29. සුසුමක්‌ තරම් නොනැඟුණි කුසුමක්‌ පරව ගිලිහුණි … !

බුදුන් වහන්සේ විසින් නුවර ගම් දනව් වෙනසකින් තොරව අඛණ්‌ඩවම සිදු කෙරෙන ධර්ම සංචාරය දනන් තුඩ තුඩ රැව් දෙන මාතෘකාවක්‌ බවට පත්ව තිබිණි. ගිම්හානයේ සැඩ හිරු රැසින් තැවෙන ගහ කොළ සුසුම් සුළං හෙලද්දීත් වස්‌සානයේ පිබිදෙන ඇළ දොළ සුමුදු සුදු දිය හසරැළි නගද්දීත් බුදුහු වෙහෙසක්‌ නොමැතිවම වඩිති. සුදු වළාවෝ ගුවන් ගැබ වසා ගනිද්දීත්, අඳුරු වැසි වළාවෝ හෙණ ගුගුරුවද්දීත්, බුදුහු නිසංසලවම වඩිති. ඒ බුදු සිරිත ආශ්චර්යවත් වූද, අසාමාන්‍ය වූද වික්‍රමයක්‌ සේ ජනයා දුටහ.

රජ, සිටු හෝ වෙනත් ප්‍රභූන් විසින් ඉදිකරවන ලද විනෝද උයන් හා ගිමන් හල් ද තන්හි තන්හි විය. බුදුන් ප්‍රමුඛ සංඝයා වහන්සේද ඒවායේ ගත කළ අවස්‌ථා ද නො අඩු විය. සංචාරක වෙළෙන්දන් මෙන්ම වෙනත් ආගමික වන්දනාකරුවෝ ද බොහෝ විට ඒ තැන් වලදී බුදුන් බැහැදැකීමට ප්‍රිය වූහ. වැසි රහිත දිනයක්‌ නම් බුදුන් වහන්සේට වඩාත් රුචි වූයේ රුක්‌ සෙවණය. සංඝයා ද එබඳු රුක්‌ මුල්වල රාත්‍රිය ගෙවූහ.
බුදුන් වහන්සේගේ නිත්‍ය වාස භූමි බවට පත් වූ සැවැත්නුවර හා රජගහ නුවරට අමතරව අනන්ත අප්‍රමාණ ජන සන්නිපාතයක්‌ මෙබඳු සංචාරක නවාතැන්පළවල්වලදී උන්වහන්සේ බැහැදුටහ. සැබැවින් ම උන්වහන්සේ ඒ නිසල ජීවිතය උපේක්‍ෂාවෙන් ඉවසූහ. එකල භාරතයෙහි සිටි විවාදකාමීහු ද බුදුන් වහන්සේ හමු වී නොයෙක්‌ පැන විමසන්නාහු ද එබඳු නැවතුමකදී ය. කෙබඳු පඬිවරුන් සේ ප්‍රකටව සිටි අයෙක්‌ වුවද බුදුන් වහන්සේ අබියස නිහඬ වූහ. බමුණු සමයේ ඔද තෙද සිඳී යමින් බුදු සමය නැගෙන හිරු සේ සුදිලෙන්ට වීම ඇතැමුන්ගේ දොම්නසට ද හේතු විය.
බුදුන් සමඟ වාදයට පැමිණි වාසෙට්‌ඨ බමුණාට ද තමන් හෝ තම උතුම් බ්‍රාහ්මණ පරපුරෙහි කිසිවකු හෝ මහබඹුන් සියෑසින් නොදුටු වග පිළිගැනීමට ද සිදුවිය. බුදු සසුන යනු සියලු මිනිසුන්ගේ පොදු බිමක්‌ විනා උන්ගේ ප්‍රභූවාදය හෝ කුලමානය උරගා බලන ස්‌ථානයක්‌ නොවන බව බුදුහු ක්‍රියාවෙන් ම තහවුරු කළහ. ජෛනයන්ගේ අග්‍ර නායකයන් වූ මහා වීරගේ මුල් පෙළ අනුගාමිකයකු වූ උපාලි ද බුදුන් කෙරෙහි පැහැදුණේය.
