Skip to main content

164 සකුනග්ඝී ජාතකය

තවද ත්‍රෛලෝක්‍ය චූඩමාණික්‍යවූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි එක්දවසක් භික්ෂූන් වහන්සේට අවවාද කරණ සේක් මහණෙනි භික්ෂූන් විසින් දෙමව්පියන් ගොදුරුසොයා ගිය මග යායුතුය. අස්ථානයෙහි ගොදුරුසොයා යාම විනාසයට කාරණයයි යනාදී සකුණ සුත්‍රය වදාළසේකී. ඒ විස්තර වශයෙන් මහවගෙහි බස්නේය. මහණෙනි පක්ෂිපවා අස්ථානයේ ගොදුරු සොයා යාමෙන් විනාශයට පැමිණියෝ වේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.

ඒ කෙසේද යත්,

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙනෙකුන් රාජ්‍යය කරණ සමයෙහි බෝධිසත්වන් වහන්සේ කැටකිරිල්ලීව උපන්සේක. කැට කිරිල්ලිව ඉපිද සීකැට අස්සේ ගොදුරුකා නැයන්හා සමග වසන්නාවූ කැටකිරිලි තොමෝ එක් සමයෙක අන්‍යභූමියෙක ගොදුරු සොයා කමිසිතා ඔබ්බකට ගොස් තැනිබිමක ගොදුරුසොයා කමින් සිටියේය. ඒ වෙලාවට එක් උකුස්සෙක් කැටකිරිල්ලට නොඅඟවා අවුත් ගසාගත කැටකිරීලි උකුස්සා ගසා ගෙණ යමින් සිටියෙදී හඬ හඬා කියන්නී මාගේ විෂය නොවු පරවිෂයට අවුත් මේ සා දුක් පැමිණියේය. මාගේ විෂය නම් මට කුමක් කොට නියන්නෝ ඇද්දැයි කීය. එබස් ඇසූ උකුස්සා එසේවීනම් තාගේ විෂයට නොගොස් හිඳූ තාගේ විෂය මම ගසා ගත නොහෙම්දැයි කියා කැටකිරිල්ල අතහළහ. එවිට කැටකිරිල්ල ඇවිත් සී කැට මධ්‍යයේ හිඳ මෙවිට මා ගසා ගතැයි කීය.එබස් උකුසු අසා මහා වේගයෙන් ගසන්ට අවුත් ලඟට ආ වේගය රඳවාගත නොහී සී කැටෙහි ලය තලාගෙණ දැස් උඩහිඳුවා මළේය. ඒ දක්වන්නාවූ සර්වඥයන් වහන්සේ මහණෙනි නියම්සේ දෙමව්පියන් ඉන්නා වූ ස්ථානයෙන් ඔබ්බට ගියාවූ කැටකිරිල්ලී යම්සේ දුකට පැමිණයේද පියානන් නෑවිදුනාවූ මග ඇවිදුනාවූ භික්ෂූන්ට එසේම වන්නේය. භික්ෂුන්ට පියාණො කවුරුදැයි යතහොත්?. සර්වඥයන් වහන්සේය, උන්වහන්සේ වදාළ මර්ගය නියාවට පිළිපැදීම උතුම, යම්සේ කැටකිරිල්ලී සීකැට ඇති තැන ගොදුරු නොකා තැනිබිම ගොදුරු කන්ට ගොස් උකුස්සාට අසූවිද එමනියායෙන්ම මහණෙනි රූපශ්‍රීයක් දැක ඊටම චක්‍ෂුරීන්ද්‍රය එලීමෙන්ද යමෙක් තෘෂ්ණාවට වාල් වීමෙන්ම ඉන්ද්‍රිය එලිමය යනාදී සංලමනයෙහි ඇල්මකොට මාත්‍යුයාට අසුවන නියාව යහපත් තෙනට ගොදුරට නොගොසින් උකුස්සාට අවුවාක් මෙන් එසේ වූ සඳ ලම්බනයෙහි සිත නොඑලවා සර්වඥයන් වදාළ ප්‍රතිපත්ති නියාවට දවස්හැර සංසාරසාගරයෙන් ගැලවී යාම නම් තමාගේ ස්වකීයස්ථානයට ඇවිත් ගැළවීගියාවූ කැටකිරිල්ල වැන්නේයයි මහණෙනි ඒ කැට කිරිල්ලිත් මළාවූ උකුස්සා පිටට පැනනැගී මාගේ ස්ථානයට පැමිණිහෙයින් පසමිතුරාපිට දක්වනලදැයි වදාරා සකුන්ග්ඝි ජාතකය නිමවා වදාළසේක. ජාතකාවසානයෙහි බොහෝ සත්වයෝ සෝවාන් වූහ.

එසමයෙහි උකුස්සා නම් දේවදත්ත ස්ථවිරියයෝය. කැටකිරිල්ලිව උපන්නෙම් බුදු වූමම්මයයි වදාළසේක.

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.