🌷 සුමේධ තවුසා පිළිබඳව ඔබ නොඇසූ කතා 07 🌷

🌻 දීපංකර බුදුරජාණන් වහන්සේ ලොව පහළවීම.

මේ කාලය තුල දීපංකර බෝධිසත්වයන් වහන්සේ වැඩ සිටියේ තුසිත දිවිය ලෝකේ දෙවු සැප විඳිමින්. නිසි කාලය පැමිණි කල දස දහසක් සක්වළ දෙවිවරුන් පැමිණ දීපංකර බෝසතානන්හට “මහා වීරයාණනි, මේ ඔබට බුදුවීමට කාලයයි”. මවු කුස ඉපදී දෙවු මිනිසුන් සසර දුකින් එතෙර කරන මෙන් ආරාධනය කරන්නට වුනා. ඒ බෝසතාණන් වහන්සේද එම ආයාචනය එක්වර පිළිනොගෙන පස්මහ බැලුම් බලා එය සුදුසු කාලයම බව දැන දෙවිවරුන්ට ප්රතිඥා දී දෙවිවරුන් ව පිටත් කොට තුසිත දෙවියන් විසින් පිරිවරන ලදුව තුසිත දෙව් ලොව නන්දන නම් වනයට පිවිසියා. සියලු ම දේව ලෝකවල නන්දන වනයක් ඇතයි කියනු ලැබේ. එහිදී දෙවියෝ “මෙයින් චුත ව සුගතියට යන්න, මෙයින් චුත ව සුගතියට යන්න” යැයි කරන ලද කුසල් සිහිගන්වමින් එහි ඇවිදිමින් ම චුත වුනා.


දෙවු ලොවෙන් චුතව රම්මවති නුවර සියලු සැප සම්පතින් අනූන වාසුදේව නරදේව සුදේව නම් රජකුලයෙහි සුමේධා දේවියගේ කුසයෙහි යහපත් වූ නුවණින් යුතුව පිළිසිඳ ගනු ලැබුවා. මෙසේ සිහි නුවණින් යුක්ත ව මව් කුස පිළිසිඳීම බුදුවරුන්ගේ ධර්මතාවක්. දෙව් ලොවින් චුත වීම, මව්කුස තුල පිළිසිඳ ගැනීම, මව්කුස තුල වැඩ හිඳීම හා මව්කුසින් බිහි වීම යන සිව් තැනෙහි සිහිනුවණින් යුක්ත වන්නේ මහා බෝසත්වරු පමණි. පසේ බුදුවරයෝ මුල් අවස්ථා තුනේ දී සිහිනුවණින් යුක්ත වෙති. බිහිවන අවස්ථාවේ දී සිහිනුවණින් තොර වෙති. අගසවු දෙනම මුල් අවස්ථා දෙකෙහි දී සිහිනුවණින් යුක්ත වෙති. මව්කුස තුල වැඩහිඳීම හා බිහිවීමේ දී සිහිනුවණින් තොර වෙති. අසූමහා ශ්රාවකයෝ පළමු අවස්ථාව වන දෙව් ලොවින් සිහිනුවණින් චුත වෙති. නමුත් ඉතිරි අවස්ථා තුනේ දී සිහිනුවණින් තොර වෙති.
දීපංකර බෝධිසත්වයෝ මව්කුස පිළිසිඳ ගැනීමේ දී දෙතිස් පූර්ව නිමිති පහළ වුනා. ඒ පිළිබඳවපැහැදිළි කිරීමක් 9 වෙනි කොටසේ සිදුකරනු ලැබුවා.

ඉක්බිති දිවකුරු කුමරා මහ සැපතින් සංග්රහ ලබමින් ක්රමයෙන් සොඳුරු යෞවනයට පැමිණ තුන් ඍතුවට හොබනා හංසා, කොංචා, මයුරා නම් ප්රාසාද වල දෙව්ලොවක වන් සුර සැප විඳිමින් තම උයන් කෙළි සඳහා යන අවස්ථාවෙහි ක්රමයෙන් ජීර්ණ ව්යාධි මරණ සංඛ්යාත තුන් දේවදූතයන් දැක හටගත් සංවේග ඇතිව ආපසු සුදසුන් නුවර සම්පත් වලින් බබළන රම්මවතී නම් නුවරට පිවිසියා. ඉන් අනතුරුව හතරවෙනි වරත් ඇත්කරුවා කැඳවා මෙසේ කීය. “දරුව, මම උයන බැලීමට යන්නෙමි. ඇත් යානා සරසව්” ඔහු “මැනව යි දේවයිනි” පිළිතුරු දී ඇතුන් සුවාසූදහසක් සරසනු ලැබුවා. ඉක්බිති විස්කම් දෙව්පුත් නන්පැහැ වතින් බෝසතුන් හන්දවමින් මුතු හෙබූ කෙයූරාභරණ පළඳවා සුන්දර කනකකටක, මකුට, කණ්ඩලබර කොට සුවඳ කුසුම් මාලාවන්ගෙන් කොණ්ඩය සරසවනු ලැබුවා.

