සිංහලයිනි, එක් වමු. ජාතිය බේරාගනිමු …

ඇමරිකාවේ ජනාධිපති තරඟය අවසන් වී වැඩි දිනක් ගත වී නැති බව කවුරුත් දනිති. පක්‍ෂ දේශපාලනය පවත්නා රටවල කවුරුන් විසිනුත් වි‍ෙශ්ෂයෙන් සිංහල රට වැසියන් විසින් දූරදර්ශී වැ ඥානවන්ත වැ සලකා බැලිය යුතු ප්‍රකාශ දෙකක් ඇමෙරිකාවෙන් නිකුත් විය.

පළමු වැන්න මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයත් සමඟ ම පරාජයට පත් වූ හියුබට් හම්ප්‍රි මහතා ගේ ප්‍රකාශය යි. එනම්, “ජයග්‍රාහක රිචඩ් නික්සන්, තරඟයේ ජය ඔබට පවරමි. ඔබේ ජය ගැන මම සතුටු වෙමි. ජාතියේ ඉදිරි ගමනට අවශ්‍ය සෑම සහයක් ම ඔබට දීමට මම දිවුරා පොරොන්දු වෙමි” යන්න යි.

ලංකාවට නිදහස ලැබුණාට පසු මහා මැතිවරණ හයක් පවත්වා ඇත. ඉන් එක වාරයෙක දී හෝ පරාජිත පක්‍ෂය මෙබඳු ප්‍රකාශයක් කළ බවක් මට නම් මතක නැත. ඒ වෙනුවට හැම වාරයෙක ම ආණ්ඩු පක්‍ෂයට විපක්‍ෂය විරුද්ධ කම් කළ බව නම් ප්‍රකට ය.

වර්තමාන ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය ඉංග්‍රීසීන් විසින් සකස් කරන ලද්දෙකැ යි කියති. අප රට ද එය සිංහලයට හරවා ලියාගෙන ඇත. ඉංග්‍රීසි වචන සිංහලට පෙරළන අවස්ථාවෙහි කරන ලද ඉතා අදූරදර්ශී අඥාන පරිවර්තනය නම්, ඉංග්‍රීසි ‘ඔපසිෂන් පාටි’ (opposition party) යන වචනයට විරුද්ධ පක්‍ෂය යයි කීම යි. සිංහලයෙහි විරුද්ධ යන වචනය බහුල වශයෙන් යොදන්නේ හතුරු යන තේරුමට යි. ඔපසිෂන් පාටි යන්න රජයට හතුරුකම් කරන පක්‍ෂය යි ගත්තොත් කොපමණ වරදක් ද යනු ඉංග්‍රීසි දන්නෝ දනිති. එහෙත් මෙතෙක් පැවැති හැම රජයක් ම විපක්‍ෂ ගැන සැලැකුවේ හතුරන් හැටියට බව නෙ‍ායෙක් කරුණුවලින් වටහාගත හැකි ය. එසේ ම වික්‍ෂය ද රජයේ හතුරු පිරිසක් හැටියට ක්‍රියා කරන බවක් පෙනෙන්නට ඇත. මේ හේතුවෙන් සැමදා ම පාලක පක්‍ෂයත් විපක්‍ෂයත් ඔවුනොවුනට හතුරන් මෙන් ක්‍රියා කරන බවක් පිටතට පෙනෙයි. මෙයින් රටෙහි සංවර්ධනයට විශාල වශයෙන් හානි සිදු වී ඇත.

අපේ රටෙහි පක්‍ෂ දේශපාලනය කොතරම් පහළ වැටී තිබේදැ යි කිව හොත් කවර පිරිසක් බලයේ සිටියත් ඔවුන් ගෙනෙන කොපමණ හොඳ යෝජනාවක වුවත් අඩු ම ගණනේ වචනයක හෝ ඉස්පිල්ලක හෝ පාපිල්ලක හෝ අඩුවක් සොයාගෙන විරුද්ධ වීම විපක්‍ෂයේ සාමාන්‍ය සිරිත යි. විපක්‍ෂය ගෙනෙන කොපමණ හොඳ යෝජනාවකට හෝ එලෙසින් ම විරුද්ධ වීම පාලක පක්‍ෂයේ සාමාන්‍ය සිරිත යි. පක්‍ෂ දේශපාලනයේ මේ තත්ත්වය තිබෙන තුරු පරාජිත අපේ දේශපාලන නායකයනට “ඔබේ ජය ගැන මම සතුටු වෙමි. ජාතියේ ඉදිරි ගමනට අවශ්‍ය සෑම සහායක් ම ඔබට දීමට මම දිවුරා පොරොන්දු වෙමි” වැනි උදාර ප්‍රකාශයක් කරන්නට ලැබෙන්නේ නැත.

