙවතමය පණ්ඩර නම් වැසි වස්වා පියන තරම් මහානුභාව ඇති හැළි ඇතෙක් ඇත. ඒ ඇතු ගෙනාවොත් අපගේ රට වැසි වැස දුර්භික්ෂ භය සන්සිඳෙති. එසඳ රජ්ජුරුවෝ බමුණන් අට දෙනෙකු ගෙන්වා ඇතු ඉල්ලාගෙන එවයි සිවිරටට පිටත් කර යැවූහ.

වෙසතුරු මහරජාණෝ එදවස් පෝය දන්දෙන්ට සතර දන්හල් විචාරන්ට යන්නාහු ශක්‍රදෙවේන්ද්‍ර ලීලාවෙන් සැරසී සත්රුවණින් හෙබවූ ආභරණ වලින් සැරසූ ඇතුපිට නැගී සිවුරඟ සෙනඟ පිරිවරා ශක්‍ර දේවේන්ද්‍ර ලීලාවෙන් නැගෙනහිර දිශාවෙහි දන්හලට යන රජ්ජුරුවන්ව දුටු බමුණෝ අටදෙන අත්නගා සිට “ජයතු භවං වෙස්සන්තර මහාරාජ” යි ආශීර්වාද කොට සිටියහ. රජ්ජුරුවෝ මේ බමුණෝ මද දෙයක් නොඉල්වතියි ඇතු ආසන්න කොට බමුණනි, තොප කැමැත්තක් ගනුවයි කීහ. එවිට බමුණෝ කියන්නාහු රජ්ජුරුවෙනි, තොප නැගී තෙලෙ ඇතු අපට දන් දෙවයි කීහ. බමුණෙනි, මාගේ ශරීරයෙන් භාගයක් නොඉල්වා ඇස්දෙක දෙවයි නොකියා ඇතුම ඉල්වතියි මඳක් දොම්නස්ව යහපත බමුණෙනි තොප කැමති ඇතු තොපටම දන් දෙම්හයි සොම්නසින් පින පිනා නැවතත් ඇතු සරසවන්නේ සූවිසි ලක්‍ෂයක් වටිනා ආභරණ අඳවන්නට විධානය කෙළේය. පිට මැණිකය. මුදුනෙහි මැණිකය. මුතුහරයෙහි මැණිකය. අකුස්සෙහි මැණිකය. කණ්ඨය වෙළන මුතුහරෙහි මැණිකය. ඇත් කුඹෙහි මැණිකය. යන මේ මැණික් සයෙහි අගයක් නැත්තේය. මහානර්‍ඝය. මෙසේ ඇතු සරසවා ඇත් වෙදුන් ප්‍රධාන පන්සියයක් කුලවාසීන්ද ඇතුව රුවන් කෙණ්ඩියෙන් අත පැන් වත්කොට ඒකාන්තයෙන් ලොව්තුරා බුදුවෙම්වායි කියා ඇතු දන්දුන්හ. ඒ මහතාණන් ඇතු දන්දෙත්ම මහමෙර නැමී නමස්කාර කෙළේය. මහපොළව සතුටුව ගුගුලේය.

ඉක්බිති ඒ බමුණෝ දකුණු දොරදී ඇතු ලදින් ඇතුපිට නැගී රාජ වීථියට බටහ. ඒ දුටු නුවර වාසීහු එම්බා බ්‍රාහ්මණයෙනි, අපගේ ඇතු නැගී තෙපි කොයි ගෙනයව්දැයි කීවාහුය. බමුණෝ කියන්නාහු වෙස්සන්තර රජු විසින් අපට ඇතු දෙන ලද්දේය. තෙපි කවරහුද? කෙසේ වලකව්දැයි උසුළු විසුළු කොට බැණ නැගී ගියහ. එකල රජ බමුණු වෙළඳ ගොවි ආදීන් හා සෙනෙවිරත් ඈපා මාපා ආදී පඤ්ච ප්‍රධාන මාණ්ඩලික ජනයෝද මුළු මුළුව ගෙන දත්කමින් සියලු නුවර ඇලලී ගොස් කිපී සඳමහ රජාණන් කරා ගොස් හඬා වැලපී ස්වාමීනී දෙවියන් විසින් මිනිස් ලොවට දුන්නාවූ හස්ති ශ්‍රීයෙන් දිලිසෙන අපගේ ඇත්රුවන නුඹගේ පුතණුවෝ කලිඟුරටින් ආ බමුණන්ට දන් දෙමින් අප නෑසූ සේක. අනේ ස්වාමීනි, ශ්‍රද්ධාව ඇතිනම් ඇතුනොදී රන්රුවන් දී පිය නොහැකිද? මේසා දුර්ලභවූ මුළු ලොවට වැඩ සදාලන ඇතු දන් දුන්නේ කුමටදැයි කියකියා හඬන්නට පටන් ගත්තාහුය.

එකල සඳමහ රජාණෝ නුවර වාසීන්ගේ රැහැනි බලවත. කළමනා කිම්දෝහෝයි සිතා බාලයන් විසින් නොකළමනාදෑ කළ කල උන්ට තොප කැමති දඬුවමක් කරන්න මෝවේදැයි කීහ. එවිට නගරවාසීහු කියන්නා වෙස්සන්තර රජ්ජුරුවන් දඟගෙයි ලතත් නොපිළිවන. දිවිගනුත් නොපිළිවන. අපගේ රට හිඳ අප නැසූ තැනැත්තන් රටින් දුරුකොට වංකගිරිනම් පර්වතයට යවන්නා කැමැත්තම්හ. අදම යැව්ව මැනවයි කීහ. එසඳ රජමහ රජාණෝ දැන් මුන්ගේ කීමට එකඟව පසුව සුදුස්සක් කරම්හයි සිතා මහජනයාට කියන්නාහු අඹුදරුවන්ට සමුදී සෙට යන පරිද්දෙන් අවකාශ දෙවයි කීහ. එ ඇසූ නගර වාසීහු ස්වාමීනි, ඔබ වහන්සේට හැගුනක් කළමැනවයි වැඳ සමුගෙන ගියහ. එසඳ මහ රජාණෝ මහත් ශෝකීව නුවර වාසීන් කිපුණ බව කන්තා නම් ඇමති අත පුතණුවන්ට කියා යැවූහ. ඒ ඇමති ගොස් ඇතු දන්දුන් සොම්නසින් පින පිනා සිටින වෙසතුරු රජ්ජුරුවන් වැඳ පියරජ්ජුරුවන් දන්වා එවු හසුන කියන්නට භයව ශ්‍රීපාදය වැඳ හඬ හඬා සිටියේය. බෝධිසත්වයෝ ඔහු අත අල්වා නගා සිටුවා තෝනොබා කියවයි වදාළහ. ඇමති තෙමේ කියන්නේ ස්වාමීනි, ඔබ වහන්සේ ඇළි ඇතු දුන් වරදට මේ නුවරින් පහකොට සෙට වංකගිරි පර්වතයට යවන්නට සම්මත කළහයි කීහ.

එබස් අසා වෙස්සන්තර රජ්ජුරුවෝ සිනහ පහළකොට වදාරන්නාහු මා අතින් ඇස් ඉස් මස් ලේ ඉල්වූ නම් ඒ සියල්ල දෙමි. බාහිරවූ ඇතු දන්දුන්හයි වරද කොට සිවිරට වාසීහු රැහැනිවූ නම් මැනව. මා දෙන දන් නොනවත්වමි. සසර වසන්නවුන්ට දානඵල සුවමිස අනික් සුවයෙක් නම්නැත. පින් නොකටයුතුයයි නගර වාසීහු කියත්නම් වන වාසයට යන බව ඉතා සිත්කළුය. මා කිසිවකු සමඟද කලකිරීමෙක් නොවෙමියි වඳාරා කන්තා නම් ඇමතිය අසව, එකක් කියමි. පියාණන්ට දන්වා නුවර වාසීන් කැමතිනම් සෙට සප්ත සතක මහ දනක්දී පියා වනයට යනු කැමැත්තෙමි. එපවත් පියාණන්ට කියවයි නියමකොට යවා ලඟ සිටි සෙනෙවි රඳුන් කැඳවා කියන්නාහු ඇත්, අස්, ස්ත්‍රී, දැසිදස් ආදී සියල්ලෙන් සත් සියය බැගින්ද නානා ප්‍රකාරවූ ආහාර පානාදියද යන සියල්ල පිළියෙල කරවයි අමාත්‍යයන්ට විධාන කොට හුනස්නෙන් නැගී මද්‍රිදේවින් උන් බිසෝ ගෙට ගොස් බිසව අමතා බිසවුනිෟ මා විසින් දුන්නාවුද දෙමව්පියන්ගෙන් ගෙනාවාවුද රන් රිදී මුතු මැණික් ආදී සියලු ධනය නිධාන් කොට තබවයි කීහ. බිසව කියන්නී ස්වාමීනි, ඔබ වහන්සෙපෙර දන් දෙන්නට කියන බව මුත් තියන්නට නොකියන සේක. දැන් කුමක් සඳහා මෙසේ කී සේක්දැයි පිළිවිස්සාහ. සොඳුර නගා තිබීම නම් දන් දීමය. දන්දෙන්නාහු විළිකුන් ඵලය වැළඳගත් දිමියන් වැන්නාහ. තුමූද නොකති. අනුන්ටද නොදෙති. එසේ වූවාහු පරලොවට වස්තු නගා නොතබන්නාහු වෙති. එසේ හෙයින් නිධන් කොට තබවයි කීයේ නම් දන් දෙනු සඳහාමය. එවිට බිසව ස්වාමීනි, ඔබ වහන්සේ නිතර දන් දීමෙහි සිත් ඇතිබව නොදන්නා සේක්ද? දැන් අමුතුව මෙවැනි බසක් කියන්නට කාරණා කිම්දැයි කීහ.

