Skip to main content

මහානුභාව සම්පන්න මොර පිරිත …

යහලුවනේ මොර පිරිත කියන්නේ කෝටි ලක්ෂයක් සක්වලට ආඥා චක්‍රය පැතිර වූ මහානුභාව සම්පන්න පිරිතක්. බුද්ධ දේශිත පිරිත්වල ආනුභාවය මහත්ය. රතන සූත්‍රය, චන්ද පිරිත, ධජග්ග පිsත, මොර පිරිත සහ ආටානාටිය සූත්‍රය යන පිරිත් සූත්‍ර පහේ ආනුභාවය කෝටියක්‌ සක්‌වල පුරා පැතිර පවතිනව.

මම මේ මේ ලිපිය උපුටාගත්තේ අනතර්ජාලයෙන්. ඔයාලත් කියවල බලන්නකෝ.

මෙතැන් සිටඋපුටාගැනීම
මුලින්ම මේ ගාථාව තියෙන තැන කියන්නම්කෝ. මේ ගාථාව තිබෙන මෝර පිරිත පිරුවානා පොත් වහන්සේ තුළ 13 වන පිරිත ලෙස අන්තර්ගත වෙනවා. ඒ වගේමයි මේ දැන් මම කියන්න යන කතා පුවත පන්සිය පනස් ජාතක කතා පොත් වහන්සේ තුළ 158 වැනි ජාතක කතාව වන ස්වර්ණ මයුර ජාතකය තුළ අන්තර්ගත වෙනවා.

මීට බොහෝ කාලෙකට කලින් අප මහා බෝසතාණන් වහන්සේ පාරමිතා පුරන කාලයේදී ස්වර්ණ මයුරෙක් එහෙමත් නැත්නම් රන්වන් පැහැති මොණරෙක් වෙලා හිටියා. මේ බෝසත් රන් මොණරා වාසය කළේ හිමාලය වනයේ තිබුණු දණ්ඩකී හිරඤ්ඤ කියන පර්වතයේ.

බෝසත් රන් මොණරා හැමදාම උදේට ආහාර සොයායන්න කලින් ඉර පායනවත් එක්කම මොර පිරිත කියලා සූර්යයාට නමස්කාර කරනවා.

මේ විදිහට ඒ ගාථා සජ්ඣායනය නිසා බෝසත් රන් මොණරා කිසිම බයක් නැතිව ආරක්ෂාකාරීව කටයුතු කරනවා.

දවසක් හිමාල වනයට ආපු බරණැස් නුවර ආසන්නයේ හිටපු වැද්දෙක් මේ රන් මොණරාව දැකලා ඇවිත් පස්සේ කාලෙක තමන් මැරෙන්න ආසන්න වුණු වෙලාවේ තමන්ගේ පුතාට කියනවා හිමාල වනයේ දණ්ඩකී හිරඤ්ඤ පර්වතයේ රන් මොණරෙක් ඉන්නවා, ඒක දැනගෙන ඉන්න කියලා.

මේ කාලේදී බරණැස් නුවර රජතුමාගේ බිසව වුණු ඛේමා බිසව හීනෙන් රන් මොණරෙක්ගෙන් බණ අහනවා දැක්ක නිසා හීනේ සැබෑවක් කරගන්න බිසවට ආසාවක් ඇතිවෙනවා. ඉතින් ඒ විදිහේ රන් මොණරු ඉන්නවා කියලා වේදයෙන් දැනගන්න බරණැස රජතුමා තමන්ගේ රාජ්‍යයේ ඉන්න සියලූම වැද්දෝ ගෙන්නලා අහනවා කැළෑවේදී රන් මොණරෙක් දැකලා තියෙනවද කියලා.

හැමෝගෙම උත්තරේ වෙන්නේ නැහැ කියන එක. ඒත් හිමාලෙදී බෝසත් රන් මොණරාව දැක්ක වැද්දගේ පුතා කියනවා හිමාල වනයේ දණ්ඩකී හිරඤ්ඤ පර්වතයේ රන් මොණරෙක් ඉන්නවා කියලා තාත්තගෙන් දැනගන්න ලැබුණා කියලා.

