17. වන උයනක්‌ රනින් වැසූ සිටුවරයා …

සුදත්ත සිටුවරයා රජගහනුවර සිය ඥති සිටු මැදුරට පැමිණියේ දිගු විරාමයකට පසුවය. සැවැත්නුවර ප්‍රකට ධන සිටුවරයකු වූ සුමන, සුදත්තගේ පියාය. හේ සරණ පාවා ගෙන සිටියේ මෙනුවර සිටුවරයාගේ එකම නැගණියයි. ඒ නෑ සබඳකමට මුල් වූයේද කලකට පෙර රජගහ නුවරට පැමිණි සුදත්තට අහම්බයකින් මෙන් මෙකී සිටු දියණිය හමුවීමය. එසමයෙහි සුදත්තට අයත් ගැල් පන්සියයක්‌ සැවැත්නුවර හා රජගහනුවර යන දෙනුවර අතර වෙළෙඳ කටයුතුවල යොදවා තිබුණි. ඇතැම් දිනයක සුදත්තද වෙළෙඳ ගැලකට වී ගිමන් හරිමින් සිටියි. එසේ සිටිනා විටෙක සිය ගැලකින් රිදී මාලයක්‌ මිලට ගැනීමට ඒ සිටු දියණියද පැමිණියාය. එහිදී ඔවුනොවුන් හඳුනා ගෙන ඇරැඹුණු ඇසුර පසුව විවාහයක්‌ දක්‌වාම ඇදුණි.

සුදත්ත ස්‌වභාවයෙන්ම ප්‍රිය මනාපය. සියුම් කුඩා නෙත්ද නිබඳ උතුරන සිනහවද ඔහුට ආවේණිකය. ප්‍රිය වචනයෙහිද නිර්ලෝභී සංග්‍රහයෙහිද හේ ප්‍රකටය. සැවැත්නුවර වැසියෝද ඔහුට මහත් සේ ඇලුම් කළහ. සුදත්ත එනුවරදී අනාථ පිණ්‌ඩික හෙවත් අනේපිඬු යන නමින්ද හැඳින්විණි. හේ ඒ නමටම අන්වර්ථ වන පරිදි නිබඳව අසරණයන්ට පිහිට විය. ඔවුන්ගේ මැදුර සරණාගතයන්ට අභය භූමියක්‌ බඳු විය. දහවල ද රැයෙහි ද වෙහෙසක්‌ නොමැතිව මැදුරු දොරටු විවෘතව තිබිණි. කිසි විටෙක රැකවලුන් යොදවා තැබීමක්‌ද නොවීය. අබැටක තරම්වත් දෙයක්‌ සොරුන්ට ගියේද නැත. එපරිදිම ඔහුට කිසිම සතුරෙක්‌ද නොවීය.
රජගහනුවර සිටුවරයා වෙනදා නම් තමන් පැමිණි මොහොතේම පෙරමඟට අවුත් සාමීචි කතා කර වඩා හිඳුවා සත්කාර කරන නමුත් අද ඔහු හිස ගිනිගත්තකු සේ දිව යන අයුරු ඔහු කුහුලින් යුතුව බලා සිටියේය. බැලූ බැලූ අත සේවකයෝ යුහුව එහෙ මෙහි යති. මැදුරට ඇතුල්වන දොරටුව දෙපස ද උද්‍යානයෙහි ද සැරසිලි කරමින් හැඩ බලන සේවකයන්ද ඔහුට පෙනුණි. කඩිමුඩියේම රජගහනුවර සිටුවරයා ඔහු වෙත ආවේය. ඔහුගේ මුවින් පිළිබිඹු වූයේද තරමක පීඩාකාරී බවකි. සුදත්ත තමාට ලැබුණු පලතුරු යුෂ බඳුන ඔහුට පිරිනැමූවේය. ඔහුද කිසිවක්‌ නොවිමසාම එය හිස්‌ කළේය.
මං හොඳටම හෙම්බත් වෙලා උන්නෙ. ඉන්න මං ඔබට බොන්ට යමක්‌ රැගෙන එන්නම්.
නැගී සිටු රජගහනුවර සිටුවරයා එහිම හිඳුවමින් සුදත්ත මෙසේ විමසීය.