එකල්හි වෙසතුරු රජ්ජුරුවෝ, සොඳුර, අප ඇතු දන් දුන්හයි නගර වැස්සෝ කිපී අපට මෙහි ඉන්ට නොදී වංකගිරි පර්වතයට යන්ට සම්මත කළහ. එසේ හෙයින් අප වනයට යම්හ. මම නැතැයි සෝකයෙන් නොතැවී දරු දෙදෙනා කෙරෙහි දයා ඇතිව වසව. අපගිය කල තොප රක්ෂා කරන ස්වාමී කෙනෙකුන් ඇත. උන්ට කීකරුව අත්පා මෙහෙකරව’යි කීහ. රජ්ජුරුවන් වහන්සේ මෙසේ කියත්ම රූපශ්‍රීන් සියළු ස්ත්‍රීන් කෙරෙහි අග්‍රවූ මද්‍රි බිසව ලෙන් නැගි සෝකයෙන් යුතුව රන් ලියක් සේ වැලපෙමින් ලය අල්වාගෙන ස්වාමීනි, මේ කුමන බසෙක්ද? නුඹ වහන්සේගෙන් වියෝව ජීවත්වීමට වඩා අප දෙදෙන එක්ව මියයාම උතුමි. ඔබ වහන්සේගෙන් වෙන්ව කුමක් සඳහා මෙහි වසමෝ ද? මාගේ දරුවන් වඩාගෙන නුඹට පළමුකොට මා වලට යන නියාව නොදන්නේද ස්වාමීනි, උතුම් දාන ක්‍රියාවට විරුද්ධ වූ නගර වාසීන්ගේ සිත් ගන්ට නොපිළිවන. ඔබ වහන්සේ වනයෙහි වැඬහිදීම මැනවයි බිසවුන් හිමවත වසන කෙනෙකු මෙන් හිමාලය වර්ණනා කරන්නාහු එහි මල්පිපී වැගිරී ගියකල රමනීය මල් යහන් මැද මුළු බැඳ සිටිනා මුව පොව්වන් දක්නා අපට රාජ්‍යශ්‍රී සිහි නොවෙයි. ඒ ඒ තන්හි සෙබඩන් මැද බැස නැටුම්ගත් මත් මොනරුන් අතින් රාජ්‍යය සඳහන් නොවෙයි. පිපී සිටි සල් සපු නා පනා සසල අගරු ආදී නා නා පුෂ්පිත පුෂ්ඵයන්ගෙන් හෙබි වෘක්‍ෂ ලතාදියෙන් යුත් වන ලැගුම් සහ රිදී රේඛාවන් බඳු ඇද හැලෙනා දියදහරා දකිනා අපට කවරනම් දුකක් සිහිවේද ස්වාමීනි, ඔබ වහන්සේ පන්සල් හි වඩා හිඳුවා වනමුල් ඵලා ඵල කඩාගෙන ඊම මට භාරය යනාදීන් කීහ.

එකල්හි ඵුසති දේවිය පුත්‍රයාගේ මේ කටුකවූ අස්න අසා පුතණුවන් කෙරෙහි හටගත් සෝකයෙන් හඬමින් කියන්නාහු ගලින් පැන මියෙම්මය. දිව ඇද කා මියෙම්මය. වසකා මියෙම්මය. ගිනි වැද මියෙම්මය. මද වරදකුත් නැති මාගේ පුතණුවන් දන් දුන් දෝෂයට වනයට යවත්නම් මහරජ, තොපගේ මේ නුවර විනාශ වී යන්නේය. තොපි මපුතණුවන් නොසැලකූ නම් මා දිවි නොතිබෙයි. කියා හඬන බිසවුන් දැක සඳමහ රජාණෝ ශෝකයට පත්ව නගර වාසීන්ගේ ක්‍රොධ බලවත් හෙයින් තෙපි ශෝක නොකරව. මපුතණුවන් වනාන්තරයට යවමි. නොබෝ දවසකින් වනයට යැවූ මපුතණුවන් නගර වාසීන් ලවාම ගෙන්වා ගනිමියි කියා ශෝක සංසිඳවූහ.

වෙස්සන්තර මහබෝසතානෝ ඉතා සොම්නසින් එදා රාත්‍රීය ගෙවා දෙවන දවස් සියළු යාචකයන් රජගෙයි මිදුලේ රැස්කරවා මනා කොට සරසන ලද සත් සියයක් ඇතුන්ද සත් සියයක් අසුන්ද මේ ආදී වශයෙන් සියලු දෙයින්ම සත්සියය බැගින් තබ්බවා දොරවල් හරවා තොපකැමති තරමක් වස්තු ගනුවයි නියෝග කළහ. යාචකයෝද පියුම් වනයකට වදනා බඹර කැලක් සේ රන් රිදී මුතු මැණික් ආදී වස්තුව කැමති කැමති සේ උකාගෙන යන්ට ගියහ. සමහරු පටකඩ සළු පිළි සම් වඩම් ගෙන යන්නෝ සිය දහස් ගණන් පාදාංගලි කන්අගා මිණි ඔටුණු ආදී සියළු දේද යාචකයන්ට දුන්හ.

මෙසේ මහබෝසතාණන් වහන්සේ සප්ත සතක මහ දන් දුන් කෙනෙහිම මහ පොළව කම්පාවිය. මේරු පර්වතය නටන්නටවන. සප්තකූල පර්වතයෝද හුයාපිවේය. ගබඩක්සේ නැමී වැඳුම් ගත්හ. මද්‍රි දේවියද තමාගේ පළඳනා ධන ධාන්‍ය සියලු යාචකයන්ට දන්දුන්හ. එදවස දන් දුන් හෙයින් යා නොහී දෙවන දවස් වෙස්සන්තර රජ්ජුරුවෝ අඹු දරුවන් කැඳවා ගෙන මව්පියන් සමීපයට ගොස් වැඳ සිටියාහ. එවිට මෑණියෝ මද්‍රි දේවින්ට කියන්නාහු යෙහෙළණියෙනි, දන් දුන් දෝෂයට මපුතුන් වනයට යාදෙව, තෙපි නොයව වනයෙහි දුක් බොහෝය. එහිදී දරුවන් රක්ෂා කිරීම ඉතාම දුෂ්කරයයි කීහ. මද්‍රිදේවී කියන්නේ මාගේ ස්වාමීන් හා වසන කල මෙහි සිටීමට වඩා ඉතා පහසුයයි කීවාය.

එසඳ බෝසතාණෝ මද්‍රිදේවී මුහුණ බලා සොඳුර වල වසන කල මහත් භය ඇත. දාර පිඹුරන් තම දරණින් යොදුන් වල්වට කොට ගෙන තමන් මුවට හසුවූ සිංහ ව්‍යාඝ්‍රයන් ඇතුන් දක්වා අල්වාගෙන ගැල පියති. තවද සොඳුර නාද කරන සිංහයන්ගේ හඬින් කන් පැලී යන්නා වැන්න. ව්‍යාඝ්‍රයන්ගේ ගර්ජනාවෙන් ලය පැලී යන්නා වැන්න. ඒ වනයෙහි යක්ෂ, රාක්ෂ, භූත ප්‍රේතයන්ගේ භය ඇත. සියළු ශරීරයෙහි ඇට දක්වා බිඳ ලේ බොන මදුරුවෝ ඉතා බොහෝය. බොහෝ කොට කීමෙන් කිම්ද එහි ස්ත්‍රී වාසයට බැරිමයයි කීවාහ. එබසට මද්‍රී දේවිය කියන්නී ස්වාමීනි වඳාළ හැම දුකක්ම ඉවසමි. ඔබ වහන්සේ නොදැක නොයිදිමියි කීහ. දරු දෙදෙනා මා නොදැක නොඉදිති කීවාය. සොළොස් දහසක් පුරඟනෝද නගර වාසිහුද හඬා වැතිර ගියහ. එකල්හි ඇමැත්තෝ මනහර රථයක් සාදා ගෙනවුත් ගමනට කල්බව දැන්වූහ. එසඳ මද්‍රිදේවිය සමනන්ට පළමු කොට දියණියන් වඩාගෙන පුතණුවන් ඇඟිල්ල අල්ලාගෙන පලා ගොස් රථයට පැනනැංගාය. ඉක්බිති බෝධිසත්වයෝ දෙමව්පියන් වැඳ සමුගෙන පුර ස්ත්‍රීන්ට සමුදී ජන සමූහයාට අවවාදදී තමන් දුන් දන්හි පින් අනුමෝදන් කරවමින් මහ ජනයා හඬ හඬා සිටියදී රථය පැදගෙන රාජ වීථියට නික්මුණාහු ආ ආ වුන්ට පින්දී අප්‍රමාදව මෛත්‍රී පෙරටුව පින්කරන ලෙස ප්‍රිය තෙපුලෙන් අවවාද කොට නුවරින් පිටත්ව උතුරු දික් බලා වඩන්ට පටන්ගත්හ. මෙසේ වඩනා බුද්ධාංකුර වූ මහතාණන් නුවර පෙරලා බලමියි සිතා මොහොතින් රථයක් ප්‍රමාණ නැත. පොළොව බිඳී පෙරළා රථය නුවර දිසාවට නමාලීය. එවිට බෝධිසත්වයෝ තමන් දෙමව්පියන්ගේ ප්‍රාසාදාදි පුර සම්පත් බලා සතුටුව නැවත වඩනා කල්හි බෝධිසත්වයන්ගේ මෑණියෝ සිතන්නාහු මපුතණුවෝ වොටුණු මාලාදි රාජාභරණ හා ධන ධාන්‍යාදිය අටළොස් වරෙක දන් දුන්හ. දැන් වනයට යන්නාහ. ඒ යන ගමනේ දන් දෙත්වායි සිතා වස්ත්‍රාභරණයෙන් හා සත් රුවණින් දහසක් ගැල් පුරවා යැවූහ. මෑණියන් එවූ වස්තුව බලා සතුටුව රථය සිඟන්නන් කරා පදවා වස්තුව ඔවුන්ට දී වනාන්තරයට නික්මුණාහ. එකල්හි බමුණෝ සතර දෙනෙක් පැමිණ වෙස්සන්තර රජ්ජුරුවෝ කොයිදැයි විමසා වංකගිරියට වැඩිය බව අසා රැහැනිව අතසලා “යනකල ගෙනගිය දෙයක් ඇද්දැයි” විචාරා වහා දිව ගොස් මග වඬිනා බෝධිසත්වයන් දැක රජ්ජුරුවෙනි යි හඩනගා කෑ ගසා රථය නැවැත්වූ කල්හි එහි ලඟාවී රජතුමණි, දන් පිණිස යමක් ලබාගන්ට පැමිණියෙමි. තෙල රථය අදනා අශ්වයන් අපට දුනමැනවයි ඉල්වූහ. බෝධිසත්වයෝ ඉතා සතුටුව රථයෙන් බැස සෛන්‍ධවයන් සතර දෙන බමුණන්ට දන්දුන් කල්හි හිස්වූ රථය අහසෙහි සිටියේය. ශක්‍ර දේවේන්ද්‍ර තෙම ඒ දැක දිව්‍ය පුත්‍රයන් සතර දෙනෙකු කැඳවා කියන්නේ වෙස්සන්තර රජ්ජුරුවෝ තපසට යන්නෝ රථාශ්වයන් බමුණන්ට දන්දී පයින් වඩිති. තොප ගොස් රථය අදුවයි නියෝග කළේය. දිව්‍යපුත්‍රයෝ සතරදෙන රොහිත මෘග වෙස් මවා ගෙන රථයෙහි යෙදී රථය අදනා කල්හි අනික් බමුණෙක් පෙරසේම අවුත් රජ්ජුරුවෙනි, සිටුවයි හඬගා වහා එහි ලඟාවී “මම ඉතා වෘද්ධයෙමි, රෝගියෙමි, ගමන් විඩායෙන් මිරිකෙමි. තෙල රථය දෙවයි” කියා රජහට ආශීර්වාද කළේය. බෝධිසත්වයෝ සතුටුව අඹුදරුවන් රථයෙන් බස්සා බමුණාට රථය දුන්හ. බිසවුන් පයින් යා නොහෙති. දරුවෝද යා නොහෙති. නොසිතා එදා ඒ මහතාණෝ රථය දන් දෙත්ම එහි යෙදී සිටි දෙවියෝ අන්තර්ධාන වූහ.