අපේ දේශපාලකයන් තුළ ද ජාතිය නඟා සිටුවීම් ආදී උදාර අදහස් ඇතුවාට කිසි ම සැකයක් නැත. එහෙත් ඔවුන් ගේ කත‍ාවෙන් හා ක්‍රියාවෙන් පිටතට පෙනෙන්නට තිබෙන්නේ කවර පිරිසක් හෝ බලයට පත් වූවොත් පරාජිත පිරිස ඊට පසු දා සිට ම රජය පෙරළා දමා බලය අල්ලාගැනීමට උත්සහා දැරීම යි. එසේ නොහැකි නම් ජාතියේ ඉදිරි ගමනට බාධා කිරීම යි. පක්‍ෂ දේශපාලනය මෙ බඳු පහත් තත්ත්වයෙක තිබෙන තුරු ජාතික සංවර්ධනයක් ඇති වන්නේ නැතිවා පමණක් නොවැ සිංහල ජාතිය තව තවත් පිරිහෙනවා ඇත.

ඇමෙරිකාවෙන් පිට වූ අනෙක් ප්‍රකාශය මෙය යි. ජය පරාජය පිට වී සතියක් යන්නට පෙර ජයග්‍රාහක රිචඩ් නික්සන් මහතා පරාජිත ජනනායකයන් දෙදෙනා ගෞරවයෙන් පිළිගෙන සාකච්ඡා කොට “මේ රට එක්සත් කළ යුතු කාලය එළඹ තිබේ.” යන්න යි. තව ද, රටේ අනෙකුත් අය ද තමන් මෙන් ක්‍රියා කරනු ඇතැයි නික්සන් හා තමා ද බලාපොරොත්තු වන බව සඳහන් කළ හියුබට් හම්ප්‍රි මින් පෙර කිසි දිනක නොවූ විරූ පමණට සමඟිය අවශ්‍ය වී තිබේ යයි ද කීය.

ඔවුනට මෙබඳු උදාර ප්‍රකාශ කළ හැකි වී තිබෙන්නේ මැතිවරණයෙහි දී පුද්ගල විවේචනය නො කොට පක්‍ෂ ප්‍රතිපත්ති විවේචනය පමණක් කරන නිසා ම බව කිව යුතු ය. අපේ රටේ මැතිවරණවල දී පුද්ගල විවේචන ඉතා තදින් ම කැරෙන නිසා ප්‍රතිඵල පිටවී සතියෙකින් සුහද සාකච්ඡාවක් කරනු තබා මුළු අවුරුදු පහට ම ප්‍රිය බැල්මෙන් ඔවුනොවුන් දෙස බලන්නට බැරි තරමට පක්‍ෂ දේශපාලනය පහළට වැටී ඇත. මේ තත්ත්වය තවත් ඉදිරියට ගියොත් විශේෂයෙන් සිංහල ජාතිය නැත්තට ම නැති වෙනවා ඇත.

ඇමෙරිකාවේ ප්‍රකට වැ තිබෙන්නේ දේශපාලන පක්‍ෂ දෙකකි. එසේ වුවත් ඔවුහු ජාතිය එක්සත් කරන්නට කතා කරති. ක්‍රියා කරති. අපේ රටෙහි දැනුදු පක්‍ෂ එකොළහක් ප්‍රකට වැ තිබෙනවා. හත් හවුල යි, තුන් හවුල යි, අලුත් පක්‍ෂය යි. මෙතරම් බෙදීම් තිබිය දීත් එය ජ‍ාතික පරිහානියක් බව පෙනි පෙනීත් නියම සමඟියක් ගැන හීනෙන් වත් හිතන බවක් නො පෙනෙයි. මේ හවුල් දෙක ම ජාතික සමඟිය හා සමඟි පෙරමුණ කියා කියනවා. මේ රටෙහි මහා ජාතිය වන සිංහලයන් බෙදී සිටින තුරු ජාතික සමඟිය හෝ සමඟි පෙරමුණ හෝ නමින් පමණක් බව කිය යුතු ය.