“සොහොයුර මම ඔබේ මැදුරට කිසිසේත්ම ආගන්තුක නොවෙමි. සැවැත්නුවර සිට මෙනුවරට එන මගේ සියලු ගමන් විඩාවද ඔබගේ කාරුණික සත්කාර නිසාම දුරුව යෑයි. එහෙත් අද ඔබට මා සමඟ පිළිසඳරකට තරම් වත් ඉස්‌පාසුවක්‌ නොවූ සෙයකි. ඔබගේ මැදුරෙහි මංගල කටයුත්තක්‌ හෝ එබඳු සාදයක්‌ හෝ පැවැත්වීමට නිමිත්තක්‌ද මම නොදනිමි. එහෙත් මේ සියලු පෙර නිමිතිවලින් මට හැඟී යන්නේ එබඳු කිසියම් උත්සවයකි. කුමක්‌ද මේ?
“ප්‍රිය සොහොයුර සැබැවින්ම මේ මැදුරෙහි ඔබ නොදන්නා මංගල නිමිත්තක්‌ තිබිය නොහැක. ඔබ මගේ එකම නැගණියගේ සමි¹ණන්ය. එසේම ඔබ හා මා අතර ද දිගු මිත්‍රත්වයක්‌ද වන්නේය. එහෙයින් එබඳු උත්සවයක්‌ නම් නැත්තේය.
එබස්‌ ඇසූ සුදත්ත සිටුවරයා තරමක්‌ වික්‌ෂිප්ත විය. ඒ කිසිවක්‌ නිවැරැදිව සිතා ගත නොහැකි වූ හෙයිනි. එසඳ රජගහනුවර සිටුවරයාගේ මුවට සිනහවක්‌ද නැඟුණි. හේ ඔහුට මෙසේ පිළිවදන් දුන්නේය.
“හෙට මේ මැඳුරෙහි මෙනුවර කිසි දිනෙක නොවූ විරූ මංගල්ලයක්‌ සිදුවෙයි. ඒ මෙලොව පහළ වූ අසමසම විමුක්‌තිදායකයාණන් ද මහාකාරුණිකයානන්ද වන සිදුහත් ගෞතම බුදුන් උදෙසාම කෙරෙන මහා දානමය පූජාවකි. බුදුන් ප්‍රමුඛ මහා රහතුන් වන්හන්සේලා දහසක්‌ හෙට මෙහි වඩිති. මේ සියලු සැරසිලිද, සුදානම් කිරීම් ද ඒ බුදු පුද සඳහාමය.
සුදත්ත ඒ වනතුරු බුදු කෙනකු පිළිබඳව අසා නොතිබිණි. එහෙත් ඔහුගේ සිතට ශාන්ත රුවක්‌ ඇතුල්වනු දැනුණි. අනතුරුව හේ තම කුහුල් සිත සංසිඳුවා ගන්නට යළිත් සිය ඥති සොයුරා දෙස විශ්මිතව බලා සිටියේය.
සොයුර ඒ බුදුන්ගේ විලාසය මෙබඳු යෑයි මට ඉඳුරා කිව නොහැක්‌කේය. ඒ බුදුහු යනු කලකට පෙර කිඹුල්වත් පුර සුදොවුන් රජුගේ මාළිගාවෙහි විසූ ශාක්‍ය කුමාරයෝය හේ සක්‌විති රජෙකු වීමේ භාග්‍යයද ලද්දෙකි. එහෙත් ඒ සක්‌විති සුවය හැර පියා, වන වැදී සත්‍ය සොයා ගොස්‌ මෙබඳු බුදු පදවිය ලද්දේය. මිනිසුන් මතු නොව දෙව්බඹහුද ඒ බුදුන්ට වන්දනා කරති. ගෞරව කරති. එසේ වුවද බුදුහු නම් ඒ කිසිවක්‌ දැඩිව නොගනිති. ඒ බුදුන්ට ඇලීම් නැත. ගැලීම් නැත. බැඳීම් නැත. සරල පැවතුම්ය. කිසිම දෙයක්‌ වෙසෙසින් නොදකිති. ගෙන් ගෙට පිඬු සිඟා වඩිති. දුටුවන් නෙත බැඳෙයි. පැමිණිවුන් නිති රැඳෙයි. හෙට ඔබටම ඒ සියලු තතු සාක්‌ෂි ලෙසම දත හැක්‌කේය. බුදු පුදට එක්‌විය හැක්‌කේය. මිහිරි දහම් රස විඳගත හැක්‌කේය. ඒ බුදුන්ගේ දේශනා විලාසයද මනාය. ස්‌වරය මධුර වන්නා සේම අර්ථ සම්පන්නද වන්නේය.
