11. නාගයකුගෙන් රජකුගේ දිවි රැකදුන් ලේනා… !

බුදුන්වහන්සේ රජගහ නුවරට වැඩිදා පටන් එනුවර මහත් සැණකෙළියක්‌ සේ විය. බුදුන් ප්‍රමුඛ සඟ ගණ විසූ තල් උයන් පරිශ්‍රය සුපිපි ඇහැල මලින් බර ගොමුවක්‌ සේ දිස්‌ විය. මනාව සකසා පොරවා ගත් කහ සිවුරෙන් සෝබමාන වූ රහතන් වහන්සේලාගේ දසුන අසිරිමත් විය. ඇතැම් වහන්සේලා ඔබ මොබ සක්‌මන් කරති. තවත් වහන්සේලා හිඳ භාවනා කරති. ඇතැම් උදැසනක නුවර වීදි සරණ උන්වහන්සේලා සන්සුන් ගමනින් ගෙන් ගෙට පිඬු සිඟා වැඩියහ. බිම්බිසාර රජු විසින් ද බොහෝ දිනවල දහවල් දානය එවන ලදී. තවද එනුවර දිවා රෑ වෙනසක්‌ නොවීය. රජගහනුවර වැසියෝද වෙනත් ගම් දනව්වල අයද බුදුන් දකුම්හයි මගට බට හෙයින් එහි නිබඳ සරණ ජන ගඟක්‌ විය. දැඩි හිරු රැස්‌ ද දූවිලි ද නොවූ නුවර මගීන්ට ප්‍රියජනකද විය. ආරක්‍ෂකයෝද වෙනදා මෙන් වූහ. එහෙත් කිසිවකු අත අවි නොවීය. ඔවුන්ගෙන් කිසිවිටෙක බුදු පුදට යන අයට බාධාවක්‌ද නොවීය. බැතිමතුන් අත්වල වූ සුවඳ මල් මඳනල හා මුසුව හාත්පස සුගන්ධවත් කර හමා ගියේය.

මේ මනරම් පරිසරයෙහි වසනා බුදුන්වහන්සේ දිනක්‌ අලුයම පිබිද සිරුර කිස නිමවා, දන් වළදා බිම්බිසාර රජුන් විසින් පූජා කරන ලද වේළුවනයට හෙවත් කලන්දක නිවාපයට යනු රිසින් කසුප් තෙරුන් ඇමතීය. කසුප් තෙරුන්ටද රජගහ නුවර ආගන්තුක නොවුවද බිම්බිසාර රජුගේ අවධානය ලද ඒ වේළුවනය පිළිබඳ වැටහීමක්‌ නොවීය. මනාව වැඩුණු උණ ගසින් අලංකෘත වූ ඒ උයන අසලින් වරක්‌ හෝ දෙවරක්‌ ගමන් කර තිබුණද කසුප් තෙරුන්ටද එම සංචාරය අලුත් අත්දැකීමක්‌ විය.

 

බුදුන්වහන්සේ සමග වේළුවනය බලා ගිය පිරිසට තවත් රහතුන් වහන්සේලා කීප නමක්‌ම අයත් වූහ. එහි වූ විසල් දොරටුව අසල මුර කුටියකි. මනාව කළ රැකවලින්ද යුතු විය. බුදුන් ප්‍රමුඛ උන්වහන්සේලා වේළුවනයට ඇතුල් වූහ. එසඳ බුදුහු පළමුවෙන්ම සංඝයා අමතා මෙලෙස උන්වහන්සේලාගේ කුහුල සන්සිඳ වූහ.

 

“තෙරණුවනි, මේ උයන දිගු කලක පටන් ලෙහෙනුන්ට අභය භූමියකි. කලන්දක යනු ද ලෙහෙනුන්ටම යෙදෙන වෙනත් නාමයකි. කලන්දකයන් සඳහාම වෙන්වූ, උන්ට අභය ස්‌ථානයක්‌ වූ නිසාම මෙය කලන්දපනිවාප නම් ලද්දේය.
