107 සාලික ජාතකය

තවද එක්සමයෙක්හි සුඛාස්පදවූ තිලෝගුරු බුදුරජානන්වහන්සේ දෙව්රම් වෙහෙර වසනසේක්. අතකුරු ගැසීමෙහි දක්ෂ එක් භික්ෂු කෙණෙකුන් වහන්සේ අරභයා මේ ජාතකය වදාළසේක.

සැවැත්නුවර වාසී එක් කුලපුත්‍රයෙක් අතකුරු ගැසීමෙහි දක්ෂ විය. ඒ තෙම එක් දවසක් බුදුරජාණන් වහන්සේ වදාරන්නා වූ ධර්ම දේශනාව අසා ශාසනයෙහි ලැදිව මහණව උපසම්පදාව ලද්දේය, උපසම්පදාව ලත් බවවිනා ශික්ෂකාමී නොවනසේක්. ප්‍රතිපත්ති සාරයක් නොවන සේක. ඒ භික්ෂූන් වහන්සේ එක් දවසක් ලදරු භික්ෂූන් වහන්සේ කැඳවා ගෙණ අචිරවති නම් ගඞගාවට ගොස් පැන් සනහා ගන්තෙර සිටිසේක. එසමයෙහි සෙවත හංසයෝ දෙදෙනෙක් ආකාශයෙන් යන්නාහුය, ආකාශයෙන් යන්නාවූ හංසරාජයන් දෙදෙනා දැක වැඩි මහළු භික්ෂූන් වහන්සේ බාල භික්ෂූන්ට කියනසේක්. මේ පස්සෙහි යන්නාවූ හංසයා අතකුරකින් ඇස ගසා පාමුල එලම්දැයි කීසේක. අන්‍යවූ බාල මහණ කියනසේක්. කෙසේ ගසා එලනසේක්ද ගසා එලන්ට නුඹ වහන්සේට නොපිළිවනැයි කීසේක. අන්‍යවූ වැඩි මහළු භික්ෂූන් වහන්සේ එබස් අසා කියනසේක්. ඇවැත්ති ඒ හංසයාගේ මෙපිට ඇසතට තිබියදී දෙවෙනි එපිට ඇසින් ගසා මෙපිට ඇසින් පලවමි කීසේක. බාල භික්ෂූන් වහන්සේද මේ කියන්නේ නැත්තයයි කීකල්හි එසේවීනම් පරීක්ෂා කොට බලා වදාළ මැනවැයි කියා එක් තුනස් අකුරක් ගෙණ අතකුරෙන් පැහැර හංසයාගේ පෙඳගොල්ල දිශාවට ගැසූසේක. ඒ ගැසූ අකුර රූ රූ යන අනුකරණධවනී පවත්වමින් බුරාගෙණ අවුත් පෙඳගොල්ල සමීපවූයේය. එකල්හි හංසයා උපද්‍රවයක් වියයුතුයයි සිතා කරකැවී අතකුරුගලේ ශබ්දය අසන්ට පටන්ගත, එකෙණෙහි ඒ භික්ෂූන් වහන්සේ එක් වට අකුරක් ගෙණ හංසයා කරකැවී බලන තැනැත්තහුගේ ඒ පිට ඇසට ගැසූයේය, ගසනලද අකුර පිට ඇසින් වැදගෙණ මෙපිට ඇසින් බඳ පලා ගියේය, හංසයා අඬමින් පාමුල වැටී ගියේය. එකල්හි ඒ ඒ තැනින් භික්ෂූන් වහන්සේ අවුත් නින්දාකොට තොප විසින් කළසේ නපුරැයි කිය කියා සර්වඥයන් වහන්සේ සමීපයට කැඳවා ගෙණ ගොස් ස්වාමීනි මේ භික්ෂූහු විසින් මෙනම් දෙයක් කරණ ලදැයි එපවත් දැන්වූසේක, එකල්හි සර්වඥයන් වහන්සේ ඒ භික්ෂූන්ට නින්දා කොට මහණෙනි මොහු අතකුරු ගැසීම් සිල්පයෙහි දක්ෂ වූයේ දැන්මතු නොවෙයි පෙරත් දක්ෂවීයයි වදාරා ඉකුත්වත් දක්වා වදාළසේක.

