සිංහලයනට බෙ‍ෟද්‍ධයනට විරුද්ධ ව ගෙන යන බොරු ප්‍රචාර වැළැක්විය නො හැකි ද?

1985 දෙසැම්බර් 5 වැනිදා රෑ 8 ට ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය පිළිබඳ වැ රූපවාහිනී වැඩ සටහනක් ප්‍රචාරය වන බව ලංඩන් බෞද්ධ විහාරයෙහි දී දැනගන්නට ලැබී සිල්වැරෝ පුවත්පත්හි කර්තෘ සූරිය ද සිල්වා මහතාගේ නිවසට ගොස් එය බැලීමි. පැය බාගයක වැඩ සටහනෙකි. එසේ ම ඉතා අසාධාරණ වැඩ සටහනෙකි.

ප්‍රසිද්ධ ප්‍රකාශක සමාගම් සමහර විට නමගිය දක්‍ෂ ලේඛකයකුට ටිකැට් අරන් දී විශාල මුදලකුත් ගෙවා ලංකාවට ගොස් බුද්ධාගම පිළිබඳ වැ පොතක් ලියා දෙන්නැයි කියා සිටිති. ඔහු ලංකාවට ගොස් හොඳ හෝටලයක නැවැතී හොඳින් කමින් බොමින් බුද්ධාගම පිළිබඳ වැ එලෙසින් ම ලියන ලද පොත් කිහිපයක් කියවා උගතුන් කිහිප දෙනෙකුන් සමඟත් කතා කොට බෙ‍ෟද්ධ විහාරස්ථාන කිහිපයකටත් ගොස් ආපසු පැමිණ පොතක් ලියා දෙනවා. පොත මුද්‍රණය කරවනවා. නමගිය ලේඛකයා, ප්‍රසිද්ධ පොත් ප්‍රචාරක සමාගම, එහෙයින් ඉක්මනට විකිණෙනවා. මුදල් ගලා එනවා. මේ රූපවාහිනී චිත්‍රපටිය පිළිබඳ ව ද කිවයුත්තේ එය ම යි. වෙනසකට තිබෙන්නේ ප්‍රතිඵලය පමණයි. පෙ‍ාතෙන් ලැබෙන්නේ විශාල මුදලෙකි. මෙයින් ලැබෙන්නේ සිංහලයනට හා බෞද්ධයනට විරුද්ධ ව බොරු ප්‍රචාරයෙකි. ඒ අතර ම අනාථයනට පිහිට වන්නට ය කියා ලොකු සම්මාදමකි.

මේ රූපවාහිනී දර්ශනය දුටු සිංහලයනට බෞද්ධනට ඇති වූයේ සිංහලකමට හා බෙ‍‍ෟද්ධකමට ද කැරෙන බලවත් නින්දාව හා නිග්‍රහය පිළිබඳ වැ බලවත් වේදනාවෙකි, කෝපයෙකි. මේ රටවාසීනට වැටහෙන්නේ සිංහලයන් බෞද්ධයන් මහා ම්ලේච්ඡ පිරිසක් හැටියට ය. ඒ අතර ම ලක්රජය ධාර්මිෂ්ටකම කටින් කියතත් ක්‍රියාවෙන් ඉතා අධර්මිෂ්ට අසාධාරණ පාලකයන් හැටියට පෙන්නා දෙයි.

දර්ශනයේ මුල් කොටස ශ්‍රී ලංකාව බෞද්ධ රටක් බව පෙන්නීමට ය. එය ද හිතාමතා ම පහත් තත්ත්වයෙකින් පෙන්නයි. පසුබිම් දර්ශනය දුර්වල විහාරස්ථානයකි. භික්ෂූන් වහන්සේ පන්සලේ යන විට පිටුපසින් ගත් පින්තූරයෙකි. වැදගත් සිද්ධස්ථානයක් පෙන්නුවත් අඳුරු සහගත ය.

දෙමළ කොටස් පෙන්වන්නේ ඉතා පැහැදිලි ස්වරූපයෙනි. එසේ ම දුප්පත් ඉතා අසරණ පිරිසක් හැටියට ය. ඔවුන්ගේ කථාත් එසේ ම ය. කිසි ම වරදක් නැති අසරණ පිරිසකට සිංහලයනුත් ලක්රජයත් කරන අපරාධ අප්‍රමාණ කොට පෙන්වයි. අවුරුදු අටක් මුළුල්ලේ දමිළයන් කළ අපරාධ සාහසික ක්‍රියා මිනීමැරුම් කාලබෝම්බ හා බිම්බෝම්බ පිපිරවීම් එකක් වත් පෙන්නුවේ නැත.

