Skip to main content

මහානුභාව සම්පන්න ධජග්ග සූත්‍ර දේශනාව …

පිරිත පිළිබඳ මනා අවබෝධයක් ලබාගැනීම වැදගත් ය. ඒ මඟින් පිරිතේ අනුභාවය හා ආරක්‍ෂාව ලැබේ. සිංහල බෞද්ධයා තුළ පිරිත පිළිබඳ ඇත්තේ අසීමිත ගෞරවයකි. පිරිතේ ආශිර්වාදයෙන් ලොව බිහිවූ එකම ජාතිය සිංහල ජාතියයි. විජයාවතරණයෙන් පිරිත් නූලෙන් ලද ආශිර්වාදය කියැවෙයි. හෙල රජ දරුවන්, පිරිත ජාතියටම ආශිර්වාදයක් කරගත්තේ ය. රුවන්මැලි මහාසෑයේ ධාතූන් නිදන් කරන විටදී, මහා සංඝරත්නය මුළු රෑ පිරිත් ධර්මය දේශනා කළහ.

භය තැතිගැන්ම, ලොමු ඩැහැගැන්වීම වැනි දෑ සදහා ප්‍රතිකාරයක් මෙන්ම, හදිසි අනතුරු වලක්වන දේශනය ධජග්ග පිරිතයි. ධජග්ග පිරිතෙන් සිදුවී ඇති ආශ්චර්යයන් බොහෝය. පෙර අනුර පුර යුගයෙහි දීඝවාපි චෙයිත්‍යය කර්මාන්තයේ නියුක්ත වූ භික්ෂුවක් දාගැබිහි ඉහලට නැගි පසු පය පැකිලී පහලට ලිස්සා වැටෙන කල්හි බිම සිට එදෙස බලා සිටි අන්‍ය භික්ෂුන් ඇවැත්නි ධජග්ගය සිහිකරවයි හඬ නැගුවාහුය. ඒ පින්වත් භික්ෂුව ද ඉතිපිසෝ ආදී වූ නවාරහාදී වූ ලොවුතුරා බුදුගුණ සිහි කිරීම් පමණකින් චෙයිත්‍යයයෙන් ඉවතට නෙරා තිබුනාවූ ගඩොලක පය ගැටී වැටීම් අවහිර විය.(සංයුක්ත නිකාය , අට්ට කතා)
එහෙයින් අරහත් තථාගත සම්මා සම්බුද්ධ වූ මා තොප හට මෙසේ පවසමි. ආරණ්‍යයට , රුක් මුලට හෝ ශුන්යාගාරයට ගියාවූ තොප හට යම් බියක් , තැතිගැන්මක් , ලොමු දැහැගැනීමක් උපදනේ වී නම් එකල්හි මා සිහිකරව්. කෙලෙසින්ද යත්…
ඒ උතුම් වූ භාග්‍යවත් වූ අරහත් වූ සම්‍යක් සම්බුදු රජුන් සියලු ක්ලේශයන්ගෙන් විනිමුක්තය එහෙයින් ලොවි ලොවුතුරා සැප පතා කරනා වූ දක්ෂිණාව මහත්ඵල කර දීමට, මැනවින් මුදුන් පමුණුවා දීමට සමත් වන්නේය. තමා විසින්ම අවබෝධ කොට සම්‍යක් සම්බෝධියට පත් වී අන් සත්වයනටද කුලුනින් තෙත් වූ හදින් සසර ඕඝයෙන් එතෙරවීමට මග දක්වන සේක. විද්‍යා චරණ නම්වූ අෂ්ට විද්‍යා හා පසළොස් ප්‍රතිපත්ති ධර්මයන්ගෙන් පරිපුර්ණ වූ සේක. යහපත් වූ ස්වභාව ඇති සේක. ලෝකත්ත්‍රයේම තතු ඇති සැටියෙන්ම දැන වදාළ සේක. කායබල , ඍද්ධි බල නැණ බලයෙන් මත්ව ප්‍රචණ්ඩව තොලුව හැසිරෙන්නවුන් මනාසේ දමනය කොට සුමගට පැමිණවීමට සමත් සේක. දෙවි මිනිස් සැමටම එකම නිවැරදි මග පෙන්වන්නාවූ සත්ත වහකයාණන් වන සේක. පරම ගම්භිර වූ චතුරාර්ය සත්‍ය ධර්මය මැනවින් අවබෝධ කොට වසන සේක. අවසනදී සියලු ලෝකත්‍රයේ වස්නා වූ මනුෂ්‍ය දේව මාර බ්‍රහ්ම දී වූ සියලු සත්වයන්ගේ ගරු බුහුමනට අතිශයින්ම සුදුසු වන සේක.

