539 උම්මාදන්තී ජාතකය

ත්‍රෛතල තිලක සම්‍යක් සම්බුද්ධ සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේ සැවැත් නුවර වාසය කරන සේක් එක් ස්ත්‍රියක් දැක ශාසනය කෙරෙහි උකටලී වූ නමින් රටට ප්‍රකට නැති එක් භික්ෂුවක් අරභයා මේ මන් උදන්වන උම්මාදන්තී ජාතකය වදාළ සේක.

යටගිය දවස සිවි රට ශ්‍රේෂ්ඨීන් තුෂ්ට වූ අරිෂ්ට නම් නුවර විශිෂ්ට ගුණධර අරිෂ්ට නම් රජුට සිවි නමින් කුමාරයෙක් වීය. ඒ කුමාරයා කුඩා කල පටන්ම අභිපාරක නම් සේනාපති පුත්‍රයෙක් සමඟ මිත්‍රව විසීය. ඒ දෙකුමරුවන් සොළොස් හැවිරිදි කල්හි තක්සලා නුවරට ගොස් සියලු ශිල්ප දැන නිමවා ස්වකීය නුවරට පැමිණ පිය රජතුමාගේ කැමැත්තෙන් රාජ්‍යයට පත්විය. හිතමිත්‍ර අභිපාරකයන් සේනාපති ස්ථානයෙහි තබවා දැහැමින් රජ කරන සේක. එසමයෙහි එම නුවර අසූ කෙළක් ධනය ඇති සිරීට තැන වූ කිරීටවඡ්ච නම් සිටාණන්ට සුන්දර රූපශ්‍රීයකින් යුත් උම්මාදන්ති නම් කුමාරියක් වූවාය. ඈ දක්නා අන්ධ පෘතග්ජන කෙනෙක ඇත් ද රහමෙර පුවාක් මෙන් ක්ලේශ මදයෙන් මත් වන්නාහ. දිනක් ඇගේ පියා වූ කිරීටවඡ්ච සිටාණෝ රජ්ජුරුවන් කරා එළඹ දේවයන් වහන්ස මාගේ ගෙයි ස්ත්‍රී රත්නයකන් ඇත. ඔබ වහන්සේට සුදුසුය. ලක්‍ෂණ ශාස්ත්‍රයෙහි නිපුනවූවන් යවා උන් ලවා පරීක්‍ෂා කරවා නිස්සක් කොට වදාළ මැනවයි කීහ. රජ්ජුරුවෝ ඉතා සතුටුව ලක්‍ෂණ පාඨකයන් යැවූහ. ඔවුන් සිටාණන් ගෝ මාලිගාවට ගොස් අනායාසයෙන් පිළියෙල කළ පාසාය අනුභව කළාහුය. එකෙනෙහිම උම්මාදන්තී කුමරිය සර්වාලංකාරයෙන් සැරසී ඔවුන් සමීපයට ගියාය.

ඒ බ්‍රාහ්මණයෝ ඈ දැක සිහි එලවා ගත නොහැකිව ක්ලේශ මදයෙන් මත්ව තමන් බත් අනුභව කොට නොනිමි බව නොදත්තාහු. සමහර කෙනෙක් බත් පිඩ ගෙන අනුභව කෙරෙමියි සිතා හිසෙහි තැබුවාහුය. සමහරෙක් කිසිලි අතුරෙහි ලූවාහුය. සමහරෙක් බත් පිඬු බිත්තියේ ගැසුවාහුය. මේ විප්‍රකාර දුටු කුමාරිකාව මාගේ ලක්‍ෂණ විමසූයේ මුන් දැයි නොසතුටුව උන් සැමට තරවටු කොට බොටුවෙන් අල්ලා පිටතට දමවයි කියා ගෙන් නික්මවූහ. එයින් කෝපයට පත් ලක්‍ෂණ පාඨකයෝ වහා රජ ගෙට ගොස් දේවයන් වහන්ස ඒ ස්ත්‍රිය බාල ජන ලොලවන කාලකණ්නියක. ඔබ වහන්සේට නුසුදුසු ය. ඇගෙන් කම් නැතැයි කීවාහුය. මහ රජ්ජුරුවෝ එපවත් අදහා ඈ කාලකණ්නියකැයි සිතා රජගෙට නොගෙන්වූ සේක. ඕ තොමෝ එපවත් අසා මම වනාහී කාලකණ්නියකැයි සිතා රජ්ජුරුවන් විසින් නොගෙන්වන ලද්දේය. කාලකණ්නීහු නම් මේ බඳු ස්වරූපයෝ මැවෙන්නෝ නොවෙති. ඉඳින් ඒ රජ්ජුරුවන් දක්නෙම් වී නම් නිස්සක් දනිමියි සිතා ඔවුන් කෙරෙහි ආඝාත බැන්දාය. ඉක්බිත්තෙන් ඇගේ පියාණෝ අභිපාරක නම් සෙන්පති හට ඒ කුමාරිකාව සරණපාවා දුන්හ. ඔ තොමෝ ඒ සෙන්පති හට ප්‍රිය මනාප වූවාය. කවර කුසලයක්හුගේ විපාකයෙන් ඔ තොමෝ මන වඩනා රූපයෙන් යුක්ත වූවාහුද යත්?