ලක් සෙබළුන් විසින් කඩා බිඳ දමන ලදැයි කැඩුණු බිඳුණු ගොඩනැගිලි පෙන්නුවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සොයා ගන්නා ලද නෂ්ටාවශේෂ අනුව උතුරේ හා නැගෙනහිර පළාත් දෙකේ පමණක් ස්වභාව ධර්මයෙන් නැසුණු ස්වල්පයෙක හා දමිළයන් විසින් නසන ලද 267 ක් විහාරයන්ගෙන් එකක වත් දර්ශන පෙන්නුවේ නැත. යාපනේ දිසාවෙහි පමණක් පුරාණ විහාරස්ථාන 31 තිබුණා. එයින් එකක නෂ්ටාවශේෂ මතුකර ඇත. එය වත් මේ කැමරාකරුට නොපෙනීම පුදුමයක් නො වේ ද? ඉතා මෑතක දී දමිළයන් කඩා බිඳ දමන ලද යාපනේ නාග විහාරය ආදී විහාරස්ථාන වත් කපන ලද බෝධීන් වහන්සේලා වත් මේ කැමරාකරුට නොපෙනුණේ මන් ද? මේතරම් අසාධාරණ කැමරාකරුවන් එංගලන්තයේත් සිටිනවා ද?

රූපවාහිනී දර්ශනයේ අනාථ කඳවුරක් පෙන්නුවා. ඒ අනාථයන්ගේ මුහුණුවලින් හා අඳුම්වලින් නම් අනාථ බවක් පෙනෙන්නට තිබුණේ නැත. ශ්‍රී ලංකාවෙහි ජනගහනයෙන් බාගයක් මාසයකට රුපියල් 500 කට වඩා අඩු ආදායමක් ලබන අයයි. මොවුන්ගේ ජීවන තත්ත්වය අනුව බලන විට කැමරාකරුට දක්නට ලැබුණු අනාථ අයගේ තත්ත්වය කොපමණ ඉහළ ද? ලංකාවෙහි දුප්පතුන්ගේ තත්ත්වය හොඳින් දන්නා කෙනෙකුට මේ අනාථ පිරිස පින්තූර ගැනීම සඳහා පිළියෙළ කැර ගන්නා ලද පිරිසක් යයි සිතා ගැනීම අපහසු නො වේ.

සිංහල රටෙහි සිංහලයන් අනාථ කඳවුරුවල සිටිනවා යැයි ඇසීම පවා පුදුමයක් නො වේ ද? මෙකල අනාථ කඳවුරුවල සිටින්නන්ගෙන් හරි අඩක් සිංහලයෝ ය. මේ කැමරාකරුට එයින් එකක් වත් නොපෙනුණේ කවර බලපෑමක් උඩ ද? මෙයින් පෙන්වන්නේ මේ කැමරාකරු යම්කිසි පිරිසකගේ අතකොලුවක් ව සිටි බව නො වේ ද?

ශ්‍රී ලංකාවෙහි පළාත් නවයක් ඇත. එයින් මේ සියලු කලබල තිබෙන්නේ දම්ළයන් වැඩියෙන් සිටින උතුර හා නැගෙනහිර පළාත් දෙකේ ය. ශ්‍රී ලංකාවෙහි සිංහල දෙමළ යුද්ධ රාශියක් තිබුණා. එයින් සිංහලයන් ආරම්භ කළ එක යුද්ධයක් වත් නැත. හැම වරක් ම දමිළයන් සටන් ආරම්භ කළ බව ඉතිහාසය කියයි. හැම වර ම සිංහලයන් සටන් වැදුණේ අයිතිවාසිකම් රැක ගැනීමට ය. 1977 අගෝස්තු 13 වැනිදා සටන් ආරම්භ කළෝ දමිළයෝ ම ය. සිංහලයන් ද එයට ප්‍රතිප්‍රහාරයක් දි නිහඬ වුණා. එහෙත් දමිළයන් දිගට ම සටන ගෙන ගියා.