ඉක්බිති දේවිය කෘෂ්ණජිනාවන්ද වෙස්සන්තර රජ්ජුරුවෝ ජාලිය කුමාරයන්වද වඩා ගෙන කටුපහරණ ගල් බොරළු මඩිමින් ඇල දොල මැද නාමින් ලිය මලුයෙහි සිසිල් සෙවන සැතපෙමින් දුන් දන් සිහිකරමින් සතුටුව දුටු දුටුවන් කොයි යව්දැයි විචාළකල වංකගිරියට කියමින් ඔවුන්ටද අවවාද කරමින් වඩිති. මග දෙපස සිටි අඹ දඹ ජම්බෝල නා පනා නාරං ආදී ඵලාපල දරුවෝ දැක ඇවිටිලිව දෙඅත් ඔසවා අම්ම පියාණෙනි කිය කියා හඬමින් යෙති. බෝධිසත්වයන්ගේ ආනුභාවයෙන් වෘක්ෂයෝ තුමූම නැමී පලාපල දරුවන් අත තබයි. බෝසතාණෝ දේවතානුභාවයෙන් තිස්යොදුන් මග ගෙවා එක දවසින් ගොස් චෙතිය නගර ශාලාවට වන්හ. මද්‍රිදේවිය ශාලාව ඇමද බෝධිසත්වයන්ට ඉඳිනා අසුන් පනවා දරුදෙදෙනා සමඟ රජ්ජුරුවන්ට සහ නුවර වාසීන්ට පෙනෙන පරිද්දෙන් සිටියාහ. එසේ ඉන්ට කාරණා කිම්ද යත්? වෙස්සන්තර රජ්ජුරුවෝ තමන්ගේ නුවරට ආ හෙයින් අපහැර ගියාදෝහෝයි සිතුවහොත් අයහපතැයි සිතා එසේකළහ.
එසේ සිටියාවූ බිසවුන් දුටු මග යන එන්නෝ චෙතිය රජ්ජුරුවන්ට කියා යැවූහ. එවිට චේතිය රජ්ජුරුවන් ඇතුළු වූ සැට දහසක් රජවරු අවුත් බෝධිසත්වයන් පාපිට හඬා වැටෙමින් කිම්ද මහරජ ඔබට ලෙඩදුක් නැද්ද නුවර වාසීන්ට පීඩා නැද්ද මෙනම් කුමන විෂ්මයක්ද කවර නම් විපත්තියක් දැයි විමසා අලි ඇතු දන්දීම නිසා මෙසේ රටින් පිටවීමට සිදුවූහයි සියළු තොරතුරු බෝධිසත්වයන් වහන්සේ පැවසූ පසු අපගේ රට රාජ්‍ය කළ මැනවයි තමන්ගේ රාජ්‍යයට ආරාධනා කළහ. එකල්හි බෝධිසත්තවයෝ කියන්නාහු තොපට රාජ්‍යය නොකරමි. අපි නෙරපූ රජ්ජුරුවන් නවත්වාගෙන රාජ්‍යය කරවතියි සිවිරට වාසීහු තොපකෙරෙහි වෛරව උනුනුන් යුධකොට විරොධ වෙයි. එබැවින් එසේ නොකරමි. වංකගිරියටම යමියි කීහ. එසේනම් රජගෙට වැඩිය මැනවයි ආරාධනා කළවිට බෝසතාණෝ නොයම්හයි කී හෙයින් ඒ ශාලාවම දිව්‍ය විමානයක් මෙන් සරසා සැට දහසක් රජදරුවෝ ශාලාව වටකොට රැකවල් ගත්හ. බෝධිසත්වයන් සුවඳ පැනින් නාවා සළු හඳවා රස භොජන වළඳවා සතුටු කළහ. බෝසතාණෝ දෙවන දවස් වංකගිරියට යම්හයි කීසඳ වල්ගස්වා මග එළිකරන තෙක් වැඩ හුන මැනවයි වලකා සත්දවසක් එහි රඳවා ගත්හ. මග එළිකල කල බෝධිසත්වයෝ අඹුදරුවන් සමඟ නික්මුණාහ.

චේතියන් රජ්ජුරුවන් සැට දහසක් රජදරුවෝ පසු ගමන් කොට පහළොස් යොදුනක් ඉදිරියෙහි තිබියදී මහවනය සමීපයේ සේනාපතියෙකු රැකවල්ලවා දකුණත ඔසවා මග කියන්නාහු ස්වාමීනී මෙතැන සිට ඉදුරා දකුණු දික් බලා ගියකල නිල් වලාකුලක් මෙන් පෙනෙන්නේ විපුල නම් පර්වතයයි. එහි සිට බැලූකල ගන්‍දමාදන පර්වතය පෙනෙන්නේය. ඒ පර්වතය නොයෙක් වෘක්‍ෂයෙන් ප්‍රතිමණ්ඩිතය. එහි සැතපී ශරීර ක්ලාන්ත නිවාගෙන ඉන් ඔබ්බට වැඩිකල ඛෙතුමතී නම් මහා ගඟෙක් ඇත. එහි ඇති වැද්දාගේ සහායයෙන් ඒ ගඟින් එතරව ඔහුට රන් ඔටුන්න තද තද කරන ලක්‍ෂයක් වටිනා රන් ඉද්ද දෙවා ඉන් ඔබ්බට වැඩිකල මැණිකක් කරන ලක්‍ෂයක් වටිනා රන් ඉද්ද දෙවා ඉන් ඔබ්බට වැඩිකල මැණිකක් සේ බබලන සානු නම් පර්‍වතයෙක් ඇත. ඒ අසල ඇති නුග ගසෙහිවූ මධුර පල අනුභව කොට එහි සැතපී සිට ඉන් ඔබ්බට වැඩිකල නිල්වූ මහත් ඊතණ වනයය. ඒ ගෙවා වඩනේ මුචලින්‍ද නම් විල්තෙරින් එතරව ඊසාන දෙසට පැමිණ ඒකපදික මාර්ගයෙන් ගොස් වන ලැහැබට ලඟාවූ කල පස්පියුමෙන් හා වැල්ලෙන් ගැවසීගත් හතරැස් පොකුණක් ඇත. එයින් දකුණු දිග බලා ගියකල නොයෙක් පලාඵලයෙන් ගැවසීගත් අවංකවූ වංකගිරි පර්වතය පෙනෙයි. එහි පන්සල් කොට ගෙන ධ්‍යාන සුවයෙන් දවස් යවමින් අඹු දරුවන් සමඟ වාසය කරවයි කියා නැවත සැට දහසක් රජදරුවෝ බෝධිසත්‍වයන් වැඳ සමුගෙන පෙරළා තම නුවර වලටම ගියහ.

එදවස් ශක්‍රදේවේන්‍ද්‍රතෙමේ මිනිස් ලොව බලන්නේ අප මහබෝසතාණන් වහන්සේ තපස් රකින්නට වංකගිරි පර්වතයට ගොස් පන්සල් දෙකක් සහ සක්මන් මළු දෙකක්ද තවුස් පිරිකරද සූදානම් කොට “තපස් රකින්නවුන්ට කැපයයි” බිත්තියේ අකුරු ලියා එතැන් සිට තිස්ගව්වක් වනයේ වග වලසුන් සිංහ ව්‍යාඝ්‍රයන් ආදී සිව්පාවුන්ද යක් බූ පිසසුන් හා භයානක ශබ්ද ඇති මෘග පක්‍ෂීන්ද පලවා හැර එවයි නියෝග කළේය. ඒ විස්කම් දෙව්පුත් සක්දෙව් රජහුගේ නියෝගය පරිද්දෙන් එකී සියල්ල නිර්මිත කොට තබා දෙව්ලොවටම ගියේය.

බෝධිසත්වයෝ කී සලකුණු අනුව මග ගෙවා ගොස් සතරැස් පොකුණුතෙර බිසව නතරකොට විශ්මකර්‍මයා මැවූ පන්සල් දැක ශක්‍රයා අප ආ බව දන්නේ වනැයි සිතා එහි වැද රාජාභරණ ගලවා තබා අඳුම් දිවිසම් පොරවාගෙන ජටාමඬුලු බැඳ සැරයටිය අතින් ගෙන සක්මන් මළුයෙහි සක්මන් කරමින් සිටියාහ. මද්‍රිදේවි බෝධිසත්වයන් නැවත එහි නොපැමිණි හෙයින් වහා පන්සල සමීපයට ගොස් තපෝ විලාසයෙන් සිටි සමණන් දැක ලය පැලීයන තරම් ශෝකයෙන් හඬා බිම වැටී ස්වාමීනී ඔබ සඳමහා රාජ පුත් වෙස්සන්තර රජ්ජුරුවෝයයි කට කට ඔබගේ රූපශ්‍රීය කියනු ඇසීමි. මාගේ ඇසින්ද ඔබගේ රූපශ්‍රීය දිටිමි. දැන් ඊට විරුද්ධ වූ තවුස් වේශයක් දකිමි. පෙර රජ්ජුරුවෝ යයි ප්‍රසිද්ධව දැන් තවුස්වීයයි යන නම්විය. පෙර පැළදි රාජාභරණ සියල්ලක් නැත මමද ඔබසේම තවුස් වෙස් ගනිමැයි දරුදෙදෙනා සමඟ අනික් පන්සලට වැද ආභරණ සළුපිලි ගලවා තබා අඳුම් දිවිසම් රිටි සුඹුළු වල්කලා ජටා මඬුළු ධරව දරු දෙදෙනාටද එසේ හඳවාගෙන බෝසතුන් කරාගොස් වැඳ නැගීසිට වහන්ස, ඔබ අතින් මා වරයක් ඉල්ලමියි වර ඉල්ලන්නී මම පලාඵල ගෙනෙන්නටයමි. ඒ පෙරවරු කාලයෙහි ඔබ වහන්සේ දරු දෙදෙන රක්‍ෂාකල මැනවයි කීවාය. බෝධිසත්වයන් වහන්සේ යහපතැයි උන්ට වරදී කියන්නාහු මා විසින්ද තොපගෙන් ගන්නා වරයෙක් ඇත. වේලේ මුත් නොවේලේ මාගේ පන්සලට නොවදූවයි කියා උන් අතින් වරලදීන් මෙසේ වසන කල්හි සත් මසක් ගෙවීගියේය.