ඉතින් ඊට පස්සේ රජතුමා රන් මොණරාව මරන්නේ නැතුව පණ පිටින් අරන් එන වැඩේ අර වැද්දටම පංගාර්තු කරනවා.

වැද්දත් හිමාල වනයට ගිහින් දණ්ඩකී හිරඤ්ඤ පර්වතයේ ළඟ උගුල් අටවලා බෝසත් රන් මොණරාව අල්ලන්න උත්සහ කළත් කලින් දක්වපු ගාථාවල ආනුභාවයෙන් බෝසත් රන් මොණරාව උගුල්වලට අසුවෙන්නේ නැහැ. අද අල්ල ගන්නම් හෙට අල්ලගන්නම් කියලා අවුරුදු හතක්ම උත්සහ කළත් වැද්ද අසමත් වෙනවා. හිස් අතින් ආපසු ගියොත් රජ්ජුරුවන්ගෙන් මැරුම් කන්න වෙන නිසා වැද්දා කැළේදීම මැරෙනවා.

තමන්ගේ දොළ දුක සංසිදුනේ නැති නිසා ඒ දුකෙන් බිසවත් මියයනවා. බිසව මියගිය දුක නිසා රජතුමා බෝසත් රන් මොණරා එක්ක කේන්ති අරගෙන “හිමාල වනයේ දණ්ඩකී හිරඤ්ඤ පර්වතයේ ඉන්න රන් මොණරගේ මස් කෑවොත් අමරණීය වෙනවා” කියලා රන් පතක ලියලා තියලා මියයනවා.

ඊට පස්සේ පරම්පරා හයකම රජවරු ඒ රන්පත දැකලා අමරණීය වෙන ආසාවෙන් හිමාලයට වැද්දෝ යැව්වත් ඒ වැද්දෝ අසාර්ථක වෙලා හිමාලයේදීම මියයනවා, රජවරුත් දුකෙන් මියයනවා.

ඒත් හත්වෙනි පරම්පරාවේ රජතුමා උපායන් දන්න වැද්දෙක්ව තමයි වැඩේට යවන්නේ. උදේ හවස බෝසත් රන් මොණරා ගාථා ගායනා කරන නිසා උගුල්වල අසුවෙන්නේ නැහැ කියන එක තේරුම් ගත්තු වැද්දා උපායෙන් බෝසත් රන් මොණරාව අල්ලගන්න සැලසුම් කරනවා.

බෝසත් රන් මොණරව කාමයෙන් මත් කරලා ගාථාව කියල එක වළක්වලා උගුලක අසුකරගන්න හිතපු වැද්දා උගුලක් ගාව උදේම සෙබඩක් බැදලා නාද කරවනවා.

උදේම ගාථා කියන්න කලින් සෙබඩගේ හඬ අහපු බෝසත් රන් මොණරා කාමයෙන් මත්වෙලා ගාථා කියන එකත් අමතක කරලා සෙබඩ ගාවට පියාඹගෙන එද්දී උගුලේ අහුවෙනවා.

පස්සේ වැද්දා බෝසත් රන් මොණරාව අල්ලගෙන බරණැස් රජතුමාට ගිහින් බාරදෙනවා. හුඟාක් සතුටු වෙන රජතුමා බෝසත් රන් මොණරව තමන්ගේ සිංහාසනයේ වාඩි කරවනවා.

බෝසත් රන් මොණරා සහ බරණැස රජතුමා අතර ඇතිවුණු සංවාදය මෙහෙමයි

බෝසත් රන් මොණරා : රජතුමනි, මෙච්චර මහන්සිවෙලා මාව අල්ලගත්තේ ඇයි ?

බරණැස රජතුමා : රන් මොණර මස් කාපුවාම අමරණීය වෙනවා කියලා කියන නිසා අමරණීය වෙන්න මස් කන්න හිතාගෙනයි අල්ලගත්තේ

බෝසත් රන් මොණරා : මීට කලින් රන් මොණර මස් කාලා අමරණීය වුණු අය ඉන්නවද ?