ඕතොමෝ යට ගිය දවස බරණැස් නුවර එක් දිළිඳු කුලයක ඉපිද වසන්නේ එක් උත්සව දවසක ඇඳීමට සිනිඳු වතක් නැතිව ධනවත් කුලයකට ගොස් තෙවසත් අනලස්ව බැල මෙහෙ කොට ඝණරන් සිනිඳු වස්ත්‍ර දෙකක් ලැබ ජල ස්නානය කොට ඒ පැළඳ ගැනීමට සූදානම් වෙත්ම කාශ්‍යප සර්වඥයන් වහන්සේගේ එක් ශ්‍රාවකයන් වහන්සේ නමක් පැහැර ගත් සිවුරු ඇතිව කොළ අතු ඇඳ පෙරව ඒ ප්‍රදේශයට වඩිනවා දැක, මම වනාහී පූර්වයෙහි වස්ත්‍රයක් නොදුන් බැවින් දැන් මට මේ දනා මැද හොබනා ලෙස අඳිනා පමණට ද වස්ත්‍රයක් දුර්ලභ විය. එහෙයින් දැන් මා අසම්පූර්ණ තුන් අවුරුද්දක් බැලමෙහෙ කොට ලබන ලද මේ වස්ත්‍රය දෙකඩ කොට එක් කැබෙල්ලක් ආර්යයන් වහන්සේට පුදමි. වහා පැමිණ ස්වාමීනී මදක් වැඩ සිටුව මැනවයි කියා එක් කැබෙල්ලලෙක් පූජා කළාය. ඒ ආර්යයන් වහන්සේ ද පිළියන් වූ එක් තැනක සිට කොළ අතු ඉවත ලා එක් කොනක් හැඳ එක් කොනක් පෙරව සමීපයට වැඩි සේක. ඒ වස්ත්‍රයාගේ ප්‍රභාවයෙන් සකල ශරීරය ආලෝකවත් විය. ඕ තොමෝ ඒ දැක ආර්යයන් වහන්සේ දැන් වනාහී තරුණ සූර්යයා මෙන් ඉතා ප්‍රභාමත් සේක. මේ ද මුන් වහන්සේට ම පුදමියි සිතා ඉතිරි කැඹැල්ල ද උන් වහන්සේට ම පුදා ස්වාමීනී මේ වස්ත්‍රසානමය කුසලයේ බලයෙන් මම යම් තාක් සසර වසම් ද ඒ තාක්කල් උත්තම රූපධර වෙම්වා. මා දුටු කිසි පුරුෂයෙක් ස්වකීය භාවයෙන් සිටීමට නොහැකි වේවා. මට වඩා අභිරූපිකාවක් තවත් ඇති නොවේවායි කියා ප්‍රාර්ථනා කළාය. ඒ ආර්යයන් වහන්සේ ද අනුමෝදනා කොට වැඩි සේක. ඕතොමෝ එයින් චුතව දෙව්ලොව ජනිතව ඉන් නික්ම අරිෂ්ට පුරයෙහි ඉපිද විශිෂ්ට රූපශ්‍රීයකින් අග්‍රප්‍රාප්ත වූ වහයි දත යුත්තේය.

ඉක්බිත්තෙන් එනුවර උත්සව දිනයක අභිපාරක සෙන්පති තෙම කුමාරිකාව අමතා සොඳුර, අද උත්සවයෙහි නුවර ප්‍රදක්‍ෂිණා කරන රජ්ජුරුවන් වහන්සේ අපගේ මේ ගෘහද්වාරයට වඩිනා සේක. එවිට ඒ ජනේන්‍ද්‍රයන්ට තොපගේ ශරීරය නොදක්වව. ඒ නරේන්‍ද්‍රයෝ නමුදු තොප දැක සිහි පිහිටුවා ගන්ට නොහැකි වන්නේ යැයි කියා ගියේය. ඕතොමෝ ඒ මම දන්නෙමි වේදැයි සිතා සේනාපතින් ගිය කල්හි දාසියක් කැඳවා රජතුමා මේ ගෘහවාරයට වැඩි කල්හි මට කියවයි නියෝග කළාය.