දෙමළ ජනගහනයෙන් බාගයක් පමණ වාසය කළේ යාපනෙන් පිට ය. එයින් 1,65,000 ක් පමණ වාසය කළේ කොළඹ දිසාවෙහි ය. සිංහලයන්ගෙන් 23,000 ක් පමණ වාසය කළේ යාපනේ ය. කලබල කාලේ යාපනේ සිටි සිංහලයන් සියලු දෙනා ම එළවා ගත්තා. යාපනේ විශ්ව විද්‍යාලයේ සිංහල ශිෂ්‍යයන් 400 ක් පමණ සිටියා. ඔවුන්ට ද ආපසු යන්නට සිදු වුණා. සිංහලයන් බෞද්ධකම නිසා මේ සියල්ල ම ඉවස ඉවසා සිටියා. 1983 ජූලි 23 වැනිදා සිංහල සෙබළුන් දහතුන් දෙනෙකු එකවර මැරීම නිසා සිංහලයන්ගේ ඉවසීම බිඳ වැටී මහා විනාශයක් කළා. කවුරුන් කළත් අප එය අනුමත කරන්නේ නැත. එහෙත් ඔවුන් ඉවසූ ප්‍රමාණයේ හැටියට එයට දොස් කියන්නත් බැහැ. එය කෙසේ වෙතත් එසේ කිරීම බෞද්ධකමට නුසුදුසු යැයි සිතූ සිංහලයන් ඊට පසු අද වන තුරුත් ඉවසා සිටිනවා. 1985.6.14 වැනිදා අනුරාධපුර ජයශ්‍රීමහා බෝධීන් වහන්සේ වන්දනා කෙරෙමින් සිටි ගිහිපැවිදි පිරිසක් ඇතුළු අහිංසකයන් එක්සිය හතළිස් ගණනක් මරා දැමූ අවස්ථාවෙහි දීත් සිංහලයන් බෞද්ධකම නිසා ඉවසා සිටියා.

රූපවාහිනී දර්ශනයෙහි දී ඔවුන් ඉල්ලන්නේ ඔවුන්ගේ පාරම්පරික මාතෘභූමිය ඔවුනට දෙන ලෙස යයි කීවා. ඔවුන්ගේ මාතෘභූමි යැයි කියන්නට දමිළයනට ලිඛිත ඉතිහාසයක් තිබෙනවා දැයි අසනු කැමැත්තෙමි. ඔවුන් කියන අයිතිවාසිකම් ඔප්පු කරන්නට ලිඛිත ඉතිහාසයක් නැත. ඔවුන්ගේ යාල්පාන වෛපමමාලෙයි” යන කුඩා ඉතිහාස ග්‍රන්ථය ලියවුණේ 1736 දී ය. එකලැ යාපනේ පාලනය කළ ඕලන්ද ජාතික ජාන් මක්කර මහතා මයිලවාහන පුලවර් මහතා කැඳවා දමිළයනට ඉතිහාසයක් නැත. එහෙයින් දැනට තිබෙන කරුණු එකතු කොට පොතක් ලියන්නැයි කීවා. මේ පළමු ඉතිහාස ග්‍රන්ථය ලියවූ හැටි ය. එහි ද හෙළ අටුවාවල තුබුණු කරුණු වරද්දා දමාගෙන ඇත.

සර් පොන්නම්බලම් අරුණාචලම් මහතා 1906 ජනවාරි 30 වැනිදා සර් හෙන්රි බ්ලේක් ආණ්ඩුකාරතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමක දී ලංකා ඉතිහාසය ගැන කළ කථාව පොතක් හැටියට මුද්‍රණය කොට ඇත. එහි මාතෘභූමි කථාවක් නැත. 1918 දී කේ. වේලුපිල්ලේ මහතා තවත් උගතුන් තිදෙනකුගේ සහාය ඇති ව යාල්පාන වෛපමකෙ‍ෟමුදී නැමැති ඉතිහාස ග්‍රන්ථය ලියා ඇත. එහි ද මාතෘභූමි කතාව නැත. ඒ පොතෙහි පිටු 168 කි. එයින් පිටු 123 ක් වෙන් කැර ඇත්තේ යාපනේ පුරාණ සිංහල ගම් නම් දෙමළ කළ හැටි පෙන්නීමට ය.