බරණැස රජතුමා : ලෝකේ රන් මොණරෙකුට ඉන්නේ ඔබ විතරයි, ඒක නිසා මීට කලින් රන් මොණර මස් කාලා අමරණීය වුණු අය නැහැ

බෝසත් රන් මොණරා : රජතුමනි, ඔබතුමාගේ කතාව පරස්පර විරෝධීනේ. මීට කලින් රන් මොණරෙක් හිටියෙත් නැත්නම් එහෙම අමරණීය වුණු කෙනෙකුත් නැත්නම් දැන් මගේ මස් කාපුවාම අමරණීය වෙයි කියලා කොහොමද හිතන්නේ ?

බරණැස රජතුමා : ඔබේ ශරීරය රන්වන් පාට නිසා රන් මොණරෙක්ගේ මස් කාපුවාම අමරණීය වෙනව කියලා අහලා තියෙනවා
බෝසත් රන් මොණරා : රජතුමනි, ඔබතුමා මගේ මස් කන්නේ මරලද මරන්නේ නැතුවද ?

බරණැස රජතුමා : ඔබේ මස් කන්නේ ඔබව මරලා

බෝසත් රන් මොණරා : රජතුමනි ඔබේ ඒ කතාවත් පරස්පර විරෝධීනේ. මාව මරලා නම් මස් කන්නේ මමත් මියයනවා නම් මගේ මස් කන අය මිය යන්නේ නැතුව අමරණීය වෙන්නේ කොහොමද ? මහානුභාව සම්පන්න දෙවියෝ, බ්‍රහ්මයෝ වගේම ලෝකය බබුළුවන සූර්යයා හා චන්ද්‍රයාත් දවසක අන්තර්ධාන වෙනවා නම් මේ ලෝකේ සදාකාලික තියෙන්න පුලූවන් වස්තුවක් තියෙන්න පුලූවන්ද ?

මේ විදිහට බෝසත් රන් මොණරා රජතුමාට කරුණු කාරණා පහදලා දෙනවා.

පස්සේ රජතුමාට ගැටළුවක් ඇතිවෙනවා මේ විදිහට රන්වන් පැහැයක් මේ මොණරාට ලැබුණේ කොහොමද කියලා. ජාතිස්මරණ ඤාණය (පෙර ආත්ම භාව සිහි කිරීමේ නුවණ) තියෙන බෝසත් රන් මොණරා කියනවා තමන් මීට පෙර මේ නුවර සක්විති රජවෙලා හිටි බවත් ඒ කාලයේදී තමන් වගේම තමන්ගේ රටවාසීනුත් පංච සීලය ආරක්ෂා කරන්න පෙළඹුවා කියලා.

තමන් මියගියාට පස්සේ තව්තිසා දිව්‍ය ලෝකයේ ඉපදිලා බොහොම දිව්‍ය සම්පත් විඳලා මිය ගිහින් කරපු කිසියම් අකුසලයක් නිසා තිරිසනෙක් වෙලා උපන්නත් පන්සිල් ආරක්ෂා කරපු ආනුභාවයෙන් රන්වන් රූපයක් ලැබුණා කියලා.

ඒ වගේම රජතුමාගේ මඟුල් පොකුණ හිස් කරවලා ඒකේ නිධන් කරවලා තිබුණු වස්තුවත් පෙන්වලා තමන්ගේ කතාවේ සත්‍යතාව තහවුරු කරවනවා.

මේ කතාවෙන් පස්සේ රජතුම හුඟාක් සතුටුවෙලා බරණැස් රාජ්‍යයම බෝසත් රන් මොණරාට පූජා කරනවා. ඒත් බෝසත් රන් මොණරා රාජ්‍ය රජතුමාටම පවරලා පන්සිල් රකින එකේ වටිනාකම රජතුමාට වගේම රටවාසීන්ට කියාදීලා එයාලව පංච සීලයේ පිහිටවලා ආයි හිමාල වනයේ දණ්ඩකී හිරඤ්ඤ පර්වතයට ගිහින් තවත් බොහෝ කල් සුවසේ වාසය කරලා මිය යනවා.