සිය ඥති සොහොයුරාගේ විස්‌තර වර්ණනා මහත් උනන්දුවෙන් අසා සිටි සුදත්තගේ සිත පුරා වැඩෙන්නට වූයේ අනේ ඒ බුදුන් දැන් දකින්නට ඇත්නම් යන සිතිවිල්ලය. අනේ ඒ බුදුන්ගේ මධුර දහම් වදනක්‌ දැන් අසන්නට ඇත්නම් යන සිතිවිල්ලය. ඒ සමගම ඔහු සිතින් බුදුන් මවා ගන්නට වෑයම් කළේය. මෙයට පෙර තමන් විසින් දක්‌නා ලද සෘෂි වෙසක්‌, තවුස්‌ වෙසක්‌ හෝ පරිබ්‍රාජක වෙසක්‌ කිසිසේත් බුදුන්ට සම කළ නොහැකි බව සුදත්තට එවේලෙහි පැහැදිලි විය. කසාවතක්‌ හැඳ ගත් උපශාන්ත විලාසයකින් යුතු වඩා උස්‌ නොවූද වඩා මිටි නොවූද වඩා වියපත් නොවූද වඩා ළාබාල නොවූද අසාමාන්‍ය ප්‍රසන්න රුවක්‌ තමා අබියස කරුණාබරව වැඩසිටින්නාක්‌ වැනි ආකාරයක්‌ ඔහුට දැනුණි.
සුදත්තගේ කල්පනා ලොව බිඳී ගියේ ඥති සොහොයුරා රාත්‍රි භෝජනයට කල් එළැඹ ඇති වග දැක්‌වූ පසුය. ඉක්‌බිති දෙදෙනාම ආහාර ගැනීමට වාඩි වූහ. සුදත්තට විශේෂ කුස ගින්නක්‌ නොවීය. ඔහුට සිතුණේ පලතුරු ස්‌වල්පයක්‌ අනුභව කිරීම සෑහෙන බවය. ඥති සොහොයුරාටද ඔහුගේ නොසන්සුන් සිත පැහැදිලි විය. සුදත්ත බුදුන් දැකීමේ නොඉවසිල්ලෙන් පසුවන බවද ඔහුට හැඟුණි. බොජුන් මේසයෙන් නැඟී සිටි සුදත්ත තමන්ට වෙන් කර තිබුණු යහන් ගබඩාවට ගියේය. රාත්‍රිය තව කොපමණ ඉතිරිව තිබේදැයි ඔහුට නිනව්වක්‌ නොවීය. යහනෙහි වැතිර ගත් නමුදු නින්ද ඔහු වෙතට නොඑයි. ඒ මේ අත පෙරළෙමින් සුදත්ත කල්පනා කළේ බුදුන් පිළිබඳවය. සත්තකින්ම ඔහුට හැඟුණේ ඒ රාත්‍රිය බෙහෙවින්ම දීර්ඝ එකක්‌ ලෙසය. තවත් ස්‌වල්ප වේලාවක්‌ එහි සිටි සුදත්ත යහනින් බැස පිටතට පැමිණියේය. හාත්පස අඳුර තුනී වෙමින් රිදී පැහැ ගලමින් තිබිණි. ඒ සඳ එළියයි. හමා යන මඳ නළල සිරුරට සුවයක්‌ දනවන බවද ඔහුට හැඟුණි. නෙත ගැටෙන මානයේම රිදී රැය විනා වෙනත් කිසිවක්‌ නොවීය. ගහ කොළ නිසලය.
අනතුරුව යළි යහන් ගැබට පැමිණි සුදත්තට යාන්තම් නිදිබර ගතියක්‌ දැනුණි. කොපමණ වේලාවක්‌ දැස්‌ පියවී තිබිණි දැයි ඔහුම නො දත්තේය. වට පිට බැලූ ඔහුට හැඟුණේ හිරු එළිය වැටෙන්ට ආසන්න බවකි.