උපාලි තුළ වූ ඒ වෙනස මහාවීරතුමන්ට දරා ගත නොහැකි විය. “අහෝ ශ්‍රමණ භවත් ගෞතමයෝ මා සතු සියල්ල උදුරා ගත්හ. දැන් වූ කලී අප නැසෙන්නේය. අපගේ බත් කුඹ බිඳිණි “යනාදී ලෙස දුක කියන්නට ද විය. එසේ කියමින් ම සිහිසුන්ව වැටුණු මහා වීරගේ පෙනුම ද බිහිසුණු විය. වටා සිටි අය වහා පැන ඔහු අල්ලා ගත්හ. මොහොතකින් වික්‍ෂිප්තව සිටි හේ යළිත්a බුදුන් වහන්සේට දොස්‌ නගන්නට ද විය. කිසිවෙක්‌ කිසිම දෙයක්‌ නොකියාම පසුවූහ.
බුදුන් කෙරෙහි පැහැදුණු උපාලි තමන්ව මහණ කර ගන්නා ලෙස ඉල්ලා සිටියේය. බුදුහු මෙසේ ප්‍රතිචාර දැක්‌වූහ.
“උපාලි ඔබගේ බුද්ධිමත් විලාසය මා අගයනවා. ඒත් ඔබ තවම මහාවීරගේ අග සිසුවා. ඔබ බුදුන් සරණ ගිය පුවත පළමුව ඔවුන්ට දැන්වීම නේද වඩා හොඳ. උපාලි මගේ පිළිවෙත අනෙක්‌ ආචාර්යවරුන්ට වඩා වෙනස්‌. මා දරුවකු පැවිදි කරවා ගන්නේ දෙමවුපියන්ගේ, භාරකරුවන්ගේ අවසරය අනුවයි. ඒ පිළිවෙත මෙතනටත් අදාලයි. මහාවීර ඔබේ පියා වගේ. ඔබේ ආචාර්යවරයා ඔහුයි. ඒ නිසා මේ තතු ඔහුට දන්වා ඔවුන්ගේ අවසරයත් ආශිර්වාදයත් ලබා ගැනීම හොඳයි.”
උපාලි බුදුන් වහන්සේට නමස්‌කාර කළේය. අනතුරුව ඒ වදන් එකින් එක සිහිපත් කළේය. බුදුන් වහන්සේගේ විලාසයද, කරුණු විග්‍රහ කරන ආකාරයද ඔහුගේ සිතට දැඩි සතුටක්‌ නැංවීය. තම ආචාර්යවරයා වූ මහාවීරයන් සමඟ බුදුන් හිතෙන් සසඳන්නට වූ උපාලිට එහි වෙනස අහස පොළොව මෙන් බව ද පසක්‌ විය.
උපාලි බුදු සසුනට ඇතුළත් වූ පුවත සැවැත් නුවරම උඩු යටිකුරු කළේය. මහාවීර දැඩි සෝකයට පත් වුවද ඔවුන්ට උපාලිගේ ගමන නැවැත්වීමට නො හැකි විය. මහාවීරගේ ප්‍රබල දායකයෝ එපුවත මුලදී බැහැර කළහ. උපාලි වැනි සියුම් කරුණු දත් මහාවීරගේ අගසව් බඳු වූවෙක්‌ එලෙස බුදු සසුනට එක්‌ නොවන බව ඔවුහු තරයේ කියා සිටියහ. එහෙත් මහාවීර අසපුවට පැමිණි ඔවුන්ට සත්‍ය දැක ගත හැකි විය. ඔවුන් ඒ සිද්ධිය දුටුවේ බුදුන්ගේ යසස හා කීර්තිය කිසිවකුට මැඬලිය නොහැකි දෙයක්‌ සේ තහවුරු කෙරෙන ලකුණක්‌ ලෙසය.
බුදුන් වහන්සේ නම් කිසිවිටෙක අන්‍යාගමික ආචාර්යවරුන් සමඟ තරගයකට නොඑළඹුණාහ. උන්වහන්සේගේ අභිලාෂය වූයේ දුකට පත් සත්ත්වයන් හැකි පමණින් සසර සයුරෙන් එතෙර කරවීමය. මහාවීර පමණක්‌ නොව අනෙක්‌ ආගම් නායකයන් සියලු දෙනාගේම අරමුණ වූයේ ලෞකික සැප සම්පත් හා පරිවාර සම්පත් ලබා ගැනීමය. මහාවීර ගේ ජීවිතය නම් සරල චාම් හා අවිහිංසාවාදී එකක්‌ විය. එහෙත් එදා බොහෝ ආගම්වල අරමුණ බුදු මඟ සමඟ සැසදුනේ නැත.
