සුන්‍දර සමාජ පෙරැළියකට අවශ්‍ය අධ්‍යාපන ක්‍රමය …

අවුරුදු දෙ දෙහස් පන්සියයකට පෙර ලේ බිඳකුදු නො සොල්වා කරුණා මෛත්‍රී පූර්වඞ්‍ගම උපදේශ මාලාවකින් සුන්දර සමාජ පරිවර්තනයක් ඇති කළ උත්තමයා බුදුරජාණන් වහන්සේ ය. අප සමාජයෙහි එ බඳු සුන්දර පරිවර්තනයක් ඇති කිරීම සඳහා ඒ උතුම් බුදුරජාණන් වහන්සේ පිළිබඳ උතුම් ම දිනය වන මේ වෙසක් පුර පසළොස්වක දා අපි කවුරුත් ඉටාගනිමු.

එ බඳු සුන්දර සමාජ පරිවර්තනයකට උපකාර වන ඉතා වැදගත් අංශයක් නම් අධ්‍යාපනය යි. එ හෙයින් බලාපොරොත්තු රහිත වැ පැනනැඟුණු අතිශය උග්‍ර තත්තවයක් හිත තබාගෙන පහත සඳහන් කරුණු සැලැකිල්ලට භාජනය කරන මෙන් රජයෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමි.

මෙහි සඳහන් ඇතැම් කරුණු ඉතිහාසය දැක්වීමට ලීවා විනා කිසි ම පිරිසකට දෝෂාරෝපණයක් වශයෙන් නොවන බව මේ වෙසක් පුනු පොහෝදා විශේෂයෙන් සඳහන් කෙරෙමි.

අධ්‍යාපනයෙහි පරමාර්ථය විය යුත්තේ සමාජයට හැදුණු මැදුණු (හැදිච්ච මැදිච්ච) පුරවැසියන් ඇති කැරදීම යි.

ජගත් කීර්තියක් දරන ඕල්ඩස් හක්ස්ලි මහතා ගේ අදහස අනුවැ අධ්‍යාපනය විසින් කාම සම්පත්හි ගිජු නො වු ද, උද්‍යොගවත් වූ ද සාමයට ප්‍රිය වූ ද ප්‍රජාවක් ඇති කළ යුතු ය. බී. එච්. බෝඩ් මහතා ගේ අදහස අනුවැ පාඨශාලාව වු කලි හුදෙක් ශිෂ්‍යයන් පොත් ඉගෙන ගන්නා ස්ථානය නො වැ, ජිවිතය මැනවින් ගෙන යන මාර්ගය ඉගෙන ගන්නා ස්ථානය ද විය යුතු ය.

‘උගත්කමෙහි ප්‍රමාණය ගුරු ශිෂ්‍යයන් ගේ කතාවෙන්, ක්‍රියාවෙන් හා පැවැත්මෙන් දැනගත හැකි ය’ යනු පෙරදිග පඬිවරයන් ගේ සිද්ධාන්තයෙකි. ‘ප්‍රඥාව – උගත්කම – බැබැළෙන්නේ යහපත් චරිතයෙනි, හැදිච්ච කමෙන් තොර උගත්කමින් තමනට හෝ අන්‍යයනට හෝ අනර්ථයක් මිස අර්ථයක් – දියුණුවක් – නො සැලැසේ’ යනු බුදුරජාණන් වහන්සේ ගේ අදහස යි.

මේ හැම කියමනකින් ම හැඟෙන්නේ අධ්‍යාපනයෙහි පරමාර්ථය විය යුත්තේ හොඳ පුරවැසියන් ඇති කිරීම බව කාටත් වැටහෙනවා ඇත. හොඳ පුරවැසියන් වීමට උගත්කම පමණක් ප්‍රමාණවත් නොවන බවත්, උගත්කමේ පමණට ම හැදිච්චකමත් හරියට තිබෙනවා නම් ඔහු සමාජයට කරදරයක් නොවන බවත්, අද සමාජයට මහත් කරදරයක් වී තිබෙන්නේ හැදිච්චකමෙන් අඩු වූ උගත්කම් වැඩි වීම බවත් කාටත් වැටැහෙනවා ඇත.