පින්වත් මහණනි , මෙලෙසින් ගුණ වශයෙන් මා සිහිකරන්නා වූ තොප හට යම් බියක් , තැතිගැන්මක් , ලොමු දැහැගැනීමක් වුයේ වී නම් එය වහා දුරු වී යත්. ඉදින් මා සිහි නොකරවු නම් ඒ උතුම් වූ පර්යාප්ති සහිත නව ලොවුතුරා ශ්‍රී සත්ධර්මය මෙනෙහි කරව්.

ඒ උතුම් වූ භාග්‍යවත් වූ අරහත් වූ සම්‍යක් සම්බුද්ධ වූ මා විසින් ඒ ශ්‍රී සත්ධර්මය මුල මැද අග යහපත්ව මැනවින් දේශනා කරන ලදිමි . මැනවින් පිලිපදනා වූ සත්පුරුෂයනට මේ දිවියේදීම ඵල ලබා ගත හැක්කේය. කල් නොයවාම විපාක දෙන්නේය. අන් දෘෂ්ටි ගතවුනට එව , පිළිවෙත් පුරා බලවයි කියා නිර්භයව ඇමතීමට සුදුස්සේය. අන් සියලු වැඩ පසුවට තබා ඒ සියල්ලට ම පෙර සිත්හි පිහිටුවා ගැනීමට සුදුසු වන්නේය. ධ්‍යාන , ඵල නිරෝධාදී වූ නිරාමිස ප්‍රනීත ඒකාන්ත සුඛයන් තමා විසින්ම මැනවින් ප්‍රගුණ කොට ගෙන රස විඳ ගත යුතු වූ ස්වභාවය ඇත්තේය.

පින්වත් මහණනි , මෙලෙසින් ගුණ වශයෙන් ශ්‍රී සත්ධර්මය සිහිකරන්නා වූ තොප හට යම් බියක් , තැතිගැන්මක් , ලොමු දැහැගැනීමක් වුයේ වී නම් එය වහා දුරු වී යත්. ඉදින් ධර්මය සිහි නොකරවු නම් තෙපි සුන්දර ප්‍රතිපදාවෙන් යුක්ත වූ ආර්ය මහා සංඝ රත්නය මෙනෙහි කරව්.

ඒ භාග්‍යවතුන්ගේ ශ්‍රාවක සංඝ තෙමේ අධි ශීල , අධි චිත්ත , අධි ප්‍රඥ්යා සංඛ්‍යාත සුන්දරවූ , සෘජු වූ ප්‍රතිපදා ඇති සේක. නිවන සඳහාම පිළිපන්නේය. ඒ ශ්‍රාවක සංඝ තෙමේ ත්‍රි ශික්ෂාවෙහි ගරු කිරීමට සුදුසු පිළිවෙත්හි පිළිපන්නේය . පුරුෂ යුගල වශයෙන් සතර කොටසක්ද . පුද්ගල වශයෙන් අට දෙනෙක් ද වූ ඒ සංඝ රත්නය ඉතා දුර සිට වුවද ගෙන ගොස් දෙන සිවු පසය පිළිගෙන පරිභෝග කිරීමට සුදුසු වන සේක. අග්‍ර දක්ඛිනයියව ප්‍රිය මනාප නෑ මිතුරන් උදෙසා පිළියෙළ කලා වූ දෙය ද සැදැහැවතුන් විසින් පරලොව සැප පතා දෙන දෙය ද පිළිගැනීමට අතිශයින් සුදුසු වන සේක. දෙව් මිනිස් මර බඹුන් සහිත වූ සියලු ලෝ වැසියන දොහොත් මුදුන් තබා අතැඟිලි බැඳ කරන්නා වූ නමස්කාරය පිළිගැනීමට ඒකාන්තයෙන් ම සුදුසු වන සේක. ඒ ලෝ වැසියනට උතුම් වූ පින් කෙතක් වන සේක.

