(48) අත්හැරීමට ඇති අකැමැත්ත

මරණය ගැන බියක් ඇතිවීමට අප අයිති කරගෙන සිටින දේවල අත්හැර යාමට ඇති අකැමැත්ත බලපාන්නේ කොහොමද?

දැන් කෙනෙකු යමක් උපයා ගන්නේ, ඒ දේ අයිති කර ගන්නේ ඒවට ආශා කරන හින්දනේ. අයිති කර ගත්ත, උපයා ගත්ත දෙය ප්‍රයෝජන ගනිමින් එයට ඇලුම් කරමින් සිටින නිසා එම ආශාව තව තවත් වැඩිවෙනවා. ඊට පස්සේ, ඒ ඇලීම පහසුවෙන් අත්හැරීමට බැරි දෙයක් බවට පත්වෙනවා. නමුත් මෙහි ඇති සැබෑ තතු කල්පනාව ට ගැනීමෙන් මෙය විසඳා ගත හැකියි. විශ්ව ධර්මතාවට අනුව විශ්වයේ ඇති කිසිදෙයක් කාටවත් අයිති නැහැ. නිදර්ශනයක් ලෙස ‘තමාවත් තමාට අයිති (හිමි) නැති ලෝකයක වෙනත් කෙනෙකු හෝ ධනය වස්තුව හෝ අයත්වීමක් කොයින්ද?”යනුවෙන් බුදු හාමුදුරුවෝ වදාළේ ඒ නිසයි. මේ මුළු මහත් විශ්වයම සැම දෙනාටම සාධාරණ වූවක්. උදාහරණයක් වශයෙන් මේ මහ පොළොව අරන් බලමු. පොළොවේ එක එක තැන් මිලදී ගත් අය, බලෙන් අයිති කර ගත් අය සහ ව්‍යාජ ඔප්පු ලිපි ලේඛණ හදා වංචාවෙන් තමාගේ කරගත් අය ආදි වශයෙන් ඉන්නට පුළුවන්. ඔය විධියට අක්කර සිය දහස් ගණන් ඉඩකඩම් තමන් තෘෂ්ණාවෙන් අයිති කරගෙන ඉඳලා දන්නේම නැතිව මැරිලායනවා. එහෙම මිය ගියාට පස්සේ දාලා ගිය එම ඉඩකඩම් දූ දරුවෝ හරි මුණුපුරෝ මිනිපිරියෝ හරි ඥාතී හිතවතුන් හරි අයිති කර ගෙන ඉඳලා කාලයක් යනකොට ටික ටික පිටස්තර අයට සම්පූර්ණයෙන් විකුණා දමනවා. අවුරුදු පන්සීයයක් ගතවනවිට කී දෙනෙක් පොළොවේ එකම තැනක් තමාගේ යයි කියාගෙන,අයිති කරගෙන තියෙනවද? බලන්න.

ඉපයූ වස්තුව පස් වී යාම

එතකොට, අප මේ ඉතා අමාරුවෙන් උපයාගත්ත වස්තුව ඉඩකඩම් ගේදොර අපට අයිති නැති දෙයක් කියලද? ඔබ වහන්සේ කියන්නේ.