බෞද්ධ අධ්‍යාපනය ය යි විශේෂ අධ්‍යාපන ක්‍රමයක් නො විය හැකි ය. එහෙත් කවර අධ්‍යාපන ක්‍රමයක් වුවත් හැදීමට මුල් තැන දී කැරෙනවා නම් එය බෞද්ධ අධ්‍යාපනය බව කිව යුතු ය. බුදුජාණන් වහන්සේ ගුරුවරයා ගේ ප්‍රධාන යුතුකම වශයෙන් ප්‍රකාශ කළේ ශිෂ්‍යයන් මනා කොට හික්මැවීම යි. මනා කොට ඉගැන්විය යුතු යයි ප්‍රකාශ කෙළේ දෙ වැනි අංකයට ය. මෙ ලෙසින් සඳහන් කෙළේ උගත්කමට වඩා මනුෂ්‍යකම උසස් කොට සැලැකූ හෙයිනි.

ලංකාවේ පෙර පටන් පැවැතුණේ මෙ බුඳු වූ හැදීමට මුල් තැන දුන් අධ්‍යාපන ක්‍රමයෙකි. ඒ නිසාම උගත්, සිල්වත් හරි දැකීම් ඇති පුරවැසියන් ගෙන් සිරිලක පිරී පැවැත්තේ ය. කීප වරක් හතුරන් විසින් ගිනිබත් කරනු ලදු වැ ඉතිරි වැ තිබෙන පොත්වලින් ලක්වැසි ගිහි පැවිද්දන් ගේ උගත්ක‍මේ ප්‍රමාණය දැනගත හැකිය. ලොව කිසිම රටකට දෙ වැනි නොවන තරමේ කාර්මික ඥානයෙකින් ද ලක්වැසියා දියුණු වී සිටි බවට සාධකයෝ බොහෝ ය.

මේ රටේ ශිෂ්ටාචාරයට ගැළැපෙන අධ්‍යාපනයක් ලැබූ කාලයෙහි ලක්වැසියා උගත්කමින් මෙන් ම ගුණවත්කමින් ද දියුණු වැ සිටි බවට ද සාක්ෂ්‍ය බොහෝය.

ආරෝග්‍යශාලා පිහිටුවීම ආදි ලෝකයාට ශාන්තිය ගෙන දෙන බොහෝ දේවල් මෙන්ම ලෝකයෙහි පළමු වරට විශ්ව විද්‍යාලය ඇති කළාහු ද බෞද්ධයෝ ම ය. ඒ විශ්ව විද්‍යාලය අතුරෙන් නාලන්දා විශ්ව විද්‍යාලයය ශ්‍රෙෂ්ඨතම වෙයි. එහි ශිෂ්‍යයනට ලැබුණේ බෞද්ධ අධ්‍යාපනය යි. එහි නේවාසික වැ ශිෂ්‍යයන් දස දහසක් පමණ සිටි බව ඉතිහාසයෙහි සඳහන් වෙයි. එහි ලැබුනු අධ්‍යාපනය කොතරම් විශිෂ්ට දැයි කිව හොත් දස දහසක් පමණ නානා රාෂ්ට්‍රික නා නා ජාතික නා නා ලබ්ධික ශිෂ්‍යයන් කිසි දු කලබලයක් නැති වැ එක පවුලේ සහෝදරයන් මෙන් වාසය කළ ආකාරය සෙට්ලන්ඩ් සාමිවරයා ප්‍රකාශ කළේ මේ සේ ය.

නාලන්දා බෞද්ධ විශ්ව විද්‍යාලයෙහි වුසූ සියලු ම ශිෂ්‍යයෝ ස්වභාවයෙන් ම ශාන්ත වු ගම්භීරාධ්‍යාශය ඇති උත්තමයෝ වූ හ. ශිෂ්‍යයන්ගේ යහපත් හික්මීම හේතු කොට ගෙන විශ්ව විද්‍යාලය පැවැති අවුරුදු හත්සියය තුළ කිසි දිනෙක කවර ශිෂ්‍යයෙක් වත් විශ්ව විද්‍යාලයෙහි නීතියට විරුද්ධ වැ කැරළි නො ගැසීය.”

මේ තොරතුරුත් වර්තමාන විශ්ව විද්‍යාලයවල පමණක් නො වැ, සාමාන්‍ය විද්‍යාලයවල ද තත්ත්වයන් ගැන සොයා බලන නුවණැති කවර කෙනකුට වුව ද මුළු ලොවට ම අවශ්‍ය වනුයේ බෞද්ධ අධ්‍යාපනය බව වැටැහෙනවා ඇත. මේ කාරණය පෙරදිග පඬුවන් පමණක් නො වැ, අපරදිග පඬුවෝ ද කියති.

ලංකාවේ වර්තමාන අධ්‍යාපන ක්‍රමයෙහි ඉතිහාසය සොයන්නකුට වැඩි ඈතට නො ගොස් ආරම්භය දැකගත හැකි ය. ඒ අ‍ාරම්භය පිළිබඳ තොරතුරු නුවණින් විමසා බලන්නකුට මේ අධ්‍යාපනක්‍රමය හොඳ පරමාර්ථයෙකින් පටන් නොගන්නා ලද්දක් බව වැටැහෙනවා ඇත.