ඉනික්‌බිතිව බුදුහු එහි අතීත පුවත්ද මෙලෙස සැකෙවින් දැක්‌වූහ. මහණෙනි, පෙර එක්‌ රජෙක්‌ මෙම උයනෙහි නිබඳ කෙළිදෙලෙන් විසුවේය. හේ ඉඩ ලද හැම විටකම සිය ඇතොර ළඳුන් ද, වෙනත් නාටිකාවන්ද සමග මෙහි එන්නේය. එකල මේ උයන නච්ච, ගීත, වාදිත යනාදියෙන් ඝෝෂාවක්‌ විය. රජු ද වඩාත් කාම භෝගී දිවියකට ලොල් වූවෙකි. දිනක්‌ හේ සුරාවෙන් මත්ව නාටිකාංගනාවන්ගේ රැඟුම් බලමින් සිටියදීම, විඩාපත්ව නින්දට වැටුණි. රජු නිදන බව දුටු නාටිකාංගනාවෝද මඳක්‌ ඉසුඹුලමුයි සිතා බැහැර වූහ.
සුරාමතින් නින්දට වන් රජු ගොරවන්ට ද වූ අතර ඔවුන්ගේ මුවින් පිටවූ සුරා ගන්ධය ආඝ්‍රහණය කළ අසල සිටි නාගයෙක්‌ ඒ ඉව ඔස්‌සේ ඇදෙන්ට විය. මත්ව සිටි රජු තමන් වෙත ඇදෙන නාගයා පිළිබඳ නොදත්තේ නින්දේම පසු විය. රජුන්ට රැකවල් කළ අය ද බැහැරව සිටියහ. එවේලේ වේළුවනයට අරක්‌ගත් රුක්‌ දෙවියෙක්‌ තව මොහොතකින් සිදුවිය හැකි විපත දැක එය වලක්‌වාලිය යුතු යෑයි, ලෙහෙනෙකුගේ වෙස්‌ ගෙන නාගයා යන මග අවුරා සිටියේය. නාගයා ද ලෙහෙනා ගොදුරු කර ගැනීම සඳහා එදෙසට හැරුණි. ලෙහෙනාගේ හඬත් නාගයාගේ මුවින් පිටවූ ශබ්දයත් ඇසුණු රජ සැණකින් අවදි විය. එකල නාටිකාංගනාවෝ මෙන්ම ආරක්‍ෂකයෝද දිව ආහ. සියල්ලෝම විස්‌මිතව බලා සිටියහ. ඒ මොහොතේදීත් නාගයා ලෙහෙනුන් හඹා යමින් සිටියේය.
රජුට පියවි සිහි ලැබුණි. අද ම දිවි සුරැකුණේ මේ ලෙහෙනුන් නිසාම යෑයි රජුට පසක්‌ විය. අනතුරුව තමන්ගේ ජිවිතය
රැක දුන් ලෙහෙනුන්ට මතු මතුව ද සුරැකිව වාසය කිරීමට මේ උයන වෙන් කර තබමියි සිතූ රජු එලෙස රාජ නියෝගයක්‌ද පැනවීය. ලෙහෙනුන්ට අභය භූමියක්‌ වූ හෙයින් එය කලන්දපනිවාප නම් විය.
බුදුන්වහන්සේ ඒ අතීත පුවත් ගලපා වදාරා මතු දිනක මෙම පරිශ්‍රයෙහි ඉදිවන විහාර ආරාම ආදිය පිළිබඳව ද සිහි කළහ. අනතුරුව කසුප් තෙරුන් ද මෙබඳු අදහසක්‌ දැක්‌වීය.
‘භාග්‍යවතුන් වහන්ස. මේ රමණීය උයන ඒකාන්තයෙන්ම භික්‌ෂු සංඝයා සඳහාම උචිතය. විසකටු පඳුරු ද කඩතොලු සහිත බිම්ද නොමැති මෙහි පිහිටීම බලනු මැනවි. මේ කුඩා පැන් පොකුණු සිහිල් දියෙන් උතුරයි. භාවනානුයෝගීව, විවේකීව කල් ගෙවීමට මෙතරම් සුදුසු උයනක්‌ මම ද රජගහනුවර නොදුටුවෙමි.
