16. කසී සළු හා රන් අබරණ මහ මග දමා ගිය උපාලි …

බුදුන් වහන්සේ කිඹුල්වත් පුරයෙන් ආපසු රජගහ නුවරට වඩින බව ඇසූ සුදොaවුන් රජු තුළ සියුම් සංවේගයක්‌ විය. ඇතැම් ශාක්‍යයන්ගේ අදහස වූයේද බුදුන් ප්‍රමුඛ මහා සංඝයාටම එනුවර රැඳී සිටීමට බාධාවක්‌ නැති බවය. එහෙත් යසෝදරා නම් ඒ සියලු තතු මනාව වටහා ගෙන සිටියාය. උන්වහන්සේ යළි කිසිදිනක ලෞකික ජීවිතයට අනුගත නොවන බව ප්‍රජාපතී ගෝතමියද දන්නීය. එහෙත් පුත්‍ර ස්‌නේහය නිබද හද පාරා දුක්‌ දෙන අයුරු සුදොaවුන් රජුට දැනුණි.
කිඹුල්වත් පුරයටම බුදුන් වැඩ සිටි කාලය විචිත්‍ර අත්දැකීමක්‌ විය. කොවේ මහවේ නිබඳව ජනයාගෙන් පිරී තිබුණි. හිරු බැස ගියද රැයක්‌ නොවූ සෙයකි. නුවර මැදුරුවලින් නික්‌මෙන මිණි කොත් කැරලිවල කාන්තියත් දෙපස වීථිවල දැල්වුනු පන්දම් නිසාත් අඳුර එනුවරට නො ඇඳිණි. යළි උදැසන ගෙන් ගෙට පිඬු සිඟා වඩින සඟ ගණය. ශාන්ත ගමනින් වඩිනා සඟ පෙරහරට මඟ දෙපස රැඳී සිටි ජනයා දන් පහන් පූජා කළහ.

නීග්‍රෝධ උයනද ශාන්ත දසුන් මැවීය. සැරියුත් හිමියන්ගේ කුටිය සමීපයෙහිම නිබඳ දැක ගත හැකි රාහුල සාමනේරයන්ගේ දසුන බොහෝ දෙනකුට ප්‍රිය විය. සත් හැවිරිදි විය ඉක්‌මවූ කුඩා සාමණේරයන් ගාථා ධර්ම උගන්නා අයුරුද ජනයාට පෙනුණි. එහෙත් ඒ සියලු ශාන්ත දසුන් යළි කිඹුල්වත් නුවර කවදා දැක ගත හැකි දැයි සිතුවෝ සුසුම් ලෑහ.
තමන් වහන්සේගේ ධර්ම චාරිකාව ශාක්‍යයන්ට මෙන්ම කිඹුල්වත්පුර වාසීන්ටද අර්ථවත් වූ වග දත් බුදුහු එය උපේක්‌ෂාවෙන් සිහි කළහ. සුකුමාර ශාක්‍යකුමාරවරු රැසක්‌ම ඒ වන විට බුදු සසුනටද එක්‌ව සිටියහ. නන්ද හා රාහුල කුමාරවරුන් පැවිදි කරවීම ඇතැම් ශාක්‍ය ප්‍රභූන්ගේ නොසතුටට හේතු වී තිබිණි. එහෙත් කිසිවෙක්‌ ඒ බවක්‌ නොහැඟවූහ.
බුදුහු සිය පරිවාර භික්‌ෂුන් වහන්සේලා සමඟ කෝසල රාජ්‍යයට අයත් මනරම් අඹ උයනකට වැඩියහ. නිබඳ හමනා මද නල ද සුපිපි මලින් යුත් තුරු පෙලින්ද වටවූ ඒ අඹ උයන අසලින්ම කුඩා දිය වැලක්‌ ඇදිණි. එය මඳ මඳව රළ නගා බැස යයි. දිය ඉතා පවිත්‍රය. එහි මඳ කලක්‌ ගෙවීම මැනවැයි සනිටුහන් කර ගත් බුදුහු ඒ බව අනෙක්‌ සංඝයාට ද දැන්වූහ.