මේ අධ්‍යාපන ක්‍රමය නිසා ලක්වැසියා ශාස්ත්‍ර ඥානයෙන් හා විද්‍යා ඥානයෙන් හා ඉහලට දියුණු වී සිටින බවනම් සැබෑ ය. කවර පරමාර්ථයෙකින් පටන්ගත්තත් එයින් එක් අංශයෙකින් හෝ ලැබුණු මහත් වූ ප්‍රයෝජනය ගැන සලකා එය ආරම්භ කළ අය කෙරෙහි කෘතඥ විය යුතු ය.

යම් කිසි ක්‍රියාවක් හොඳ නැති පරමාර්ථයෙකින් ආරම්භ කළොත් එයින් ‍ෙ‍හාඳ ප්‍රතිඵල ලබාගැනීම ලෙහෙසි නැත. ලංකාවේ අධ්‍යාපනයට වී තිබෙන්නේ ද එය යි. නුවණන් විමසා බලන කෙ‍නකුට ලංකාවේ අධ්‍යාපනයේ පරමාර්ථයන් ගෙන් සමහරක් හැටියට ගිහි – පැවිදි සම්බන්‍ධය නැති කිරීම, අධ්‍යාපනය පිළිබඳ භික්‍ෂූන් වහන්සේට හිමි වැ තුබුණු තැන නැති කිරීම, ලංකාවේ බෞද්ධ පරිසරය නැති කිරීම, නරක බෞද්ධයන් ඇති කිරීම හා රජයේ සේවයට ලිපිකරුවන් ඇති කිරීම බව ද පෙනෙනවා ඇත. මෙ කී කාරණා ඔප්පු කිරීමට ඇති නොයෙක් නිදර්ශන අතුරින් කීපයක් මෙ සේ ය.

1807 වැන්නෙහි පෙබරවාරි 28 වැනිදා කොළඹ රජගෙදර සිට ටී. මෙට්ලන්ඩ් ආණ්ඩුකාරතුමා මාතර ඒජන්ත ඊඩන් මහතාට යවන ලද දිග ලියුමෙහි එක වාසගමක් මෙ සේ ය: “… තුන් වැන්න නම් මුදලිවරුන් හා සංඝයාත් අතර විශ්වාසය බ්‍රිතාන්‍ය පාලනයට අහිතකර නිසා එය නැති කැරදැමීම ය. ඔවුන් ගේ සම්බන්‍ධය කන්ද උඩරට රජුට වාසියෙකි. මගේ මේ කීම වටහාගැනීමට පහසුවීම සඳහා සංඝයා ගැනත් විස්තරයක් කරමි. එ‍ සේ ම ඔවුන් භේද කරන සැටි ද විස්තර කරමි.”

මෙ සේ ගිහි – පැවිදි සම්බන්‍ධය නැති කිරීම සඳහා යෙදූ උපක්‍රම වලින් පන්සල් අධ්‍යාපනය නැති කොට වෙන පක්‍ෂයකට අධ්‍යාපනය බාරදීම ද එකකි. 1817 දී වෙස්ලියන්වරුන් ස්වභාෂා පාඨශාලා ආරම්භ කෙළේ ආධ්‍යාපනික කටයුතු පිළිබඳ බෞද්ධ භික්‍ෂූන් වහන්සේ ට හිමි තැන අයත් කැරගැනීමේ බලාපොරොත්තුවෙන් බව ඉමර්සන් ටෙනන්ට් මහතා ‘ලංකාවේ ක්‍රිස්තියානිය’ නැමති පොතෙහි සඳහන් කැර ඇත.

මෙ‍ සේ ආරම්භ වූ අලුත් අධ්‍යාපනය ගැන සඳහන් කරන කෝපල්ස්ටන් බිෂොප්තුමා, ‘ඉගෙන ගන්නා බෞද්ධ ශිෂ්‍යයන් අතුරෙන් සියලු දෙනා ම ක්‍රිස්තියානි කාරයන් වෙතී සහතික කළ නොහැකි ය, එහෙත් හොඳ බෞද්ධයන් නොවන බවට නම් සහතික කළ හැකි ය’ යි කියා තිබේ.