රාජකීය ජීවිත මෙන්ම බොහෝ ඉසුරුමත්හු ද ලෞකික සුඛයෙහිම ගිලෙමින් සිටියහ. ඔවුන්ගේ ජීවිතය වූයේ සැණකෙළි සිරි විඳීමත්, නෘත්‍ය ගීත, වාදිත හා සොඳුරු ලලනාවන් ඇසුරත් ය. දුලබ මදු පානය කරමින් රැය පහන් කිරීම ඔවුන්ට ලොල් විය. මේ ජීවන රටාව ගර්හිsත නිරස දෙයක්‌ බව බුදුහු පරමාදර්ශයෙන් ම තහවුරු කළහ. ඇතැම් ධනීහු ද සිටුවරු ද රජවරුද බුදු සසුනෙහි පැහැදුනාහු ඒ යථාර්ථය දුටු හෙයින්මය. මේ සාටෝප ජීවිතයෙන් බැහැර වූ ආධ්‍යාත්මක සුවඳ බුදුහු වැඩූහ. ස්‌වකීය සංස්‌කෘතික ජීවිතය පෙර නොවූ ආඪ්‍යතර විලාසයකින් පිබිදෙන අයුරු සියලු බුද්ධිමත්හු ද පසක්‌ කර ගත්හ. මානව වර්ගයාගේ අර්ථ සිද්ධිය කුමක්‌ද යන පැනයට බුදුහු නිවැරැදිම පිළිතුර ලබා දුන්හ. විවිධ සමාජ තරාතිරම්වල අය ව්‍යාජ තාපස ජීවිත වෙනුවට බුද්ධ වචනය පිළිගත්හ. ඒ අනුව ක්‍රියා කළහ. එහෙත් බුදුන් සමඟ වෛරයන් සිටි දෙව්දත්, සුප්ප්‍රබුද්ධ යනාදීහු ද වූහ.
සුප්ප්‍රබුද්ධ යනු යසෝදරාවන්ගේ පියාණන් ය. හේ බුදුන් කෙරෙහි බිඳී සිටියේ සිය දියණිය හැරදමා අභිනික්‌මන් කළ හෙයිනි. එහෙත් සිදුහත්ගේ අබිනික්‌මන ඉවසූ යසෝදරා මෙන්ම සුදොවුන් රජු ද සසර ජය ගත්හ. බුදුන් වහන්සේ කිඹුල්වත් නුවරට වැඩම කළ අවස්‌ථාවේදීත් යසෝදරාවන්ගේ පියා වූ සුප්ප්‍රබුද්ධ මහත් සේ කිපී සිටියේය. බුදුන්ට නොයෙක්‌ අවමන් ද කළහ. සුප්ප්‍රබුද්ධ රජුන් අධිකව සුරා පානයට ගොදුරුව සිටීම නිසා එබඳු විරෝධයක්‌ බුදුන්ට දැක්‌වූ බව සමහරු කීහ.
සුප්ප්‍රබුද්ධයන් බුදුන්ට කළ සතුරුකම් නිසාම ඔවුන් නිරයට ඇද ගෙන යන බව බුදුහු කීහ. ඒ ඇසූ හෙතෙම බියට පත්ව මාලිගාව තුළම රැඳී සිටියේය. ඔහුගේ ඇමැතියෝ ද සිය රජුන්ට මහ පොළොව ස්‌පර්ශ කිරීමට ඉඩ නොවන සේ රැකවල් කළහ. ඒ රජු වටා දැඩි ආරක්‍ෂක වළල්ලක්‌ රැඳවීමෙනි. දිනක්‌ අපූර්ව දෙයක්‌ සිදුවිය. ඒ මාලිගාවේ සිටි එක්‌ අශ්වයකු කලබල වී දුවන්නට වීම නිසාය. අශ්වයා මාලිගාවේ එක්‌ එක්‌ මහල්වලට වැදෙමින් කලබල කරන්නටද විය.