සීරුවට යහන් ගැබින් පිටතට පැමිණි සුදත්ත හාත්පස බැලීය. අන්ධාකාර ගුලි මෙන් වවුලෝ පියාඹා යති. හාත්පස නිහඬ බව ගලයි. කුමක්‌ කරම්දොaයි නිශ්චිත සිතක්‌ සුදත්තට නැත. සේවකයකු විසින් ගෙනවුත් තබන ලද දිය බඳුන ඔහුට සිහිවිය. ඉන් උගුරක්‌ දෙකක්‌ පානය කළ සුදත්තට දැනුනේ සිරුර ඇතුළතින් සීතල ඉරක්‌ ඇඳී යන අයුරකි. වේළුවනය තිබෙන ඉසව්ව ඔහු මතක්‌ කළේය. රජගහනුවරට පැමිණි මුල් දිනක ඒ රමණීය උයනට ගිය අයුරුද ඔහුට සිහිවිය. සරුව වැඩුණු උණ පඳුරු අතරින් අරමුණක්‌ නොමැතිව ඒ මේ අත ඇවිද ගිය අයුරුද සුදත්ත සිහි කළේය.
සුදත්තගේ සිත ඇතුළෙන් විධානයක්‌ කෙරෙන බව ඔහුට ඇසුණි. නිහඬව අවධානයෙන් එයට සවන් යොමු කළ සුදත්තට මෙබඳු පැහැදිලි දෙයක්‌ ඇසුණි.
“සුදත්ත අරුණෝදයට පෙර ඒ මනරම් වේළුවනයට ගොසින් බුදුන් දැක ගනු මැනවි.
සුදත්ත යහන් ගැබට පිවිස සිය උතුරුසළුවද හිස බැඳි ජටාවද ගත්තේය. ඉනික්‌බිති දොර සෙමින් වැසූ හේ මැඳුරේ පහත මාලයට පැමිණ එහි වූ කුඩා දොරටුවකින් උද්‍යානය දෙසට ඇවිද ගෙන ආවේය. මුර කුටියෙහි සිටි රැකවලුන් දෙදෙනා ඔහු හඳුනා ගෙන දෙපසට වූහ. කිසිවෙක්‌ වදනක්‌ හෝ පිට නොකළහ. සුදත්ත පිටතට පැමිණියේය. එහි සිට හැරී බලන ඔහුට සිටු මැඳුර සඳ එළියෙන් දිලෙන අයුරු පෙනුණි. ඉදිරියට ගමන් කළා මිස කොතැනකට කුමන මාර්ගයකින් යා යුතුද යන්න ඔහු දැන සිටියේ නැත. සඳ ඔහුට මඟ පෙන්වීය. සිත පුරා රැඳී සිටියේ නන්නාඳුනනා බුදුන් වහන්සේය. හෝරාවකට නොවැඩි කාලයක්‌ ඔහු ගමන් කරන්ටද ඇත. ඇස ගැටෙන මානයක මිනිස්‌ වාසයක ලකුණකුදු නැති බව එවේලෙහි සුදත්තට පෙනුණි. තමන් මං මුළා වී ඇතැයිද සිතුණි. එහෙත් ඔහුගේ වීර්ය හා ධෛර්ය නොසිඳිනි. අධිෂ්ඨානයද නොසෙල්විණි. සිත පුරා මෙබඳු සිතිවිලි සමුදායක්‌ නැඟෙන්නටද විය.
“මම දිවි හිමියෙන්ම අසරණ සරණ වීමි. කිසිදිනක කිසිවකුට අවැඩක්‌ අයහපතක්‌ දැනුවත්ව නම් නොකෙළෙමි. මවෙත ආ කිසිවෙක්‌ හිස්‌ අතින් ගිය බවක්‌ද නොදනිමි. මුළු සැවැත්නුවරම අනාථයන් මගේ නෑදැයන් සේ මම සලකා ඇත්තෙමි. ඒ සියලු සත්‍යයේ බලයෙන් මෙවේලේ මට ආශ්චර්යවත් බුදුන් වහන්සේ දර්ශනය වේවා ෘ තවද ඒ බුදුන් නම් මගේ දෙමව්පියන් විසින්ම මට තබන ලද “සුදත්ත” යන නමින් මා අමතන සේක්‌වා. ඒ ලකුණින් මම අසමසම බුදුන් හඳුනා ගන්නෙමි. බුදුන් දැක මගේ සියලු මනදොල සංසිඳුවා ගන්නෙමි.