ඔව්. ඔබ මේ පොළොවේ කොතරම් ස්ථාන ගණනක ඉඩම් මිලදී ගෙන ගෙවල් හදා ඇති දැයි බලන්න. එහෙම අතීතයේ ඔබ තමාගේය කියා ගෙවල් හදාගත්තු නැති තැනක් මේ මුළු පොළොවේම නැති විය හැකියි. එතරම්ම , ඔබ විවිධ ආත්මභාවවලදී (මනුෂ්‍ය තිරිසන්, ආදී) ගෙවල් නොහැදූ, වගා නොකළ හා වාසය නොකළ බිමක් මේ පොළොවේ නැති තරම්. එහෙත් අද ඒවා ඔබට අයිතිද? ඒ වගේම, ඔබ යම් දවසක මවගේ කුසයෙහි පිහිටා තිබූ ඉතා සියුම්වූ කලල රූපයකට අරක් ගෙන එය අයිති කර ගෙන සිටියා. එදවස ඔබ එය මගේ යැයි සිතාගෙන එය වැඩිදියුණු කර ගැනීමේ අදහස ඇතිව නිරතුරුව ක්‍රියා කළා. මවගෙන් ලද පෝෂණයත්, ඔබ එයට එකතු කළ පුණ්‍ය බලයත් හේතුකොට ගෙන ඔබට නොදැනීම එය ක්‍රමිකව වැඩුණා. ඇඟ පසඟ සම්පූර්ණ වූ පසු ඔබ මව්කුසෙන් බිහිව කායික උත්සාහයත් එකතුකොට ඉක්මනින් වැඩෙන්නට පටන්ගත්තා. පොළොවේ සාරය, ජලය, ඍතු ගුණය හා වාතය ආධාර කර ගනිමින් අද පවත්නා තත්වයට එම ශරීරය පත් කර ගැනීමට ඔබ කොතරම් උත්සාහ දැරුවෙහිද?ඉතා හොඳ ප්‍රණීත ආහාර ඇතුළු කරමින්, රෝගාබාධයන්ට පිළියම් කරමින්, විවිධ උපද්‍රවයන්ගෙන් ආරක්‍ෂා කරමින්, දෙවියන් යකුන් යදිමින්, ආරක්‍ෂික ස්ථාන වෙත ගෙන යමින් හා තවත් බොහෝ දේ කරමින් ඔබ ශරීරය ආරක්‍ෂා කර ගත්තා. එහි තිබූ හැඩ නැති තැන් හැඩ ගැන්වූවා. ගඳ තැන් සෝදා පවිත්‍ර කරමින් සුවඳ විලවුන් තවරමින් සුවඳවත් කළා. එපමණක් නොවෙයි, හැළෙන දිරපු දත්වලට අලුත් බොරුදත් දා ගත්තා. ඉදෙන සුදුවන කොණ්ඩයට ,රැලිවැටෙන සමට ඩයිවර්ග , ක්‍රීම් වර්ග ආලේප කර එය පෙර පැවැති පරිදි පවත්වා ගන්න උත්සාහ කළා. අලුත් අලුත් ඇඳුම් විලාසිතාවලින් එය කොතෙකුත් හැඩ වැඩ කෙරුවා. තමන් දකින අවට සිටින සැම දෙනාම විස්මයට හා පි‍්‍රයජනක බවට පත් කිරීමට ඔබ නොකළ දෙයක් නැහැ. මෙතෙක් ඔබ නොදන්නා දේ සහ ඔබට කළ නොහැකි දේ හැර ඔබ සෙසු සෑම දේම ශරීරය වෙනුවෙන් කළා. ඒ ඔබ එයට අසීමිත ලෙසම ඇලුම් කරන නිසා සහ එය ඔබේම යැයි ඔබ සිතා සිටින නිසායි.

ප්‍රතිරූප සහ පතිරූප

එහෙම නැතිව, සමාජය ඉදිරියේ ජීවත්වෙන්න පුළුවන්ද?

ඔය දේවල් සමාජයේ ජීවත්වීමට අවශ්‍ය කරන දේවල්මද? නැහැ. ඔබ මහන්සි වී වැඩිදියුණු කරගෙන ‘තමා’ ය කියා සමාජය ඉදිරියේ පෙන්වා ගෙන සිටින ශරීරයත් තමන් දරාගෙන සිටින නාමයත්,සෙස්සන් (අන්‍යයන්) ඉදිරියේ උස් තැනක තබා ගැනීමට ඔබ කොතරම් නම් උත්සාහ දරා තිබේද? හැකිතාක් දෙනෙකුට තමන් පෙනෙන සේ සැලැස්සුවෙහිද? හැකි තරම් උස් තැනක තබා තමන්ම සෙසු අයට පෙනෙන්නට සැලැස්සුවේද? මොහොතක් ඔබම සිතා බලන්න. එමෙන්ම,කාට හෝ වැඩක් නැති දෙයක් වුවද වෙන අයට වැඩියෙන් කිරීමෙන් තම පෞර්ෂය ලොකු කර ගැනීමට උත්සාහ කෙළෙහිද? වෙන කවුරුවත් නොනැගපු තරම් උස කන්දකට නැගීමට සමහරු උත්සාහ කරනවා.

