සර්වඥ ධාතු බෙදීම

බුදුහිමියන් කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ උපවර්තන නම් සල් උයනේදී පිරිනිවන් පෑ බව අපි දනිමු. මගධාධිපති අජාසත්ත මහ රජු “භාග්‍යවතුන් වහන්සේ කුසිනාරානුවරදී පිරිනිවන් පෑ සේකැ”යි අසා වචනයෙන් කිව නොහැකි තරම් වු දුකට පත් ව කිහිප විටක් ම සිහියනැති ව ඇද වැටී අවසානයේ නැගී සිට “භාග්‍යවතුන් වහන්සේ ක්ෂත්‍රීය වු සේක. මම ත් ක්ෂත්‍රියයෙක් වෙමි. මම ත් භාග්‍යවතුන් වහන්සේ ගේ ශාරීරික ධාතුන් ගෙන් කොටසක් ලැබීමට සුදුසු වෙමි. මම ත් ධාතු නිදන් කර සෑයක් තනා පුද සත්කාර කරන්නෙමි” යි කියා කුසිනාරා නුවර මල්ල රජ දරුවන් වෙත දූතයෙකු යැවීය.

දූතයෙකු යවා “ධාතු නොලැබුණ හොත් බලයෙන් හෝ ධාතු ගෙන එන්නෙමි” යි සිතා මර සෙනඟක් සේ සිවුරඟ සේනාව පිරිවරා ගෙන කුසිනාරා නුවරට ගොස් එහි කඳවුරු බැඳගෙන සිටියේය.

මෙසේ විශාලා මහනුවර ලිච්ඡවී රජ දරුවෝ ද කිඹුල්වත් පුරයෙහි ශාක්‍යයෝ ද අල්ලකප්පරට බූලයෝ ද රාම ග්‍රාමයේ කෝලියයෝ ද වේඨදීප නගරාධිපති බ්‍රාහ්මණයා ද පාවා නුවරවැසි මල්ල රජ දරුවෝ ද ධාතු ලැබීමට තම තමන් ගේ සුදුසුකම් කියා කුසිනාරා නුවර මල්ල රජ දරුවන් වෙත දූතයින් යැවූහ. දූතයින් යවා පසුව ධාතු නොලැබේ යයි සැකයෙන් අජාසත්ත රජු මෙන් මහා සේනාව පිරිවරා ගෙන කුසිනාරා නුවරට ගොස් එහි කඳවුරු බැඳගෙන සිටියහ.
මෙසේ කිසිවෙකුට ත් පිටතට යෑමට නොහැකි වන සේ කුසිනාරා නුවර වට කර ගෙන එහි කඳවුරු බැඳගෙන සිටි රටවල් සතේ රජ දරුවෝ “අපට ධාතු දිය යුතු ය. එසේ නැති නම් අප හා යුද කළ යුතු ය” කියා කුසිනාරා නුවර මල්ල රජ දරුවන්ට දැනුම් දුන්හ.

එකල්හි කුසිනාරා නුවර මල්ල රජ දරුවෝ” අපි අපේ නුවර දී පිරිනිවන් පානු මැනවැ”යි කියා බුදුරදුන්ට ඇරයුම් කළේ නැත. බුදුරදුන් තමන් වහන්සේ ගේ ම කැමැත්තෙන් අපේ නුවරට වැඩම කර පිරිනිවන් පෑ සේක. තොපි තොපේ නුවරවල්වල උපන් රත්රන් අපට දෙනවා ද? දෙව් මිනිසුන් සහිත ලෝකයාට බුද්ධ රත්නය හා සමාන වු වෙනත් රත්නයක් නැත. එසේ වූ උතුම් බුදුරුවන අපි නුඹලාට නොදෙන්නෙමු.

මව් කිරි බී හැදී වැඩුණේ තොපි පමණක් ද? අපි ත් මව් කිරි බී හැදී වැඩුණෙමු. පිරිමි තොපි පමණක් ද? අපි ත් පිරිමි වෙමු. අවි ආයුධ ඇත්තේ තොපිට පමණක්ද? අපට ත් අවි ආයුධ ඇත. තොපේ කඩු පමණක් නොව අපේ කඩු ත් හොඳින් මුවහත් ය. යනාදී වශයෙන් මෙසේ අහංකාර වු මාන සහගත වූ කෝපය වඩන සුලු වු කථා කියන්නට පටන් ගත්හ.