ඉදින් පින්වත් මහණනි , මෙලෙසින් ගුණ වශයෙන් උතුම් වූ ත්‍රිරත්නය සිහිකරන්නා වූ තොප හට යම් බියක් , තැතිගැන්මක් , ලොමු දැහැගැනීමක් වුයේ වී නම් එය වහා දුරු වී යත්. ඒ කවර හෙයින්ද යත් , මහණනි ඒ අරහත් වූ සම්මා සම්බුදු වූ තථාගත තෙමේ නසන ලද රාග ඇත්තේය. නසන ලද ද්වේශ ඇත්තේය. නසන ලද මෝහ ඇත්තේය. කිසිවක් කෙරේ බිය නොවන්නේය. තැති නොගන්නේය.ඉමහත් බියෙන් තැති ගෙන පලා යන්නා වූ ස්වභාව නැත්තේය.

මෙසේ වූ ලොවුතුරා බුදුන්ද , ශ්‍රී සත්ධර්මයද , ආර්ය සංඝයාද සිහිකරනවුට බියක් , තැතිගැන්මක් , ලොමු දැහැගැනීමක් කිසිකලකත් ඇති නොවන්නේමය.

මේ ඒ මහා බලසම්පන්න ධජග්ග සූත්ත්‍රයයි

එයං මේ සුතං, එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ තත්‍ර ඛො භගවා භික්‌ඛූ ආමන්‌තෙසි – ‘‘භික්‌ඛවො’’ති . ‘‘භදන්‌තෙ’’ති තෙ භික්‌ඛූ භගවතො පච්‌චස්‌සොසුං. භගවා එතදවොච –
‘‘භූතපුබ්‌බං, භික්‌ඛවෙ, දෙවාසුරසඞ්‌ගාමො සමුපබ්‍යූළ්‌හො අහොසි. අථ ඛො, භික්‌ඛවෙ, සක්‌කො දෙවානමින්‌දො දෙවෙ තාවතිංසෙ ආමන්‌තෙසි –
‘සචෙ, මාරිසා, දෙවානං සඞ්‌ගාමගතානං උප්‌පජ්‌ජෙය්‍ය භයං වා ඡම්‌භිතත්‌තං වා ලොමහංසො වා, මමෙව තස්‌මිං සමයෙ ධජග්‌ගං උල්‌ලොකෙය්‍යාථ. මමඤ්‌හි වො ධජග්‌ගං උල්‌ලොකයතං යං භවිස්‌සති භයං වා ඡම්‌භිතත්‌තං වා ලොමහංසො වා, සො පහීයිස්‌සති’.
‘නො චෙ මෙ ධජග්‌ගං උල්‌ලොකෙය්‍යාථ, අථ පජාපතිස්‌ස දෙවරාජස්‌ස ධජග්‌ගං උල්‌ලොකෙය්‍යාථ. පජාපතිස්‌ස හි වො දෙවරාජස්‌ස ධජග්‌ගං උල්‌ලොකයතං යං භවිස්‌සති භයං වා ඡම්‌භිතත්‌තං වා ලොමහංසො වා, සො පහීයිස්‌සති’.
‘නො චෙ පජාපතිස්‌ස දෙවරාජස්‌ස ධජග්‌ගං උල්‌ලොකෙය්‍යාථ, අථ වරුණස්‌ස දෙවරාජස්‌ස ධජග්‌ගං උල්‌ලොකෙය්‍යාථ. වරුණස්‌ස හි වො දෙවරාජස්‌ස ධජග්‌ගං උල්‌ලොකයතං යං භවිස්‌සති භයං වා ඡම්‌භිතත්‌තං වා ලොමහංසො වා, සො පහීයිස්‌සති’.
‘නො චෙ වරුණස්‌ස දෙවරාජස්‌ස ධජග්‌ගං උල්‌ලොකෙය්‍යාථ, අථ ඊසානස්‌ස දෙවරාජස්‌ස ධජග්‌ගං උල්‌ලොකෙය්‍යාථ. ඊසානස්‌ස හි වො දෙවරාජස්‌ස ධජග්‌ගං උල්‌ලොකයතං යං භවිස්‌සති භයං වා ඡම්‌භිතත්‌තං වා ලොමහංසො වා, සො පහීයිස්‌සතී’’’ති.
‘‘තං ඛො පන, භික්‌ඛවෙ, සක්‌කස්‌ස වා දෙවානමින්‌දස්‌ස ධජග්‌ගං උල්‌ලොකයතං, පජාපතිස්‌ස වා දෙවරාජස්‌ස ධජග්‌ගං උල්‌ලොකයතං, වරුණස්‌ස වා දෙවරාජස්‌ස ධජග්‌ගං උල්‌ලොකයතං, ඊසානස්‌ස වා දෙවරාජස්‌ස ධජග්‌ගං උල්‌ලොකයතං යං භවිස්‌සති භයං වා ඡම්‌භිතත්‌තං වා ලොමහංසො වා, සො පහීයෙථාපි නොපි පහීයෙථ [නො පහීයෙථ (ක.)].
‘‘තං කිස්‌ස හෙතු? සක්‌කො හි, භික්‌ඛවෙ, දෙවානමින්‌දො අවීතරාගො අවීතදොසො අවීතමොහො භීරු ඡම්‌භී උත්‍රාසී පලායීති.