එසේ වසන සමයෙහි කලිඟුරට දුන්නිවිඪ නම් බමුණුගම ජූජක නම් බමුණෙක් බාලකල සිට සිඟන්නේ වෘධ අවස්ථාව දක්වා සිඟා ගෙන කහවනු සියයක් ලදින් එක් අනාථ බමුණෙකු කෙරෙහි තබා ගොස් කල්යාමකින් අවුත් යහළුව මාගේ කහවණු දෙවයි කියා ඉල්වීය. ඒ බමුණු කියන්නේ යහළුව, මා අනාථ වූයෙන් තාගේ කහවණු විකුට කාපීමි. තාගේ කහවනු වෙනුවට මාගේ අමින්තතාප නම් දුවණිය ගෙනයවයි භාර කෙළේය. උගෙන් අනික් ලැබෙන දෙයක් නැත්තෙන් තමන් කාමදාස බැවින් ඒ බැමිණිය තමන්ගේ ගෙදරට කැඳවාගෙන ගොස් තමාට අඹු කෙළේය. ඈද ජූජක කෙරෙහි මහත් ගෞරවයෙන් උවටැන් කෙරෙමින් සිත්සේ වෙසෙයි. එකල ඒ බමුණුගම සෙසු තරුණ බමුණෝ තමතමන්ගේ අඹුවන්ට රැහැනිව ජරා දුර්වල වෘධ බමුණාට මෙවැනි තරුණ ස්ත්‍රීයක් සිත්සේ මෙහෙවර කොට වෙසෙයි. තෙපි අපට මෙහෙවර කිරීමට ප්‍රමාද වන්නේ කිම්දැයි කියා ගැහැට කෙරෙති.
ඒ ඇසූ බැමිණියෝ ජූජකයා කෙරෙහි ඈ කලකිරවමියි සිතා පැන්තොට ලඟදී ඈ දැක කියන්නාහු එම්බල පව්කල තැනැත්තිය තී දත් හැලුනු නර මහල්ලෙකුට මෙහෙ කෙරෙහිද ඒ කටදත් මහල්ලාට තී පාවාදුන් තිගේ දෙමාපියෝ තිට සතුරු වන්නාහ. තී පින් නොකල තැනැත්තියක. තී ගිය ජාතියෙහි යාගයෙහි කපුටන්ට ලූ බත් පළමුකොට කෑ මහළු කපුටියක් වන. එසේ හෙයින් වද තී මේ නර මහල්ලාට අඹුවූයේ ? ගැරඬි සමක් වැනි ඇඟරැලි ඇති කඩදත් ඇති කෙළතොලු මහළු බමුණා හා තිගේ කවරනම් පඤ්චකාම සම්පත්තියෙක්ද? සොඳුර තිගේ කෝමල ශරීරය වෙහෙසා ඒ බමුණාට මෙහෙනොකොට ලදරු සැමියකු සොයා ගන්නැයි කීහ. මෙසේ ඕ තමාට පරිභව බණන්නාවූ ගෑණුන් බලා හඬා වැලප කලය ගලේ ගසා දමා පියා අත පොරවාගෙන ගෙට ගොස් බමුණුගේ රැවුල තරයේ අල්වා ගෙන දත්කමින් බමුණු මහල්ල, තා සමඟ ඉදිමෙහි විපාක අද ලදිමි. අද මේ ගම දැරියෝ එක්ව පැන් තොටදී නොකල පරිභවයෙක් නැත. මෙහි ඉදීමට වඩා කරවැල් ලා ගෙන මියයාම යහපත. වහා ගොස් දාසයකු හෝ දාසියක ගෙන එව. නැතහොත් මා වෙන්වී යෙමියි කීවාය.

එවිට දත් නැතත් අඹුසොඬ හෙයින් කී බසට කම්පාව එම්බා සොඳුර නුඹ කණගාටු නොවව මහළු බැවින් දැසි දස්සන් ලද නොහැක. මෙවක් පටන් දරත් දියත් මම්ම ගෙනෙමි. සෙසු කළමනා දෙයද මම්ම කරමි. තෙපි මෙහෙ නොකර ගෙයි රැක ඉඳුවයි ඈ අස්වසා කීහ.

අහෝ බමුණ සැමියන් අතින් මෙහෙ ගන්නා කුලයෙක මා උපන්නේ නැත. නපුරු බස් නොකියා දාසියක හෝ දාසයකු ගෙන එවයි කිවුය. සොඳුර දාසීන් කෙසේ ලබම්ද? බමුණ තට උපායක් කියමි. උසස් ගුණැති වෙස්සන්තර රජ්ජුරුවෝ ඉච්ඡා දන්දෙති. දැන් ඒ උත්තමයා වංකගිරි පර්වතයෙහි තපස් කෙරෙති. තොප එහි ගොස් මට මෙහෙකරන වහලෙක් ගෙනෙයි නම් ඉඳිමි. නැත්නම් ගමට යමියි කීය. සොඳුර වංකගිරි පර්වතය ඉතා දුරය. ගෙයි මෙහෙවර මම කරමි. තෙපි ඊට උරණ නොවවයි කීහ.

අහෝ බමුණ සැමියන් අතින් මෙහෙ ගන්නා කුලයෙක මා උපන්නේ නැත. නපුරු බස් නොකියා දාසියක හෝ දාසයකු ගෙන එවයි කිවුය. සොඳුර දාසීන් කෙසේ ලබම්ද? බමුණ තට උපායක් කියමි. උසස් ගුණැති වෙස්සන්තර රජ්ජුරුවෝ ඉච්ඡා දන්දෙති. දැන් ඒ උත්තමයා වංකගිරි පර්වතයෙහි තපස් කෙරෙති. තොප එහි ගොස් මට මෙහෙකරන වහලෙක් ගෙනෙයි නම් ඉඳිමි. නැත්නම් ගමට යමියි කීය. සොඳුර වංකගිරි පර්වතය ඉතා දුරය. ගෙයි මෙහෙවර මම කරමි. තෙපි ඊට උරණ නොවවයි කීහ.

ඒ හඬ ඇසුණ චෙතිය වැදිපුත්‍ර තෙම වහා දිව අවුත් රාජ්‍යය හැරපියා මේ හිමයට ආ රජ්ජුරුවන් සොයා ආයේ බිසවුන්වත් ඉල්වා දැයි කිපී දත්කමින් වටපිට බලමින් දුෂ්ට බමුණු මහල්ල දැන් දැන් තා දිවි ගනිමියි දුන්න හයා විෂ පෙවූ හීය දුණුමඩලා හයාගෙන සොර බමුණ දැන් තාගේ හෘදය මාංසය කපාගෙන පන්ථ සකුණයන්ට බිලි දෙමි, සල්ව සල්වා තාගේ බඩවැල් ඇරගෙන පක්‍ෂීන්ට දෙමි. තාගේ පංචමධුර මාංශයෙන් හා හෘදය ලෙයින් දෙවියන් බිලිදෙමි. ඇගමස් බල්ලන්ට ලා කවමි. වහා ගසින් බසුවයි කීය. බමුණු මරණ භයින් මහ හඬින් හඬා බොරුවක් කියාවත් මුන් අතින් ගැලවුන මැනවයි සිතා කියන්නේ මා එසේ මෙසේ මැරිය නොහැක්ක. මම සඳමහ රජුගේ දූතයෙක්මි. මඳ වරදකුත් නැත්තෙමි. මඳක් මාගේ බස් අසව වෙස්සන්තර රජ්ජුරුවන්ගේ සුව දුක් දක්නා පිණිස යවයි සඳමහ රජ්ජුරුවන්ගේ මෙහෙවරින් ආමියි කීය.

එබස් අසා වැදිපුත් සතුටුව භටයන් සේ වටලාගත් බල්ලන් ගස්වල බැඳ ජූජක බමුණා ගසින් බස්සවාගෙන අගුරෙහි පැලහු මස්හා මිහිරි ආහාර කවා ගමන් ශ්‍රම දාහ නිවා සතප්වා යන්ට නික්මුණු කල මඟට මී ලබුවක් හා අඟුරෙහි පැලහු මුව ගාතයක්ද දී පසු ගමන් කොට දකුණත ඔසවා බෝසතාණන් වහන්සේ වසන දිශාවට මග කියන්නේ විපුල පර්වතය තෙක් සලකුණු දක්වා ඒ පර්වතයෙහි අච්චුත නම් තපස්වී කෙනෙක් ඇත. එහි වැද සැතපී උන්ගෙන් මග සලකුණු ගනුවයි විස්තර කොට යැවීය. බමුණ ඒ සලකුණු අනුව තපස්වීන් සමීපයට ගොස් එහි සැතපී සිට තාපසයෙනි මම වෙස්සන්තර රජ්ජුරුවන්ට බාලකල අකුරු කරවීමි. සත් මසකින් මා උන් නොදැක්කෙමි. බලා පියනු සඳහා ආමියි කීය. තපස්වී මු කීයේ සැබැවයි සිතා වංකගිරි පර්වතය සමීපයෙහි පන්සලටම මාර්‍ග සලකුණු කීහ. බමුණු ඒ අසා සතුටුව තුන්විටක් තපස්වීන් වැඳ සමුගෙන කී ලකුණු බලබලා ගොස් ඒ අසල එක් ගිරි ගුහාවක් දැක බමුණු සිතන්නේ ස්ත්‍රීහුනම් දනට බාධා කරන්නාහුය. එහෙයින් කුමාරවරුන් දන්ලබා පියන්ට නොදෙති. එබැවින් මේ ගුහාවෙහි අද ලැගසිට උදෑසන දේවී පලාඵල සොයාගිය කල දරුවන් දන් ගනිමියි සිතා එදා රෑ ඒ ගුහායෙහිම ලැගුම් ගත්තේය.