මේ බස් ඇසූ අන්‍ය රජ දරුවෝ “වැඩි කථා අවශ්‍ය නැත. ධාතු නොදෙන්නේ නම් යුද්ධ කර හෝ ධාතු ලබා ගන්නෙමු” යි කියා යුද වැදීමට සුදානම් වුහ.

ඉදින් මෙදින රජ දරුවන් අතර යුද්ධයක් වූවා නම් කුසිනාරා නුවර මල්ල රජ දරුවන්ට ම ජය ලැබෙයි. ඒ කුමක් නිසා ද? ධාතු වන්දනා කිරීමට පැමිණි අප්‍රමාණ දේවතාවන් ඔවුන් ගේ පැත්තේ සිටි බැවිනි.

ඒ සමයෙහි මේ සැම දෙනා ගේ ම ආචාර්යවරයා වූ ද්‍රෝණ නමැති පණ්ඩිත බමුණා “මේ රජ දරුවෝ සියලු දෙනා ම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ තැන විවාද කර ගනිති. සියලු සතුන් කෙරෙහි මහා කරුණාව දැක් වු සියලු සතුන්ට පිහිට වූ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ තැන මෙසේ විවාද කර ගැනීම කිසිලෙසකින් වත් සුදුසු නැත. තව පමා වුව හොත් සිදු වන්නේ මහ විනාශයකි. එබැවින් වහා ම මෙය සංසිඳුවිය යුතු ය” යි සිතා උස් ස්ථානයකට ගොස් බණවර දෙකක් තරම් දිගු “ද්‍රෝණ ගර්ජනා “ නම් වු දේශනාවක් කළේය.

එහි පළමු බණවරේ එක පදයක් වත් කිසිවෙකුට නොඇසුණි. දෙවැනි බණවර අවසානයේ දී සියල්ලෝ ම “පින්වත්නි, අර අපේ ආචාර්යයන් වහන්සේ ගේ කටහඬ ය”යි කියා නිහඬ වුහ.

එකල්හි ද්‍රෝණ බමුණා ඉදිරියට පැමිණ “පින්වත්නි, අප බුදුන් ක්ෂාන්තිවාදී ය. ක්ෂාන්තියෙහි අනුසස් ම ලොවට දේශනා කළ සේක. එබඳු උතුමන් වහන්සේ නමක ගේ ශාරීරික ධාතු උදෙසා මෙසේ අවි ආයුධ ගෙන යුද වැදීමක් වන්නේ නම් එය හොඳ නැත. පින්වත්නි, එබැවින් අපි එකමුතු වී සතුටු වූ සිතින් යුතු ව සර්වඥයන් වහන්සේ ගේ ශාරීරික ධාතු සම සේ කොටස් අටකට බෙදමු” යි කීය. “බමුණුතුමනි, එසේ නම් ඔබ ම ධාතු සම සේ කොටස් අටකට බෙදන්නැ”යි රජ දරුවෝ කීහ.

එකල්හි ද්‍රෝණ බමුණා රන්දෙණ අසලට ගොස් දෙණ විවෘත කළේය. රජ දරුවෝ දෙණ අසලට පැමිණ එබී බලා ඒ තුළ ශේෂ වී තිබූ අස්ථි ධාතු දැක මහත් වූ දුකට පැමිණ “ස්වාමීනි භාග්‍යවත් බුදුරජාණන් වහන්ස, පෙර අපි දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන් ගෙන් බබළන රන් කඳක් වැනි ඔබ වහන්සේ ගේ ශ්‍රී ශරීරය දුටුවෙමු. එහෙත් දැන් රන්වන් වූ ධාතුන් පමණක් ම ඉතිරිවිය. ස්වාමීනි, මෙය ඔබ වහන්සේට තරම් නොවේය “යි කියා බැගෑපත් ලෙසින් හඬා වැලපෙන්නට පටන් ගත්හ.

රජ දරුවන්ගේ මේ ප්‍රමාදය දුටු ද්‍රෝණ බමුණා සර්වඥ දකුණු දළදා දෙනම ගෙන් එක් දළදාවක් ගෙන තම ජටාව තුළ සඟවා ගත්තේය. අනෙක් දකුණු දළදාව බිම දමා පයින් වසා ගත්තේය. වම් උඩු දළදාව ගෙන වස්ත්‍ර අතරේ සඟවා ගත්තේය.