යටගිය දවස බරණැස්නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්‍යය කරණ කල්හි අප මහබෝසතානෝ ඒ රජ්ජුරුවන්ට අමාත්‍ය වූහ. එසමයෙහි රජ්ජුරුවන්ගේ පුරෝහිත බ්‍රාහ්මණයා ඉතා මුඛරිය බහුභාණිය ඔහු කථා කරන්ට පටන් ගත් කල්හි අවශේෂයන්ට කථාවට අවසරයක් නොලැබේ. එකල රජ්ජුරුවෝ සිතන්නෝ මොහුගේ කථා විචේඡදය කරන්ට නිසිවූ කවරක්හු කවර දවසක ලැබෙමි දෝහෝ සිතා එතැන් පටන් එබඳු එකක්හු පරීක්ෂා කරමින් ඇවිදිති. එසමයෙහි බරණැස් නුවර එක්පිළිවූ පුරුෂයෙක් අකුරු ගැසීමෙහි දක්ෂ විය. එනුවර කුඩා කොල්ලෝ ඒ පිළිමිණිසා රථයක ලාගෙණ ඇවිදිමින් බරණැස් නුවර වාසල් දොර සමීපයෙහිවූ සාඛාවිට සම්පන්නවූ මහත් නිග්‍රෝධ වෘක්ෂයක් ඇත. එතනට ගෙණවුත් ඔහු පිරිවරා සිටිති, දේවියට ස්මාරක අඩදමක යනාදී රන් මිලදී ඇත්රුවක්කර අස්රුවක් කරවයි කියති. ඒ පිළා අතකුරු ගස ගසා නුගපත් වලට ගසති, සිංහ ස්වරූප මෘග ස්වරූප පක්ෂි ස්වරූපාදීවූ අනේකප්‍රකාර රූපයන් දක්වන්නේය, ඒ නිග්‍රෝධ වෘක්ෂයෙහි සියලු පත්‍රයෝ ඡිද්‍රව පෙනෙන්නාහුය, එකල්හි රජ්ජුරුවෝ උද්‍යාන ක්‍රීඩාවට යන්නාහු ඒ ස්ථානයට පැමිණියෝය, ඒ පිළිපුරුෂයා වටලා ගෙණ සිටි කුඩා කොල්ලෝ රැකවුලුන් ගසා ඉවත් කරන්නාහු භයින් හැමදෙනම ඒ ඒ තැන පලා ගියෝය, පිළි පුරුෂයා නුග ගස මුල වැදහොත්තේය, රජ්ජුරුවෝ නුග ගස මුලට ගොස් රථයේ හිඳම පත් සිදුරු බැවින් ඡායාව විරල විරලව තිබෙන්නා දැක උඩ බැලු තැනැත්තෝ සියලු පත්ම සිදුරු සිදුරුව තිබෙන්නා දැක මෙසේ කළෝ කවුරැදැයි විචාළෝය. ඒක පරීක්ෂා කරන්නාවූ රාජපුරුෂයෝ දේවයන්වහන්ස පිළකු විසිනැයි කීකල්හි මේ පිළා නිසා පුරෝහිත බ්‍රාහ්මණයාගේ මුඛරිබව හා බහුභාණික බව ඔබවාපියන්ට පිළිවන් වන්නේ යයි සිතා පිළා කොයිදැයි විචාළෝය. එකල පරීක්ෂා කරන්නාවූ රාජපුරුෂයෝ මුල්හස්සේ වැදහොත් තැනැත්තහු දැක දේවයන් වහන්ස පිළා මේ වේදැයි කිවූය. රජ්ජුරුවෝ ඔහු සමීපයට ගෙන්වා පෂීත් ඉවත් කරවා විචාරන්නෝ අප සමීපයෙහි මුඛරි බමුණෙක් ඇත. ඔහු නිශ්ශබ්ද කරන්ට පිළිවන්දැයි විචාළෝය. ස්වාමීනි එළුබෙටි නැලියක් ලද්දෙමි වීනම් නිශ්ශබ්ද කරන්ට