එදවස මද්‍රීදේවී පහන් වන වේලෙහි නපුරු ස්වප්නයක් දැක භයපත්ව වහා බෝධිසත්වයන් කරා ගොස් පන්සල මළුයෙහි පියවර සන් කොට සිටිකල බෝධිසත්වයෝ දොර කවුදැයි විචාළහ. වහන්ස මම යයි කීවාය. දේවීනී මා කරා මේ අවේලේ මන්දැයි කීහ. ස්වාමීනී ක්ලේශ වශයෙන් නරක සිතකින් ආයේ නොවෙමි. මා දුටු ස්වප්නයක් කියන්ට ආමි ඇසුව මැනවයි එය කියන්නී “එක් කළු මිනිසෙක් කසා පිළි දෙකක් හැද දෙකන රත්මල් පැළඳගෙන කඩුවක් ඉස සිසාරමින් මා කරා අවුත් මට බැණ මා හිස ජටාව අල්වා ගෙන ඇද උඩුකුරු කොට බිම හෙලා ගෙන මා හඬව හඬවා මාගේ දෑස උදුරාගෙන දෑතත් කපාගෙන ලය පලා ලේ පෙරපෙරා හෘදය මාංශය උදුරාගෙන ගියේවනැයි” කීවාය. බෝසතාණෝ සීනය අසා සත් මසක් පිරිහී ගියාවූ මාගේ දානපාරමිතාව අද සම්පූර්ණවේයයි සතුටුව දරුවන් දෙන්නා ගෙන යන්ට වනයට බමුණකු ආයේ වනැයි සිතා බිසවුන්ට කියන්නාහු දේවීනි තොපගේ ඇඟට සුවයක් නොලැබ දඬු මැසිවල සැතපෙන හෙයින් පෙණෙන සීනැයි කියා බිසවුන් සන්සිඳුවා යැවූදෑය. ඈ ගොස් දරු දෙදෙන කැඳවා මූන සිඹ සනහා දරුවෙනි මා රෑ දුටු සීනය නපුරුය. තොප පියා ලඟින් බැහැරට නොයවයි ඔවාදී බෝසතාණන් කරාගොස් වැඳ ස්වාමීනි මේ වනයේ මට නෑයෝ නම් ඔබත් දරු දෙදෙනාත් පමණය. මම වනයට යමි. දරුවන් රැකබලා ගත මැනව මා යනමුත් මාගේ ළය ඔබ බව දැන වදාළ මැනවයි කියා දරුදෙදෙනා පාවාදී මල්කරුව හා පෙට්ටිය ඇරගෙන යන්නී හඬමින් වලපමින් වන දෙවියනි මාගේ දරුවන් රක්‍ෂාකරව් යයි දෙවියන් යදිමින් ගියාය.

බෝධිසත්වයෝ සක්මන් මළුයෙහි කෙළවර බමුණා එන පෙරමග බලබලා උන්හ. දරුවෝ දෙදෙන ඒ ඉදිරියෙහි වැලි කෙළ කෙළ උන්හ. ඉක්බිති බමුණු කල්වේලා බලා පන්සලට ගියේය. ඔහු දුටු බෝධිසත්වයෝ ඉතා සතුටට පත්ව දාන පාරමිතාව පුරවා ගැනීමට සහායවන මිත්‍රයෙක. තිස් යොදුනක් මග ගෙවා නිකමට නොඑන්නේය. දරුවන් දන් ඉල්ලා ආයේවනැයි සොම්නසින් ජාලිය කුමාරයන් කැඳවා කුමාරයෙනි පෙරමඟට ගොස් බමුණා අත කෙණ්ඩිය සහ පිරිකර ඇරගෙන තබවයි කියා ඉදිරියට යවූහ. ජාලිය කුමාරයෝ සතුටුවගොස් කෙණ්ඩිකාවට අත දික්කළහ. බමුණු සිතන්නේ මු රජ්ජුරුවෝ මට දන්දෙන දරුවෝය. මුන්ට මොළොක් වුවහොත් මතුවට මෙහෙනොකරති. දැන්ම මුන් භයගන්වා ලමියි සිතා උරණව කුමාරයන් මුහුණ බැලීය. කුමාරයෝ භයින් පලාඅවුත් රජ්ජුරුවන් ලඟට වන්හ. බමුණු බෝධිසත්වයන් සමීපයට අවුත් වැඳ සතුටු සාමීචි කතාබස් නිමවා බෝධිසත්වයන් විසින් ඵලවූ පලාඵල කා පැන්පී මද වේලාවක් සැතපී ඉඳ කියන්නේ මහා පුරුෂය ශ්‍රද්ධා ජලයෙන් පිරුණාවූ සියළු යාචකයන්ගේ මනදොළ පුරන උත්තමයෙක් වූ ඔබ වහන්සේ ලඟට අනික් වැඩි කටයුත්තකට ආයෙම් නොවෙමි. ඔබගේ දරු දෙදෙනා ඉල්ලා ආමියි කීය.

මෙකප බුදුවන්නා වූ ඒ මහතාණන් වහන්සේ බමුණ කී බස් අසා දරුවන් මුහුණ බලා බමුණාගේ මුහුණ බලා වලට ගිය බිසව සිහිකොට සිත උපන් සෝගිනි නිවා දන්දීමෙහි එක්සිත්ව බමුණ තා මට පරලොව අමුත්තෙක. තා සේ මට මිත්‍රයෙක් නැත.තොප අන් කිසිවක් නොඉල්වා අපගේ දරුවන් ඉල්ලූබව ඉතා යහපත. එය වැලකීමට සිහිනෙනුත් නොසිතමි. දරුවන් තට සම සිතින් පාවා දෙමි. බල එකක් කියමි. මේ ලද බොළඳ කුමාරයෝ කිසි දුකක් නොදුටු විරූය. දැන් මා දරුවන් දෙමි. උන් දැන් බඩ සයින් පෙලෙති. එබැවින් බිසවුන් පැමිණ උන් දෙදෙනා නාවා වනමුල් පලාඵල කවා ලද බොළඳ බස් දොඩා සෝකය තුනීකරගත් කල අද රෑ මෙහි ලැග සෙට දරුවන් දෙදෙනා ගෙන යව ඒ දරුවන්ගේ මෑණියෝ උන් අපට පාවාදී හුදකලාව වල්ගියෝය. පලාඵල ගෙනවුත් දරුදෙදෙනා නුදුටු නම් ලය පැලී මියෙති. මාගේ ඉෂ්ට මිත්‍රය මේ දරු දෙදෙන සිව් මැල්ලෝය. මොලොකින් මෙහෙ උගන්වාගෙන ගැති මෙහෙකම් ගනුවයි වදාළසේක.

රජ්ජුරුවෙනි ස්ත්‍රීහු නම් දනට බාධා කරන සුළුය. හොඳ නොහොඳ නොදනිති. අද මෙහි ලගින්ටද නොපොහොසතිමි. දරුවන් දන් දෙව්නම් මට කල්නොයවා දැන්ම දෙව නැත්නම් මම යෙමියි කීය. බමුණ දරුවන් දෙමි කියා නොදෙමි නොකියමි. දනට පසු බස්නා සිතකින් නොවෙයි. බිසවුන් එනතුරු නොලග්නෙහි නම් සිව්මැලි දරුවන් මග නලව නලවා සතප සතපා අස්වසමින් කැඳවා ගෙන සිවි රටට යව ගොස් මා දරුවන් මුත්තණුවූ සඳමහ රජ්ජුරුවන්ට මෙපවත් කීකල මපියාණන් වහන්සේ ඉතා සතුටට පත්ව තව කෙළිකොල්ලන් සමග බොහෝ වස්තුව දෙතියි කීහ. එබස් අසා බමුණු ඉස සලසලා අප ජීවිතය විනාශ කරන්නට සිතූ නියාව යහපත මුණුපුරන් දුටු සඳමහ රජ්ජුරුවෝ මුණුබුරන් ගැති කොට ගෙන යන්නේයයි කිපී මගේ අත්පා කන් නාසා සිඳ දමති. එයින් මට කම්නැත. දරුවන් දෙව්නම් දෙව නැත්නම් කියවයි කීය. මේ දෙබස අසා දරු දෙදෙනා භයින් ත්‍රස්තව පසුපස බලමින් පන්සල පිටිපස්සට වැද එතනද සිටගත නොහැකිව භයින් වෙවුල වෙවුලා අසල වන ලැහැබකට දිව ගොස් සැඟවුනාහුය. බැලු බැලු දිශාවේ බමුණා ළඟ එන්නාසේ පෙනෙත්ය. එතැනද නොසිට අනේෟ නගණ්ඩ කුමක් කරමෝදැයි කියමින් කටුවැලින් හීරීගෙන හඬා දිවන්නාවූ හතරැස් පොකුණට වැද අපි ඔවුනොවුන් සැගවුන තැන් නොපාම්හයි කතිකා කොට ගෙන කරවටක් දියට බැස නෙළුම් පතින් හිස වසාගෙන සැඟවී කන්දී සොල්මන් අසඅසා මෑණියන් ඊයේ රෑ දුටුසීනය නපුරුයි කී දෑය. පියාණන් ලඟම සිටුවයි කිවුය. මෑණියෝ මේ දුක නොදනිද්දෝ අනේ වන දෙවියනි තෙපි අපි රැක වහා ගොස් මෑණියන්ට කියවෟයයි බැගෑපත්ව හඬ හඬා වෙවුලමින් දියෙහි සැඟවී සිටියහ.

බෝධිසත්වයන් වහන්සේ දරුවන් සැඟවුන බව නොදැන බමුණාට දන්දෙන්ට කැඳවූහ. දරුවන් නොබිනූ හෙයින් බමුණකියන්නේ රජ්ජුරුවෙනි තොපසේ බොරු දන්නෝ මුළු රට නැත. තෙපි දරුවන්ට ඉඟිකර සඟවාලා නොදන්නාක් මෙන් හිඳ දරුවන් කැඳවාදැ’යි කීහ. බෝධිසත්වයෝ බොරු කීවයි යන බසට ලජ්ජාව කියන්නාහු බමුණ තාගේ රළුකම් නිසා භයපත්ව පලාගොස් ඇත. තා මදක් සිටුවයි කියා ඔබමොබ බලා පියවර සටහන් අනුව පොකුණට ගොස් ජාලිය කුමාරයෙනි’යි හඬගෑහ. (බුදුවන ජාතියෙහි රහල් කුමරු වන මහ පින් ඇති) ජාලිය කුමාරයෝ පියාගේ හඬ අසමින් බමුණා මා දිවි ගනීවා පියාට කීකරු වෙමියි සිතා පියාණනි, කියමින් වහා අවුත් දකුණු පය ගෙන හඬන්නටවන. බෝධිසත්වයෝ ලය වා ගෙන පුත නැගණායෝ කොයිදැයි විචාළහ. පියාණනි භයින් පලායන මෘග ජාතිහු උනුණුන්ට කියා පලායෙද්ද? අපට වූ දෑ එබන්දක් වන්නැයි කීහ.

