(35) සසර සරණ ආදර බැදීම්

මහ නායක හාමුදුරුවනේ, ආත්මීය ආදරය පිළිබඳ පුවත් බුදුදහමේ සඳහන්වන්නේ නැද්ද? 

අපොයි ඕන තරම් තියෙනවා. දැන් අපේ පන්සිය පනස් ජාතක කතා පොතේ වුණත්, කොච්චර නම් කතා තියෙනවාද? බුදුන් දවස විසූ කෝසල – මල්ලිකා රාජකීය යුවළගේ අතීත ප්‍රේමය ගැන කියැවෙන සම්බුලා ජාතක කතාවත් ඊට හොඳ උදාහරණයක්.

කොසොල් රජු පෙර භවයක සොත්ථිසේන රජුව ඉපිද රජකම් කරන අතර ඉතා පිළිකුලෙන් යුතු ඕජස් වැගිරෙන බෙහෙත් නාහන අසාධ්‍ය දරුණු කෘෂ්ඨ රෝගයකින් පෙළෙන්නට වුණා. එදවස මල්ලිකා දේවිය මේ රෝගී සොත්ථිසේන රජුගේ අගබිසව වූ සම්බුලා දේවිය වූවා.

රෝගය වඩාත් නරක අතට හැරුණු පසු, රජකම අතහැර වනගතව මියයාමට රජු තීරණය කළා. කටුක මහ වන මැද දුගඳ උවදුරු සියලු දෑ විඳ දරා ගනිමින් රජුගේ තනි නොතනියට හා උවටැන් කිරීමට දිවිය කැප කළ එකම කෙනා සම්බුලා දේවිය වුණා. දැසි දස්සන්, පරිවාර ළඳුන් ඇතුළු රාජ්‍යයේ සියලු දෙනා පිළිකුල් කර රජු තනි කළ ද, භවෙන් භවයට බැඳී එන ප්‍රේමයේ තදනන්තර බව නිසා සම්බුලාව පමණක් රජුට සෙවනැල්ලක්ව සිටියා.

සම්බුලා දේවියගේ ප්‍රේමය

නමුත්, සොත්ථිසේන – සම්බුලා ප්‍රේමය බොහෝ වැරැදි අඩුපාඩු මැදින් ගලා ගිය ප්‍රේම අන්දරයක් නේද?

සොත්ථිසේන රජු කියන්නේ, බෝධිසත්ව කෙනෙකු නොවෙයි. පෘථග්ජන මිනිසුන් අතින් වැරැදි සිදුවීම ස්වභාවිකයි. ඔහු අතින් මොන වැරැදි, අඩුපාඩු සිදු වුණා කියලා හැබැයි සම්බුලා දේවිය කිසි විටක වෙන් වෙලා ගියේ නැහැ. ඇගේ ආදරය උත්තරීතර වෙන්නේ ඒ හින්දායි. එහෙම නැත්නම්, ඒක ආත්මීය ආදරයක් වෙන්නේ නැහැ. දුගඳ වෑහෙන රෝගී රජුගේ කැතකුණු ඉවත් කර නහවා පිරිසුදු කර කුසගිනි නිවීමට පළවැළ නෙළා එන්නට ගිය ඇයට දිනක් අකරතැබ්බියක් වුණා. මහ වනයේ රකුසෙකුට මැද වූ ඇය හා රකුසා අතර වූ දෙබස් මෙබඳුයි.

රකුසා – සිරුර කුණු වී සැරව ගලන දුගඳ ඔත්පල සැමියෙකුගෙන් තිට ඇති සැපත යහපත කිමද? තී මාගේ විමානයට පැමිණ මාගේ අගරැජිණ වී රිසි සේ සැප සම්පත් විඳ ගනුව.

දේවිය – දුෂ්ඨ රාක්ෂය, තෝ මා අල්ලා ගෙන අත්පා උණ ගොබයක් මෙන් කඩා කෑවත් මට දුකක් නැත. එහෙත් රෝගාතුරව අසරණව සිටින සැමියාට උපකාරවීමට කෙනෙකු නැතිව ඔහුට අත්වන ඉරණම මට වාවාගත නොහැකිය.

අවසානයේ දී ඇගේ සත්‍යක්‍රියා බලයෙන් රකුසාගෙන් අනතුරක් නොවී ගැලවී සැමියා වෙත ඒමට ඇයට භාග්‍යය ලැබුණා.

සත්‍යක්‍රියා හා පතිදම් බලය

 

දෙදෙනාගෙන් එක් අයෙක් නිවැරැදි වුණාට, අනෙක් කෙනා වැරැදි කරනවිට ආත්මීය ආදරය අඛණ්ඩ ඉදිරියට පවත්වාගෙන යන්නේ කොහොමද?

 

ඒකටත්, සම්බුලා ජාතකයෙන් හොඳ පිළිතුරක් ලබා දෙනවා. දැන්, සම්බුලා දේවිය අර රකුසාගෙන් බේරිලා එදා මද අඳුරේ සඳ පහන් එළියෙන් තමයි නවාතැනට ළඟා වුණේ. ඒ එනකොට, ඇය වෙන පුරුෂයකු ඇසුරු කොට ඔහුත් සමඟ පැමිණ මා මරා දමාවි යන සැකයෙන් රජු සැඟවී සිටියා.සිය සැමියා නොදැකීම නිසා ඇය ළය පැළී යන තරම් වේදනාවෙන් හඬා වැළපුණා. එහිදී ඇගේ අවංක ආදරය ගැන වැටහී රජු ඈ සමීපයට ආවා.