මේ අතර අමිතෝදනයන්ගේ පුතුන් වන මහානාම හා අනුරුද්ධ යන දෙදෙනාටද බුදු සසුනට එක්‌වීමේ සිත් පහළව තිබුණි. එහෙත් ඔවුන්ගේ ගමන අනුමත කිරීමට මව්පියෝ පසු බෑහ. හේතුව වූයේ ශාක්‍යයන්ගේ රාජ්‍යය හිස්‌ව යැමය. අනතුරුව මේ දෙබෑයන්ගෙන් එක්‌ අයෙකු සසුනට බැඳීම මැනැවැයි සිතූ මව් පියෝ එයට අවසර දුන්හ. ඒ දෙදෙනාම කල්පනා කළාහු තම නෑයන් වන සිදුහත් ගෞතම මෙන්ම පසුව පැවිදි වූ නන්ද, රාහුල ඇතුළු ශාක්‍යකුමාරවරුන් විසින් ගෙවනු ලබන සරල ජීවිත පිළිබඳවය. සතුට නම් අත්හැරීම යෑයි බුදුන් වහන්සේ පැවසූ වදනද ඔවුන්ගේ සිත්හි පිළිරැව් දෙන්නට විය. යම් හෙයකින් මෙම ජීවිතය අත්හරින්නේ නම් හිසට කිසිදු බරක්‌ නො වන වගද ඔව්හු සිතූහ.
අනුරුද්ධ කුමරුන් මහානාම කුමරුන්ටද වඩා සුකුමාර බව දත් මෑණියෝ ඔහු මාළිගාවෙන් නික්‌ම යනු නොඉවසූහ. ඔවුන්ට කිසිදු ජීවන ගැටලුවක්‌ අවිෂය බවද ඕ දන්නීය. වරක්‌ බත් උපදනේ කොයින්දැයි විමසූ කල්හි ඔවුන් දුන් පිළිතුර වූයේ පිඟානෙනි යනුයි. ජීවිතයේ කරදර කඳ ඔහු නොදන්නා අතරම පැවිදිව ගෙවන හුදෙකලා දිවියද ඔහුට බරක්‌ බව මව සිතුවාය. එහෙත් මේ දෙදෙනාටම මාළිගාව හැරයැමේ වරම් හිමි වූයේ ශාක්‍ය ප්‍රභූවරයකු මෙන්ම රජකු ද වූ භද්දිය නිසාය.
භද්දිය ශාක්‍යවරුන් අතර ක්‍රියාශීලී පුද්ගලයෙකු විය. ප්‍රාන්ත පාලකයකු ලෙසද ඔහුට කීර්තියක්‌ හිමිවී තිබුණි. අනාගතයෙහි කිඹුල්වත්පුර කේන්ද්‍ර වූ ශාක්‍ය පාලනයෙහි ප්‍රමුඛයකු වන්නට ඔහුට සුදුසුකම්ද විය. එහෙත් බුදුන් වහන්සේ බැහැදැකීම සඳහා ඔහු තුළ වැඩෙමින් තිබුණු ආශාව ඒ සියල්ලටම වඩා ප්‍රබල විය. ජීවිතය ජය ගැනීමේ මාර්ගය ලෙස බුදුන් වහන්සේ පෙන්වා දෙන දුක්‌ඛ සත්‍යය සියුම්ව බලන අයෙක්‌ ලෞකික සුඛය කෙරෙහි කලකිරෙන බවද භද්දියට පෙනුණි. එහෙත් ඒ සියුම් නුවණ බුදු කෙනෙකු විසින්ම ලබා දෙන්නක්‌ බව ඔහු නිගමනය කළේය. බුදුන් වහන්සේ හමුවී ඒ දුක්‌ඛ සත්‍යය පිළිබඳ සංවාදයක නිරතවීම මැනැවැයිද ඔහු සිතුවේය.