13 වැනි ශත වර්ෂයෙහි දකුණු ඉන්දියාවෙන් පැමිණි ආර්යචක්‍රවර්ති යාපනේ සුළු කාලයක් පාලන කළත් උතුරේ දෙමළ රාජ්‍යයක් නොතිබුණු බව ආචාර්ය පොල් ඊ. පීරිස්, මහාචාර්ය සෙනරත් පරණවිතාන, ආචාර්ය චාල්ස් ගොඩකුඹුර, මහාචාර්ය සිරිමල් රණවැල්ල, පුරාවිද්‍යා නියෝජ්‍ය කොමසාරිස් එම්. එච්. සිරිසෝම ආදී ඉතිහාස විශාරදයන් පැහැදිලි ව ම කියා ඇත.

රූපවාහිනී දර්ශනයෙහි දී කෙනෙකු ප්‍රකාශ කළා, ත්‍රිකුණාමලයේ පොලිසියේ පොලිස් අධිකාරිතුමාගේ පටන් සියලු දෙනා ම සිංහලයෝ, එහෙයින් ඔවුනට දෙමළ බසින් පැමිණිල්ලක් වත් කැරගත නොහැකි බව. ජනරජ පනත අනුව උතුර හා නැගෙනහිර දෙමළ බසින් කටයුතු කළ බැවින් ඒ දෙපළාතට ම සියයට හැත්තෑවක් පමණ යොදා සිටියේ දමිළ ජනයා ය. සමහර දෙමළ පොලිස් නිලධාරීන් හා ත්‍රස්තවාදීන් අතර සම්බන්ධකම් තුබුණෙන් පාලනය දුර්වල වුණා, අලාභහානී රාශියක් සිදුවුණා. එහෙයින් ත්‍රිකුණාමලයේ දෙමළ පොලිස් නිලධාරීන් අඩු වුවත් දෙමළ ජනතාවට පාඩුවක් නැත. භාෂා ප්‍රතිපත්තිය අනුව උතුරේත් නැගෙනහිරත් සියලු අපහසුකම් තිබෙන්නේ සිංහලයනට ය.

රූපවාහිනී දර්ශනයට වතු ඉන්දියානු දමිළයන් සම්බන්ධ කිරීම කවර ආකාරයෙකින් හෝ යුතු නො වේ. වතු කම්කරුවෝ ත්‍රස්තවාදීහු නො වෙති. දුප්පත්තු ද නො වෙති. අළුත් පොහොසත්තු ය. දැනට ද වතුවල සිටින වයොවෘද්ධයන් තරුණ කම්කරුවන් හැටියට ඉංග්‍රීසි කොම්පැනි කාලේ රැකියා කරද්දී ලැබුණේ දවසකට ශත 25 කි. දැන් කෙනෙකුට රුපියල් 25 ක් පමණ ලැබේ. හොඳ වතුවල දලු වැඩි ය. නියමිත ගණනට වඩා දලු ප්‍රමාණය වැඩි වුවොත් අතිරේක ව මුදල් ලැබෙනවා. වතු කම්කරු නීතිය අනුව අවුරුදු 14 ඉක්මවා ගිය ළමයිනට රැකියා දිය යුතු ය.

ඉදින් උඩරට හොඳ තේ වත්තක අම්මයි තාත්තයි දරුවන් තුන් දෙනෙකුත් වැඩ කරනවා නම් ඒ පවුලට මසකට රුපියල් 6000 ක් පමණ ලැබෙනවා. ඔවුනට ගේ නිකම්, වතුර නිකම්, දර එළවළු වවාගන්නට ඉඩම් නිකම්, අධ්‍යාපනය නිකම්, සෞඛ්‍යය නිකම්. මෙබඳු පහසුකම් ලංකාවේ කිසි ම ජන කොටසකට නැත. දැන් නුවරඑළිය දිසාවෙහි හැම වතු කම්කරු පවුලකට ම කිරිදෙනක ලබාගැනීමේ පහසුකම් ද සලසා ඇත. වතු සමාගම් කාලයෙහි ඔවුනට වාසය කරන්නට තුබුණේ පහසුකම් අඩු ලයින් නිවාස ය. දැන් අංග සම්පූර්ණ කුඩා ජෝඩු නිවාස හදාගෙන යයි. ලංකාවේ දිසාපතිතුමකුට වත් මසකට රුපියල් 6000 ක වේතනයක් ලැබෙන්නේ නැත.