සුදත්ත හෙවත් අණේපිඬු සිටුවරයාගේ ඒ වදන් එවේලේම බුදුන්ට ඇසුණි. ඒ අලුයම උන්වහන්සේ සමාධිගතව වැඩ විසූ හෝරාවය. තම සසුනෙහි ප්‍රමුඛ අග්‍ර ගිහි උපාසකයා වන්නට සසර පෙරුම් පුරන ලද අනාථපිණ්‌ඩික දිව නෙතින් දුටු බුදුහු ඔහුට පිහිට වුව මැනැවයි සනිටුහන් කර ගත්හ. ඉනික්‌බිති බුදුහු ඔහුට මෙවදන් ඇසෙන්නටද සැලැස්‌වූහ.
සුදත්ත…. මම ඔබ එන තෙක්‌ බලා හිඳින්නෙමි. තව ස්‌වල්ප වේලාවකින් හිරු නැඟෙනු ඇත. ඔබ ඊට පෙර මා වැඩ සිටින මෙම කුටියට එන්න. ඔබගේ පැමිණීම අපේක්‍ෂාවෙන් මම රැඳී සිsටිමි.
එවදන් ඇසුණු සුදත්ත නිශ්චය වශයෙන්ම ඒ බුදුන් යෑයි නිගමනය කර ගත්තේය. බුදන්නේ මිහිරි වදන් ඇදී ආවේ කොතැනින්දැයි හාත්පස බලන ඔහුට ගිතෙල් පහන් වැටි බබලන මනරම් මඟක්‌ දැක ගත හැකි විය. ඒ ඔස්‌සේ ඇදෙන විට සිහිල් දිය ගලා බසින දොළක්‌ දිස්‌විය. දොළ අසලින් ඉදිරියට එද්දී වැල්මී, සුදුහඳුන්, දේවදාර වැනි බෙහෙත් ගස්‌ පෙළක්‌ දැක ගත හැකි විය. ඒ අතරින් ඇදුණු ඔහු වේළුවනාරාමයේ පිවිසුම් දොරටුව හඳුනා ගත්තේය.
සුදත්ත තව පියවර කීපයක්‌ ඉදිරියට ගමන් කළේය. එවේලෙහි බුදුන් වහන්සේ සිය කුටිය ඉදිරියට සක්‌මන් කරමින් සිටිනු ඔහුට දැක ගත හැකිවිය. පස්‌ වනක්‌ ප්‍රීතියෙන් පිනා ගිය ඔහු එහි සිටම බිම පෙරළී බුදුන් වහන්සේට නමස්‌කාර කළේය. උන්වහන්සේ එළිමහනේ වැඩ සිටියේද ඔහුගේ පැමිණීම අපේක්‍ෂාවෙනි. එහෙත් සුදත්ත සිතුවේ උන්වහන්සේ තමන් දකින තෙක්‌ එසේ නිසොල්මන්ව සිටින බවය. එකෙනෙහිම සුදත්තට මෙවදන් ඇසුණි.
සුදත්ත ඔබ සංසාරේ ඉතා දුර සිට පැමිණි දීර්ඝ ගමනක අවසානයට ළංව සිටියි. තවත් මෙබඳු ගමන් ඔබට නැත. එන්න මේ මා අසලටම එන්න.
සුදත්ත යළිත් දැත් එක්‌කර උන්වහන්සේට නමස්‌කාර කළේය. අනතුරුව සුදත්ත පෙර දින සිට මෙතෙක්‌ සිදුවූ සියල්ලම උන්වහන්සේට විස්‌තර කරන්නටද බුදුහු ඒ සියලු තතු ඉඳුරා දත් නුමුදු ඔහුට සවන් දුන්හ.