භද්දිය සමඟ අනුරුද්ධ, මහානාම, පමණක්‌ නොව ආනන්ද, භගු, කිම්බිල හා දේවදත්ත යන අයද බුදුන් බැහැදැකීම සඳහා පිටත්ව ගියහ. ඔව්හු මේ ගමන ආරම්භ කළද කිසිවෙක්‌ එහි සියලු තතු නොදත්හ. ඔවුන් කෙරෙන් දිස්‌ වූයේ උයන් කෙළියට යන කුමාර විලාසයකි. මේ පිරිස සමඟ උපාලි නමැති තරුණයෙක්‌ද විය. එනුවර ජීවත් වු තරුණ කරණවෑමියකු වූ ඔහු කුමාරවරුන්ගේ විශ්වාසයද දිනා සිටි අයෙකි. උපාලි සමග මඳ දුරක්‌ ගිය කුමාරවරු ඔහුට මෙසේ කීහ.
“අප යන මේ ගමන යළි ආපසු එන ගමනක්‌ නොවේ. අප සියලු දෙනාම බුදුන් වහන්සේ හමුවී සත්‍යය මාර්ගය පිළිබඳ දැන ගැනීමේ අටියෙන් පසු වන්නෙමු. අපට වුවමනා බුදු සසුනට බැඳී මේ ජීවිතයෙන් විමුක්‌තියක්‌ ලබා ගැනීමය. එහෙයින් අපගේ සියලු ආභරණද අප සතු අගනා වස්‌ත්‍රද තොපට දෙන්නමු. තොප රිසි පරිදි ඒ සියල්ල ප්‍රයෝජනයට ගනු යෙහෙකි.”
කුමාරවරුන්ගේ අදහස ඔහුට නිරවුල්ව ගත නොහැකි වුවද ඔවුන් විසින් සඳහන් කරන ලද බුදුන් වහන්සේ පිළිබඳව නම් ඔහුට ඉතා සුපසන් හැඟීමක්‌ විය. බුදුන් වහන්සේ කිඹුල්වත් පුරයේ පෑ සියලු විකුම් උපාලි ද දැන සිටියේය. එසේම මෙම කුමාරවරුන් හා බුදුන් වහන්සේ අතර ඇති නෑ සබඳතාවද ඔහු දනී. එහෙත් ඔහු නිහඬව කුමාරවරුන්ට සවන් දුන්නේය. ඉනික්‌බිති කුමාරවරු හැඳි වස්‌ත්‍රද රන් මුතු මැණික්‌ සහිත ආභරණද මුදවා පොට්‌ටනියක්‌ සේ බැඳ ඔහුට බාර කළහ. උපාලි ඒ වස්‌ත්‍රාභරණ පොදිය හිස තබා ආපසු ගමන් ඇරඹීය. “මේ නම් යහපතකට වඩා අයහපතකට හේතු විය හැකි පොදියක්‌ බව ඔහුට හැඟිනි. තමන්ට මේ ආභරණ පොදිය ලැබුණු ආකාරය බොහෝ දෙනෙකුගේ සැකයට බඳුන් විය හැකි යෑයිද ඔහු සිතීය. ධනය යනු නිතරම විනාශයට හේතු වන්නකි. එය ලබා ගැනීම සඳහා සිදු කෙරෙන දුෂ්ක්‍රියාකාරකම්ද බොහෝ වග උපාලිට පසක්‌ විය. තමන් හිස තිබෙන සර්ප විමානය බිම තබා ආපසු දිව යැමටද ඔහුට සිතුණි. මේසා අගනා ධනයක්‌ තමන්ට බාර කළ කුමාරවරු කොහි යත්ද යන කුහුලද ඔහු තුළ වැඩුණි. උපාලි වට පිට බැලීය. පෙනෙන මානයක කිසිවෙක්‌ද නොවූහ. හේ වහාම වස්‌ත්‍රාභරණ පොදිය බිම තබා වේගයෙන් දිව ගොස්‌ යළි කුමාරවරුන්ට එක්‌විය. ඔහු දුටු කුමාරවරු කුමක්‌ හෙයින් පෙරළා පැමිණියේදැයි විමසා සිටියහ.