ලංකාවේ ත්‍රස්තවාදී ක්‍රියා ගැන රූපවාහිනී දර්ශනයක් දෙනවා නම් ඔවුන් විසින් කරන ලද අපරාධ, සාහසික ක්‍රියා, මිනීමැරුම්, කොල්ලකෑම්, කාල බෝම්බ, බිම් බෝම්බ, විස බෝම්බ පිපිරවීම් ආදී දරුණු ක්‍රියා පෙන්විය යුතු ය. මේ සියල්ල ම 1977 සිට අද වන තුරු දමිළයන් නෙ‍ා කඩවා කැරගෙන එනවා. මේ කාලය ඇතුළත 1977 දීත් 1983 දීත් සිංහලයන් විසින් ද සාහසික ක්‍රියා සිදුකැර ඇත. ඒ අවස්ථා දෙකෙහිදී ම මරණ ද සිදුවුණා. මේ කාලය තුළ දමිළයන් විසින් කරන ලද මිනීමැරුම් සංඛ්‍යාව හා සසඳා බලන විට සිංහලයන් විසින් මරණ ලද සංඛ්‍යාව ඉතා සුළු ය. දමිළයන් විසින් මරණ ලද සංඛ්‍යාව අතිවිශාල ය. සිංහලයන් සාහසික ක්‍රියා ආරම්භ කළ අවස්ථා දෙකෙහි දීම සාහසික ක්‍රියා සති දෙකකින් පමණ අවසන් වුණා. දමිළයන් ආරම්භ කළ සාහසික ක්‍රියා අවුරුදු අටක් ගතවීත් තව ම අවසන් නැත. දිනෙන් දින ම වැඩිවෙමින් පවතී.

සිංහල බෙ‍ෟද්ධ අප අසිංහලයන් අබෞද්ධයන් සමඟ සුහඳ වැ සමගියෙන් වාසය කරන්නට ඉතා කැමති ය. විජය රජතුමාගෙන් පසුව මේ රට දකුණු ඉන්දියානුවන් පළමුවරට ආක්‍රමණය කෙළේ මීට අවුරුදු දෙදහස් තුන්සීයකට පමණ පෙර ය. ඊට පසු ව ද දකුණු ඉන්දියානුවන් බොහෝ වාරයක් ශ්‍රී ලංකාව ආක්‍රමණය කළා. ඒ සටන් කාලවල හැර හැම විට ම අප දෙපක්ෂය සුහඳ වැ වාසය කළා. දැන් දමිළයන් කියන අසාධාරණකම් සිදුවී නැත. විදේශීය පාලන යුගයන්හි දී අවුරුදු පන්සියයක් පමණ කල් සියලු අසාධාරණකම් සිදු වූයේ සිංහල බෞද්ධයනටයි. දැනුත් එය එසේ ම ය. එහෙත් ඒ සියල්ල අමතක කොට සුහඳ වැ සමගියෙන් ඉන්නට කැමති බව නැවතත් සඳහන් කෙරෙමි.

එසේ කිරීමට නම් සමගියට බාධක කරුණු ඉවත් කළ යුතු ය. හැමට ප්‍රථම ත්‍රස්ථවාදී ක්‍රියා නතර කළයුතු ය. 1985.12.5 වැනිදා රූපවාහිනියෙන් පෙන්වූ දර්ශන වැනි සිංහලයනට බෞද්ධයනට විරුද්ධ වැ කරන බෙ‍ාරු ප්‍රචාර නතර කළ යුතු ය. බොරු ප්‍රචාරයන් පතුරුවන සංචාරකයන් තදින් පාලනය කළ යුතු ය. මේ බොරු ප්‍රචාරයෙන් ජනතාව නොමග යැවූ කැමරාකරු වැනි අයට තවත් කවරදාක වත් කවර කරුණකට වත් නැවැත ලංකාවට යන්නට අවසර පත්‍ර නො දිය යුතු ය. ලංකාවේ දී මෙබඳු බොරු ප්‍රචාරකයන් අසු වුවහොත් ඔහු අයත් දේ රාජසන්තක කොට හිරේ යවන්නට නීති සම්පාදනය කළයුතු වේ.

 

1985.12.7 වැනිදා ලන්ඩන් නුවර හීත්ෆීල්ඩ් උද්‍යානයේ බෞද්ධ විහාරයේ දී ලියන ලද්දකි.

ප්‍රඥාප්‍රභා 6

යතුරුලිවීම: චමිත ලක්මාල් මහතා

error: Content is protected by www.ifbcnet.org.