 

රජුගේ අවිශ්වාසය දුරලනු පිණිස වතුර කළයක් ගෙන සත්‍යක්‍රියා කොට පතිදම් බලයෙන් රජු නැහැ වූ පසු ක්‍රමිකව රජු යළි සුව අතට හැරුණා. පසුව දෙදෙනා නැවත රජ මැදුර වෙත පැමිණියා. ටික කාලයක් ගත වූ පසු රජු සම්බුලාව අමතක කර දුරස්වෙමින් අන්තඞපුර ස්ත්‍රීන්ගේ ඇසුර ලැබුවා. මේ නිසා සම්බුලාව වේදනාවෙන් ගත සිත දුර්වලව සුදුමැලි වී දුක සේ සියල්ල විඳ දරා ගනිමින් පාඩුවේ මාලිගාවේ පැත්තකට වී කාලය ගත කළා.

 

දිනක් ඇගේ මේ වෙනස දැක පිය රජු සොත්ථිසේනයන් කැඳවා ඔහු අතින් සම්බුලාවට සිදු වී ඇති වරදේ තරම කියා දෙනු ලැබුවා. ඒ බව අවබෝධ කරගත් සොත්ථිසේනයන් සම්බුලාවගෙන් වරදට සමාව ගෙන ඔහුගේ අන්තඞපුර ස්ත්‍රීහු ද, සියලු රාජ්‍යයම ඇය වෙත පවරනු ලැබුවා. එතැන් පටන් ඔවුන් දෙදෙනා සුචරිතවත්ව සතුටින් දැහැමිව එකට ගත කළා.

 

ප්‍රේමය

 

සාංසාරික ප්‍රේම සබඳතා නිසා බුදුදහමේ ඉගැන්වෙන කාම මිථ්‍යාචාරය සිදුවෙන්නේ නැද්ද?

 

කවර තත්ත්වයක් යටතේ වුවත් කාමමිථ්‍යාචාරය අනුමත කළ නොහැකි දෙයක්. ඒ නිසා විශේෂයෙන් විවාහකයින් කල්පනාකාරීව එබඳු පෙර ජාතිවලින් ආ පෙම් සැඩ පහරට හසු නොවී සිත වෙනස් වෙන්නට ඉඩ නොදී පරිස්සමින් ජීවත් වීමට වග බලා ගත යුතුයි. ‘වෙනත් ජීවිත සමඟ ළඟ ඇසුරට මේ අතීත පෙම් බැඳීම් ඉවහල් වන බව‘ ටොරන්ටෝහි විශේෂඥ මානසික වෛද්‍ය ජොඑල් විටන් පවසා තිබෙනවා. නොහිතන විධියට එලෙස පෙර ඇසුරු කළ අය එදිනෙදා ජීවිතයේ දී මුණ ගැසී ළං වීමට හැකියාවක් පවතිනවා නමුත් ඒ තත්ත්වය අවබෝධයෙන් පාලනය කර ගැනීමට, වළක්වා ගැනීමට හැකියාවක් මනසින් උසස් මිනිසුන්ට තිබෙනවා.

 

බැඳීම් සහ නිවීම්

 

එහෙමනම් ප්‍රේමය සම්බන්ධයෙන්, ඔබ වහන්සේ අවසාන වශයෙන් මේ සමාජයට දෙන පණිවුඩය කුමක්ද?

 

‘පිරිසුදු චේතනා – ගෙනදේ වාසනා’ කියලා කියනවා වගේ ‘සිල්වතාගේ පැතීම ඉටුවේමය’ යන බුදු වදන මෙහිදි හිතට ගත යුතු වෙනවා. ‘ඉක්මන් කොටයි’ කියලත් ‘පනින්න පෙර සිතා බලනු’ කියලත් සිහිපත් කිරීම වටිනවා. දැන් මේ ආත්මයේ දී යම් පෙම්වතෙකු හෝ පෙම්වතියක සමඟ එකට එකතු වීමට ඉඩක් නැති නම් එයට ඉඩ ලබා ගත හැකි වන ජීවිත මතු ආත්මභාවවල උදාවෙනවා. තමා වරදින් නිදහස්ව දැහැමිව මෙවර ජීවිතගත කළහොත්, වැරදී ගිය බලාපොරොත්තුව මීළඟ භවයේදීම වුණත් ලැබීමට ඉඩ තිබෙනවා.

 

වෙනස්කම් කරන කර්මය

 

හොඳයි. එහෙම හිතලා භවයට ඇලුම් කිරීමෙන් අපේ සසර ගමන තව තවත් දිගු වෙනවා නේද?

 

ඔව්. ඉපදීමේ ආශාව හා බැඳීම් පවත්වාගෙන යාමට ඇති කැමැත්ත ඇතිතාක්කල් මෙලෙස අප සසර ඉපදි ඉපදි මැරි මැරී යනවා. මෙහෙම තවත් සසර ඉපදීමට ඇති වාර ගණන අපමණයි. මේ ගැන බුද්ධ දේශනාවේ මෙසේ විස්තර වෙනවා.

 

“තණ්හා ජනේති පුරිසං” සහ

“කම්මං සත්තේ විභජති” යනුවෙන්.

 

මෙහි පළමු ගාථා පාඨයෙන් කියැවෙන්නේ, තණ්හාව නැවත නැවතත් උපත සිදු කරන බවයි. කර්මය වෙනස්කම් ඇති කරයි යනුවෙන් දෙවැනි ගාථා පාඨයෙන් විස්තර කෙරෙනවා. මේ අනුව වෙනස්කම් ඇති කරන්නේ කර්මය නිසා, ඊට සුදුසු කර්මයන් කිරීමෙන් හා එයට හානි සිදුවන කර්මයන් නොකර සිටීමෙන් ඔබ කැමති ලෙසකට එම දේවල් ළඟා කර ගැනීමට හැකියාව ලැබෙනවා.

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.