කසුප් තෙරුන්ට සවන් දුන් බුදුහු වැසිකල උදාවන විට සංඝයාට වස්‌ විසීම සඳහා මේ උයන සුදුසු බව අනුදැන වදාලහ. උණ පඳුරුවලින්ම සංඝයාගේ පරිහරණයට අවැසි අඩු වැඩියද සාදා ගතහැකි බව උන්වහන්සේ දුටහ. ඒ වන විට දහසක්‌ ඉක්‌මවූ රහතන් වහන්සේලා ද ධර්ම චාරිකා අරඹමින් මෙයට පෙර ඒ ඒ දිසාවන් බලා ගමන් කළ තවත් දෙසිය පනහකට නොඅඩු ශ්‍රාවක පිරිසක්‌ද වශයෙන් එක්‌දහස්‌ දෙසිය පනහක පමණ ශ්‍රාවක පිරිසකගෙන් සමන්විත සංඝ සමූහයක්‌ද තමන් වහන්සේ සමග බව උන්වහන්සේට සිහිපත් විය. සැබැවින්ම ඒ සා ශ්‍රාවක පිරිසක්‌ එසඳ දඹදිව කිසිදු ආගමික නායකයකුට නොවූහ.
බුදුන් රජගහ නුවර වැඩ සිටි සමයෙහිම එනුවරට නුදුරු තවත් තැනක සංජය නම් පරිබ්‍රාජකයෙක්‌ද විය. ඔහුට ලාභ සත්කාර නොමඳව ලැබුණි. පොහොසත් දනෝද වෙනත් බමුණු මහසල් කුලවල ප්‍රභූහුද ඔහු වටා රැඳී උන්හ. වෙසෙසි දහමක්‌ හෝ විමුක්‌ති මගක්‌ හෝ ඔහු සමීපයෙහි නැති වග දැනගත් බ්‍රාහ්මණ කුමාරවරු දෙදෙනෙක්‌ පමණක්‌ වූහ. ඔව්හු යස ඉසුරින් පිරි කෝලිත හා උපතිස්‌ස යන ගම්වල සිට සංජය පරිබ්‍රාජකයන් සමීපයට පැමිණි අය වූහ.
මේ දෙදෙනාම ප්‍රාණප්‍රිය මිත්‍රයෝය. කුමර කල ඔව්හු එක්‌ව සතුටු වූහ. එක්‌ව සංගීත නාටක නැරඹූහ. කෙලවරක්‌ නොමැති විනෝද ක්‍රියාකාරකම්වලද නිරත වූහ. ඔවුන් සමග නිබඳව යොවුන් කුමරියෝද වූහ. දිගු කලක්‌ මේ අයුරින් සැපතකැයි සම්මත බොහෝ දේ කළත් ඔවුන් තුළ වැඩුණේ දොම්නසක්‌ම පමණි.
දිනක්‌ ඔව්හු ගිරග්ග සමඡ්ජ නම් උළෙලකට එක්‌ව මහත් සේ කලකිරීමට පත්ව ආපසු එන අතර මෙබඳු කතිකාවක්‌ කළහ.
මා ප්‍රිය මිත්‍ර කෝලිත, ඔබත් මමත් යන දෙදෙනාම කෝලිත උපතිස්‌ස යන සුපතළ බමුණු ගම් දෙකෙහි සත්මුතු පරපුරක්‌ ඈතට විහිද ගිය මිත්‍ර සන්ථවයකින් බැඳී සිටිමු. ළමා වියද කුමර වියද එක්‌ව ගෙවූ අප දෙමව්පියන්ගේ පෙරැත්තය නොතකා මෙලෙස ගිහි සැප අත්හැර පරිබ්‍රාජකයින් වීමු. එහෙත් අප ලද විමුක්‌ති මාර්ගයක්‌ හෝ අභිනව ධර්මාලෝකයක්‌ හෝ නොමැත්තේය. අප ගුරු සංජයතුමා ළඟ අපට ඉගෙනීමට වෙසෙසි දහමක්‌ ද නැත. අපට ආමිසයෙන් අඩුවක්‌ද නැත. එහෙත් තවත් එහිම ලැගීමෙන් යහපතක්‌ වේදොaයි සිතනු නොහැක්‌කේය. තවද මේ කල් ඉකුත්ව යද්දී අප දුබල වන්නේය. අපගේ ස්‌මරණය ද සෞඛ්‍ය ද පිරිහෙන්නේය. එනිසා ඊට පෙර අප විසින් වීර්ය උපදවා අපගේ ශාස්‌තෘන් සොයා දැන හඳුනා ගත මනාය.
ඒ ඇසූ කෝලිත තෙමේ මෙසේ කීවේය.
