(50) සත්‍යාවබෝධය ලබමු.

මහානායක හාමුදුරුවනේ ,බොහෝ දෙනෙකුට මරණය ගැන බියක් ඇතිවෙන්නේ, ඔවුන් නොසිටීමෙන් මව්පිය දූදරු සහෝදර ආදි තම සමීපතමයන්ට දුකක් කරදරයක් වෙතැයි සිතීම නිසා නේද?

එසේ තමන්ගේ අභාවයෙන් පසු තමන් පණ මෙන් සෙනෙහස දක්වන අයගේ ජීවිත අඳුරු වෙතැයි සිතීම අනුවණකමක්, ඉන්පසු ඔවුන් තවදුරටත් හොඳින් ජීවිත සකසා ගෙන සුවෙන් සැපෙන් සිටින අවස්ථා ඕනෑ තරම් තිබෙනවා. කර්මවාදීන් එය පෙර කර්මය (පින) ලෙසත්,දේවවාදීන් එය දේව කැමැත්ත ලෙසත්, තර්ක භෞතිකවාදීන් එහි උත්සාහය ලැබීම වශයෙනුත් හඳුන්වනවා. මෙලෙස කුමන නමකින් එය හැඳින්වුවත් එහි ඇති බලය තම තමන් සසරේ කර ඇති විපාක උපකාරක ශක්තියයි.

මව්පිය දූදරු වගකීම් සම්පූර්ණ වීමට පෙර පරලොව යාම ගැන කිසිවෙකු වරදකරුවෙකු නොවෙයි. පහනට දැමු තෙල් අවසන් වූ විට එය නිවී යන්නාක් මෙන් තමන් ගෙනා කර්ම ශක්තීන් ඇතිතාක් දූ දරුවන්ට එළිය දිය හැකි වෙනවා..අබෞද්ධ බටහිර වෛද්‍යවරියක වන ලීස් හොඩ්කින්සන් ‘පුනරුප්පත්තිය’ ගැන කළ වැදගත් විචාර අතර,ඇගේ එක් නිගමනයක අවසානයේ මෙසේ දක්වා තිබෙනවා . එනම්,

“මගේ දරුවෝ මගේ නොවෙති. ඔවුහු කල්ප ගණන් වයස්ගත වූ ආත්මයෝය.ඔවුන් පිළිබඳව මා මේ දරා ඇත්තේ තාවකාලික වගකීමකි. මට වැටහෙන පරිදි ඔවුන්ගේ චරිත ලක්‍ෂණවලට හෝ මේ ජීවිතයේදී ඔවුන් කරන වැඩවලට මගේ වගකීමක් නොමැත. ඔවුන් ගැන සැබෑවටම වගකිව යුත්තේ ඔවුන්මයි. ඔවුන්ගේ අනාගත දියුණුව රැඳී ඇත්තේද ඔවුන් තුළමයි. මට කළ හැක්කේ, ඔවුන්ට කවා පොවා සුදුසු අධ්‍යාපනයක් ලබාදීමට උපකාර කිරීමක් පමණයි. ඒ හැර ඔවුන්ගේ ජීවිත දීප්තිමත් එකක් වේයැයි හෝ විය යුතුයැයි සහතික විය නොහැකියි.”

නින්ද මරණය, පිබිදීම, හා ඉපදීම

 මරණය ගැන මේ එක දෙයකින්වත් බියක් හෝ තැති ගැන්මක් ඇති කර නොගත යුතු සාමාන්‍ය සංසිද්ධියක් බව ද? ඔබ වහන්සේ අවධාරණය කරන්නේ.

ඔව්.බුදු දහමේත් එහෙමයි විස්තර වෙන්නේ, කොලොම්බියා සරසවියේ, 1978 ඔක්තෝබර් මාසයේ පැවැති වෛද්‍ය පීඨ විද්‍යාර්ථයන්ගේ රැස්වීමකදී ආචාර්ය සිල්වියා ක්‍රැන්ස්ටන් කළ දෙසුමේදී පවා මීට සමාන මතයක් ප්‍රකාශ වී තිබෙනවා.