“පින්වත් කුමාරවරුනි ඔබලා විසින් මා වෙත ප්‍රදානය කරන ලද්දේ ධනයක්‌ වුවද එය ධනයකට වඩා විනයකට හේතු වනු නිසැකය. පළමුව අතරමගදී සොර මුළකට මා හමුවුවහොත් ඔව්හු ඒකාන්තයෙන්ම ඒවා පැහැර ගැනීමට මා මරා දමති. අතරමඟ එබඳු අනතුරක්‌ නොවී යළි නුවර ගිය කල්හි මේසා ධනයක්‌ මා ලබා ගත්තේ කෙසේදැයි බොහෝ දෙනා සැක පහළ කරති. මේ ධනය ලබා ගැනීම සඳහා මා ඔබට අනතුරක්‌ කරන්නට ඇතැයි යන කුකුසද තවත් කෙනෙකුට විය හැක්‌කේය. එවිට මා අපරාධකරුවකු සේ සලකා දඬුවම් දෙනු නියතය. එසේම මේසා මහත් ධනයක්‌ හැර ඔබ යන ගමන වඩා උතුම් ගමනක්‌ යෑයිද මට හැඟිණි. එහෙයින් මම ඒ ධන පොදිය මහමග දමා යළි මෙසේ පැමිණියෙමි” යි කීවේය.
උපාලිගේ බුද්ධිමත්භාවය කුමාරවරුන්ට මනාව පසක්‌ විය. ඔව්හු උපාලි ද කැටුව යළි ගමන ඇරඹූහ. පිරිස බුදුන් වැඩ සිටි අඹ උයනට ළඟා වෙද්දී හාත්පස අඳුර ගලමින් තිබුණි. බුදුන් වහන්සේ බැහැ දුටු ඔව්හු තමන්ට මහණවීමට අවශ්‍ය බවත් ඒ සඳහා දෙමව්පියන්ගේ අනුමැතිය ලද බවත් කියා සිටියහ. කුමාරවරුන්ගේ යෝජනාව වූයේ පළමුව උපාලි මහණ කළ යුතු බවය. ඒ අන් කිසිවක්‌ නිසා නොව ප්‍රභූ පෙළපතකට අයත් නොවූ උපාලි සසුන් ගත වු පසු ඔහුට නමස්‌කාර කර සිය නිහතමානිත්වය තහවුරු කිරීමටය. අනතුරුව මහණ කරවූයේ එම පිරිsස අතර සිටි ළාබාලයා වූ ආනන්දය. එකල ඔහු සිටියේ දහ අටවන වියෙහිය. ඉන්පසු සියලු දෙනාම පිළිවෙලින් මහණ කරනු ලැබුණි. උපාලි හා ආනන්ද තම සසුනෙහි සුවිශේෂ චරිත බවට පත් වන අයුරු බුදුහු දුටුහ. උපාලි විනය පිළිබඳ අගතැන් ගන්නා අතර ආනන්ද තමන් වහන්සේගේ උපස්‌ථායක ධුරය සඳහාම පුරණ ලද පේරුම් ඇති බවද උන්වහන්සේ දුටහ. එසේම දෙව්දත් නිසා මතු දවස අවුල් වියවුල් සිදුවන අයුරුද උන්වහන්සේට ප්‍රත්‍යක්‍ෂ විය. එහෙත් සියල්ල කාලය විසින් අවස්‌ථාවෝචිතව විසඳෙන බවද උන්වහන්සේ දුටහ.
ශාක්‍ය කුමරුවරුද දින කීපයක්‌ විවේක සුවයෙන් ගත කළහ. භද්දිය හිමියන්ට නම් අලුත් ජීවිතය අපූර්ව ආශ්වාදයක්‌ විය. මෙතෙක්‌ කල් තමා විඳිමින් සිටි අන්තෝජටා බහිජටා ජීවිතය ක්‍රමයෙන් සැහැල්ලුවන අයුරුද ඔහුට දැනුණි. ආනන්ද හිමියන්ගේ සතුටට හේතු වූයේ කුඩා රාහුල සාමනේරයන් සමඟ කාලය ගෙවීමට ලද අවසරයයි. කුඩා වුවද රාහුල සාමනේරයන්ගේ විලාසය ඉතා ප්‍රසන්න විය. සෙසු දෙටු හිමිවරුන්ට උන්වහන්සේ විසින් දක්‌වන ලද්දේ අසාමාන්‍ය ගෞරවයක්‌ බවද ආනන්ද හිමියන්ට ප්‍රත්‍යක්‌ෂ විය.
