ජූලි 18 වැනිදා සේවයට නොපැමිණීමෙන් රැකියා අහිමි වූ පිරිසකට රජයේ කොන්දේසි අනුව රැකියා දීමට ශ්‍රීමත් ජනාධිපතිතුමා ගත් තීරණය ශ්‍රේෂ්ඨ අදහසක් බව සෙත්පතා දන්වා සිටිමි.
රැකියා අහිමි වූ පිරිස කොටස් තුනකට බෙදා එක් කොටසකට වැරදි කළවුන් හැටියට දඬුවම් දෙන බවත් තව කොටසක් විශ්‍රාම යවන බවත්, අනෙක් කොටසට කොන්දේසි සහිතව රැකියා දෙන බවත් පුවත් පත්හි සඳහන් වී තිබුණා. කොන්දේසි ද ඉදිරිපත් කොට තුබුණා දිටිමි.
නීතියට ඇඟිලි ගැසීම නුසුදුසු හෙයින් දඬුවම් දෙන කොටසට සාධාරණයක් කරන්න යන්නට වඩා කිසිවක් නො කියමි. කොටසක් විශ්‍රාම යවන්නට සිතීම සාධාරණ ක්‍රියාවෙකි. එහෙත් සිතිය යුත්තක් ඇත. මෙකල ජීවන වියදම අධික නිසා ජීවත්වීමේ ප්රශ්නය උග්‍රයි. වරද කාගේ වුවත් වැඩ වර්ජකයන් ගෙන් සියයට අනූවක් පමණ ජීවත් වීමේ අපහසුව නිසා ම සම්බන්ධ වන්නට ඇතැයි සිතන්නට ඉඩ ඇත. රැකියා මුදලින් ජීවත් වන්නට බැරි කාලයෙකැ විශ්‍රාම මුදලෙන් ජීවත් වන්නේ කෙසේ දැයි කරුණා මෛත්‍රියෙන් සිතා බලා නීත්‍යනුකූල වැ විශ්‍රාම යන්නට ආසන්න ව සිටින අය පමණක් විශ්‍රාම යවන ලෙස ඉතා කරුණාවෙන් දන්වා සිටිමි.
අනෙක් කොටසට රජයේ කොන්දේසි ඇති ව රැකියා දීමට ගත් තීරණය ද ශ්‍රේෂ්ඨ බව කිව යුතු ය. කොන්දේසි වශයෙන් රජය කරුණු පහක් ඉදිරිපත් කොට ඇති බව දවස පත්‍රයෙහි පළවී තිබුණා. කවදත් වැඩ වර්ජන මෙහෙයවන්නේ වෘත්තීය සමිති ය. එයට බැඳී සිටින අය කැමැත්තෙනුත් වැඩි දෙනා අකැමැත්තෙනුත් වැඩ වර්ජනවලට සම්බන්ධ වෙති. සාකච්ඡා කොට සමථයක් ඇතිකර ගැනීමට කැඳවූ බවත් සැබෑ ය. හදිසි නීතිය පනවා වැඩට යන ලෙස කී බවත් සැබෑ ය. එහෙත් ඔවුනට කල් දුන්නේ එක දවස ය. ඔවුනට කරකියා ගන්නට දෙයක් නැති වන්නට ඇත. එය සමාවට කරුණක් බව හැකි ය.