දැන් වේළුවන උයන සිසිරා අලුත් හිරු එළිය ගලා එන අයුරු සුදත්ත දුටුවේය. නිදිගැට හැර නැඟී සිටි සියොතුන්ගේ ගී නද ඔහුට ඇසුණේ බුදුගුණ ගීතාවලියක්‌ ලෙසය. වනපෙත සීතල රැගෙන හමන පවන ශාන්තියකි. මාළිගාවල ගෙවන යාන්ත්‍රික ජීවිතයට වඩා වනවාසය සොඳුරු චමත්කාර සුවයක්‌ බව ඔහුට පසක්‌ විය. සොබාදහම මිහිකත මත වසන සියලු සතුන්ට දක්‌වන ආදරය ගැන ඔහුට සිතුණි. හිරු රැස්‌ මෝදු වන්නට පෙර ආපසු සිටු මැදුරට යා යුතු බවද එවේලේ ඔහුට කල්පනා විය. යහන් ගැබ තුළ තමා නොමැති බව දැන ගත් කල්හි කැළඹිල්ලක්‌ හට ගැනීමටද ඉඩ ඇතැයි ඔහුට සිහි විය. හේ යළිත් බුදුන් වහන්සේට නමස්‌කාර කළේය. පෙරළා සිටු මැදුරට යැමට අවසරයද ඉල්ලා සිටියේය.
සුදත්ත නොහොත් අනේපිඬු සිටු දැන් තෙරුවන් සරණ ගිය උපාසකයෙකි. බුදුන් වහන්සේ ඔහුට දේශනා කළ සරල කරුණු කීපය වුවද දැඩිව සිත පතුලටම බැස තිබිණි. තමන් ගෙවන අල්පේච්ඡ ජීවිතය බුදුන් වහන්සේගේ ඇගැයුමට ලක්‌වීම පිළිබඳ ඔහු බෙහෙවින් සතුටු විය.
ඔහු සිතූ පරිදිම ආපසු එද්දී සිටු මැදුර කැළඹී තිබිණි. තම ඥතියාට කුමක්‌ සිදුවීදැයි කිසිවකුට සිතා ගත නොහැකි විය. අනතුරුව ඔහු සියල්ල සැකෙවින් විස්‌තර කර ඔවුන්ගෙන් සමාවද අයෑදීය.
බුදුන් වහන්සේ සංඝයා ද පිරිවර කර ගෙන සිටු මැදුරට වඩින තෙක්‌ නොඉවසිල්ලෙන් සිටියේද අනේපිඬු සිටුතුමන්ය. තමන් අතින් විය යුතු කිසිවක්‌ හෝ පිරිනැමිය යුතු දායකත්වයක්‌ හෝ නොවීම ඔහුගේ සිතට අඩුවකි. ඒ සිය ඥති සිටුවරයා සියලු කළමනාදේ නො අඩුව සපුරා තිබුණු හෙයිනි. එහෙත් ඔහුට එක්‌ දෙයක්‌ සඳහා දායක වීමට ඉඩ ලැබිණි. ඒ බුදු ප්‍රමුඛ මහා සංඝයා වහන්සේගේ පා දොaවනය කිරීමටය. ඔහු ඒ කාර්ය බාරගත්තේ අප්‍රමාණ සතුටකින්ය.
දන් වළදා අවසන් වූ බුදුහු අනුමෝදනා ලෙස සරල ධර්මයක්‌ද දෙසූහ. අනතුරුව අනේපිඬු සිටුවරයා බුදුන් අමතා මෙසේ ආයාචනයක්‌ද කළේය.
භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ වැනි සත්‍යවාදී මඟ පෙන්වන මුනිවරයෙකුගේ දර්ශන මාත්‍රය හෝ තවම සැවැත්නුවර වාසීහු නොලද්දොaය. කොසොල් රජුද ඔබ වහන්සේ පිළිබඳ තතු දැනගත් කල්හි මහත් සේ සතුටු වනු නිසැකය. ඔබ වහන්සේගේ කරුණාව ලබන කොසොල් ජනපදයම ඉමහත් සේ පුමුදිත වනු නිසැකය. එහෙයින් අපගේ රාජ්‍යයටද වැඩම කරන ලෙස මම එහි සියලු වැසියන් වෙනුවෙන්ද අපගේ රජතුමා වෙනුවෙන්ද ඔබ වහන්සේට ආරාධනා කරන්නෙමි.
බුදුහුද උපේක්‍ෂාවෙන් ඒ ඇරයුම ඉවසූහ. තමන් වහන්සේ එනුවරට වැඩම කිරීම නිසා සිදුවන යහපතද මෙනෙහි කළහ. අනතුරුව උන්වහන්සේ මහා සංඝයා වහන්සේ සමඟ තවත් තුන් මසක ඇවෑමෙන් සැවැත්නුවරට වඩිනා බවද තහවුරු කළ සේක.