‘‘අහඤ්‌ච ඛො, භික්‌ඛවෙ, එවං වදාමි – ‘සචෙ තුම්‌හාකං, භික්‌ඛවෙ, අරඤ්‌ඤගතානං වා රුක්‌ඛමූලගතානං වා සුඤ්‌ඤාගාරගතානං වා උප්‌පජ්‌ජෙය්‍ය භයං වා ඡම්‌භිතත්‌තං වා ලොමහංසො වා, මමෙව තස්‌මිං සමයෙ අනුස්‌සරෙය්‍යාථ – ඉතිපි සො භගවා අරහං සම්‌මාසම්‌බුද්‌ධො විජ්‌ජාචරණසම්‌පන්‌නො සුගතො ලොකවිදූ අනුත්‌තරො පුරිසදම්‌මසාරථි සත්‌ථා දෙවමනුස්‌සානං බුද්‌ධො භගවා’ති. මමඤ්‌හි වො, භික්‌ඛවෙ, අනුස්‌සරතං යං භවිස්‌සති භයං වා ඡම්‌භිතත්‌තං වා ලොමහංසො වා, සො පහීයිස්‌සති.
‘‘නො චෙ මං අනුස්‌සරෙය්‍යාථ, අථ ධම්‌මං අනුස්‌සරෙය්‍යාථ – ‘ස්‌වාක්‌ඛාතො භගවතා ධම්‌මො සන්‌දිට්‌ඨිකො අකාලිකො එහිපස්‌සිකො ඔපනෙය්‍යිකො පච්‌චත්‌තං වෙදිතබ්‌බො විඤ්‌ඤූහී’ති. ධම්‌මඤ්‌හි වො, භික්‌ඛවෙ, අනුස්‌සරතං යං භවිස්‌සති භයං වා ඡම්‌භිතත්‌තං වා ලොමහංසො වා, සො පහීයිස්‌සති.
‘‘නො චෙ ධම්‌මං අනුස්‌සරෙය්‍යාථ, අථ සඞ්‌ඝං අනුස්‌සරෙය්‍යාථ – ‘සුප්‌පටිපන්‌නො භගවතො සාවකසඞ්‌ඝො උජුප්‌පටිපන්‌නො භගවතො සාවකසඞ්‌ඝො ඤායප්‌පටිපන්‌නො භගවතො සාවකසඞ්‌ඝො සාමීචිප්‌පටිපන්‌නො භගවතො සාවකසඞ්‌ඝො, යදිදං චත්‌තාරි පුරිසයුගානි අට්‌ඨ පුරිසපුග්‌ගලා එස භගවතො සාවකසඞ්‌ඝො, ආහුනෙය්‍යො පාහුනෙය්‍යො දක්‌ඛිණෙය්‍යො අඤ්‌ජලිකරණීයො අනුත්‌තරං පුඤ්‌ඤක්‌ඛෙත්‌තං ලොකස්‌සා’ති. සඞ්‌ඝඤ්‌හි වො, භික්‌ඛවෙ, අනුස්‌සරතං යං භවිස්‌සති භයං වා ඡම්‌භිතත්‌තං වා ලොමහංසො වා, සො පහීයිස්‌සති.
‘‘තං කිස්‌ස හෙතු? තථාගතො හි, භික්‌ඛවෙ, අරහං සම්‌මාසම්‌බුද්‌ධො වීතරාගො වීතදොසො වීතමොහො අභීරු අච්‌ඡම්‌භී අනුත්‍රාසී අපලායී’’ති. ඉදමවොච භගවා. ඉදං වත්‌වාන සුගතො අථාපරං එතදවොච සත්‌ථා –
‘‘අරඤ්‌ඤෙ රුක්‌ඛමූලෙ වා, සුඤ්‌ඤාගාරෙව භික්‌ඛවො;
අනුස්‌සරෙථ [අනුස්‌සරෙය්‍යාථ (ක.) පදසිද්‌ධි පන චින්‌තෙතබ්‌බා] සම්‌බුද්‌ධං, භයං තුම්‌හාක නො සියා.
‘‘නො චෙ බුද්‌ධං සරෙය්‍යාථ, ලොකජෙට්‌ඨං නරාසභං;
අථ ධම්‌මං සරෙය්‍යාථ, නිය්‍යානිකං සුදෙසිතං.
‘‘නො චෙ ධම්‌මං සරෙය්‍යාථ, නිය්‍යානිකං සුදෙසිතං;
අථ සඞ්‌ඝං සරෙය්‍යාථ, පුඤ්‌ඤක්‌ඛෙත්‌තං අනුත්‌තරං.
‘‘එවං බුද්‌ධං සරන්‌තානං, ධම්‌මං සඞ්‌ඝඤ්‌ච භික්‌ඛවො;
භයං වා ඡම්‌භිතත්‌තං වා, ලොමහංසො න හෙස්‌සතී’’ති.
ධජග්ග සූත්‍රය නිමි.