ඉක්බිති සර්වාලංකාරයෙන ප්‍රතිමණ්ඩිත වූ මහා රාජෝත්තම තෙම ඇමති මඩුලු පිරිවරාගෙන නුවර පැදකුණු කරන සේක් අභිපාරක සෙනෙවි රදුන් ගේ ගෘහද්වාරය කරා එළඹුනු සේක. එකෙණෙහි කෙල්ල ගොස් ඒ පුවත උම්මාදන්තියට කීවාය. එව්ට ඈ මල කරඬුවක් ගෙන්වා ගෙන සී මැදුරු කවුළුව වෙත ගොස් එහි සිට මහරජු අබිමුඛයට මල් දැමුවාය. මහ රජ්ජුරුවෝ ඈ දැක ක්ලේශ මදයෙන් මත්ව සිහි එලවා ගත නොහැකිව තමා ඉන්නා තැන පමණකුදු දැන ගත නුහුනු සේක. ඉක්බිති සුනන්දා නම් රථාචාර්ය අමතා ඈ පිළිබඳ සියලු තොරතුරු විමසා සියලු තතු ඔහු අතින් දැන වහා මාලිගාවට ගොස් දහසකින් පැරද ගිය එකක් මෙන් දිවා රාත්‍රී දෙක්හි නිදි නොලැබ ඈ ගැනම සිත සිතා විලාප කියමින් කල් යවන සේක. ඒ නුවරහු සෙන්පති අමතා ස්වාමීනී රජ්ජුරුවන් වහන්සේ ඔබ වහන්සේගේ මාළිගයට ගොස් නැවත වාසලට වැඩ කනස්සල්ලෙන් සිටින සේකැයි කීවාහුය.

එවිට අභිපාරක සෙනෙවි රදු තමන්ගේ ගෙට ගොස් උම්මාදන්තිය කැඳවා කිමෙක්ද සොඳුර රජ හට තෙපි පෙනුනදැයි විචාලේය. ස්වාමීනී මහත් වූ උදරයක් ඇති දළ ඇති රථයෙහි සිට ආවා වූ එක් පුරුෂයෙක් ඇත. මම ඔහු රජ්ජුරුවන් බවක් හෝ රජකයෙක් බවක් හෝ නොදන්නෙමි. එක් ප්‍රධානියෙකැයි කී කල්හි ද්වාරයෙහි සිට මල් දැම්මෙමි. හෙතෙම එපමණකින්ම නැවිත් ගියේ යැයි කීවාය. හෙතෙම ඒ අසා තී විසින් මම නසන ලද්දේ වීමයි කියා දෙවෙනි දවස් උදෑසන රජ ගෙට ගොස් ශ්‍රී යහන් ගබඩාවෙහි දොරකොඩ සිට උම්මාදන්තිය නිසා කියන ලද රජ්ජුරුවන්ගේ විප්‍රකාර විලාප වචන අසා ඈ නොලබන්නේ නම් රජතුමා මරණ ප්‍රාප්ත වන්නේය. රජතුමාගේ ජීවිතය මා විසින් දෙන්ට වටනේයයි සිහි කොට තමන්ගේ ගෙට ගොස් රහස් අන් හට නොකියන එක් උපස්ථායකයෙකු කැඳවා කියන්නේ හිතවත, අසවල් තැන සිදුරු වූ වෘක්‍ෂයෙක් ඇත. තොප ඉර බැස ගිය කල්හි ඉතා රහසින් එහි ගොස් ගස් සිදුරේ සැඟවී සිටුව. මම ඒ ඒ තන්හි බලි කර්මාන්ත කරන්නෙමි. ඒ ස්ථානයට පැමිණ දෙවියන් වැඳීමෙන් පසු දිව්‍ය රාජයානන් වහන්ස අප මහා රජාණෝ නුවර සැණකෙළි පවත්නා කල්හි එහි ගොස් සැණකෙළි නොකෙළම ශ්‍රී යහන් ගබඩාවට වැඩ විලාප තියමින් හිඳින්නේය. ඊට කාරණා අප නොදනුම්හ. අප නරේන්‍ද්‍රයානෝ අවුරුදු පතා දහස් ගණන් විසඳා නොමැළිව බළි පූජා කරන සේක. එහෙයින් දේවතාවුන් වහන්ස රජ්ජුරුවන්ගේ පසුතැවිල්ලට හේතුව වදාළ මැනවයි කියා මම යාඥා කෙරෙමි. තෝ එකෙනෙහි කටහඬ මාරු කොට සේනාධිපතිය තොපගේ රජ්ජුරුවන්ට ව්‍යාධියෙක් නම් නැත. තාගේ භාර්යාව වූ උම්මාදන්තිය කෙරෙහි පිළිබඳ වූ සිතෙක් ඇත. එහෙයින් උමතු විය. ඉදින් ඈ ලද්දේ නම් ජීවත් වන්නේ ය. ඉදින් තොප එම රජහුගේ දිවි කැමැත්තෙහි නම් උම්මාදන්තිය ඔහුට දෙවයි කියා කියවයි විධානය කොට ඔහු ඇරියේය.