මේ රටේ සිංහලයන් තුළ පවත්නා දේශපාලන අසමඟිය ඉතා උග්‍ර බව රහසක් නොවේ. මේ භේදය නිසා ද්‍රවිඩයන් එළිපිට ම කියන්නේ ඉතින් නම් සිංහලයන් අපේ උපකාරය නැති වැ රජකම් කරන්නේ නැත යනු යි. ද්‍රවිඩයන් සමඟ රහස් ගිවිසුම් හදාගෙන තිබේ යයි සිංහල දේශපාලන පක්‍ෂ කිහිප වාරයක් ම ඔවුනොවුනට චෝදනා කළ සැටි කාටත් මතක ඇත.

ඉදිරි මැතිවරණයට දේශපාලන පක්‍ෂ ලහිලහියේ සූදානම් වන බව පෙනෙයි. එක්සත් ජාතික පක්‍ෂය, ශ්‍රී ලංකා – සමසමාජ – කොමියුනිස්ට් සමඟි පෙරමුණු, සිංහල මහජන පක්‍ෂය, ද්‍රවිඩ සංගමය හා පෙඩරල් පක්‍ෂය යන සාමාජිකයන් වැඩි සංඛ්‍යාවක් සිටින පක්‍ෂ පහක් ලබන මැතිවරණයට ඉදිරිපත් වන බව පෙනෙන්නට ඇත. මේ පක්‍ෂ පහට ම මුස්ලිම්වරුන් එකතු වෙනවා ඇත.

දැනට පෙනෙන්නට තිබෙන සිංහල පක්‍ෂ තුන ම තනියම ජයග්‍රහණය කරන බවට බලවත් විස්වාස තබාගෙන ඇත. තනියම රජයක් පිහිටුවන්නට නම් අඩු ම ගණනේ ආසන 75 ක් දිනාගත යුතු ය. සිංහලයන් බෙදී සිටින ආකාරය දෙස බලන වි‍ට කවර සිංහල පක්‍ෂයකට වත් ආසන 75 ක් දිනාගත හැකි නොවන බව පෙනෙයි. එසේ වුවොත් ආසන වැඩි ගණනක් දිනූ පක්‍ෂය රජයක් පිහිටුවීමට උපකාර ලබාගැනීම සඳහා ද්‍රවිඩයන් පස්සේ දුවනවා ඇත. මේ කාරණය හොඳින් දන්නා ද්‍රවිඩයන් “පෝඩා පෝ” කියා එළවන්නේ නැති වැ රහස් ගිවිසුම් වෙනුවට එළි පිට ගිවිසුම් හදා කියවා ඔවුන් ඉදිරියෙහි සිංහලයන් දණ ගස්වා පොරොන්දු කරවාගෙන සහාය දෙනවා ඇත.

මේ මහාජාතික විනාශයෙන් සිංහල වර්ගයා බේරාගැනීමට ඉදිරිපත් කරන යෝජනා ගැන අපේ මහාසංඝයා වහන්සේත් සමිති සමාගමුත් සිංහල ජනතාවත් ඉතා හොඳින් නුවණින් මැදහත් වැ සලකා බලන්නේ මැනැවි.