ඉතින් මෙවන් මහා ආරක්ෂාවක් ඇති ධජග්ග පරිත්තහෙහි තේරුම මොහොතක් විමසා බලමු.

1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.

2. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ ´´මහණෙනි´´ යි භික්‍ෂූන් ඇමතූසේක. ´´ස්වාමීනී´´ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.

3. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක. ´´ මහණෙනි, පෙරවූදෙයක් කියමි. දෙවියන් හා අසුරයන් අතර මහත්වූ යුද්ධයක් විය. මහණෙනි, එවිට ශක්‍ර දේවේන්‍ද්‍ර තෙම තව්තිසා වැසි දෙවියන්ට ( මෙසේ ) කථාකර කීවේය: ´ ඉදින් පින්වතුනි, යුද්ධයට පැමිණි දෙවියන්ට බියක් හෝ තැතිගැන්මක් හෝ ලොමුදැහැගැන්මක් හෝ උපදින්නේනම්, එකල මාගේම කොඩිය බලව් මාගේ කොඩිය බලන්නාවූ තොපට වනාහි යම් බියක් හෝ තැතිගැනුමක් හෝ ලොමුදැහැගැනුමක් හෝ වන්නේ නම් එය නැතිවන්නේය.

4. ´´ ´ඉදින් මාගේ කොඩිය නොබලව් නම්, ප්‍රජාපති දේව රාජයාගේ කොඩිය බලව්. ප්‍රජාපති දෙව් රජුගේ කොඩිය බලන්නාවූ තොපට වූකලී යම් බියක් හෝ තැතිගැනුමක් හෝ ලොමුදැහැගැනුමක් හෝ වන්නේ නම් එය නැතිවන්නේය.