මෙවේලෙහි අශ්වයා එළියට ගැනීම සඳහා මාලිගාවේ වසා දැමුණු සියලු දොරවල් හැරිණි. සුප්ප්‍රබුද්ධ රජු ද ඒ අශ්වයා ලැහුබැඳ මහලෙන් මහලට ගොස්‌ නොදැනුවත්වම මාලිගාවේ උයනට වැටුණි. එහෙත් ඔවුන්ට එහි තැබීමට හැකි වූයේ පළමු පියවර පමණි. මහපොළොව විවරව ඔවුන් නිරයට රැගෙන ගියේය. ඒ දුටු ඇමැතියෝ ද රැකවල්හුද මහත් සේ කම්පා වූහ. සුප්ප්‍රබුද්ධගේ එක්‌ ඇමැතියෙක්‌ වහාම ගොස්‌ බුදුන් වහන්සේ ද හමු විය. බුදුහු ඔවුන් අස්‌වසා ඒ කර්ම විපාකය වළක්‌වාලිය නොහැකි බව ද වදාළහ.
මේ අතර එක්‌ උදැසනක දිවැසින් ලොව බලා වදාරණ බුදුහු එහි සිට ගව් තිහක්‌ පමණ දුරින් පිහිටි කුඩා ගමක එක්‌තරා පෙහෙකාර දැරියකගේ ඉරණම දුටහ. ඒ ආලවිය නම් කුඩා ගමකි. ඒ ගම බුදුන්ට හුරුය. මෙයට සුළු කලකට පෙර බුදුන් වහන්සේ ඒ ගමට වැඩ සිටි හෙයිනි. උන්වහන්සේ එදා ඒ ගමට වැඩියේ ගම්වැසියන්ගෙන් දානය ද පිළිගෙන අනුමෙවෙනි බණ දෙසීමට සූදානම්ව තුෂ්ණීම්භූතව වැඩ සිටියහ. බුදුන් වහන්සේගේ ඒ ප්‍රතිචාරයට හේතුව කුමක්‌ දැයි රැස්‌ව සිටි පිරිස නොදත්හ. එහෙත් කිසිවෙක්‌ එයට හේතුව ද නොවිමසූහ.
බුදුන් වහන්සේගේ තුෂ්ණිම්භූත විලාසයට කිසියම් කරුණක්‌ තිබිය යුතු බව සමහරු කල්පනා කළහ. මෙසේ සිටියදීම එක්‌තරා දිළිඳු මිනිසෙක්‌ ධර්ම ශාලාවට ඇතුළු වී එහි කෙළවරක හිඳගත්තේය. බුදුහු ඔහු දෙස බැලූහ. එකල්හි ශාලාවෙහි සියලුම ඇස්‌ ඔහුවෙතට යොමු විය. ඔවුන්ගේ පෙනුම ඉතා අසරණ විය. ඇඳුමද දුර්වර්ණ වී තිබුණි. ඇස්‌ ගිලී, මුහුණින් පල වූයේ විඩාබර විලාසයකි.
“ඔබ එන තෙක්‌ තමා මා බලා ගෙන සිටියේ. ඔබ හොඳටම වෙහෙසට පත්වෙලා බවක්‌ පේනවා. ඒ වගේම ඔබට කුස ගින්නත් දැඩිව ඇති.”
බුදුන්ගේ වදන් ඇසූ පිරිස ද තරමක්‌ පුදුමයට පත් වූහ. මේ දුගියා හා බුදුන් වහන්සේ අතර සබඳතාව කුමක්‌ දැයි කිසිවෙකුට සිතා ගත නොහැකි විය. අනතුරුව එහි සිටි එක්‌ ගෘහපතියෙක්‌ නැගී සිට ඔහු පිටතට කැඳවා දාන ශාලව වෙතට රැගෙන ගොස්‌ ආහාර ලබා දුන්නේය. දුගී තැනැත්තේ ද හොඳින් කුස පුරවා යළි ධර්ම ශාලාවට පැමිණියේය. බුදුහු එකල්හි අනුමෙවැනි බණ දෙසූහ. බණ ඇසූ ඒ දුගී මිනිසා සෝවාන් විය.