යහලු උපතිස්‌සය. මම ඉඳුරා ඔබ සමග වන්නෙමි. ඉදින් අප දෙදෙනා මේ රජගහ නුවර දෙදිසාවක්‌ බලා ගමන් කර යම් අයෙකුට පළමු රහත් නමක්‌ හෝ කෙලෙස්‌ නැසූ උන්තමයෙක්‌ හමු වුවහොත් ඔවුන්ට අතවැසිව විමුක්‌ති මාර්ගය උගනිමු. එසේ පළමු හමුවන අය පෙරළා අන් අයට කීමද කළ යුත්තේය. අනතුරුව ඔව්හු එබඳු සම්මුතියකට එළඹ රජගහ නුවරට නුදුරු මාර්ග දෙකකට අවතීර්ණ වූහ. එසේ මඟ ගෙවමින් පැමිණි උපතිස්‌ස පරිබ්‍රාජකට අතුරු මගකින් තමන් ඉදිරියට එන උපශාන්ත ශ්‍රමණ රුවක්‌ දැක ගත හැකි විය. ඒ අන් කිසිවෙක්‌ නොව පස්‌වග මහණුන් අතර වූ අස්‌සජි තෙරුන්ය. උන්වහන්සේද ධර්ම චාරිකා පිණිස ගොස්‌ ආපසු වඩින්නේ රජගහනුවර අසල කුඩා ගමක පිඬුසිඟමින් සිටියේය.
උපතිස්‌ස පරිබ්‍රාජකයා මෙසේ සිතීය.
මේ ශ්‍රමණ රුව බෙහෙවින් ප්‍රසන්නය. උන්වහන්සේගේ විලාසය නෙත සිත සුවපත් කරවයි. පියෙන් පිය ඔසවමින් සන්සුන්ව වඩනා උන්වහන්සේ අකම්පිත අව්‍යාජ අසාමාන්‍ය ගුණම විදහා දක්‌වයි. කාය වාග් සංයමයකින් ද යුතුමය. මේ මගේත් මා කලණ මිත්‍රයාගේත් අදහස්‌ මුදුන් පමුණුවා ගත හැකි බවට ඒකාන්ත නිමිත්තය.
අස්‌සජි හිමියෝ තමන්ට ප්‍රමාණවත් තරමටම පිණ්‌ඩපාතය ලැබ මඳ දුරක්‌ ඇවිද එහි වූ අතුරු මඟකට පිවිසියහ. එය මිනිසුන්ගෙන් ශුන්‍ය පෙදෙසකි. අසල කුඩා දිය පහරකි. ඉක්‌බිති හිමියෝ එහිම වැල්මී ගසක්‌ යට තණ හා උඳු පියලි වලින් යුතු බිම හිඳ ගැනීමට සැරසුණහ. එකල්හි උපතිස්‌ස තෙමේ තමන් අත වූ සිවුරක්‌ බිම එලා උන්වහන්සේට ආසනයක්‌ සකසා දී පසෙකට වී බලා සිටියේය. අස්‌සජි හිමියෝ වළ¹ හිස ඔසවා ඔහු දෙස බැලූහ. එවිට උපතිස්‌ස තෙමේ උන්වහන්සේ කෙරෙහි නොමඳ ගෞරවයෙන්ම මෙසේ කීවේය.
මම උපතිස්‌ස නම් පරිබ්‍රාජකයෙක්‌මි. දිගු කලක්‌ තපස්‌ රැක්‌කෙමි. එහෙත් වෙහෙස මිස අත් වූ පලයක්‌ නොවීය. එසේ උකටලීව සිටිනා අතර මා ප්‍රිය කෝලිත නම් මගේ මිතුරා සමග ද කතිකා කර මෙසේ ආවෙමි. එලෙස එන සඳ ඔබගේ ශාන්ත විලාසයටද ඉන්ද්‍රිය සංවරයටද පැහැද පසු පස පැමිණියෙමි. ඉදින් ඔබ පිළිගත් යම් ශාස්‌තෘවරයෙක්‌ හෝ ධර්මයක්‌ වන්නේ නම් මම ද එය දැනගනු රිසිමි.
අස්‌සජි හිමියෝ ඔහුට පිළිතුරු දෙන්නාහු මධුර හඬින් මෙසේ කීහ.