දිනපතාම අලුයම පිබිදෙන රාහුල සාමණේරයන් සිය ගුරු හිමියන් වන සැරියුත් හිමියන් වැඩ සිටින කුටිය අවට බිම පිරිමදියි. ගුරු හිමියන්ට පැන් සැපයීමට කටයුතු සම්පාදනය කරයි. පසුව උන්වහන්සේද සිය දෛනික කටයුතු අරඹයි. මේ කුඩා සාමණේරයන් විසින් හැම උදැසනකම කරන ලද එක්‌ වතාවතක්‌ පිළිබඳව ආනන්ද හිමියන්ගේ නෙත සිත යොමු විය. ඒ සාමනේරයන් විසින් වැලිදොaතක්‌ සුරතට ගෙන නිහඬ භාවනාවක විලාසයෙන් මොහොතක්‌ සිට එය හිස්‌ අහසට වීසි කිරීමය. මේ කුමක්‌දැයි ආනන්ද හිමියන් තුළ කුකුසක්‌ ද වැඩුණි. එයට පිළිතුරක්‌ ඇවැසි වූයෙන් දිනක්‌ ආනන්ද හිමියෝ සැරයුත් තෙරුන් බැහැ දැකීමට ගියහ. එවේලෙහි කුඩා සාමනේර හිමි කිසියම් කාර්යයක නිරතව කුටියෙන් මඳක්‌ නුදුරුව පිහිටි සඳුන් රුකක්‌ මුළ සිටියේය. ආනන්ද හිමියෝ ගෞරව පෙරදැරිව සැරියුත් හිමියන්ට නමස්‌කාර කර පසෙක සිටියහ.
සැරියුත් හිමියන්ගේ සිත ද ආනන්ද හිමියන් කෙරෙහි දයාඳු විය. තවමත් තාරුණ්‍ය නො ඉක්‌මවූද ඉන්ද්‍රිය සංවරයෙන් යුක්‌ත වූද ආනන්ද හිමියන් දෙස සෘජුව බලා සිටි සැරියුත් හිමියෝ කාරුණික වදනින් මෙසේ ඇසූහ.
“ප්‍රිය ආනන්දය. කුමක්‌ නිසා අප වෙත පැමිණියේ ද එය නොවළහා ප්‍රකාශ කරනු මැනවි.”
ආනන්ද හිමියෝ මෙසේ කීහ(
“සැරියුත් හිමියනි මම ද ඔබ වහන්සේ කෙරෙහි අප්‍රමාණ ගෞරව ඇත්තෙමි. එසේම ඔබ වහන්සේගේ අවවාද අනුශාසනාද ඉවසන්නෙමි. මම දිනපතාම උදැසනත්, රාත්‍රියටත් නිබඳවම දක්‌නා කුඩා රාහුල සාමනේරයන් පිළිබඳ ඉතා ප්‍රසන්න හැඟීම් වලින්ද යුතු වන්නෙමි. තවද මේ කුඩා හිමියන් දිනපතාම වැලි මිටක්‌ අහසට වීසිකරන වගද මම දැක ඇත්තෙමි. ඒ කුමක්‌ නිසාද යන්නත්, උන්වහන්සේ දැක හඳුනා ගැනීමටත් මම රිසි වන්නෙමි.”