බුදුන් වහන්සේ එබඳු හේතු සම්පත් ඇති අය දිවැසින් දුටු කල නොපමාව ඔවුන් කරා පැමිණ දහම් දෙසීමේ සිරිතක්‌ පවත්වා ගෙන ගියහ. මෙදින ද උන්වහන්සේ දිව නෙත ගැටුණු පෙහෙකාර දැරිය නිවන් අවබෝධ කර ගැනීමට හේතු සම්පත් ඇත්තියකි. එසේම කිසියම් හදිසි අනතුරකින් ඇය එදිනම මරණයට පත්වන බව ද බුදුහු දුටහ.
මෙම පෙහෙකාර දැරිය සිය දෙමවුපියන් සමඟ නිවසේ රැඳී ස්‌වයං රැකියාවක නිරතව සිටියාය. ඇය සිය පියාණන්ට සහාය වෙමින් රෙදි විවීමට වුවමනා නූල් සකසා දුන්නාය. ඒ ගමෙහි බොහෝ දෙනාගේ ජීවන මාර්ගය බවට පත්ව තිබුණේ ද රෙදි විවීමය. එසේ ඒ ඒ අය විසින් වියා නිම කරනු ලබන රෙදි නුවර වෙළෙඳ සල්පිලකට ගොස්‌ අලෙවි කිරීම ද සිදුවිය.
මෙම පෙහෙකාර දියණිය පෙර සසර පුරුද්දෙන්ම යහපත් පැවතුම් ඇත්තීය. ඇගේ වත සඳ මඬලකි. නිතර ගලා යන මුදු සිනහවය. ඇසූවන් හද නිවන ප්‍රිය තෙපුල් ය. සන්සුන් ඉඳුරෝ ය. සත්‍යවාදී සොඳුරු වචනය. දෙගුරුනට කීකරුය. උදැසනම අවදි වන ඕ ගෙමිදුල ඇමැද ගේ ඇතුළද පිරිමැද පාතාරසය සකසා මවුපියන්ට පිළිගන්වන්නීය. අනතුරුව ස්‌වල්ප වේලාවක්‌ භාවනා කර දවස අරඹන්නීය.
බුදුහු යළිත් ආලවියට වඩිතියි ඇසූ ඒ දැරිය මහත් සේ ප්‍රමුදිත වන්නී, කෙසේ හෝ බුදුන් දකින්නෙමි යි තිරව අදිටන් කර ගත්තීය. යුහුයුහුව දවසේ කටයුතු නිම කළ ඕ බුදුන් හමුවට යැමට පිටත් වූවාය. ආලවිය වැසියෝ පෙර පරිදිම බුදුන් වළඳවා අනුමෙවෙනි බණ ඇසීමට එකත්පස්‌ව සිටියහ. බුදුහු එදින ද තුෂ්ණිම්භූතවම වැඩ උන්හ. උන්වහන්සේගේ ඒ විලාසය දුටු පිරිස පෙර පරිදිම බුදුහු කිසිවෙක්‌ පොරොත්තුව වැඩ සිටිතියි නිගමනය කළහ.
දැරිය මුලින්ම සිතා ගත්තී සියලු වැඩ නිමවා බුදුන් දැකීමට යැමටය. එහෙත් කාලය වේගයෙන් ගෙවී යනු දුටු ඕ වැඩ කටයුතු අතරමඟ නවත්වා ආලවියට යැමට සනිටුහන් කළාය. හිරු මුදුන් වීමට ඉතා ආසන්න බව ඇයට පෙනුණි. ඇය මඟට බැස යුහු යුහුව ගමන ඇරඹුවාය. බුදුහු ඇය එන අයුරු දුරදීම දුටහ. බුදුන් වහන්සේ තමන් උදෙසාම වැඩම කළ වගක්‌ හෝ තම මාරක ඉරණම පිළිබඳ ඉඟියක්‌ හෝ නොදත් ඇය ශාලාවට ඇතුළු වී බුදුන්ට නමස්‌කාර කළාය.
අනතුරුව බුදුහු දැරියගෙන් මෙසේ විචාළහ.
පින්වත් දැරියනි, කොහි සිට එන්නීද?