“මම ද ඔබ සේම භද්‍ර යෞවනයෙහිදීම ගිහිගෙය හැර ආවෙක්‌මි. මා ඇතුළු පස්‌දෙනෙක්‌ එක්‌ව තපස්‌ කරමින් සිට අවසානයේදී බුද්ධ නම් අසාමාන්‍ය ශාස්‌තෲවරයකුගේ සෙවණ ලදිමි. සිදුහත් ගෞතම නම් වූ ඒ බුදුන්ගෙන් ධර්මය අසා ඥනාලෝකය ලැබීමට භාග්‍යය ලදිමි. අනතුරුව උන්වහන්සේගේ ම නියමයෙන් මා ඇතුළු සෙසු සියල්ලෝම ගම් දනව් බලා පිටත් වූයෙමු. මම දැන් ඒ චාරිකාව නිමවා ආපසු බුදුන් දකින්නට යමින් සිටිමි. මේ රජගහනුවරට නුදුරුව අපගේ අසම සම බුදුහු වැඩ සිටිති.”
“ඉඳින් ඔබට බරක්‌ නොවේ නම් අපට ඒ බුදුන්ගේ සදහම් අමා මී බිඳක්‌ දුන මැනවි”යි උපතිස්‌ස තෙමේද කීවේය.
අස්‌සජි හිමියෝ සන්සුන්ව පිළිතුරු දෙන්නාහු,
මම ද තවම ආධුනික වන්නෙමි. ඒ සත්‍යය ධර්මය විග්‍රහ කිරීමටද සමත් නොවන්නෙමි. එහෙත් මගේ මෙම ධර්ම චාරිකාව පුරාම මවිසින් දේශනා කරන ලද එක්‌ ගාථා ධර්මයක්‌ වෙයි. මම මගේ නැණ පමණින් ඔබට එය පහදා දෙන්නෙමි.
අස්‌සජි හිමියෝ මධුර හඬින්ම මෙලෙස ගැයූහ.
යෙ ධම්මා හේතුප්පබවා
තේසං හේතු තථාගතො
ආහ තේසඤ්වයො නිරොධො
එවං වාදි මහා සමණො
(යම් ධර්මයක්‌ හේතු ප්‍රභව කොට පවතින්නේ ද, තථාගතයෝ ඒ හේතු ප්‍රකාශ කළහ. බුදුහු ඒවායේ නිරෝධය ප්‍රකාශ කළහ.)
අස්‌සජි හිමියන් විසින් පහදා දෙන ලද්දේ බුදු දහමෙහි සාරයෙන් බිඳකි. එයින්ම උපතිස්‌සයන් තුළ වූ මොහඳුර බිඳිණි. අනතුරුව හේ අස්‌සජි හිමියන්ගෙන් සියලු තතු දැන බුදුන් හමුවට එන බව පවසා සිය මිත්‍ර කෝලිත සොයා ආපසු පිටත් විය. අතරමකදී දෙදෙනා හමුවී කතා කළහ. එකල්හි උපතිස්‌සයන් විසින් පවසන ලද ගාථා ධර්මය ඇසූ කෝලිත ද සත්‍යයේ සහන් එළිය දුටුවේය. මෙසේ දෙදෙනාම එකම ගාථා ධර්මයකින් ප්‍රඥවබෝධය ලදහ. බුදුන් දැකීමේ ආශාව කෙතරම් වුවද මෙතෙක්‌ දවස්‌ තමන් විසූ සංජය පරිබ්‍රාජකයන්ට නොදන්වා ඒ මගම යාම නොමැනවයි ද ඔව්හු සිතූහ.
ප්‍රිය කෝලිත අපගේ ගුරුන් වන සංජය රජගහ නුවර ප්‍රකට කීර්තිමත් පරිබ්‍රාජකයෙකි. ඔහුට පොහොසත් දායක කාරකාදීහුද සිටිති. එසේම අප දෙදෙනා ද සමග දෙසියයක්‌ ඉක්‌ම වූ ගෝලයෝ පිරිසක්‌ද වෙති. සිව්පසය සුලබය. ජීවිතය පහසුය. එහෙයින් ඒවා හැර ඔහු එනු ඇතැයි ඔබ සිතන්නෙහි දැයි උපතිස්‌ස තෙමේ විමසීය.
ඔබ පැවසූ පරිදිම එය කිසි දිනක නොවන්නකි. පුද්ගලයෝ නම් තමන්ට ලැබෙන ලාභ සත්කාර නො හරිති. ඒවා කෙරෙහිම ලොල් වෙති. පහසු දිවියකට හුරු වූ එබඳු අයෙක්‌ කිසිවිටක බැහැර ලොව තතු නොබලතියි කෝලිත තෙමේද කීවේය.
