534 අමරා දේවි ජාතකය

මේ උම්මග්ග ජාතකයෙහි මහොෂධ පණිඩිතයන් වහන්සේ අමරා දේවී ප්‍රශ්නය විසඳු නියාව දැක්වෙයි.

එතැන් පටන් මහෞෂධ පණ්ඩිතයන්ගේ යසස කිරිමුහුද පරිද්දෙන් මහත් වූයේය. උදුම්බරා දේවිය පණ්ඩිතයන්ගේ දුක සැප නිතර විචාරන්නී සොළොස් හැවිරිදිවූ කල මාගේ මළණුවෝ වැඩිමළුව සිටගත. යශසත් මහත. උන්ට සමාන කුලයකින් සරණපාවා දෙන්ට සුදුසුයයි සිතූ එපවත් රජ්ජුරුවන්ට දැන්වූහ. රජ්ජුරුවොද සොම්නස්ව යහපත සොඳුර එපවත් උන්ට කියවයි කීහ. එය දැනගත් පණ්ඩිතයන් වහන්සේ “අනුන් පාවාදෙන කුමාරිකාවක් කිසිසේත් මට අභිප්‍රාය නොවන්නීය. එහෙයින් මමම පළමුකොට සොයා ගනිමියි සිතා දේවීන් වහන්ස කීප දවසක් රජ්ජුරුවන් වහන්සේට මා අසවල් කාර්යයට ගියයි නොකිව මැනව කුමාරිකාවත් පරීක්‍ෂාකොට ඔබ වහන්සේට දන්වා ලමියි කීහ. එසේ පවසා එක්තරා වේශයකින් සන්නාලි උපකරණ ගෙන හුදකලාව උතුරු වාසල් දොරින් නික්ම උතුරු යවමැදුම් ගමට වැඩිසේක.

එගම දුප්පත්ව සිටි පුරාතන සිටුකුලයෙක “අමරාදේවී” නම් රූපත් මහා පිනැති දුවක් වූවාය. ඈ එදවස හුළුකැන් පිසගෙන පියාණන් සානතැනට යන්නී පණ්ඩිතයන් වඩනා මගට පිළිපන්හ. පණ්ඩිතයන් වහන්සේ ඒ කුමාරිකාව දැක “මෝ තොමෝ මට බිරින්දට සුදුසුයයි සිතූසේක. අමරා දේවියද පණ්ඩිතයන් දැකලා ඉදින් මෙබඳු පුරුෂයෙක් ඇත්නම් වස්තු රැස්කරන්ට පිළිවනැයි සිතූහ. ඉක්බිති පණ්ඩිතයන් වහන්සේ මැගේ සැමියන් ඇති නැති බව නොදනිමි. එපවත් හස්ත මුද්‍රායෙන් විචාරමි. ඉදින් මෙ නුවණැත්තී විනම් එය දැන ගන්නීයයි සිතා දුර සිටම “ඇඟිලි හකුළුවා මිට හළසේක”. ඈත් මේ පුරුෂයා මාගෙන් සැමියන් ඇත්ත, නැත්ත විචාරන්නේයයි දැන “අත්ල විදහාලූහ” පණ්ඩිතයන් වහන්සේ ඈ සරණ නූනබව දැන සමීපයට ගොස් සොඳුර තෙපි කිනම්මු දැයි විචාළේය. ස්වාමීනී ගිය දවස වේවයි දැන් වේවයි මතු දවස වේවයි මුළු ලෝකයෙහි යම් නමෙක් ඇත්නම් මම ඒ නමි”යි කීහ. ඇගේ නම අමරා” බව දැනගත් පණ්ඩිතයන් වහන්සේ සොඳුර කවුරුන්ට කැඳගෙන යව්දැයි විචාළහ. පූර්‍ව දේවතාවන්ට යයි කීහ. පූර්‍ව දේවතාවෝ නම් මව්පියෝය. තොපගේ සිටාණෝ කුමක් කෙරෙත්දැයි විචාළහ. එකක් දෙකක් කෙරෙතියි කීහ. එකක් දෙකක් කිරීම නම් සී සෑමය. තොපගේ පියාණෝ කොතනක සාත්දැයි විචාළසේක. යම් තැනකට එක්වරක් ගිය කෙනෙක් නොඑද්ද එතැනයයි කීහ. එසේ තැන නම් සොහොනය. සාන්නේ සොහොනක් සමීපයේය. සොඳුර අදම එව්දැයි විචාළසේක. ඉදින් ආවොත් නොඑමි. නාවොත් එමි. කීහ පියා ගඟකින් එතර සාති. ගඟදිය ආවොත් නො එන නියාව කී බව තේරුම්ගෙන එසේදැයි විමසීය. එසේයයි කීහ. ඉක්බිති අමරාදේවී හුළුකැන් පූව මැන. ස්වාමීනි පැවරූහ. පණ්ඩිතයන් වහන්සේ ප්‍රථමයෙන් කළ ආරාධනාව නොඉවසීම අවමඟුලැයි සිතා යහපත බොමියි වඳාලසේක. අමරා දේවිය කැඳ සැලිය ඉසින් බා තැබූහ. පණ්ඩිතයන් වහන්සේ ඉදින් මණ්ඩය නොදෙව අතට පැන් නොදීම කැඳ අතට දිනි නම් මෙතැනම හැරපියා යෙමි’යි සිතූසේක. ඈ මණ්ඩයෙන් පැන් ගෙන අතට දීලා සිස් මණ්ඩය අත නොතබා බිම තබා සැළියේ කැඳ අල්ලා හුළු කැනින් මණ්ඩය පුරාලූහ. ඒ කැඳෙහි හුළු මඳ වූයේය. පණ්ඩිතයන් වහන්සේ කිමෙක්ද? සොඳුර හුළුකැන් ඉතාම බොල්වනැයි වදාළසේක. පැන් නොලද්දේය. ස්වාමීනියි කීහ. තොපගේ කුඹුර පූදිනා අහදිය නොලද්දයි සිතමියි වදාරා හුළු කැන් සියල්ලම පානය කොට අත කට සෝදා

සොඳුර තොපගේ ගෙට මග කියවයි වදාළසේක. අමරාදේවිය යහපතැයි, ගෙට මග කියන්නී “මේ මග ඔස්සේ ගොස් ඇතුළු ගමට වන්කළ යම් තැනක අත්සුණු තබා විකුණන සල්පිලක්ද ඉන් ඔබ්බට ගියකල යම් අතකින් අනුභව කරත්ද ඒ අත මග යන්ට කියමි. ඒ යව මැඳුම්ගම අපගේ දෙමාපියන්ගේ ගෙට මඟය. මා හඟවා කීමග දැන වදාළ මැනවයි කීහ.

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.