” මරණය විවේකයක් හා අලුත්වැඩියා වීමක් ලෙස සතුටින් පිළිගත යුතුදෙයක්. පුනරුප්පත්තිය පිළිගන්නා අය,ජීවත්වීම මරණය හා නැවත ජීවත්වීම යන මෙම චක්‍රය, නිදා ගැනීම හා අවදිවීම යන දෙකට සමාන ලෙස විශ්වාස කරනවා. අප අතරින් කවරෙක් රාත්‍රි නින්දට යාමට බියවේද? ඉතා ටික දෙනෙකු හැර සෙසු සියල්ලන්ම රාත්‍රිය විවේකය හා අලුත්වැඩියා වීම ලෙස එය සතුටින් පිළිගන්නවා. ඔවුන් නින්දට යන විට පසුදා උදෑසන අවදිවී පෙරදින කරගෙන ගිය වැඩවල යෙදීමේ විශ්වාසයෙන් යුතු වෙනවා. එදිනෙදා ලබාගත් දැනුම පසුවදා වගේම පසුව එන (මතු) ජීවිතයේද ප්‍රයෝජනයට ගන්නවා.

මෙසේ මරණය දිග (දීර්ඝ) දවාලක අවසානය වගෙයි.එයට පසුව ලැබෙන රාත්‍රියෙහි සෑම කෙනෙක්ම විවේක ගන්නවා. විවේකයෙන් පසුව නැවතත් උපත නමැති පසුදා අවදිවීමෙන් පසුව වැඩ කිරීමට පටන්ගන්නවා”

මේ විධියට තම තමන්කර ගෙන යන වැඩ කටයුතු හා ප්‍රගුණ කළ ශිල්පශාස්ත්‍ර ආදිය පවා කුමන පවුල් පරිසරයක නැවත උපත ලැබුවත් ක්‍රමිකව එම භාව පුරුදු මෙන්ම සහජ දක්‍ෂතා මතු වී ඔපවත් වෙමින් පෙර පරිදි කරගෙන යනවා. බුදුරදුන් දවස සාලවතී ගණිකාවට ලැබුණූ ‘ජීවක’ ද දඹදිව මගධ රාජ්‍යයේ ප්‍රධාන වෛද්‍යවරයා වුණෙත් එහෙමයි.

 මහරහතුන් වැඩි මග

අපේ මහරහතුන් මෙම උපත, විපත හා පැවැත්ම නැති කළ පිරිසක් බවට පත්වෙන්නේ කොහොමද?

ඒ ගැන බුදුහාමුදුරුවෝ වරක් ජේතවනාරාමයේදී බෙල්ලට්ඨිතිස්ස තෙරුන් උදෙසා වගේම තවත් අවස්ථාවකදී වේළුවනාරාමයේදීද අනුරුද්ධ තෙරුන් අරභයා කළ පැහැදිලි කිරීමක් ධම්මපදයේ “අරහත් වග්ගයේ” 92 හා 93 යන ගාථාවලින් දැක්වෙනවා.

“මහණෙනි, යමෙකුගේ ආශ්‍රව හාත්පසින්ම දුරු වූයේද, යමෙක් ආහාරයෙහි නොඇලුණේද, යමෙකු රාගාධි නිමිති රහිත වූත් නිවනක් අරමුණවේද එබඳු පුද්ගලයාගේ මරණින් මතු පැවැත්ම හෝ මරණින් මතු ගිය මග හෝ යන මග දැකිය නොහැකිය. එනම් අහසෙහි කුරුල්ලන් ගිය මග නොදත හැකිවා මෙනි .”

මෙලෙස අප සසරින් නිදහස් වීමට උනන්දුවක් ඇති කරගෙන,ඊට අවශ්‍ය කරන කාරණා ප්‍රගුණ නොකළහොත් අපගේ මතු අනාගතයද ආරම්භයක් නොපෙනෙන ඉකුත් වූ අතීතය මෙන් අවසානයක් නොපෙනෙන තරම් අති දීර්ඝ වූ එකක් වීමට ඉඩ තිබෙනවා.