ඒ අසා බෝධිසත්වයෝ මාගේ දුව කෘෂ්ණජිනා වෙනියි හඬගෑහ. (බුදුවන ජාතියෙහි තම ශාසනයෙහි උපුල්වන් මහ ස්ථවීරීයයි ප්‍රසිද්ධ වන මහා පිනැති) ඒ දියණියෝ පියාණන්ගේ හඬ අසා නිහඬවී සිටිනු නොහැකිව දෙව්දුවක මෙන් වහා දිව අවුත් පියාගේ වම්පය බදාගෙන හඬන්නට පටන්ගත්හ. දරුවන් දෙදෙන හඬා වගුල කඳුළු රජ්ජුරුවන්ගේ දෙපත්ලෙහි වැගිරෙයි. රජ්ජුරුවන් හඬන කඳුලු දරුවන් පිට වැගිරෙයි. මෙසේ හඬහඬා ශෝක වීමෙන් බුදුබව නොසෑදෙයි. දරුවන් බමුණට දෙමියි සිතා දරුවන් සිඹ සනසා ලෙහි හොවාගෙන මාගේ දරුවනි මේ සංසාර සාගරයට තොප පසුරු කොට ගෙන මම සංසාරයෙන් එතරව ගොඩ දකිමි. මම ගොඩ දැක තොප ඇතුළු සියළු සත්වයා ගොඩ දක්වාලමි. දරුවෙනි, මාගේ දානපාරමිතා ධ්‍යාසය මුදුන්පත් කොට ලුව මැනව පුතණ්ඩ තොප නිදහස් වනු කැමැත්තෙහි වීනම් බමුණාට රන් දහසක් දී ද නැගණිය නිදහස් කොට ගන්නා කැමැත්තෙහි වීනම් ඔහුට දාසයන් සියයක්ද ඇතුන් අසුන් සහ වෘෂභයන් සියය බැගින්ද රන් සියයක් ද දී නිදහස් කොට ගනුවයි දෙදෙනා වටිනා මිළකොට පන්සලට කැඳවාගෙනවුත් බමුණා කැඳවා අතපැන් වත්කොට මේ දරුවන් දන්දුන් පිණින් “ලොව්තුරා බුදුබව” ලැබේවායි පතා දරුවන්ගේ අත් බමුණා අත තබා දන්දුන්හ. ඒ මොහොතෙහිම මහා පොළවද මහාමේරුව ඇතුළු සප්තකූට පර්වතයෝද ශෝකයෙන් හඬන්නාසේ කම්පිත වූහ. මහාසාගරය සත්රුවන් ඉස ඉස සැලෙන්නට වන. දෙවියෝ සතුටුව මල්වැසි වැස්වූහ. රජ්ජුරුවෝ දානයෙන් ප්‍රමුදිතව කුමරුවන් බලමින් සිටියාහ. ඉක්බිති බමුණා වනලැහැබට පිවිස වැලක් කඩාගෙනවුත් කුමාරයන්ගේ දකුණත කුමරියගේ වමත හා එකට බැඳ එම වැල කෙළවරින් තලමින් ගෙන ගියේය. ඒ දරුවන්ගේ සිරුරුවල ගැසූ ගැසූ තැන තැන ලේ වැගිරෙයි. නැගණියන් පිට ගැසූ පහර බෑයන් පිට ලබා ගනිති. බෑයන් පිට ගැසූ පහර නැගණියන් පිට ලබාගනිති. මෙසේ දරුවන් රැගෙන යෙමින් සිටි බමුණා ගලකින් බස්නේ පය පැකිල මුනින් වැටීහිණ.

ඒ මොහොතෙහිම දරුවෝ දෙදෙන ගැලවී දිවගෙන අවුත් පන්සලට වැඳ රජ්ජුරුවන්ගේ දෙපත්ලෙහි හිස තබාගෙන හඬා කියන්නාහු ස්වාමීනි අම්මා නපුරු සීනයක් දැක නුඹවහන්සේට අපව පාවාදී වලට යන්නාහු කී බස ඔබම දෙස් නොවේද? පියාණනි ඒ සිහි නැද්ද? අප නුදුටු අම්මාගේ ළය කෙසේනම් වෑවේද? අම්මා එනතුරු අප රැකගන්න. පියාණනි ඒ අවලක්‍ෂණ බමුණාට අපව දන්නොදී වෙන බමුණෙකුට දන් දෙන්න. මුගේ පා බකලය. ඇඟ කැහැටුය. දික්වූ තොල් ඇත. කෙළ තොලුය. දත් බොල්ය. නාසය බුන්ය. බඩ මහතය. තඹවන් දැළි රැවුලය. ඔහු මිනිස් වෙසින් ආ යක්‍ෂයෙක. ඔහුට දෙන්නාහු නම් මා පමණක් දන් දෙන්න. නැගණියෝ ඉතා සියුමැළිය. ඈට මෙහේකල නොහැක. උන් කරන මෙහෙත් මම කෙරෙමි. ඈ මිඬි වූ කල රාජවංශයට පරිභවයයි කියමින් හැඩූහ.

රජ්ජුරුවෝ මෙතෙක් දෑ කියතුදු මුවෙන් නොබැන උන්හ. ජාලිය කුමාරයෝ පියාණෙනි මෙතෙක් දෑ කියද්දී නිහඬ වන්නේ ඔබ වහන්සේගේ ලය ගලක්ද? පසකින් වැසුනේවද මුවෙන් නොබැන ඉඳිනට කුමණ වරදක් කලේදැයි කියමින් සිටිතැනට අත් පා වලින් ලේ ගලමින් අවුත් වැඳ සිට රජ්ජුරුවන් බලා සිටියදී නැවත අල්වාගෙන ගියහ. රාහු මුඛයටවන් හිරු සඳු මෙන් යමින් සිටි දෙදරුවෝ පෙරලී පියාණන් බලමින් අත් හිස් මුදුනේ තබා වඳිමින් අපගේ පිට වැගිරෙන ලේ බලන්න. පියාණනි නිහඬව සිටින්නේ මේ යකු අප මරා කාපියන තුරුද? මෑණියන්ට කියන කල අප වැඳ සමුගත්බව කියන්න. අප සුවපත් බවද නැවත දැක්මක් නැතිබවද කියන්නැයි කිය කියා හඬමින් ගියාහ.

බෝධිසත්වයෝ දරුවන්ගේ බැගෑපත් හඬ අසා ළය කකියවා අනේ බමුණකු ඉතා දැඩි නියාය. මා ඇස් හමුවෙහිදී මෙසේ දැඩිව හිංසා කරන කල ඔබ්බෙහිදී කෙසේ නොකෙරේද? එනදා අප වඩාගෙන ආ දරුවෝ දැන් මේ රළු මග කෙසේ යෙද්දෝ හෝ සයින් විඩාවූ දරුවන් කවුරු සනහා කිරිපොවා ලද්දෝහෝ මෑණියන් තන මැද සැතපුණ දරුවන් අද රෑ කොතනක වැද හෙව නිදද්දෝ හෝ දරුවන් කෙරෙහි ස්නේහයෙන් මා පිට හඬා පෙරලෙන බිසවුන් කෙසේනම් අස්වසන්නෙම්දෝ හෝ සිතා මහත්වූ ශෝකය දරාගත නොහැකිව බමුණා ලුහුබැඳ ජීවිතය විනාශකොට දරුවන් ගෙනෙන්නෙමැයි සිතා නැවත ඒ මොහොතෙහිම දානපාරමිතාවෙහි අනුසස්සලකා තමාගේ සිතුවිල්ලට නින්දා කොට නැවත සිත සනසා ගෙන පන්සල දොරකඩ පුවරුවෙක වැඩ උන්හ.

එවේලෙහි දරු දෙදෙනා යමින් සිට තමන් කෙළ ඇවිදිනා වෘක්‍ෂ සෙවන සහ ගල් සිදුරුද මැටියෙන් ඇඹූ කෙළිබඩුද සුරතල්වන මෘගයන්ද සිහිවී අප හා පුරුදු ඇත්තෙනි මෑණියන්ට අප අතුල් පතුල් ඉදීම යා නොහෙන බව කියව. අප වඳිනා සුව කියව් යයි කියමින් හඬමින් වලපමින් ගියහ.

ඉක්බිති වලට ගිය මද්‍රිදේවිය සිතන්නී ඊයේ රෑ මම නපුරු ස්වප්නයක් දිටිමි. මාගේ දරුවෝ පන්සලින් පිටත යාදෝහෝයි ලය කකියවා පලාඵල ගෙන එන අතර යහුල වැටීයයි වරක් පෙට්ටිය වැටෙයි. දෙපය වෙවුලයි. හෘදය කකියවයි. මේ පර්වතයේ දෙවියනි මට කිමෙක් වේදෝ හෝ මේ වනයේ නපුරු හීන පෙනෙන්නේ කුමටද? හෝයි දුක් වෙමින් පන්සලට එන සඳ ශක්‍රදේවේන්ද්‍රතෙමේ දිව්‍ය පුත්‍රයන් සතර දෙනෙකු කැඳවා කියන්නේ බෝධිසත්වයෝ දරුවන් දන්දෙමින් සිටියහ. එතැනට බිසව ගියෝනම් නපුරුය. තෙපි ගොස් සිංහ ව්‍යාඝ්‍ර වෙස් මවාගෙන මග අවුරා වැද හොවයි නියම කළේය. බිසව එන්නී භයානක රූප දැක මම මීට පෙර මෙවැනි නපුරු සතුන් නුදුටු විරීමි. වෘක්‍ෂ දේවතාවෙනි පර්වත දෙවියනි මොවුන් යවව මාගේ ස්වාමීන්ට මා ප්‍රතිව්‍රතා වීනම් මගින් ඉවත්වවයි මහා හඬින් කියා අනිත් යන මගකනැත්තෙන් පෙරමගට දරුවෝ අවුනම් නපුරුයි සිතා නොයෙක් කන්නලව් කරන්නට වූවාය.
මෙසේ කියත්ම ඉර අවරට ගියෙන් මෘග ජාතීහු නොපෙනී පලා ගියහ. දේවිය සඳ රැසින් යුත් රාත්‍රීයෙහි වනමුල් පලාඵල රැගෙන පන්සලට එන්නේ ඉදිරියෙහි දරුවන් නොදැක මා දරුවන්ට කුමක් වීදෝහෝයි සිට කියන්නී මාගේ දරුවන්ගෙන් මිහිරි බසක් මා කණනොහිණ ලද බොළඳ බසක් නොඇසීමි. මුහුණු නොදුටුයෙමි. පෙර කෙළනා රුක්මුල නොදැක්කෙමි. ජාලිය කුමාරයෝ පෙරමඟට අවුත් අම්ම අඹ නැද්දැයි? හින බලති. කෘෂ්ණජිනාවෝ අවුත් තනය ගනිති. මේ නුග මුල කෙළෙනා තැනැයි බලමින් ගොස් පන්සලට වැද එහිද නොදැක ඇත්කඳ ලිහිණියෝ ගෙනගියෝදෝ හෝයි යක්‍ෂ, භූත, ප්‍රේතයෝ ගෙන ගියේදෝහෝයි ලද බොළඳ මියුරු බසක් කවරවිටෙක ඇසිය හෙම්දෝහෝයි අඬා වැලප බෝසතාණන් අතින් විචාරන්නී ස්වාමීනි දරුවන් සිඟන්නන්ට දන්දුන්නුදැයි විචාළාය. බෝසතාණෝ නිහඬවූ හෙයින් වහන්ස දරුවන් නොදක්නා ශෝකයට වඩා ඔබවහන්සේගේ නිහඬතාවය බලවත් ශෝකයකි. පෙර මේ වේලාවට ගිනිතපිනදෑය. අද මුවෙන් නොබනින සේක. මා එනතුරු දරුවන් රකිමියි මට වර දුන් දෑවේද? දරු ස්නේහයෙන් මා අඬා ඇවිදිනාතුරු නොබැන වැඩහිදිනා දෑය. ඔබගේ දරුවන් කැඳවාලා පලාඵල වැලදුව මැනවි. නැත්නම් මා දිවි නොරැකෙමියි කීහ.

