මෙව්රින් බිෂොප්තුමා බොම්බායේ කතෝලික ඇග්සැමිනර් පත්‍රයට ලියා එවා ටයිම්ස්‌ පත්‍රයේ පළ කර තිබූ කරුණු සංක්‍ෂිප්තව මෙසේය.

“ගෝවේ අග්‍ර බිෂොප්තුමාගේ ඉල්ලීම පිට යාපනේ බොන්ජියන් බිෂොප්තුමාත් හයිඩ්‍රබාඩ් පළාතේ බිෂොප්තුමාත්, මදුරාසියේ විහාරි ජනරාල් තැනත් දේවගැතිවරුන් ගණනකුත් කැටුව (වර්ෂ 1878) නොවැ. 29 වැනි දින බොම්බායෙන් පිටත් වී ඊට පසුවදා ගෝවේට පැමිණුනෙමු. සාවියර් ශුද්ධවන්තයාගේ ශරීරය පිළිබඳව පවත්වන ලද “මාහැඟි” මෙහෙය පෙරහැරවල අපි දුටුවෙමු. ශුද්ධවන්තයාගේ ශරීරය වසා තිබූ වැස්‌ම හැර දහස්‌ ගණන් දෙනාට පෙන්වන අතර හිසත්, අත්, පාදත් දෙස බොහෝ වේලා බලා සිටියෙමු. මක්‌නිසාද ඒ අවයව පමණක්‌ වසා නොතිබූ බැවිනි. අනෙක්‌ තැනැත්තෝ මීට අවුරුදු 300 කට පමණ පෙර එතුමාගේ ශරීරය බැලුවාක්‌ මෙන් අප ද එතුමා දෙස බලමින් සිටින අතර කෝටි ගණන් ආත්මවල ගැලවීම පිණිස දෙවියන් වහන්සේ විසින් තෝරාගත් ඒ උතුම් වූ ශුද්ධ වූ ආත්මයේ කූඩාරම මේ යෑයි හැඟී සමාදානයේ ශුභාරංචිය දේශනා කළ එතුමාගේ පාද ඉතා ගෞරවයෙන් සිප ගත්තෙමු. ඊට පසු දවසේදීත් අග්‍ර බිෂොප්තුමා අප කැඳවාගෙන ගොස්‌ ශරීරය හඳකාර පරීක්‍ෂා කර බලන්ටත් යාච්ඤා ඔප්පු කරන්ටත් ඉඩ ප්‍රස්‌ථා ලබා දුන්නේය. ශරීරයේ දකුණු පාදය ඔසවා බලන්ට මට අවසර ලැබුණේය. විළුඹත්, යටි පතුලත්, ඇඟිලිවල නියපොතුත්, නහර යනාදියත් තදව ඇකිළී දුඹුරු පාටට හුරුව තිබුණ නමුත් සම්පූර්ණ පිළිවෙළට හොඳාකාරයෙන් ප්‍රවේශම්ව තිබුණි. වම් පාදය මඳක්‌ තුවාල වී තිබුණි. දෙවැනි ඇඟිල්ල කැඩී එල්ලී තිබුණේය. කුඩා ඇඟිලි තුනක්‌ නොමැත. විළුඹේ හම සමහර තැන්වල දිරාගොස්‌ තිබුණු නමුත් ඉතා සවිය ඇති හම් වාගේ සවි ලෙස එකට බැඳී තිබුණේය. ඇස්‌ සම්පූර්ණයෙන්ම වළ නොගැසී තිබුණා පමණක්‌ නොව ශරීරය පරීක්‍ෂා කළ වෛද්‍යාචාර්යවරයා කී ලෙස යටිබඩත් එසේමය. දකුණු කම්මුලත් නාසයේ අගත් තුවාල වූවා සේ පෙනුණි. වම් හස්‌තයේ හමට යටින් තිබෙන නහරත්, ඇඟිලි සහ නියපොතුත් සම්පූර්ණ ලෙස ආරක්‍ෂා වී තිබුණි. තවද කිසි තැනක කුණු වී ගිය ලකුණක්‌ නැත.” ආදී වශයෙනි.