සසරින් එතෙරවීමට ඇති බාධක

මෙතරම්ම අපේ සසර ගමන දිග වීමට බලපාන කාරණය කුමක්ද?

ඔව්. ඔබ ඇහුවා වගේ ඕනෑම එකක් මේ තරම්ම දිගු කලක් පැවත ගෙන යාමට කිසියම් කාරණයක් හෝ ඊට ජීවය එක්කරන ආහාරයක් නිසැකවම පැවතිය යුතු වෙනවා.කවර දෙයක් වුවත් ආහාරයෙන් තොරව හෝ ශක්ති ප්‍රවාහයකින් තොරව ස්වභාව ධර්මයට අනුව පවතින්න බැහැ.මේ පිළිබඳව වරක් අග්‍රශ්‍රාවක සැරියුත් මහ රහතන් වහන්සේද මෙසේ පැහැදිලි කර තිබෙනවා.

“ඇවැත්නි,ඉපදීමට බලාපොරොත්තු වන (අපේක්‍ෂා කරන) සත්වයින්ට අනුග්‍රහ සඳහාද ඉපද සිටින සත්වයින්ට සිය පැවැත්ම සඳහාද හේතු (උපකාරි) වන ආහාර හතරක් (04) තිබෙනවා. ඒවා නම් 1. කබලිංකාර ආහාර 2.ඵස්ස ආහාර 3. මනෝ සංචේතන ආහාර සහ 4.විඤ්ඤාණ ආහාර යන ආදියයි”

දේව, මනුෂ්‍ය ,තිරිසන්,හා පේ‍්‍රත ආදි විවිධ ආත්ම භාව ගත කරන්නන් ස්වකීය පැවැත්ම සඳහා ගනු ලබන විවිධාකාර වූ ආහාර වර්ග සියල්ලන්ම 1.කබලිංකාර ආහාර ගණයට අයත්වෙනවා.

2.ඵස්ස ආහාර කියන්නේ, සත්වයාගේ ඉන්ද්‍රියකට අරමුණක් ස්පර්ශ වීමෙන් ලබන පෝෂණයටයි. එනම්,ඇස, කන, නාසය, දිව,ශරීරය හා මනස යන අපේ ඉන්ද්‍රියන් හයටම අරමුණවන සිතිවිලි ඊට අයත් වෙනවා.

සත්වයාගේ ඉපදීමට හා එහි ස්වභාවය ට ප්‍රධාන වශයෙන්ම හේතු වන්නේ,

3.මනෝසංචේතන ආහාර (ජනක කර්මය) යි.මෙලෙස පටිසන්ධියක් ලබාදීමට සමත්වන කර්මය ද සසර ගමනට ආහාරයක් වෙනවා. ස්ත්‍රී හෝ පුරුෂ ආත්මයක් ලැබීමට සුදුසු කර්ම අනුව මනුෂ්‍ය උපතක් සිදුවෙනවා. දේව, තිරිසන් හා පේ‍්‍රත ආදි වශයෙන්ද එම ආහාරයේ තත්වයට ගැලපෙන උපතක් මෙමගින් ඇති කරනවා.

පටිසන්ධි විඤ්ඤාණය 4. විඤ්ඤාණ ආහාර ලෙස සැලකෙනවා. එහෙත් මෙය ඉහත මනෝ සංචේතන ආහාරයෙන් වෙනස් වූවක් බව අවබෝධ කර ගත යුතුයි.පොදුවේ ගත් කළ උපාදානස්කන්ධ පහ (05) හෙවත් පාදානයන් එකට බැඳුණු ස්කන්ධ පහට “පටිසන්ධි විඤ්ඤාණය “ කියනවා.මෙයද කිසියම් ජීවිතයක් නිපදවීමට හා විකාශයට ආහාරයක් වෙනවා.