5. ´´ ´ඉදින් ප්‍රජාපති දෙව් රජුගේ කොඩිය නොබලන්නාහු නම්, වරුණ දෙව් රජුහුගේ කොඩිය බලව්. වරුණ දෙව් රජහුගේ කොඩිය බලන්නාවූ තොපට වූකලී යම් බියක් හෝ තැතිගැනුමක් හෝ ලොමුදැහැගැනුමක් හෝ වන්නේ නම් එය නැතිවන්නේය.

6. ´´ ´ඉදින් වරුණ දෙව් රජහුගේ කොඩිය නොබලව් නම් අනතුරුව ඊසාන දෙව් රජුහුගේ කොඩිය බලව්. ඊසාන දෙව් රජුහුගේ කොඩිය බලන තොපට වූකලී යම් බියක් හෝ තැතිගැනුමක් හෝ ලොමුදැහැගැනුමක් හෝ වන්නේද, එය නැතිවන්නේය.´

7. ´´මහණෙනි, ශක්‍ර දේවේන්‍ද්‍රයාගේ ඒ කොඩිය බලන්නවුන්ට හෝ ප්‍රජාපති දෙව් රජුගේ ඒ කොඩිය බලන්නවුන්ට හෝ වරුණ දෙව් රජහුගේ ඒ කොඩිය බලන්නවුන්ට හෝ ඊසාන දෙව් රජුගේ ඒ කොඩිය බලන්නවුන්ට හෝ යම් බියෙක් හෝ තැතිගැනුමෙක් හෝ ලොමුදැහැගැනුමෙක් හෝ වන්නේද, ඒ බිය ආදිය දුරුවන්නේ හෝ වෙයි, දුරු නොවන්නේ හෝ වෙයි. එයට කරුණු කිම? මහණෙනි, ශක්‍ර දේවේන්‍ද්‍රතෙම වනාහි පහනොවූ රාග ඇත්තේය. පහ නොවූ ෙවෂ ඇත්තේය, පහ නොවූ මෝහ ඇත්තේය. ( හෙතෙම ) බියවන ස්වභාව ඇත්තෙක. තැතිගන්නා ස්වභාව ඇත්තෙක, පලායන දුවන ස්වභාව ඇත්තෙක, ( එහෙයිනි. )

8. ´´මහණෙනි, මමද තොපට මෙසේ කියමි: මහණෙනි, ඉදින් වනයට ගියාවූ හෝ මිනිසුන් නොගැවසෙන තැනට ගියාවූ හෝ තොපට බියෙක් හෝ තැතිගැනුමෙක් හෝ ලොමුඩැහැගැනුමෙක් හෝ උපදින්නේ නම් ඒ වේලායෙහි මා ම ( මෙසේ ) සිහිකරව් ´ ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කාරණයෙන් අරහත් වනසේක, සම්මා සම්බුද්ධ වනසේක, විජ්ජාචරණසම්පන්න වනසේක, සුගතවන සේක, ලෝකවිදූ වන අනුත්තර පුරිසධම්මසාරථී වනසේක, දෙවි මිනිසුන්ට ශාස්තෘ වනසේක, බුද්ධ වනසේක, භාග්‍යවත් වනසේක´ ( කියායි. ) මහණෙනි, ( මෙසේ ) මා සිහි කරන තොපට යම් බියෙක් හෝ තැතිගැනුමෙක් හෝ ලොමුඩැහැගැනුමෙක් හෝ වන්නේද, එය නැතිවන්නේය.´