එසේ වුවද උපතිස්‌ස හා කෝලිත දෙදෙනාම ආපසු සංජය පරිබ්‍රාජක හමුවට ගියහ. සංජය පරිබ්‍රාජකයන්ටද ඔවුන්ගේ අමුත්ත හැඟිණි. එහෙත් ඒ බවක්‌ නොපෙන්වා කිමෙක්‌ද ඔබ කිසියම් කරුණක්‌ පැවසීමට පුල පුලා සිටින ආකාරයක්‌ මට පෙනේ යෑයි කීවේය. මෙවේලේ තවත් පමා වීම නොවටනේ යෑයි සිතූ උපතිස්‌ස තෙමේ මෙසේ කීවේය.
ආචාරිනී අපි ඔබ සමග දිගු කලක්‌ එක්‌ව තපස්‌ කළෙමු. එහෙත් අප ලද වෙසෙසි දියුණුවක්‌ නැත. අපට සිව්පසයෙහි කිසිදු අඩුවක්‌ නොවීය. වෙනත් අල්ප දුකක්‌ හෝ නොදැනුණි. එහෙත් අප තුළ වූ කලකිරීම කිසි ලෙසකින් දුරු නොවීය. එසේ වුවද අපිඋකටලී නොවීමු. මුළු දඹදිවම නොයෙක්‌ තන්හි සැරිසැරීමු. අවසන අප වසනා මේ රජගහනුවරට නුදුරුව වේළුවන උයන්හි වැඩ සිටිනා බුදුවරයෙක්‌ පිළිබඳ තතු දැනගන්ට ලැබුණි. උන්වහන්සේ රහත් භාවයට පැමිණි සියලු දුක්‌ නැසූ ලෝකාග්‍ර වූ බුද්ධ නම් උත්තමයෝය. සිදුහත් ගෞතම නමින් ප්‍රකට උන්වහන්සේ දැන් ලොව සියලු සතුන්ගේ අවිදු අඳුරු නසමින් අභිනව දහම් දෙසන්නාහුය. අපට උන්වහන්සේගේ එක්‌ ශ්‍රාවකයකු මුණගැසුණි. ඔහු විසින් වදාරණ ලද ගාථා ධර්මය අපගේ සිත් සමාධි ගත කර නිසි මග අපට පෙන්වා ඇත. අප සමග ඔබට ද එක්‌විය හැකි නම් අගනේ යෑයි සිතමු. මේ දුක්‌බර ජීවිතය හැර විමුක්‌ති මග සොයා යනු රිසිමි. අපට අවසර දුන මැනව.
උපතිස්‌සගේ වදන් ඇසූ සංජය පරිබ්‍රාජක තෙමේ මහත් සේ කැළඹීමට ද පත්විය. ඔහු තුළ මෙබඳු සාධාරණ කල්පනාවක්‌ද විය.
“මම දිගු කලක්‌ රජගහනුවර ප්‍රකට පරිබ්‍රාජක නායකයකුව සිටිමි. මට බොහෝ සිටුවරුද වෙනත් ධනීහුද ගරු කරති. ඔවුන්ගේ සියලු කටයුතු වලදී ම විසින් අවවාද අනුසාසනාද කරන ලද්දෙමි. ඒ හැර මට පන්සියයක්‌ පමණ ගෝල පිරිසක්‌ද වෙති. කෝලිත උපතිස්‌ස දෙදෙනා ඒ සියල්ලන් අතර බුද්ධියෙන්ද අනෙක්‌ සියලු කරුණුවලින්ද ඉදිරියෙන්ම සිටිති. ඔව්හු කිසිසේත් මා සමග නොරැඳෙති. එහෙත් මම තවත් කෙනෙකුගේ ගෝලයෙක්‌ව යන්නෙම් නම් මගේ සියලු ප්‍රභාවද එකෙණෙහිම නැතිවන්නේය. මම ප්‍රමුඛයා ලෙසම සිටිමි. කිසිවකුගේ අතවැසි වන්නෙම් නම් එය මට අයසකි. මේ සියලු සම්පත්ද දායකයෝද හැර දමා කුමක්‌ හෙයින් යා යුතු ද?”