පිළිවන. දේවයන් වහන්සැයි කිව්ය, රජ්ජුරුවෝ පිළා මාලිගාවට කැඳවා ගෙණ ගොස් තිරයක් ඇතුලෙහි හිඳුවා තිරය සිදුරු කොට බමුණා තිරය අභිමුඛ කොට හස්නක් පණවා නැලියක් පමණ වියලි එළු බෙටි පිළාසමීපයේ තබ්බවා පුරෝහිත බ්‍රාහ්මණයා රාජ සේවයට ආ තැනැත්තාහු ඒ අස්නේ හිඳුවා කථා ඉපදවූය. බමුණු අනික් කෙණෙකුන්ට අවසරයෙක් නොදී රජ්ජුරුවන් සමග කථා කරන්ට පටන් ගත්තේය. එකල්හි පිළා තිරය සිදුරෙන් එකී එකී එළු බෙටි ගසා ඇම නිම ගියේය. බමුණුගේ බඩටවන්නාවූ නැලියක් පමණ එළු බෙටි ගලනතුරුත් කිසිවකුත් නොදැනම දැන් මෙයින් මත්තෙහි එළු බෙටි ගැල දිරවාගන්ට අසමත්වේය. එසේ හෙයින් ගෙට පලා ගොස් පුවඟු ගෙන්වා ගෙණ කොටා යුෂ මැඩ පැන් හා කලන්දු කොට බී වමණය කොට තොපගේ ශරීරය නිරෝගී කොට ස්වස්ථ කොට ගණුවයි කිවූය, බමුණු එතැන් පටන් මුඛය වසා ගත්තාක් මෙන්ම කථා කරන්නාවුන් සමගත් කථා කරණුයේය. රජ්ජුරුවෝ මොහු විසින් මට කර්‍ණ සැපය කරණ ලදැයි පිළාට අවුරුද්දකට ලක්ෂයක් නිමවන්නාවූ සතර දිගින් ගම් සතරක් දුන්නාහුය. එකල්හි මහ බෝසතානෝ රජ්ජුරුවන් කරා එළඹ “ දේවයන් වහන්ස සිල්ප නම් ලෝකයෙහි නුවනැත්තන් විසින් උගත යුත්තේය”. පිළා විසින් අතකුරු ගැසීමෙහි දක්ෂ වීමෙනුත් මෙතෙක් සම්පත් ලබන ලද්දේයයි කියා “මේ ලෝකයෙහි කවරක් වී නමුත් යම් යම් සිල්පයක් ඉගැන්ම යහපත් වන්නේ යයි මහ රජ්ජුරුවන් වහන්ස බළා වදාළ මැනවැ, මේ කොරපිළීවූ පුරුෂයා විසින් එළුබෙටි අතකුරෙන් ගැසීමෙන් සතර දිගින් ගම්වට සතරක් ලබන ලද්දේවේද එසේ හෙයින් සෙසු සිල්පයෙහි අනුසස් කෙළවරක් ඇද්ද යි කියා ශිල්පයෙහි ගුණ කීවාහුය.

ශාස්තෘවූ බුදුරජානන්වහන්සේ මේධර්‍මදෙශනාව ගෙණහැර දක්වා වදිරා මේ සාලික ජාතකය නිමවා වදාළසේක.

එසමයෙහි පිළානම් දැන් මෙම සහංසඝාතක මහණය, රජ්ජුරුවෝනම් ආනන්‍ද ස්ථවීරයෝය, නුවනැති අමාත්‍යවූයෙම් තිලෝගුරු සම්‍යක්සම් බුදුරජවූ මම්ම වේදැයි තමන්වහන්සේ දක්වා වදාළසේක.

 
උපුටා ගැනීම – www.jathakakatha.lk

108 බාහ්‍ය ජාතකය
106 උදංචනී ජාතකය

Leave a Reply

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.