9. ´´ඉදින් තොපි මා සිහි නොකරන්නහුනම්, අනතුරුව ධර්‍මය ( මෙසේ ) සිහිකරව්. භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය යහපත්කොට දේශනා කරන ලද්දේය. ( ඒ ධර්‍මය ) තමා විසින්ම දැක්ක යුත්තේය, කල් නොයවා විපාක දෙන්නේය, ´එව බලව´ යි කීමට සුදුසුය, ( භාවනා වශයෙන් ) තම සිත්හි පැමිණවීමට ( දරා ගැනීමට ) සුදුසුය, නුවණැත්තන් විසින් තම තමා කෙරෙහිලා දැක්ක යුතුය´ ( කියායි, ) මහණෙනි ඉදින් ධර්‍මය සිහිකරන තොපට යම් බියෙක් හෝ තැතිගැන්මෙක් හෝ ලොමුඩැහැගැන්මෙක් හෝ වන්නේද, එය නැතිවන්නේය.´

10. ´´ඉදින් තෙපි ධර්‍මය සිහි නොකරව් නම්, සඞ්ඝයා ( මෙසේ ) සිහි කරව්. ´භගවත්හුගේ ශ්‍රාවක සඞ්ඝතෙම මනා පිළිවෙත්හි පිළිපන්නේය. භගවත්හුගේ ශ්‍රාවක සඞ්ඝතෙම ඎජු පිළිවෙත්හි පිළිපන්නේය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඞ්ඝතෙම සත්‍ය මාර්‍ගයෙහි පි්ළිපන්නේය, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඞ්ඝතෙම සුදුසු පිළිවෙතෙහි පිළිපන්නේය. යම් මේ සතර පුරිසයුගලකෙනෙක් ඇද්ද, පුරිස පුද්ගලයෝ අට දෙනෙක් ඇද්ද, භගවත්හුගේ මේ ශ්‍රාවක සඞ්ඝයා ආහුණෙය්‍යය ( කැඳවා සිවුපසය දීමට සුදුසුය, පාහුණෙය්‍යය ( අමුතු පඬුරු පිළිගැන්වීමට සුදුසුය ), දක්ඛිනෙය්‍යය ( පරලොව අදහා දන් දෙන්නට සුදුසුය ), අඤ්ජලි කරණීයය ( දොහොත් මුදුන්දී නමස්කාරයට සුදුසුය ), සියලු ලෝකයාගේ ඉතා උතුම් පින් කෙතය´ ( යි කියායි. ) මහණෙනි,
( මෙසේ ) සඞ්ඝයා සිහිනරන තොපට යම් බියෙක් හෝ තැතිගැනුමෙක් හෝ ලොමුඩැහැගැනුමෙක් හෝ වන්නේද, එය නැතිවන්නේය.´

11. ´´එයට හේතු කුමක්ද ? මහණෙනි, තථාගතවූ, අර්හත්වූ, සම්මා සම්බුද්ධයන් වහන්සේ පහවූ රාග ඇතිසේක, පහවූ මෝහ ඇතිසේක, බිය නොවන ස්වභාව ඇතිසේක. තැති නොගන්නා ස්වභාව ඇතිසේක, පලායන ස්වභාව නැතිසේක ( එහෙයිනි. ) ´´

12. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. මෙසේ වදාරා සුගතවූ ශාස්තෲන් වහන්සේ නැවත එයම ( මෙසේ ) වදාළසේක.

ආරක්ෂක පිරිත් වලදී ධජග්ග සූත්රයට හිමි වූ තැන බලන්න.

රතනං පුරතෝ ආසී
දක්ඛිණේ
මෙත්තසුත්තකං
ධජග්ගං පච්ඡතෝ ආසි,
වාමේ අංගුලිමාලකං

මාගේ පෙරටුවේ රතන සූත්‍රය පිහිටියේ ය. දකුණේ මෙත්ත සූත්‍රය ද පසුභාගයෙහි ධජග්ග සූත්‍රය ද වම් පස අංගුලිමාල සූත්‍රය ද පිහිටියේ ය.

මෙවන් මහා ආනුභාව සම්පන්න ධජග්ග පිරිතෙන් ඔබත් අද අදම ඵල නෙලාගන්න.

අනන්ත බුදුගුණ බලෙන් තුන්ලොවම සැනසේවා … … ….

සත්වයාගේ හිත සුව කැමති එරන්ද ලක්මාල්ද සිල්වා ….

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.