මෙයින් වැඩක් වන්නේ කාටද? විවිධ ජීවිත අවදානම් වලට මුහුණදෙමින් වාර්තා පිහිටුවීමට උත්සාහ දරන්නේ කුමකටද? තමන්ගේ නම පෞර්ෂය නංවා ගැනීමට නොවේද? එයින් තමාට සිදුවු වෙහෙසක් මිස කාටත් සිදුවූ සෙතක් නැහැ. දැන් ඔබ සිතා බලන්න. ඔබ මේ ක්‍රියා පද්ධතිය සසර දී කොපමණ වාර ගණනක් කර ඇද්ද? කියලා. වරක් බුදු හාමුදුරුවො උත්තරීතර අභිඥා බලයෙන් දැක දේශනා කළ ආකාරයට එම අතීත ආත්මවලදී නොදැරූ තනතුරක්, නොලබපු පදවියක් නැහැ. ඒවා නොඅඩුව ඔබ ලබා තිබෙනවා. නමුත් යළි යළිත් ඒවා දැරීමට ලැබීමට ඇති ආශාව පමණක් ඔබ තුළ අඩු නොවී තිබෙනවා.

අප බුදුරදුන් සංයුත්ත නිකායේ, අනමතග්ග සංයුත්තයේ මෙසේ විස්තර කර තිබෙනවා. “මහණෙනි , කවර තරමක හෝ සැපතක් ලබා සිටින කෙනෙකු දක්නට ලැබුණවිට,මේ දීර්ඝ සංසාරයේ ගමන් කරන අතර, මා ද මේ සැපත විඳ ඇතැයි නිගමනයකට බැස්ස යුතුය. සසර එතරම්ම දිග එකක් වන බැවින්” මේ අනුව, ඔබ නොදැරූ තනතුරක් හෝ අයිති කර නොගත් දෙයක් හෝ නිර්වාණ සැපය හැර නොලැබූ සැපයක් හෝ සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයෙහි හැර නූපන් තැනක් හෝ තිබිය නොහැකියි. එහෙත්, ඒ සෑම දෙයක් තුළම ඇත්තේ, ඉතා තාවකාලික බවක් බව ඔබ අවබෝධ කර ගත යුතුවෙනවා.

මෙසේ සැපදී හදාගත් ශරීර අද කොහිද? එසේ අපමණ වාරගණනකදී ඔබ සැපදී හදාගත් ශරීර කූඩු සොයා ගොඩ ගැසුවහොත් ඒවා සියල්ල දඹදිව රජගහනුවර වේපුල්ල පර්වතයට සමාන වන බව අමතක නොකළ යුතුයි. වරකදී ඔබ අයත් කරගත් දෙය අද අයත් නොවන්නේ මක් නිසාද? මෙම විශ්වයේ කිසිවක් කිසිවෙකුට සත්‍යය වශයෙන් අයත් නැති නිසායි. බුද්ධ දේශනාවත්, විශ්ව ධර්මතාවත් එයයි. ඒ බව පසක් කරගත්විට මරණය ගැන කිසිවිටකත් බියක් ඇති වෙන්නේ නැහැ. මරණය ළගා වීමට පෙර මෙම සත්‍යය හා යථාර්ථය අවබෝධ කරගත් විට නිරාමිස සුවයක් දැනෙනු නිසැකයි.

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.