සෑම බෝසත්වරයකුට ම අවසන් ගිහි ඇඳුම් පැලඳුම් හැන්ද වීම දෙවියන් විසින් කරනු ලබන්නේය. ඒ දිවකුරු කුමරු ද දෙව් කුමරුවකු මෙන් සුවාසූ දහසක් ඇතුන් පිරිවැරූ උතුම් මඟුලැතු අරා හිඳ මහබලසෙන් පිරිවරා උයනට පිවිස ඇතුපිටින් බැස උයන සැරිසරා පරම සොඳුරු දැකුම් ඇති සිලාතලයෙහි හිඳ පැවිද්දට සිත ඉපදවන්නට වුනා. එකෙණෙහි ම සඳවැසි ක්ෂීණාස්රව මහබඹහු අෂ්ට පරිෂ්කාර ගෙන බෝසතුන් ඇස් හමුවෙහි පහළ වුනා. මහපුරිස්හු ඔහු දැක මේ කුමක් දැයි විමසා ශ්රමණ පරිෂ්කාර යැයි අසා අබරණ බඩු මුදා භාණ්ඩාගාරිකයා අතට දී මඟුල් කඩුව ගෙන මකුටය සහිත කෙස් සිඳ අහසට විසිකරනු ලැබුවා. එවිට සක්දෙව් රජ රන් කරඬුවකින් ඒ කේශමකුටය පිළිගෙන සිනේරුව මුදුනෙහි තුන් යොදුන් පමණැති ඉඳුණිල්මිණිමුවා මකුට චේතිය කරණු ලැබුවා.

එවිට දීපංකර මහපුරිස්හු දෙවියන් දුන් අරහත් ධජ කසාවත් දරා සළු සඟල අහසට විසි කරනු ලැබුවා. එය බඹහු පිළිගෙන බඹලොව දොළොස් යොදුන් සියලු රත්නයන්ගෙන් යුත් චෛත්යයක් නිම කොට එහි තැන්පත් කරන ලදී. පැවිදි වූ දිවකුරු කුමරුන් අනුව කෝටියක් දෙනා පැවිදි වූහ. ඔවුන් පිරිවැරූ මහසත්හු දසමසක් ප්රධන් වීර්ය්ය වැඩූහ. අනතුරුව වෙසක් පුණුපොහෝ දා එක්තරා නුවරකට පිඬු පිණිස ගියහ. එදා ඒ නුවර දෙවියන්ට බලි පිණිස දිය නුමුසු කිරිබත් පිසූහ. මිනිස්සු පිරිස් සහිත පිඬු පිණිස පැමිණි බෝසතුන්ට ඒ කිරිබත් පිදූහ. එය කෝටි සංඛ්යාත සියලු භික්ෂූන්ට ප්රමාණවත් විය. මහසතුන්ගේ පාත්රයෙහි දෙවියෝ දිව්ය ඕජා බහාලූහ. එය වළඳා එම සල් උයනෙහි ම දහවල් දවස ගෙවා සවස විවේකයෙන් නැගී පිරිස පිටත් කොට සුනන්ද නම් ආජීවක දුන් අටතණමිට ගෙන පුලිල (ගිවුළු/ පළොල්) රුක් බෝධිය වෙත ගොස් පනස්තුන් රියන් තණ ඇතිරි අතුරා අනූ රියන් බෝකඳට පිට දී පර්යංකයෙන් හිඳ චතුරංග වීර්ය්යාධිෂ්ඨාන කොට බෝමුල වැඩසිටියා. එදින රාත්රියේ මාර පරාජය කොට කල්ප කාලාන්තරයක් පෙරුම්පිරූ බුද්ධත්වයට පත්වුණ සේක.

තුසිත රාජපක්ෂ
ප්රංශය
15-05-2019

error: Content is protected by www.ifbcnet.org.