ඉතින් මේ කතාවෙන් ඔයාලට පන්සිල් රකින එකේ ආනිශංස වැටහෙන්න ඇති. ඒ වගේමයි ඒ බෝසත් රන් මොණරා ආරක්ෂක ගාථා විදිහට භාවිතා කරපු ගාථා

1.උදේතයං චක්ඛුමා ඒකරාජා
හරිස්සවණ්ණෝ පඨවිප්පභාසෝ‍
තං තං නමස්සාමි හරිස්සවණ්ණං පඨවිප්පභාසං
තයජ්ජ ගුත්තා විහරේමු දිවසං

2. යේ බ්‍රාහ්මණා වේදගූ සබ්බධම්මේ
තේ මේ නමෝ තේච මං පාලයන්තු
නමත්ථු බුද්ධානං නමත්ථු බෝධියා
නමෝ විමුත්තානං නමෝ විමුත්තියා
ඉවං සෝ පරිත්තං කත්වා මෝරෝ චරති ඒසනා

3. අපේතයං චක්ඛුමා ඒකරාජා
හරිස්සවණ්ණෝ පඨවිප්පභාසෝ
තං තං නමස්සාමි හරිස්සවණ්ණං පඨවිප්පභාසං
තයජ්ජ ගුත්තා විහරේමු රත්තිං

4. යේ බ්‍රහ්මණා වේදගු සබ්බධම්මේ
තේ මේ නමෝ තේ ච මං පාලයන්තු
නමස්ථු බුද්ධානං නමත්ථු බෝධියා
නමෝ විමුත්තානං නමෝ විමුත්තියා
ඉමං සෝ පරිත්තං කත්වා මෝරෝ වාසමකප්පයිති.

1.ලොව අඳුරු දුරු කොට ලෝ වැස්සනට ඇස් පාදා දෙන හෙයින් ඇස් ඇති, ලොවට එළිය දෙන්නවුන් අතරෙහි එකම රජෙක් වූ, රන්වන් සිරුරු ඇති, මහ පොළොව බබුළු වන්නා වූ මේ සූර්යයා නැගෙයි. රන්වන් ඒ හිරුට වඳිමි. ඔබගෙන් ආරක්ෂාව ලැබූ අපි මේ දවස සතර ඉරියව්වෙන්ම යුක්තව සැප සේ වෙසෙමු.

2.යම් ක්ෂීණාශ්‍රව ඇති බ්‍රාහ්මණ කෙනෙක් [බුදු කෙනෙක්] සියලු දත යුතු ධර්මයන් දැන සම්බුද්ධත්වයට පැමිණියේද උන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා. උන් වහන්සේලා මා ආරක්ෂා කරන සේක්වා. අතීත බුදුවරයන් වහන්සේලාගේ නව ලොවුතුරා බෝධි ගුණයට මාගේ නමස්කාරය වේවා. කෙලෙසුන් කෙරෙන් මිදුනා වූ ඒ බුදුවරයන් වහන්සේලාටද මාගේ නමස්කාරය වේවා.

3.ලොව අඳුරු දුරු කොට ලෝ වැස්සනට ඇස් පාදා දෙන හෙයින් ඇස් ඇති, ලොවට එළිය දෙන්නවුන් අතරෙහි එකම රජෙක් වූ, රන්වන් සිරුරු ඇති, මහ පොළොව බබුළු වන්නා වූ මේ සූර්යයා බැසයයි. රන්වන් ඒ හිරුට වඳිමි. ඔබගෙන් ආරක්ෂාව ලැබූ අපි මේ රාත්‍රියේ සැප සේ වෙසෙමු.

4. ඊට පස්සේ නැවත වරක් අතීතයේ බුදු වී වදාළ බුදුන් වහන්සේලාට නමස්කාර කරනවා.

ඔයාලටත් ආරක්ෂක ගාථා විදිහට භාවිතා කරන්න පුලූවන්. තේරුමත් දැනගෙන මේ ගාථා භාවිතා කළොත් ඒ කාර්යය තවත් අර්ථවත් වේවි.

මම සත්කෙරේ අපමණ මෙත්සිතින් එරන්ද ලක්මාද සිල්වා විසිනි.

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.