347 ලටුකික ජාතකය

තවද ගෞතම ගොත්‍රයෙහි උපන්නාවූ සර්වඥයන් වහන්සේ වෙළුවනාරාමයෙහි වැඩ වසන සමයෙහි දේවදත්ත ස්ථවිරයන් වහන්සේ කවුරුන් කෙරෙත් දයාවක් නොකරති කිය කියා උන් තැනට සර්වඥයන් වහන්සේ වැඩ වදාරා මහණෙනි මා එන්නාට පූර්වභාගයෙහි කිනම් කථාවකින් යුක්තව උනුදැයි විචාරා එපවත් අසා දැන්මතු මතුනොවෙයි මහණෙනි පෙරත් දේවදත්ත ස්ථවිරයෝ කා කෙරෙත් දයා නොකළෝ වේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළ සේක.

ඒ කෙසේද යත්,

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙනෙකුන් රාජ්ජය කරණ සමයෙහි බෝධිසත්වයෝ අසූදහසක් ඇතුන්ට නායක වූ ඇත්රජව උපන්නාහ. එක් කැටකිරිල්ලක් එක්මාවතෙක කැදැල්ලක් ඉදිකොට ගෙණ බිත්තරලා බිත්තර ගසා පැටවුන් පිහිඹා නොහෙන අවස්ථාවෙහි බෝධිසත්වයෝ අසූදහසක් ඇතුන් ඇරගෙණ ඒ ස්ථානයට පැමිණියාහ. කැටකිරිල්ල තමාගේ දරුවන් පාගා මරතියි බෝධිසත්වයන් ඉදිරියට තමාගේ පියාපත් දෙක මුදුනේ තබාගෙණ ගොස් කියන්නී සැට අවුරුද්දෙන් ගිලියන මද ඇති අසූදහසක් ඇතුන්ට නායකවූ නාගරාජයානෙනි. තොපට නමස්කාර කෙරෙමි මාගේ දරුවන් නෙනසව යී කිව, එවිට තමාගේ සතර පය අස්සේ කිරිල්ලගේ පැටවුන් ලාගෙණ අසූදහසක් ඇතුන් යනතුරු වැද සිට පසුව කැටකිරිල්ලට කියන්නාවූ පස්සේ එන්නාවූ ඇතෙක් චණ්ඩය ඵරුෂය තොපට පිළිවන් වීනම් ගලවා ගනුවයි කියා ගියාහ. ඒ කියන කැටකිරිල්ලි යහපතැයි ගිවිස සිටි අවස්ථාවට එකියන ඇත් එතනට පැමිණියේය. එවිට කැටකිරිල්ලී තමාගේ පියාපත් දෙක ඉස්මුදුනේ තබාගෙණ ඇතාට කියන්නී පර්වතවල වනාන්තරවල වාසය කොට පියා එන්නාවූ එකචාරී නාගරාජය තොපට මාගේ පියාපත් දෙකින් නමස්නාර වේවායි මාගේ දුර්වලවූ දරුවන්ට හානියක් නොකරවයි කියා නමස්කාර කළාහ. එවිට එකියන ඇත් කියන්නේ තොපසේ දුර්වලයන්ට මා කුමක් කළත් බරයෙක්දැයි කියා මට තොප කරන්නේ කිම්ද තොපගේ පැටවුන් පිරවා අතින් හා පස්සාපයිනුත් දකුණු පයිනුත් නොමඩිමි. වම්පසින් මඩිමි කියා වම්පසින් මැඩ මුත්‍රවතුරේ යවාපුහ.