නිවනින් සැනහෙන පිළිවෙත්

අපේ උපතට, විපතට, හා පැවැත්මට ඉවහල්වන මෙම ආහාර අතහැර ගැනීමේ මග වටහා ගතහොත් මේ සසර දුක නිම කරගත හැකිද?

ඔව්. දැල්වෙමින් තියෙන පහනට අලුතින් පහන්තිර ,තෙල් හා ඊට අවශ්‍ය වාතාශ්‍රය ආදිය නොසැපයීම, මගින් එය ඉබේටම නිවී යනවා.ගසක් වුවත් මුලිනුදුරා දමා දවා අලුකර දැමූ විට යළියළිත් මුල් අල්ලා දළුලා වැඩෙන්නේ නැහැ.ගසක් වැඩීමට ජලය හිරුඑළිය, පොහොර හා වාතාශ්‍රය අවශ්‍ය වගේ සසර පැවැත්මටත් ඉහත ආහාර අවශ්‍ය කරනවා.කෙසේ හෝ එයින් විනිර්මුක්ත වීමට නම් අනිත්‍ය දුක්ඛ හා අනාත්ම වශයෙන් විදර්ශනා භාවනාව වඩමින් මම,මගේය කියන ආත්ම දෘෂ්ටිය හෙවත්

1.සක්කායදිට්ඨියත් බුද්ධාදී අටතැන්හි ඇති 2.විචිකිච්චා (සැකයත්) වැරැදි ශීල – ව්‍රත අල්ලාගැනීම හෙවත් 3. සීලබ්බතපරාමාස ‘යන සංයොජන තුන (03) දුරු කරගත හොත් උතුම් “සෝවාන් ඵලය ‘ ට පත් වීමට භාග්‍යය උදාවෙනවා.

ඊඟාවට කාමාශාව හෙවත් කාමරාග සහ ක්‍රෝධය හෙවත් පටිඝ යන සංයෝග දෙක තුනී කර ගැනීමෙන් ‘සකදාගාමි ඵලය ‘ටත් මේ සියල්ල දුරු කර තෙවන වරටත් නිර්වාණ අවබෝධ කර ගැනීමෙන් ‘අනාගාමී මහගු ඵලය’ ටත් පත්වීමට අවකාශය සැලසෙනවා. අවසාන වශයෙන් රූපරාග, අරූපරාග , මාන උද්ධච්ච හා අවිජ්ජා යන පහ (05) දුරැකර හතරවන වරටත් නිර්වාණාවබෝධයෙන් උතුම්’අරහත් තත්වය’ටත් පත්විය හැකිවෙනවා.

ඉන්පසු ජනක කර්ම ශක්තිය ඇති තෙක් පමණක් ජීවත්ව කපුරු පෙත්තක් දැවී ගිය පසු කිසිවක් ඉතිර නොවී යන්නාක් මෙන් සියලු කර්ම ශක්තීන් නිමාවීමෙන් පසු නැවත ජරාවත් මරණයත් නැති “අජරාමර ලෝකයෙහි”සදාකාලිකවම පිරිනිවී යනවා.

 

මහා ධර්ම භාණ්ඩාගාරයක් හා සමාන වූ පරම පූජණීය බෙල්ලන ශ්‍රී ඤාණවිමල මහා නාහිමි 2014 10 04 (4 දා) පස්‌වරු 6 ට පමණය. අපවත්වන විට උන්වහන්සේ 95 වැනි වියේ පසුවූහ. නිරන්තරයෙන් සත්වගට සදහම් පෝෂණය ලබාදුන් උන්වහන්සේට නිවන්සුව ලැබේවායි හදවතින් ප්‍රාර්ථනය කරමු.

Join the discussion One Comment

  • Harsha Nalinda says:

    “Danayan Athara Uthumma Danaya Darma Danayai” SAKVALA SAKMANA Namathi Uthum Darama Bandagaraya Laba Dima Pilibada Sthuthi

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.