මේ සම්බන්ධයෙන් සී. ජී. කුලතිලක මහතා දැක්‌වූ අදහස්‌ පහත සඳහන් පරිදි වේ. (1953 මාර්තු 28 සිංහල බෞද්ධයා)

“එසේ නම් මෙම බිෂොප්තුමා ද පැහැදිලිව දැක බලා කියා ඇති පරිදි මෙම සිරුර දිරා යමින් පවතී. එබැවින් සර්වබල දෙවියන් වහන්සේ විසින් දිවැස්‌ කරුණා මහිම නාමයෙන් පස්‌වා දහස්‌ කාලයකට ඉර හඳ පවත්නා තුරු නොදිරා පවත්වන්ට සර්ව බල වරම් ආශීර්වාද පුරවා සුරක්‍ෂිත කොට වදාළ බවට තර්ක කරන මෙම සිරුර වසර 400 ක්‌ ගෙවන්ට මත්තෙන් ක්‍රම ක්‍රමයෙන් දිරා යැමට පටන් ගෙන ඇත්නම් මෙය දිව්‍යමය කටයුත්තක්‌ සේ සැලකීම තුළින් සර්වබල දෙවියන් වහන්සේට තදබල නින්දාවක්‌ ඇතිවූවා නේද? එය එසේ නොව බෙහෙත් බලයෙන් කරන ලද්දක්‌ බව දැන්වත් අපේ කතෝලික හිතවතුන් පිළිගන්නේ නම් දෙවියන් වහන්සේට වන නින්දාව වළක්‌වාගත හැකි නොවේද?

දෙවියන් වහන්සේ නිත්‍ය නම් උන්වහන්සේගේ සකලවිධ කෘත්‍යයක්‌ම එසේම නිත්‍ය විය යුතු නොවේද? ඉතින් මේ සිරුර අපි ඉහතින් පෙන්වා දුන් ලෙස දැන් අනිත්‍ය බවට දෙස්‌ දෙමින් ශීඝ්‍රව දිරායමින් තිබේ. එසේනම් දේව මැවිලිවල අනෙක්‌ හැමදේමත් එලෙසම අනිත්‍ය බව සත්‍ය නොවේද? එවිට බුදුදහමේ උගන්වන ඔය අනිත්‍ය සිරුර සුරක්‍ෂිත කළ දෙවියන් පවා අනිත්‍ය කෙනෙක්‌ මිස සදාකාලික නිත්‍ය, වෙනස්‌ නොවන කෙනෙක්‌ විය නොහේ.

ඖෂධ ශක්‌තියකින් සීමා සහිත කාලයක්‌ කුණු නොවී පවත්වන්නට සලසා තිබූ සිරුරක්‌ සිය දේව හාස්‌කමක්‌ ලෙස තම දෙවියන් මත පැටවීමට යැමෙන් තමාගේම ආගමික නායක දෙවියන් වහන්සේට ඔවුන්ම කර ඇති මදි පුංචිකම නිග්‍රහය සුළුපටු නොවේ. ඒවාගේම මෙම මෘත දේහය දෙවියන්ගේ ආශිර්වාදය ලැබූවක්‌ ලෙස සිතන විට එය දෙවියන් සතු වස්‌තුවක්‌ වෙත්. එසේ නම් එහි කොටස්‌ සිඳ බිඳ ලෑම බරපතළ දේව අපරාධයකි. මනුෂ්‍ය අතකින් නොකළ යුත්තකි. එමෙන් හිතුමතේට ඉන් කැබලි කපා තැන තැන යෑව්වාය. කියා සඟවා ගෙන සිටීමත් දෙවියන් සතු දෑ සොරකම් කිරීමත් අපරාධයක්‌ වන අතර මළවුන්ට කරන අධම ක්‍රියාවක්‌ ද වේ.”