ඉදිරි මැතිවරණයෙහි දී සිංහල කවර දේශපාලන පක්‍ෂයකට හෝ ආසන 75 ක් වත් දිනාගෙන රජයක් පිහිටුවන්නට පිළිවන් නම් සිංහලයන් වශයෙන් අපි කවුරුත් සතුටු වෙමු. එසේ හැකි වේවා යි ඉත සිතින් ප්‍රාර්ථනා කරමු. එසේ නොහැකි වුවොත් වැඩි ආසන ගණනක් දිනාගත් සිංහල පක්‍ෂය රජයක් පිහිටුවීමට අනෙක් සිංහල පක්‍ෂවල සහාය ඉල්ලා සිටිය යුතු ය. එසේ ඉල්ලන සහාය අනෙක් පක්‍ෂ දිය යුතුය යන පොරොන්දුව ලබන මැතිවරණයට බහින්නට පෙර සිංහල පක්‍ෂවලින් ලබාගත යුතු ය යනු පළමු යෝජනාව යි. අපේ මහාසංඝයා වහන්සේත් සිංහල ජනතාවත් ලක්දිව පුරා මේ හඬ නැංවුවොත් දේශපාලන පක්‍ෂ මහජන මතයට හිස නමා පොරොන්දුවට බැ‍ඳෙනු ඇත. එසේ පොරොන්දු වීමෙන් ඒ ඒ දේශපාලන පක්‍ෂවල ප්‍රචාරක කටයුතු වලට බාධාවක් නොවන්නාක් මෙන් ම ඡන්ද දායකයනට ද තමන් කැමැති පක්‍ෂයකට ඡන්දය දීමට ද බාධාවක් නොවනු ඇත.

ඊළඟ ප්‍රශ්නය වන්නේ මේ දේශපාලන පක්‍ෂ එකතු වී රජයක් පිහිටු වන්නේ කෙසේ ද යන්න යි. මෙන්න ඒ පිළිබඳ යෝජනාව. වැඩි ආසන ගණනක් දිනාගත් පක්‍ෂයෙහි ප්‍රධානියා අගමැති විය යුතු ය. ඊ ළඟට වැඩි ආසන ගණනක් දිනාගත් පක්‍ෂයෙහි ප්‍රධානියා සභානායක විය යුතු ය. ඒ ඒ පක්‍ෂ දිනා සිටින ආසන ගණන් අනුවැ ආසන අටකට හෝ දහයකට හෝ ඇමැතිකම් හා උප ඇමැතිකම් දිය යුතු ය. ඒ ඒ පක්‍ෂවලින් පුද්ගලයන් තේරීම ඒ ඒ පක්‍ෂ නායකයන් කළ යුතු අතර ඒ ඒ පුද්ගයන්ට සුදුසු ඇමැති තනතුරු තේරීම පක්‍ෂ නායකයන් සාකච්ඡා කොට කළ යුතු වේ. ඉදින් ද්‍රවිඩ සහෝදරයන් ද එකතු වන්න‍ට කැමැති නම් කොන්දේසි රහිත වැ එකතු කැරගෙන සෑහෙන ගණනක් සිටිනවා නම් ඇමැතිකම් හා උප ඇමැතිකම් ද දිය යුතු ය. මෙයින් ඉතිරිවන පිරිස විපක්‍ෂය හැටියට සැලැකිය යුතු ය.

ඊළඟට ප්‍රශ්නය වන්නේ මේ පක්‍ෂ මෙසේ එකතු වී රජය ගෙන යන්නේ කවර ප්‍රතිපත්ති මාලාවක් උඩ ද යන්නයි. ඒ ඒ දේශපාලන පක්‍ෂවල මැතිවරණ ප්‍රකාශන නිකුත් වූ වහා ම සිංහල රට ජාතිය ආගම හා භාෂාව ගැන හැඟීම ඇති දේශපාලනය ද දන්නා විද්වතුන් ටික දෙනෙකුන් ලවා පොදු ප්‍රතිපත්ති මාලාවක් පිළියෙළ කොට මෙ ලෙසින් පුවත්පත් මඟින් ප්‍රකාශයට පමුණුවන්නෙමි.

ගරුතර මහාසංඝයා වහන්‍ස, සමිති සමාගම්වල පින්වතුනි, සිංහල ජනතාවෙනි, මේ අදහස සැහැල්ලු කො‍ට සිතන්නේ නැති වැ අසුවලා ගේ යෝජනාවට අප වෙහෙසෙන්නේ කුමට දැ යි සිතන්නේ නැති වැ සිංහල රට ජාතිය ආගම භාෂාව බේරාගන්නට ඒ ඒ දේශපාලන පක්‍ෂ ලවා යට කී පොරොන්දුව ලබාගත හැකි වන පරිදි සිරිලක පුරා මහජන හඬ නංවන මෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමි.

ශ්‍රී ලංකාදීප 1968.11.19

ප්‍රඥාප්‍රභා 2

යතුරුලිවීම: චමිත ලක්මාල් මහතා

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.