දැන් අනේපිඬු සිටුවරයාගේ සිත යළිත් කැළඹිණි. ඒ අන් කිසිවක්‌ නිසා නොව සැවැත්නුවරට වැඩම කරවන සංඝයා වහන්සේට ආවතේව කිරීම හා නවාතැන් දීම වැනි කරුණු සිහිවීම නිසාය. බුදුන් වහන්සේට විහාරයක්‌ ඉදිකිරීම පිළිබඳවඳ ඔහු කල්පනා කළේය. සැවැත්නුවර ඉතා ප්‍රකට ජේත කුමරුන් සතු උයන ඔහුට සිහිවූයේ එවේලෙහිය. ඒ උයන සංඝාවාසය සඳහා මනාසේ යෝග්‍ය බවද ඔහුට පසක්‌ විය. පැන් පහසුවද මනාව වැඩුණු රුක්‌ පෙළද වෙනත් බෙහෙත් ඖෂධද එහි නොඅඩුව විය. ඒ සියල්ලටමත් වඩා එහි වූ නිහඬ බව භාවනාවට කදිම පුණ්‍යභූමියක්‌ විය. පරිසර දූෂණයක්‌ නොවීය. කම්හල්වලින් දුරස්‌ථව පිහිටි හෙයින් විසදුම් හෝ අපවිත්‍ර වාතයක්‌ හෝ නොවීය. සුවඳ මල් සුපිපී නිබඳ හමනා සුළඟ හා මුසුව ගලා යයි. එහෙත් මෙම් උයන ජේත කුමරුන්ගෙන් කෙසේ ලබා ගනිම්දොaහෝයි සිතමින්ම හේ පෙරළා සැවැත්නුවර සිය සිටු මැදුරට පැමිණියේය.
සිටුවරයා ආපසු පැමිණ වග දත් සිටු දේවියද මහත් සේ පුමුදිතව ආගිය තොරතුරුද විමසුවාය. හේ එහිදී සිදුවූ සියලු දේ නොවළහා දේවියට කීවේය. එසේම තමන්ගේ ආරාධනය අනුව බුදුන් වහන්සේ සැවැත්නුවරට වැඩම කරවන බවද ඔහු කීවේය.
“මගේ හිතේ තියෙනව බුදුන් වහන්සේට වැඩ වාසය කරන්ට හැමදේකින්ම පිරුණු විහාරයක්‌ තනා දෙන්ට. ඒ වගේම දහස්‌ ගණන් සංඝයා වහස්‌සේටත් එහිම කුටි ඉදිකරවල දෙන්ට ඕනෑ. ඒකට සුදුසුම භූමිය තමයි ජේත කුමාරයාට අයිති උයන”.
ස්‌වාමියාගේ අදහසට නිහඬවව සවන්දුන් දේවිය මෙසේ කීවාය.
“මං හිතන්නෙ නෑ. ඒ උයන විකුණන්ට තරම් වුවමනාවක්‌ ජේත කුමාරයාට තියෙනවද කියලා. හැබැයි වන ආරාමයකට නම් කදිම භූමිය.”
ජේත කුමරුන්ට එබඳු මුදල් අවශ්‍යතාවක්‌ නොමැති බව අනේ පිඬු සිටුවරයාද දනී. එහෙත් මොන ආකාරයකින් හෝ එය ලබා ගත යුතුය යන සිතිවිල්ල නම් ඔහු තුළ විය. සිටුවරයා පසුදිනම ජේත කුමරුන් හමුවීමට ගියේය. දිගු කලකට පසු තමන් හමුවීමට පැමිණි අනේ පිඬු සිටුවරයා දුටු කුමරු බෙහෙවින් සතුටටද පත්විය. සතුටු සාමීචියෙන් පසුව හේ කෙළින්ම ජේත කුමරුන්ගේ උයන අසපුවකට ඉතා යෝග්‍ය බව කීවේය.
“ඒ වුණාට උයන නං රන්කාසි අතුරල වැහුවත් දෙන්නෙ නෑ.”
කුමාරයා කීවේය. එබස්‌ ඇසූ සිටුවරයා එසේ නම් උයන රන් කාසිවලින් වසන්නේ නම් එය මට ලබා ගත හැකියෑයි සතුටින් කියා සිටියේය.