සංජය ගුරුවරයාගේ සිතැඟි දත් මිතුරෝ ඔහුගෙන් සමුගත්හ. එකල්හි පරිබ්‍රාජක ආරාමයෙහි සිටි අනෙක්‌ අයද බුදුන් දකිනු රිසිව යාමට සැරසුණහ. එවේලේ නම් සංජය තෙමේ සිහිසුන්ව අසුනෙහිම වැටුණි. මුවින් ලේ වමනයද ගියේය. එදුටු ගෝලයින්ගෙන් අඩක්‌ ඔහු සමග රැඳීමට එකඟ වූහ. උපතිස්‌ස හා කෝලිතයෝද ඒ තීරණය අගය කළහ. නොඑසේ නම් තමන් නිසා සංජයට මහත් විපතක්‌ විය හැකි බවද ඔව්හු සිතූහ.
අනතුරුව උපතිස්‌ස හා කෝලිත තමන් සමග යාමට සූදානම් වූ පිරිසද කැටුව මඟට බටහ. සංජය පරිබ්‍රාජකයන්ගේ ඇතැම් දායකයන්ටද එපුවත් දැනගන්නට ලැබුණි. ඔවුන් අතර ද ඒ වන විට බුදුන්වහන්සේ පිළිබඳ තොරතුරු දත් අයද වූහ. එසේම වේළුවනයට ගොස්‌ බුදුන් දුටු අයද වූහ.
මේ වන විට මගධයේ ඇතැම් ජන කොටස්‌ අතර බුදුන් වහන්සේ පිළිබඳ කිසියම් කසුකුසුවක්‌ද විය. එහෙත් කිසිවෙක්‌ එය විරෝධයක්‌ සේ නොපෑහ. එයට හේතු වූයේ ගම් දනව් වල විවිධ පිරිස්‌ බුදු සස්‌නෙහි පැහැදී ගිහිගෙය හැර යමින් සිටීමය. මෙසේ ගිහිගෙයින් නික්‌ම ගිය කල ස්‌ත්‍රීහු කණවැන්දුම් නොවෙත් දැයි කී අයද වූහ. එවිට අපගේ කුල පරම්පරාවෝ සිඳී යන්නෝ නොවෙත්ද? මේ විරෝධය ඉබේම දුරු වන බවද බුදුහු දත්හ.
සංජය පරිබ්‍රාජකයා කෙරෙහි සදය සිතින්ම ඔහු හැර පැමිණි උපතිස්‌ස කෝලිත දෙමිතුරෝ වේළුවන උයනට ළඟා වූහ. එවේලෙහි බුදුහු භික්‌ෂූන් වහන්සේලා රැස්‌කර ඔවුන්ට අනුශාසනාවක්‌ කරමින් වැඩ සිටියහ. තමන් වෙත එන පිරිස අතර ඉදිරියෙන්ම සිටි කෝලිත උපතිස්‌ස භික්‌ෂුන්ට පෙන්වූ බුදුහු ඒ එන්නේ මගේ දෑග සව්වන් බවට පත්ව සැරියුත් හා මුගලන් නමින් ප්‍රකට වන භාග්‍යවන්ත තෙරුන් වහන්සේලා යෑයි දැන්වූහ.
අනතුරුව මිතුරන් දෙදෙනා හා පැමිණි පිරිසද අනෙක්‌ භික්‌ෂූන් මෙන්ම එහි හිඳ ගත්හ. “බුදුරජාණන් වහන්ස අපට ද ඔබ වහන්සේගේ සසුනෙහි මහණවීමට අවසර දෙනු මැනවැයි” ඔවුන් අතර සිටි උපතිස්‌ස හා කෝලිත ආයාචනා කළහ. බුදුහු ඒ සියල්ලන්ම එහි භික්‌ෂු භාවයෙන්ම පැවිදි කළහ. පසුව බුදුන්වහන්සේ ඔවුන්ට ධර්මය දෙසූහ. සියලු දෙනාම රහත් භාවයට එළඹුණ ද මුගලන් තෙරුන් රහත් භාවයට පත් වූයේ සත් දිනකට පසුවය. සැරියුත් තෙරුන්ට රහත්භාවය ලැබුණේ පසළොස්‌ දිනකට පසුවය. එලෙස රහත්භාවයට පත්වූ උන්වහන්සේලාට බුදුහු අගසව් තනතුරුද ලබා දුන්හ.

ගාමිණි සුමනසේකර

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.