එකියන්නාවූ කැටකිරිල්ලිත් එකගසක අත්තක් පිට ඉඳගෙණ කියන්නී තාගේ බලයේ විචර හා මාගේ නුවනේ විවර හා බල තාගේ උදක් බලයෙන් මාගේ දරුවන් නසාපුවාට මාගේ නුවනින් තාත් නසන්නෙම් වේදැයි කියා තමන් ගොසින් එක් කවුඩෙකුට දෙතුන්දවසක් සේවාකම් කොට එකියනකවුඩු තී මට සේවාකම් කරන්නේ ඇයිදැයි කීහ. ස්වාමිනි මාගේ දරුවන් ඇතෙක් නසාපිය. එසේ හෙයින් එකී යන ඇතා එකාචාරීව ඇවිදිය. ඒ ඇතාගේ අවසරයක් බලා ඇස්දෙක විදපුවොත් යහපතැයි කීහ. එකියන කවුඩු යහපතැයි කියා ගිවිස්සේය. එවිට එකියන කැට කිරිල්ලී නිලවැස්සෙකු සමීපයට ගොස් කීපදවසක් උන්පස්සේ සේවාකම් කරන්නීය. එවිට එකියන නිලමැසි ඇයි තොප මා පස්සේ සේවය කරන්නේ ඇයිදැයි කීහ. එසඳ එක් කවුඩෙක් එකචාරීව ඇවිදිනා ඇතකුගේ ඇස්විදිනේය. තොප ගොසින් උන්ගේ ඇසේ ඉහඩ ලා එවයි කීහ. එයින් යහපතැයි ගිවිස්ස. පසුව කැටකිරිල්ල ගොස් මැඩියෙක් ආශ්‍රය කළාය. එකියන මැඩියා ආශ්‍රය කරන්නේ ඇයිදැයි කීහ. එවිට කැටකිරිල්ලී කියන්නී එක් තරා ඇස් කණව ඇවිදිනා ඇතෙක් පැන් පිපාසයෙන් ඒ ඒ තැන ඇවිදිනේය. ඒ වෙලාවට තෝ පලා ගොස් පර්වතයක උඩඉඳ අඬාලව. එවිට ඇත් මැඩියන් ඉඳ අඬන්නේ පැන් අති තැනක් වේදැයි පර්වතය උඩට නැගෙන්නේය. පර්වතය උඩට නැගිකල තොප අඹරා ගොසින් පර්වතය පාත ඉඳ අඬාලවයි කීහ. ඒ වේලාවට ඇත් තොපකරා එන්නේය. තොප විසින් මට කරන්නේ මෙතකැයි කියන්නා මැඩියා යහපතැයි කියා ගිවිස්සේය. පසුව කල්යාමකින් කවුඩු ගොසින් ඇතාගේ ඇස්දෙක විදපිය, විදපු නියාව දැන නිලමැසි ගොස් ඇස් දෙක ඉහඬලාපිය.

එවිට ඇතාගේ ඇස්දෙක අන්ධව ගියේය. එවිට ඇත් බොහෝ වූ වේදනාවට පැමිණියේය. පැන් පිපාස ඉවසාගත නොහි ඒ ඒ තැන විමසා ඇවිදින්නේය. ඒ වෙලාවටම මඩුවා පර්වත මුදුනේ ඉඳ ඇඩීය. ඒ වෙලාවටම එකියන ඇත් මඩුවාගේ කටහඬ අසා පැන් ඇති ස්ථානයකැයි සිතා පර්වත මුදුනට නැංගේය. ඒ වෙලාවට මඩුවා පෙරලා පර්වත පාත ඉඳ ඇඬීය. ඒ වෙලාවේ මඩුවා ඇඬු තැනට පාත බසින්ටයයි තමාගේ පය රඳවා ගත නොහි වැටුනේය. එවිටම ජීවිතක්ෂයට පැමිණියේය. එවිට කැටකිරිල්ලි ඇතා මළබව දැන ඌ මහත් සන්තෝෂයට පැමිණියෙමියි ඇතාපිට සක්වන් කොට මාගේ මනෝරථය මුදුන් පැමිණියේයයි සිතා තමා වසන්නාවූ ස්ථානයට ගියාහ. ඒ අර්ථය දක්වන්නාවූ සර්වඥයන් වහන්සේ මහණෙනි කවුඩු හා කැටකිරිල්ලෙක් නිලමැස්සෙකු මඩුවකු ඇතුලුවූ ක්‍ෂුද්‍රප්‍රාණින් සතරදෙනකු එක් වීමෙන් මහත්වූ හස්ති රාජයෙකු මරාගන්නාලද, එසේහෙයින් මහතුන් කෙරෙහි ති නිචයන් කෙරෙහි ත් වේෂයක් නම් නොකරවයි වදාරා මේ ලාටුකික ජාතකය නිමවා වදාළ සේක.

එසමයෙහි එකචාරී ඇත්රජ නම් දේවදත්ත ස්ථවිරයෝය. අසූදහසක් ඇතුන්ට නායක ඇත්රජ නම් බුදුවූ මම්ම යයි වදාළසේක.

 

 

 
උපුටා ගැනීම – www.jathakakatha.lk

348 චුල්ලධර්‍මපාල ජාතකය
346 කාරඬික ජාතකය

Leave a Reply

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.