“ඔබ කුමක්‌ හෙයින් මා උයන දුන් බව කියන්නෙහිද? මා කීවේ රන්කාසි අතුරා මුළු බිමම වැසුවත් එය නොදෙන බවය.”
සැබෑව කුමරුනි. එහෙත් එහි අරුත නම් කිසිවෙක්‌ රන්කාසිවලින් ඔබගේ උයන වසන්නෙහිද? ඔහුට නිසැකයෙන්ම එය හිමිවන බවය.”
මේ විවාදය පසුව අධිකරණය දක්‌වාම ගියේය. එහිදී විනිසුරුගේ තීන්දුව වූයේද රන්කාසි අතුරන අයෙකුට උයන මිලට ගත හැකි බවය. ජේත කුමාරයාද එම විනිශ්චය පිළිගත්තේය. පසුව අනේ පිඬු සිටුවරයා ගැල්වලින් රන්කාසි රැගෙන උයන් බිම ඒවා අතුරන ලෙස සේවකයන්ට අණ කර සිටියේය. සිටුවරයා කී ලෙසම සේවකයෝ උයන රනින් වැසීම ඇරඹූහ. සැවැත්නුවර පුරාම අනේ පිඬු සිටුවරයාගේ මේ ඉඩම් ගනුදෙනුව පිළිබඳ පුවත පැතිර ගියේය. නුවරවාසීහුද ගම්වාසීහුද පැමිණ දෙපසට වී එදෙස බලා උන්හ. ගැල්පුරා රැගෙන එන රන්කාසි සිහින් හඬ නංවමින් බිම වැටෙයි. සේවිකාවෝ ලහි ලහියේ ඒවා එකට එක ගෑවෙන පරිදි එලති. අතුරති.
මෙවේලේ ජේත කුමාරයාටද මෙවන් සිතිවිල්ලක්‌ විය.
අනේපිඬු සිටුවරයා නම් දානයෙහි ඉතා ප්‍රකට අයෙකි. එහෙත් ඔහුගේ මෙම දානය නම් පුදුම එළවන සුළුය. මේ තරම් ධනස්‌කන්දක්‌ මහළොව වසා අතුරා තවත් ඒසා ධනයක්‌ වැයකර ඉදිකරන මේ ආරාමය කුමක්‌ද? එය පිරිනමන බව කියන බුදුන් කෙබඳු කෙනෙක්‌ද? මෙය කිසිසේත් සුළුපටු කටයුත්තක්‌ නම් විය නොහැක්‌කේය. ආයෝජනයක්‌ද නොවන කර්මාන්තයක්‌ද නොවන මේ කටයුත්ත සඳහා සිටුවරයා දක්‌වන උද්යෝගයද අදහනු නොහැකි තරම්ය.
ජේත කුමාරයා තම කුහුල සංසිඳුවා ගැනීමට අනේපිඬු සිටුවරයා වෙතට ගියේය. එකල හේ ඔහුට සියලු තතු නොවළහා කීවේය. ඒ ඇසූ ජේත කුමාරයාටද ඒ පින්කමට දායක වීමේ සිත් ඇතිවිය. අනේපිඬු සිටුවරයාට වුවමනා වූයේ තනිවම ඒ කාර්ය සම්පූර්ණ කිරීමට වුවද කුමරුන්ගේ ආයාචනය ප්‍රතික්‌ෂේප කිරීම නොවටනේ හේ සිතුවේය. එසේ සිතූ හෙතෙම උයනෙහි එක්‌ කෙළවරක අතුරන ලද රන් ඉවත් කර ඒ පින්කමට ජේත කුමරාද දායක කර ගත්තේය. මෙම විහාර කර්මාන්තයට අනේපිඬු සිටුවරයාගේ ධනයෙන් පමණක්‌ සිව් පනස්‌ කෝටියක්‌ම වැය වීය. ඒ සියල්ල සතුටින් ඉවසූ සිටුවරයා මුළු උයන් පරිශ්‍රයේම නිසි පිළිවෙළට සියලු ඉදිකිරීම් ද සපුරා ලීය. අනතුරුව ඒ උයන ජේත කුමරුන් සතු වූ නිසා ජේත වන යන නමද එයට තැබීය.
ගාමිණී සුමනසේකර

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.