එසඳ දැරිය මෙසේ පිළිතුරු දුන්නාය.
හිමියනි, නොදන්නෙමි.
අනතුරුව බුදුහු මෙසේ විමසූහ.
දැරියනි කොහි යන්නෙහිද?
එයට දුන් පිළිතුර වූයේද “හිමියනි නොදන්නෙමි” යනුයි.
එසද බුදුහු යළි මෙසේ විමසති.
“දැරියනි නොදන්නෙහිද?”
එවිට ඕ “හිමියනි දනිමි” යි කීවාය.
බුදුහු තව පැනයක්‌ නඟති
“දැරියනි දන්නෙහිද?”
“හිමියනි නොදනිමි” යනු ඇගේ පිළිතුර විය.
බුදුන් වහන්සේගේ පැන විසඳීම මෙන්ම ඒවාට දැරිය විසින් දෙන ලද පිළිතුරුවල ගැඹුර නොදුටු කෙනෙක්‌ වික්‍ෂිප්තව ද, මඳක්‌ අසතුටුවද බලා සිටියහ. ඔවුන් සිතුවේ එම පිළිතුරු කිසියම් විකෘති මානසිකත්වයක්‌ නිසා දෙන්ට ඇති බවය. එහෙත් බුදුහු ඇගේ පැණසර බව පැසසූහ. දම් සභාවට ඒ පිළිබඳ පැහැදිලි කිරීමක්‌ ද කළහ.
බුදුන් වහන්සේ කොහි සිට එන්නෙහිදැයි විමසූ කල්හි නොදන්නා බව කීවේ මේ මිනිස්‌ ලොව උපත ලද්දී කුමන ස්‌ථානයක සිට පැමිණියේද යන්න නොදත් හෙයිනි. කොහි යන්නෙහිදැයි යන පැනයට පිළිතුරු දුන්නේ මරණින් පසු උපදින ස්‌ථානය නොදන්නා බව කීමටය. අනෙක්‌ පිළිතුරු වලින් ප්‍රකාශ වූයේ ‘මරණය පිළිබඳව දන්නා බවත්, එසේ වුවත් මියයන වේලාව’ නොදන්නා බවත් ය.
දැරියගේ පැණසර බව දුටු පිරිස සාධුකාර දුන්හ. අනතුරුව බුදුහු අනුමෙවැනි බණ දෙසූහ. දැරිය මේ අයුරින් දාර්ශනික පිළිතුරු ලබා දෙන්ට සමත් වූයේ ද පෙර කරන ලද පින් බෙලෙන්මය.සැබැවින් ම එදින දහම් ඇසීමට පැමිණ සිටි පිරිස අතර සිටි කිසිවෙකුට ඒ ප්‍රශ්නවල ගැඹුරද, දර්ශනය ද නොපෙනුණි. දැරිය දහම් අසා බුදුන් වැඳ මහත් සේ ප්‍රමුදිතව සෝවාන් බවට ද පත් වූවාය.
ඉනික්‌බිතිව ඕ යුහුසුළුව නිවසට පැමිණියාය. ඇය ආපසු එන විට ඇගේ පියාද එහි විය. ඇය මහත් සතුටින් සිටින අයුරු දුටු ඔහු එයට හේතු ද විමසීය.
“පියාණෙනි මං අද ආලවියට ගියා බුදුහාමුදුරුවෝ දකින්ට. මට මගේ දැස්‌ අදහා ගන්ට බැරි වුණා. උන්වහන්සේ මං එනතුරුම නිහඬව වැඩ සිටිය බව කියද්දී උන්වහන්සේගේ දර්ශනයම කෙනෙකුගේ සිත පහන් කරනව. සන්සුන් විලාසය, මධුර ස්‌වරය, ධර්ම කරුණු විග්‍රහය මෙබඳු යෑයි මට නං කියන්නට බෑ. උන්වහන්සේ මගෙන් ප්‍රශ්න කීපයකුත් ඇහුවා. මං දුන්න පිළිතුරු ගැන බොහෝම සතුටු උන වග මට තේරුණා. ඇත්තටම පියාණෙනි, දැන්නම් මට මැරුණක්‌ කමක්‌ නෑ කියල හිතෙනවා. ජීවිතේ කිසිම හිස්‌ බවක්‌ නැති බව මට දැනෙනව. ජීවිතය ගැන, සතුට ගැන, ලස්‌සනට විස්‌තර කළා. බුදුහාමුදුරුවෝ නං කිව්වේ දුප්පත්කමට වඩා දරුණුම රෝගය මේ සංසාර ගමන බව. තෘෂ්ණාවෙන් ඉහවහ ගිහිල්ල සසර දික්‌ කරන හැටි, ඒ සසර කෙටි කරගන්න නම් දුක නැතිකරන හැටි අගේට පහදල දුන්න. ඇත්තටම පියාණනි, මේ ලෝකයම මායාවක්‌.