එබස් අසා මද්‍රිදේවී කියන්නී මම වේලේ ආමි. මේ වෙනෙහි පක්‍ෂීහු මහත්කොට හැඬූ හඬ අසා මා දරුවන්ට කුමක් වීදෝහෝයි ලය කකියවා එමින් සිටි කල්හි සිංහ වලස් ආදී වෙස්ගත් තුන්දෙනෙක් මට ඒමට ඉඩනොදී මග අවුරා හොත්ය. එසේ හෙයින් ලස්වීමි කීවාය. එසේ කියා හඬාගෙන පන්සල පිටිපසට ගොස් හඬ නගන්නාහු මාගේ ජාලිය කුමාරයෙනි, කෘෂ්ණජිනාවෙනි මහත්කොට හඬාලා බසක් නොලදින් මාගේ දරුවන්ට නැස්මෙක් වනැයි නියත කොට සිතා රාත්‍රියෙහි මහා දුකින් හඬා ඇවිද දරුවන් කෙළනා පොකුණු බලා හඬා සීසන් නැතිව වැටී හී මද විගසකින් සීසන් ලදින් නැවත නැගිට වංකගිරි පර්වතයෙහි පසළොස් ගව්වක් තුන්විටක් වටකොට බලා ඇවිද්දාහ. බෝධිසත්වයෝ ඇසිපිය නොඔබා නිදිවියෝව උන්හ.
පහන් හිරු නැගෙමින් සිටි වේලෙහි මද්‍රීදේවිය වෙවුලා හඬා සීසන්නැතිව හොත්හ. බෝධිසත්වයෝ දේවිය හොත් විලස්බලා ලයකකියවා මේ වෙනෙහි මාගේ නෑකෙනෙක් නැත. තෙපි වනයෙහි මළාදැයි කියා සිත් කැළඹීගොස් ශෝකයට පත්ව නුවණින් ශෝක දුරුකොට පොකුණට ගොස් දිය ගෙනවුත් සත්මසක් විසූ බ්‍රහ්ම චය්‍ර්‍යායෙන් සත්‍ය ක්‍රියාකොට මුහුණට දිය ඉස සිව්රට සිට මියගියෝනම් මහත් රජ පෙරහරින් දවන්නාහ. මා හුදකලාව මේ වෙනෙහි කුමක් කෙරෙම්දැයි සිතා මහත් වූ ශෝකයෙන් තැවිතැවී උන්කලට බිසව සිහිය ලදින් ලජ්ජාව බෝසතාණන් වැඳ වහන්ස මා දරුවෝ කොයිදැයි විචාළහ. දේවීනි ඉතා මහළු බමුණෙකුට දරුවන් දන් දුනිමියි කීහ. එවිට පොළොව හඬනගා ගුගුළාය. සියළු දෙවියෝ සාධුකාර දුන්හ. දේවීනි, දාන පාරමිතාවට අහිතක් නොසිතා පින් අනුමෝදන්වවයි වඳාළහ. බිසව ස්වාමීනි මට මෙසේ නොකියා හඬා ඇවිද්දදී නොබැන්නහුදැයි කියමින් දොහොත් මුදුනේ තබා පින් අනුමෝදන් වෙමියි සාධුකාරදී පින් අනුමෝදන්ව සිවාමීනි දරුවන්ට වඩා දස ලක්‍ෂ ගුණයකින් බුදුබව උතුම්යයි සිත සන්සිඳුවා ගෙන නැවතත් ස්වාමීනි මුළු ලොව සතුන්ටත් පින් දුන මැනවයි පින් දෙන සිත් ප්‍රසන්නකොට දානපාරමිතාව මුදුන්පත් කළහ. සියළු දෙවියෝ සාධුකාරදී පින් අනුමෝදන්ව මල්වැසි වැස්වූහ.

ඉක්බිත්තෙන් ශක්‍රදේවේන්‍ද්‍රතෙමේ සිතන්නේ බෝධිසත්වයෝ දරු දෙදෙනා බමුණාට දන්දුන්හ. බිසවනුදු යම් හීන පුරුෂයකුහට දන් දුනහොත් නපුරැයි සිතා මහළු වෙසක් ගෙන අවුත් කියන්නේ ගමන් විඩායෙන් මිරිකුණෙමි. රජ්ජුරුවෙනිෟ මා ඉතා වයෝවෘධයෙමි. තොප අතින් රන් රුවන් ඉල්ලා ආයේ නොවෙමි. මාගේ ගෙයි මෙහෙ කරන වාලෙක් නැත්තෙමි. තොපගේ බිසවුන් මෙහෙකිරීමට ඉල්වා ආමිකීහ. බෝධිසත්වයෝ කළ මනා කිම්දෝහෝයි බිසවුන් මුහුණ බැලූහ. බිසව බෝධිසත්වයන්ගේ අදහස දැන ඔබ වහන්සේ මට අධිපතිය. එබැවින් යමෙක් හට දාස බවට දෙනුකැමති සේක්නම් එසේ දුන මැනව. වස්තු සඳහා දෙනු කැමති සේක්නම් එසේ දුනමැනව යමෙක් හට මස්පිණිස දෙනු කැමති සේක්නම් එසේ දුන මැනව. තවද ඔබ වහන්සේට අභිමතයක් කළ මැනවයි කීහ.

එවිට මහබෝසතාණෝ සතුටුව බ්‍රාහ්මණයා කැඳවා අතපැන් වත්කොට බිසවගේ අතගෙන “මම ඒකාන්තයෙන් සම්මා සම්බුදු බවට පැමිණ සියළු ලෝ වැස්සන් නිවන් පුරයෙහි පිහිටුවාලීය හෙම්වයි” පතාගෙන බමුණාට දන් දුන්හ. ඒ හාම මහපොළව සතුටුව ගුගුළාය. සදෙව්ලොව දෙවියෝද සතුටුව සාධුකාර දුන්හ. බමුණු කියන්නේ රජ්ජුරුවෙනි තොප බිසව මට දන්දුන් බැවින් ඕ තොමෝ අප සන්තකයෝය. තොප සතු දෙයක් මුත් අනුන් සතුදෙය දන්දිය නොහැක්කේ වේදැයි කියා මා එනතෙක් බිසවුන් තොපට පාවා දෙමි. තොපි මේ බිසවුන්ට සුදුස්සන්හයි බෝධිසත්වයන්ටම පාවාදී ශක්‍රදේවේන්ද්‍ර බව හඟවා ශක්‍රවිලාසයෙන් සිට කියන්නේ රජ්ජුරුවෙනි තොප දරුවන් දන් දුන් විටම මහපොළව මහ හඬින් ගුගුළාය. සප්තකූල පර්වතයෝද සතුටුව නැටුම්ගත්හ. තලාටු භූමාටු දෙවියෝද සතුටුව නැටුම් ගත්හ. සදෙව්ලොව දෙවියෝද සොළොස් බඹ තලයෙහි බ්‍රහ්මයෝද සතුටුව නැටුම් ගත්හ. සාධුකාර දුන්හ.
එසේම තොපට “ඒකාන්තයෙන්ම ලොව්තුරා බුද්ධත්වය සිද්ධවේවායි” කියා තොපගේ දරු දෙදෙනා මුතුන් මිත්තන් කරා ගෙන ගියේය. අදින් සත් දවසකින් තොප කරා දරුවෝ එති. එබැවින් වර අටක් ගනුවයි දිව්‍යාත්ම භාවයෙන් දිළිසෙමින් ලා හිරු මඬලක් මෙන් අහසෙහි සිට කීයේය. බෝධිසත්වයෝ වර ඉල්ලන්නාහු එසේ වී නම් ශක්‍රදේවේන්ද්‍රයාණනිෟ(1) මම මේ වනයෙන් ස්වකීය ගෘහයට වන්කල මාගේ පියතෙමේද මේ දානය අනුමෝදන්ව මා කෙරෙහි සතුටුව රාජ්‍යයෙන් පවරනු ලබම්වා (2) කිසිවක් හටත් වධකිරීමට රුචිනොවූයේ රාජ්‍යාපරාධ කළවුන්ද වධයෙන් මුදනු ලබම්මා (3) ලදරු, මහළු, මධ්‍යම යන වයස්වූ සියළු දෙනම මාගෙන් ජීවත්වනු ලබාවා (4) පරදාර කර්‍මයෙහි නොඇළුනේ ස්වකීය භාය්‍ර්‍යාව හා සතුටුවූයේ ස්ත්‍රීන්ගේ වසඟයට නොපැමිණෙම්වා (5) දිර්‍ඝායුෂ්ත වූ දැහැනේ සෙමෙන් ජීවත් වන්නාවූ පුත්‍රයෝ ලබම්වා, (6) මෙයින් චුතව ගොස් තුසීපුරයෙහි උපන්නේ විශේෂවූ දිව්‍යාත්ම භාවය ඇතිවෙම්වා (7) දන්දෙන කල වස්තුව ක්‍ෂය නුවූයේ දන්දී නොතැවෙන්නේ සිත පහදවා ගනු ලබම්වා, (8) තුසී පුරයෙන් සෑව මිනිස් අත් බවට පැමිණියේ නැවත නූපදිනු ලබම්වා,යි වරගත්හ. මෙසේ එදවස් වරදී ශක්‍රදේවේන්ද්‍ර තෙමේ දෙව්ලොවටම ගියේය.