“පින්වත් ආනන්දය. ඔබ මෙන්ම රාහුල සාමනේරයන්ද පෙර කරන ලද කුසල බලයෙන්ම මෙසේ බුදු සසුනට ඇතුළත්ව සිටිති. තවද රාහු යනු අප තථාගතයන් වහන්සේ බෝධිසත්ව කල පටන්ම සංසාර චාරිකාවේ නිබඳවම සිටි අයෙකි. රාහුල සාමනේරයන් මෙයට පෙර පියුමතුරා නම් බුදුන් දවස කළ ප්‍රාර්ථනාවක්‌ විය. එනම් බුද්ධත්වය ලබන බෝසත් කෙනෙකුගේ අවසන් ආත්මයෙහි පුතුව ඉපිද ඒ භවයේම බුදුන්ගේ කරුණාව ලැබ සසරින් එතෙර වීමය. ඒ ප්‍රාර්ථනාව අනුව අප මහා ගෞතමයන් වහන්සේ සිදුහත් කුමරුන් ලෙස උපත ලද පසු යසෝදරාවන් කුසින් බිහිව රාහුල නම් ලද්දේය. එයට පෙර අවසන් ආත්මභාවය වූ වෙස්‌සන්තර කල්හි ජාලිය ලෙස ඉපිද දාන පාරමිතාවට අනුග්‍රහය දැක්‌වූයේද මේ රාහුලමය. පියකුගේ ප්‍රාර්ථනාවකට වඩා ලෝක සත්ත්වයන් දුකින් මුදවා ගැනීමට ජූජක නම් බමුණකු සමග වහල් මෙහෙය සඳහා යැමට තරම් චිත්ත බලයක්‌ එකල්හිද රාහුලයන්ට විය. අද ඔවුන් යම්බඳු අධිෂ්ඨානයකින් සිටින්නේද ඒ සංසාර පුරුදු නිසාමය.
අනෙක්‌ වැදගත්ම කරුණ නම් අපගේ තථාගතයෝ මේ තම ගිහි කල පුතු යෑයි කිසිදු විශේෂත්වයක්‌ ඔහුට නොදක්‌වා සම කරුණාවෙන් ඔහුට සැලකීමය. බුදුහු ඔහුට දහම් ප්‍රගුණ කරවීම් ආදිය මා වෙත පැවරූහ. රාහුල ඉතා සුවච, ශික්‌ෂණයෙහි හුරු බුහුටි දරුවෙකි. හේ දිනපතාම වැලි මිටක්‌ රැගෙන අද මට මේ තරම් අවවාද අනුශාසනා ලැබේවායි ප්‍රාර්ථනා කරයි. ඔබ උදැසනට දකින්නේ ඒ දසුනය. එබඳු පින්වත් දරුවො ඉතාම දුර්ලභයහ. එබඳු දරුවන් ඇසුර නොව දැකීමද පිනකි.” සැරියුත් හිමියන්ට පසඟ පිහිටුවා යළිත් වන්දනා කළ ආනන්ද හිමි සෙමෙන් සිය කුටිය වෙත පැමිණියේය. ඒ නුදරු දිනයකදීම රාහුල සාමනේරයන් හමුව කතාබහ කළ යුතුය යන අදිටනද සමඟය.
අනුරුද්ධ හිමියන්ට ද යම් යම් ශාරිරික අපහසුතා දැනුණි. එහෙත් අධිෂ්ඨානශීලීව ඒවා මැඬ ගැනීමට තරම් උන්වහන්සේගේ සිත හැඩ ගැසෙමින් තිබුණි. සුකුමාර රාජකීය ජීවිතයක සුරස බොජුන්ද සුව යහනාද ලද ඔව්හු අද කොතනකින් හෝ ලැබෙන දෙයකින් උදයද දහවල ද පිරිමසා ගත යුතු වෙති. ඇතැම් දිනක පාතාරාසයට ලැබෙන්නේ කැඳකි. දහවලට කටුසර අහරකි. බොහෝ රාත්‍රිවලදී නිදි සුව නොලැබෙයි. අනුරුද්ධ හිමියන්ට ප්‍රබල ශක්‌තියක්‌ වූයේ ඔහුගේ ඥති භද්දිය හිමියන්ය. භද්දිය හිමියෝ නිබඳව ඔහු ගැන සොයා බැලූහ. ඔහුට සහාය වූහ. භික්‌ෂු ජීවිතය යනු අභියෝගයක්‌ බව නිතරම අවධාරණය කළහ. ස්‌වාධීන මනසකින් එයට මුහුණ දිය යුතු බවද කීහ.

ගාමිණී සුමනසේකර

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.