දැරියගේ කතාවට සවන් දුන් පියාගේ සිතට දැනුණේ ද අප්‍රමාණ සතුටකි. සිය දියණියගේ බුද්ධිමත් විලාසය පසක්‌ වූ ඔහු ඊටත් වඩා සතුටු විය. සැබැවින් ම ඔවුන්ගේ සිතට නැගුණේ සාඩම්බරයකි.
අනතුරුව තවත් නිමේෂයක්‌ ගෙවී ගියේය. දැරිය පියාගෙන් ද සමුගෙන රෙදි වියන යන්ත්‍රය ළඟට ගොස්‌ වාඩි වූවාය. ඇගේ මතකය පුරා වැඩ සිටියේ බුදුන් වහන්සේය. ඇගේ දෙසවන් තුළත්, අවටත් රැව් දුන්නේ බුදුන් වහන්සේගේ මධුර ස්‌වරයයි. ඕ දැස්‌ පියා ගත්තීය. යළි ඇස්‌ විවර කළාය. අවට ලොවම නිශ්චලව ඇති ආකාරයක්‌ ඇයට දැනුණි. නිවන් පුරට යන මාවතක්‌ දැස්‌ අබියස දිස්‌වන්නක්‌ මෙන් විය. ඇය සිතින් යළිත් “බුද්ධං සරණං ගච්ඡාමි” යෑයි කියමින් සිත සැහැල්ලු කර ගත්තාය.
බුද්ධාලම්භන ප්‍රීතියෙන් ඔකඳව සිටි දැරිය අසලටත් ඒමට මාරයා ද බිය විය. එහෙත් මාරයා සූදානම් ය. තව ස්‌වල්ප මොහොතකින් දැරියගේ ඉරණම විසඳන බව මාරයා හොඳින් ම දැන සිටියේය. මේ කිසිවක්‌ නොදත් දැරිය එක්‌වරම රෙදි වියන යන්ත්‍රයෙහි වූ වියමන දෙසට සිත යොමු කළාය.
දවස ගෙවූ හිරු ද වෙන්ව යැමට ද සූදානමිනි. අන්ධකාරය ඉගිල ඇවිත් ආලෝකයෙහි දැසම වැසුවේය. දැරිය යන්ත්‍රය පණ ගන්වනු ඇසිණ. රෙදි වියන යන්ත්‍රයෙහි ඉද්ද (නූල් සහිත පන්දුව) ඒ අතටත් මේ අතටත් යයි. එක්‌ වරම ඉද්ද නූල් අතරින් ඉවතට ඇදී දැරියගේ ළයෙහි වැදිණ. ඕ එක්‌ ක්‍ෂණයකින් ම පර මලක්‌ සේ බිම වැටිණි.
දැරියගේ මුවින් විලාපයක්‌ හෝ උස්‌ සුසුමක්‌ හෝ නොනැගුණි. පියා ආපසු දිව ඇවිත් බලද්දීත් ඇය සුරංගනාවන් සමඟ සැඟවී ගොසින්ය. ඔහුට දුක දරා ගත නොහැකි විය. එහෙත් මොහොතකට පෙර ඇය විසින්ම ජීවිතය හා සංසාරය ගැන කරන ලද විග්‍රහය ඔහුට ඇසෙන්නට විය.

ගාමිණී සුමනසේකර

30. රුදුරු යකු දැමුණේ කුමරු දිවියද රැකුණේ ...
28. අහෝ දෙව්දත් නොදිටි මොක්‌පුර ... !
IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.