එකල ජූජක බමුණාද දරු දෙදෙනා රැගෙන සැට යොදුන් මගට පිළිපන්නේය. දේවතාවෝ කුමරුවන් අරක් ගත්තාහුය. ජූජකයා හිරු හස්තයට ගිය වේලෙහි දරු දෙදෙනා ගස්වල බැඳ බිම වැද හොවා තමන් වග වලසුන්ට බියෙන් රුකකට නැගී නිදයි. එකෙනෙහි එක් දිව්‍ය පුත්‍රයෙක් මද්‍රි දේවියගේ වේසයෙන්ද අවුත් කුමරුවන් මුදා සුවඳ පැනින් නාවා බත් අනුභව කරවා දිව යහනෙක හොවා පාන්වූ කල කුමාරවරුන් පළමු බැඳලූ සැටියේම හොවා නොපෙනී ගියහ. ඉක්බිති බමුණා පිබිද පියා පාන්වූ බව දැන ගසින් බැස දරුවන් තමාගේ රටට ගෙනයමියි සිතන්නේ, දේවතානුභාවයෙන් කලිඟු රටට නොගොස් ඔවුන්ගේ මුතුන් මිත්තන්ගේ රට වූ ජයතුරා නුවරට පැමිණියේය.

එදවස් වනාහි සඳමහ රජාණෝ ස්වප්නයක් දක්නෝ තමා වහා විනිශ්චයෙහි යෙදී හුන්කල එක්පුරුෂයෙක් පියුම්දෙකක් ගෙනවුත් තමා අත තැබුයේය. රජ්ජුරුවෝ එය ගෙන දෙකන පැළඳ ගත්හ. එහි රේණු ගිලිහී රජ්ජුරුවන්ගේ උදරයෙහි වැටුණේය. රජ්ජුරුවෝ පිබිද බමුණන් ගෙන්වා ස්වප්නය විචාළහ. බමුණෝ එය විසඳන්නාහු ස්වාමීනි තොප විසින් ප්‍රිය වන දරු කෙනෙක් එන්නේවනැයි කීවාහුය. රජ්ජුරුවෝ එබස් අසා සතුටුව උදෑසනින්ම රස ආහාර අනුභව කොට විනිශ්චාසනයෙහි වැඩ හුන්හ. දේවතානු භාවයෙන් බමුණා දරුවන් දෙදෙනා ගෙනවුත් රාජාංගනයෙහි සිටවූයේය. රජ්ජුරුවෝ ජාලිය කුමාරයන් හා කෘෂ්ණජිනාවන් ඇරගෙන බමුණෙක් ආයේවනැයි යනු අසා බමුණා ගෙන්වා දරුවන් කොයිසිට ගෙනායේදැයි විචාළාහ.
එවිට බමුණා බොරුවක් කියා මුන්ගෙන් ගැලවුන මැනවයි සිතා කටදැල්වූ කල්හි දේවතානු භාවයෙන් වෙස්සන්තර රජ්ජුරුවෝ මට දන් දුන්හයි කීය. එසේ කියා මේ සඳමහ රජාණන්ගේ රටබව දැන භයින් ත්‍රස්තව වෙවුලන්ට වන. සඳමහ රජාණෝ වෙනෙහි හිඳ දන්දුන් බව සිතා මහත් කොට දරුවන් ආ බව නගරවාසීන්ට කීහ. නුවරවාසීහු කියන්නාහු ස්වාමීනි දරුවන් දන් දුන් ඒ උත්තමයාගේ ලය ගලෙක්වීද? ඇළි ඇතු දන්දුන්සේ නලුරැයි රැහැනිව වංකගිරි පර්වතයට යැවුම්හ. දැන් මෙවැනි ලද බොළඳ සිවුමැලි දරුවන් දන්දුන්හ. මෙබඳු පින් ඇති ඒ උත්තමයාගේ ගුණ දැන නුගුණ පහකොට ගොස් මෙහි ගෙණෙම්හයි කීහ. එබස් අසා ජාලිය කුමාරයෝ කියන්නාහු පියාණෝ බමුණා කෙරෙහි කරුණාවෙන් අප දන් දුන් දෑය. මපියාණන් වහන්සේ ඉතා තද යයි කුමට නින්දා කළෝදැයි කීහ. එබස් අසා නුවර වාසීහු ඉතා සතුටුව ඊට ක්‍ෂමාවුව මැනවයි කියා සිටියහ.

එකල සඳමහ රජ සියුමැලි කුමරු අමතා මාගේ ඇකයෙහි හිදුවයි කීහ. ජාලිය කුමාරයෝ එබස් අසා බමුණන්ගේ ගැත්තොත් රජදරුවන් ඇකයෙහි හිදීදැයි කීහ. එසඳ නගරවාසීහු මහා ශෝකයට පත්වූහ. රජ්ජුරුවෝද ඉතා දුකින් ජාලිය කුමාරයෙනි තොප දනට දෙන කල තොපගේ පියාණෝ කෙතරම් අගය කොට දුන්නෝදැයි ඇසූහ. දේවයන් වහන්ස මා දන් දෙන්නාවූ පියාණෝ රන් දහසක් අගය කොටද නැගෙණිය ඇත් ආදී සියල්ලෙන් සියය සියය හා බරේ බර වස්තු අගය කොට දුන්හයි කීහ. සඳමහ රජාණෝ ඒ වස්තු හා සත්මහල් ප්‍රාසාදයක්ද බමුණාට දී දරුවන් ගලවා ගත්හ.
බමුණාට දෙන ලද පිරිවර බොහෝ වූහ. බමුණා ධනය තැන්පත් කොට තබා ඉස් සෝදා නහා අවුත් රසභොජන අනුභව කොට තමාට දුන් ප්‍රාසාදයට නැගී මහ යහනෙහි හොත්තෝය. රජ්ජුරුවෝ කුමාරයන් නාවා කවා පොවා තමා ඇකයෙහිද කෘෂ්ණජිනාවන් බිසවුන්ගේ ඇකයෙහිද හිඳුවාගෙන සතුටු සාමීචි බස් දොඩා දෙමව්පියන්ගේ තොරතුරු විමසා ඇමතියන් කැඳවා කියන්නාහු වංකගිරි පර්වතයට යනු පිණිස සිව්රග සෙනග පිළියෙළ කරව තවද ජයතුරා නුවර පටන් වංකගිරි පර්වතය දක්වා අට ඉස්බක් පමණවූ මාර්‍ගයද අලංකාර කරවයි නියෝග කළහ. අමාත්‍යයෝ මග කළුවැලි පිස සුදු වැලි ඉස කෙහෙල්, තැඹිලි, පුන්කලස් ධජ පතකාදියෙන් මග සරසා ලද පස්මල් ඉස ගඳවිලවුන් ගල්වා උඩුවියන් බැඳ මල්දම් එල්වා තැන තැන දන්සල් අරවා පඤ්චාංගික තූය්‍ර්‍ය නාදයෙන් යුත්තකරවා මග සැරසූහ. ජූජකයාද රාජ භොජනය පමණ ඉක්මවා අනුභව කිරීමෙන් දිරවාගත නොහැකි වූයේ එදවස් මධ්‍යම රාත්‍රීයෙහි කලුරිය කළේය.

රජ්ජුරුවෝ මහත් පෙරහරින් ඔහුගේ සිරුර ගෙන ගොස් දවා බමුණාගේ නෑ කෙනෙක් ඇත්නම් මේ වස්තු ගනිත්වයි බෙර ලවා වස්තු භාණ්ඩාගාරයෙහිම තැබ්බවූහ. ඉක්බිති සත්වන දවසෙහි සඳමහ රජ්ජුරුවෝ සියළු සෙනග රැස්කරවා මහා පිරිවරින් යුක්තව දරුවන් දෙදෙනාව ඇතුපිට නංවා ගෙන ක්‍රමයෙන් චෙතියරටට ගොස් එහි රජ්ජුරුවන් ඇතුළු සෙනඟ කැටුව සැට යොදුන් මාර්ගය ගෙවා වංකගිරි පර්වතයට පැමිණියාහුය. බෝධිසත්වයෝ වනයේ එන පෙළහරේ ශබ්දය අසා මද්‍රිදේවිට කියන්නාහු දේවිනි, මපියාණන් වහන්සේ මහළු නිසා සතුරු රජෙක් ඔහු මරා අප මෙහි වාසය කරන බව දැන අප කරා එන්නේ දෝහෝයි බලවයි කීය. දේවිය එම පර්වතයට නැගී බලා තම සේනාව වියයුතු යයි සිතා ස්වාමීනි, ඔබ වහන්සේට කවරනම් සතුරු කෙනෙක් ඇද්ද? එදවස් ශක්‍රදේවේන්ද්‍රයා අපගේ දරුවන් මුතුන් මිත්තන් කරා ගෙන ගොස් අදින් සත් දවසකින් අපි කරා එතියි කීයේය. ඔබ පියාණන් වහන්සේ වනැයි කියා දෙදෙනාම පන්සල් දොරකඩ සිටියාහ.

ඉක්බිති සඳමහ රජ්ජුරුවෝ මහ පෙළහරින් වංකගිරි පර්වතයට ආසන්නව පුසති දේවීන් කැඳවා දේවීනි අපි සියළු දෙනා එකවිට ගිය කල්හි දරුවන් හා අප දක්නාවිට ශෝක බොහෝය. පළමු මා ගොස් උන් දැක ශෝක සංසිඳවූකල තොපි එවයි කියා පන්සලට ගොස් බෝසතාණන් දුටහ. බෝසතාණන් වහන්සේ පෙර ගමන් කොට පියාණන් පිළිගෙන අසුනක වඩා හිඳුවා සතුටු සාමීචි කතාකරමින් උන් කලට මද්‍රිදේවිය මයිලණුවන් දැක ස්වාමීනි, මා දරුවන් ගෙන ගිය බමුණා කොහිදී දුටුදැයි ඇසුවාය. යෙහෙළියෙනි, මාගේ රටදී දැක බමුණාට මිලදී ගලවා ගතිමියි කියත්ම බිසවුන්ට සොම්නස් උපන. එවිටම බෝධිසත්වයන්ගේ මෑණියෝ මහ පෙළහරින් පන්සලට වන්හ.

ඊට අනතුරුව කුමර කුමරියන් දෙදෙනා ඇතු පිටින් අවුත් බිමට බැස මෑණියන් දැක දෙපත්ලේ හිස තබා හඬන්නට වන්හ. බිසවුන්ගේ දෙතනයෙන් කිරිධාරා විහිද දෙබිහින්නන් හිස් තෙමී ගියේය. බෝධිසත්වයෝද ඔවුන් දැක ශෝකයෙන් හඬාහුණහ. බෝධිසත්වයන්ගේ මව්පිය දෙදෙනාද චේතියරජ්ජුරුවන් ඇතුළු රජ දරුවෝද හඬාපීහ. ඒ දැක බෝධිසත්වයන් හා සහජාත වූ සැටදහසක් යෝදයන් හා මහ සෙනග එකහෙලා මහ පවනින් වැගිරගිය සල් වනයක් මෙන් මහා හඬින් හඬාහුණහ. මහාමේරු පර්වතයද මහ මුහුදද කැළඹුනේය. කාමාවචර දිව්‍යලෝකයෙහි එක කෝලාහල විය.

 

 
උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.