දෙවන දවස් හි සෙනෙවි රදුන් ඒ ස්ථානයට ගොස් කී ලෙසින්ම ආයාචනා කරන ලදුව හෙතෙම එසේම කීවේය. එවිට සෙනෙවි රද යහපතැයි දෙවියන් වැඳ මාළිගාවේ ශ්‍රී යහන් ගබඩාවට ගොස් රජ්ජුරුවන් අමතා ස්වාමීනී ඔබ වහන්සේ ගේ විලාප කාරණය දැන ගන්නා පිණිස වෘක්‍ෂ දේවතාවන්ට නමස්කාර කරන්නා වූ මට එක් දේවතාවකුගෙන් මෙකරුණ දැන ගත හැකි විය. එනම් තොප රජහුගේ සිතත උම්මාදන්තිය කෙරෙහි රාග වශයෙන් බලවත්ව පිහිටියේ ය. ඈ ලද හොත් දිවි රැකෙයි. නැතහොත් නොරැකෙයි කීහ. එහෙයින් මම ඔබ වහන්සේට ඈ පරිචාරිකා කොට දෙමි. ඒ සුව අනුභව කොට වදාළ මැනවයි කීහ. එවිට රජ්ජුරුවෝ යහළු අභිපාරකය ඈ කෙරෙහි ලෝභ සිතින් විලාප කියන ලද බව දෙවියෝත් දන්නා හු දැයි විචාළ සේක. එසේය දේවයන්වහන්සේ යැයි කීය. එවිට නරාධිපති තෙම සර්ව ලෝකයා විසින් මාගේ ලාමක භාවය දන්නා ලද්දේ දැයි ලජ්ජිතව සෙන්පති අමතා යහළු අභිපාරකය, ඈ හා සමඟ අභිරමණය කරන්නා වූ මම මාගේ ගුණධර්ම නසන්නේය. ඈ සමග හැසිරුන පමණකින් ම අජරාමර ද නො වන්නෙමි. මහජනයා ද රජ්ජුරුවන් විසින් අයුක්තක් කරන ලද්දේ යැයි නින්දා කරන්නාහුය. තෙපිද භාර්යාව මට දී පසුව ඈ නොදැක තගේ සිතට ද දොම්නස් වන්නේය.
එහෙයින් මට ඇගෙන් කම් නැතැයි කීවේය. නැවත නැවතත් සෙන්පති තෙම රජ්ජුරුවන්ට කැමති සේ උම්මාදන්තිය ගෙන්වා ගැනීමෙන් හෝ ඈ ළඟට යාමෙන් තම සිත උපන් ආශාව සංසිඳවාගත මැනවැයි කීවේය. එවිට රජ්ජුරුවෝ අභිපාරකය රහසින් හෝ පවක් කළ නොහැක්කේය. එහි විපාකය අනිෂ්ට ඵල වන්නේය. එහෙයින් එය මට නොකැමැත්තේ යැයි ප්‍රතික්‍ෂේ්ප කොට මතු මත්තෙහිද සෙන්පති තෙම ඈ පාවා ගනු මැනවැයි ඇවිටිලි කරන කල්හි මම වනාහී අකුසලයට භයෙන් එසේ නොකරමි. තා නොහඬා හිඳුව. තාගේ අඹුවගෙන් මට කම් නැතැයි කියා භය ගැන් වූ සේක. හෙතෙම ඒ අසා කිසිවක් කියන්නට අසමත්ව රජ්ජුරුවන්ට ස්තුති කොට ඔබ වහන්සේ සකළ ජම්බුද්වීපයෙහි සර්ව නරේන්‍ද්‍රයන්ට ශ්‍රේෂ්ඨ වන සේක. මනාකොට ධර්මය දන්නා සේක. එබැවින් මට ද ධර්මය දේශනාකොට වදාළ මැනවැයි ආරාධනා කළේය.

ඉක්බිත්තෙන් ඔහුට ධර්ම දේශනා කරන්නා වූ රජ්ජුරුවන් වහන්සෙ ඉහතින් තෙසකුණ ජාතකයෙහි කී නියායෙන් ගාථා දසයකින් අවවාද කොට ධර්ම දේශනා කළ සේක.

එකල අභිපාරක සේනාපති නම් මෙකල ශාරිපුත්‍ර ස්ථවිරයෝය. එසමයෙහි උම්මාදන්තිය නම් මෙසමයෙහි උපුල්වන් මහා ස්ථවිරිය. සිද්ධ රාජෝත්තමයාණෝ නම් දැන් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ය.

 

 
උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.