1952 ඔක්‌ 27 වැනි දින ඔබ්සර්වර් පත්‍රයේ කතෝලික පාර්ශ්වයෙනA සිරුරේ වර්තමාන ස්‌වභාවය ගැන කියා ඇත්තේ එම සිරුර විවෘත ස්‌වභාවයෙන් තිබීම නිසාත්, වන්දනාකරුවන්ගේ හිරිහැර නිසාත් ඒ දේ සිදුවී ඇති බවයි. භක්‌තිවන්ත (මෝඩ) ස්‌ත්‍රී පුරුෂයෝ එහි පාද සිඹීමෙන් පා ඇඟිලිවලට විපත් සිදු විය හැකි වුවත් නහය එබී අග කැඩී ඇත්තේ මුහුණ සිඹීමෙන්ද? එහි හිස, අත්, පා අළුපාට ගැනුණේ දුම් වැදීමෙන්ද? හිස්‌ කබලෙහි හම කැඩී ගැලවී දැන් ඇතුල් කට්‌ට පෙනෙමින් හිස දිරා ගියේත් මුළු සිරුරෙහි ඇට දිරූ දර කෝටු මෙන් කැඩෙන්නේ මක්‌ නිසාද? වියතක්‌ පමණ දිගට සාවිsයර්තුමා ආදරයෙන් වවාගෙන සිටි කදිම ස්‌පාඤ්ඤ රැවුල් බිස්‌ස හා අඟල් කිහිපයක්‌ දිගට වවා නිතර පීරා සිටි හිසකෙස්‌ දැන් එකකුත් නැතිව වැටී ශ්‍රමණ මුහුණක්‌ මෙන් හිස හා මුහුණ මුඩුව, ඒ හිලව්වට මෙන් නූලක්‌ දෙකක්‌ දික්‌ කෙස්‌ රැවුල් කෙඳි ඇත්තේ කෙසේද? යමක්‌ විවෘත ස්‌වභාවයෙන් තැබිමෙන් වන වරද, ඊට සූර්යය රශ්මිය හා සුළං වැදීම යෑයි සිතමු නම් ඒ සියල්ල දත් සර්වබල දෙවි කෙනෙක්‌ ඔය සිරුර අසීමිත කාලයක්‌ නොදිරා පවත්වන්නට සුරක්‍ෂිත කර ලන්නට ඇත්තේ එතරම් සුළු කරුණක්‌ පවා උන්වහන්සේ නොදැන සිටි නිසාද? අවු සුළංවලට ඔරොත්තු නොදී දැන් ඔය සිරුර දිරා යා නම් එහි ඇතැයි කියන ඔජවඩන ශුද්ධ භාවය/ දේව බල මහිමය කුමක්‌ද? අව් සුළඟට සිදුවන විකෘති ලොව ඇති අනේක දේව නිර්මාණවලටද සාධාරණ බැවින්ම, කඳු පර්වතාදිය ලෝකාන්තය තෙක්‌ පවත්නා සේ ඔය දේව දස්‌කම එසේ නොවන්නට විශේෂ හේතුව කිම? අසීමිත කාලයක්‌ නොදිරා ජීවමානාකාරයෙන් ඔය සිරුර පවත්නට දෙවියන් විසින්ම ඇතිතාක්‌ සර්වබල මහිමාශීර්වාද ගන්වා සුරක්‍ෂිත කරන ලදැයි කියන්නේ අව් සුළංවලට නොපෙන්වා ඊට හිස නමා ආවරණය කොට එය තබන්නනම් මේ හැටි අමාරුවෙන්/ අවධානමින් කුමට සුරක්‍ෂිත කළෝද?

එසේම එම දෙවියෝම ඊට එවේලේම වීදුරු/ ලෝහ පෙට්‌ටියක්‌ නැතහොත් විනිවිද පෙනෙන පිට සිවියක්‌ මෙන් යමක්‌ මවා ඒ තුළ ඔය සිරුර නොතිබ්බේ ඇයි? ඉතිරි වැඩ නරයන්ගෙන් කරනු පිණිසද? අව් සුළං නොවැදීමට විශේෂයෙන් දෙවියන් විසින් ඔය සිරුර සැකසුවා නම් ඊට යෝග්‍ය ලෙස ඒ රහස දැන එය රැක ගැන්මට ඒ සිටි පූජකවරුන්ට ක්‍රමයක්‌ නොතිබුණාද? නොඑසේ නම් ඔවුන් පවා එය දැන සිටියේ නම් ඒ අපවත් පිළිවෙළට එය එළියේ තබා සිටියේ එය බැතිමතුන්ට පෙන්වා මුදල් රැස්‌ කිරීමට නොවේ නම් අව් සුළං ලවා සිරුර ස්‌වල්ප කාලයකින් නැති භංග කිරීමටද? හුළං නොවදින ලෙස මාළු මස්‌ වර්ග ටින්වල අසුරා තබන ලෙස ඔය සිරුර වසා ලීමෙන් පමණක්‌ නොදිරා පවත්නේ නම් දේව ශක්‌තිවල වගක්‌ ඊට කුමට ගාවන්නේද? මේ සියලුදෙයින් පෙනෙන්නේ මෙම සිරුර දේව බලයකින් සුරක්‍ෂිත වූවක්‌ නොවන බවයි. තවදුරටත් එය එසේම යෑයි කතෝලිකයන් පවසන්නේ නම් ඔවුන් තමන්ගේම දෙවියන් වහන්සේගේ බල පරාක්‍රමය ඉන් හෑල්ලුවට ලක්‌ කරනු නොවේද?

රියර් අද්මිරාල් (ආචාර්ය)
සරත් වීරසේකර

error: Content is protected by www.ifbcnet.org.