අද ලංකාවේ පවත්නේ මෙ ලෙසින් අරම්භ වූ අධ්‍යාපන ක්‍රමයෙකි. වරින් වර නොයෙක් කොමිෂන් ඇති කොට අධ්‍යාපන ක්‍රමය සකස් කළ බව සැබෑ ය. එහෙත් මේ රටේ ශිෂ්ටාචාරයට අනුකූල වන පරිදි තව මත් සකස් වී නැති බව කිව යුතු ය.

දැනට තිබෙන අද්‍යාපනයෙන් උගතුන් වැඩි වෙතත් උදාර අදහස් ඇතියවුන් ‍වැඩි ‍වන බවක් පෙනෙන්නට නැත. එ සේ ම ආත්මාර්ථකාමිත්වය වැඩි වෙයි. පුනරුත්පත්තියක් විශ්වාස නොකරන උච්ඡේද දෘෂ්ටිකයෝ වැඩි වෙති. සම්‍යග් දෘෂ්ටිකයෝ අඩු වෙති. කෙසේ හෝ මුදල් සපයාගෙන කා බී විනෝද වී ඉන්‍ද්‍රියයන් පිනවීම සඳහා ජනගහණය වැඩි කරන්නෝ බහුල වෙති. අන්‍යයනට කරදර නොවන සේ ජීවත් වෙමින් රටට ජාතියට ආගමයට හා භාෂාවට ද වැඩ සැලැසෙන දරු පිරිසක් ඇති කළ යුතු ය යි සිතන්නෝ ද අඩු වෙති.

එ පමණක් ද නො වැ, මේ අධ්‍යාපන ක්‍රමයෙන් රටේ ආර්ථික තත්ත්වය දියුණු වන බවක් හෝ රැකීරක්‍ෂා ප්‍රශ්නය විසඳාගැනීමට හැකි බවක් හෝ පෙනෙන්නට නැත. විභාගයෙකින් සමර්ථ වී ලිපිකාර සේවයට කැමැති වන්නන් සුලබ වන අතර ම ගොවිතැනට වෙළෙඳාමට හා කර්මාන්තවලට පිළිකුල් කරන්නෝ ලජ්ජා වන්නෝ බහුල වෙති. මේ අතර ම දැන් අධ්‍යාපනය බොහො ම දියුණු ය යි සිතන්නෝ ද වෙති.

යම් කිසි රටෙක අධ්‍යාපනය දියුණු ය යි කියන්නේ ශිෂ්‍යයා ගේ මොළයට ඔරොත්තු නොදෙන තරමේ විෂය මාලාවක් තිබීම හා දෑතට ඔරොත්තු නොදෙන තරමේ පොත් ගොඩක් තිබීම අනුවැ නම් දැන් අධ්‍යාපනය අතිශයින් ම දියුණු ය යි කිව හැකි ය. එ සේ සිතනවා නම් කියනවා නම් එයත් මේ අධ්‍යාපනයේ ම ප්‍රතිඵලයෙකි.

දියුණු වන අධ්‍යාපනයට දේශපාලන වාදත් ලිංගික අධ්‍යාපනයත් ඇතුළත් කළ යුතු ය යි කියන අතිපණ්ඩිතයෝ ද දැන් බහුල වෙති. ලිංගික අධ්‍යාපනය දෙන්න ගොස් ස්වීඩන් ආදි රටවල සිදු වූ සදාචාර විනාශය දන්නා මොළේ කලඳක් වත් ඇතියවුන් එය අනුමත නොකරනු ඇත. දැනට උගන්වන ප්‍රාජාචාරයට අතිරේක වැ විවිධ දේශාපලන වාද අපේ ළමයින උගන්වන්නට ගියොත් දැනට පවත්නා විදියේ ලේ වගුරුවන විප්ලව නිතර ඇති වන්නට ඉඩ ඇත. හැදෙන පරපුරට නපුරු විප්ලව අදහස් දීමේ වදර දැන් වත් තේරුම් ගත යුතු වේ.

කරුණු මෙ සේ හෙයින් වර්තමාන අධ්‍යාපන ක්‍රමයත් වෙනත් අධ්‍යාපන ක්‍රමත් හොඳින් සලකාබලා මේ රටේ ශිෂ්ටාචාරයට හා ජීවනෝපායයට ද ගැළැපෙන පරිදි ජාති භේද, ආගම් භේදවලින් තොර වැ සාමයෙන් ජීවත් වීමට හැකි වන අයුරින් දැනට පවත්නා අධ්‍යාපනය සකස් නො කළොත් අනාගතය මීටත් වඩා අන්තරායදායක වනවා ඇත.

 

සිළුමිණ 1971.05.09

ප්‍රඥාප්‍රභා 1

යතුරුලිවීම: සැන්ටා ටයිප්සෙටින්

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.