පසුව ඔහු රන් නැළියක් ගෙන ධාතු සම සේ කොටස් අටකට බෙදුවේය. බෙදා ඉන් එක් කොටසක් මගධාධිපති අජාසත්ත මහ රජුට ත් එක් කොටසක් විශාලා මහනුවර ලිච්ඡවී රජ දරුවන්ට ත් එක් කොටසක් කිඹුල්වත් නුවර ශාක්‍යයින්ටත් එක් කොටසක් අල්ලකප්ප රට බුලි රජුන්ට ත් එක් කොටසක් රාම ග්‍රාමයේ කෝලිය රජ දරුවන්ට ත් එක් කොටසක් වේඨදීප නගරාධිපති බ්‍රාහ්මණයාට ත් එක් කොටසක් පාවා නුවරවැසි මල්ල රජ දරුවන්ට ත් අනෙක් ධාතු කොටස කුසිනාරා නුවර මල්ල රජ දරුවන්ට ත් ලබා දුන්නේ ය. පසුව ඒ රජවරු ධාතු ගෙන තම තමන් ගේ නුවරවල්වලට ගොස් ධාතු නිදන් කර මහා ස්තූප අටක් තනා ධාතු වන්දනා කළහ.

ද්‍රෝණ බමුණා දකුණු දළදාව ගෙණ ජටාව තුළ සඟවා ගෙන සිටින අයුරු සක්දෙව් රජු දුටුවේ ය. දැක ඔහුට නොදැනෙන සේ දකුණු දළදාව ගත්තේය. පයින් වසාගෙන සිටි අනෙක් දකුණු දළදාව ජයසේන නාරජු ගත්තේය. වස්ත්‍ර අතරේ සඟවා ගෙන සිටි වම් උඩු දළදාව ගන්ධාර දේශයෙන් පැමිණි පින් ඇති මනුෂ්‍යයෙක් ගත්තේය.

ද්‍රෝණ බමුණා ධාතු බෙදා අවසානයේ තමා සඟවා ගත් දළදා තුන් නම ම නැති වී ඇති බව දැක මහත් වූ දුකට පත් ව කිසිවක් කර කියා ගැනීමට නොහැකිව අවසානයේ රජ දරුවන් ගේ අවසරය ඇති ව ධාතු බෙදු රන් නැළිය ගෙන එය නිදන් කර ස්තූපයක් තැනුවේය. එය “තුම්බ ස්තූපය” නම් විය. ධාතු බෙදා අවසන් වු පසුව පැමිණි පිප්ඵලී නුවරවැසි මෞර්ය රජ දරුවෝ ධාතු කිසිවක් නොලැබ බුදුසිරුර දැවූ තැනින් අඟුරු කොටසක් ගෙන තම නුවරට ගොස් එය නිදන් කර ස්තූපයක් කළහ. එය “අංගාර ස්තූපය” නම් විය. මෙසේ ලොව මුල්වරට බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මහා ස්තූප දහයක් දඹදිව තුළ ඉඳිවිය.

ලලාට ධාතුව ය, අකු ධාතු දෙනම ය, සතර දළදාවන් ය යන මේ ධාතු සත නොවිසිරී එලෙසින් ම ඉතිරි වු බව මහා පරිනිර්වාණ සූත්‍ර අටුවාවේ මෙන් ම බුද්ධවංස පාළියේ ධාතු භාජනීය කථාවේ ද දැක්වේ.

නොවිසිරී ශේෂ වු සප්ත මහා ධාතූන්ගෙන් ලලාට ධාතුව පසු කලෙක ලක්දිවට ලැබී මේ වනවිට සේරුවිල මංගල මහා සෑය තුළ වැඩ සිටිති. වම් අකුª ධාතුව බ්‍රහ්ම ලෝකයේ ද දකුණු අකු ධාතුව ථූපාරාම මහා සෑයේ ද වැඩ සිටිති. සතර දළදාවන් ගෙන් එක් දකුණු දළදාවක් තව්තිසා දෙව්ලොව සිළුමිණි මහාසෑයේ ද අනෙක් දකුණු දළදාව සෝමාවතී මහා සෑයේ ද යටි වම් දළදාව මහනුවර ශ්‍රී දළදා මැදුරේ ද උඩු වම් දළදාව ගන්ධාර දේශයේ ද වැඩ සිටිති. විශ්වාස කරන ආකාරයට ගන්ධාර දේශයේ වැඩ සිටි වම් දළදා වහන්සේ මේ වනවිට තිස්සමහාරාම මහා සෑය තුළ වැඩ සිටිති. ඒ බව සෙල් ලිපියකින්ද තහවුරු වේ.

ග්‍රීවාස්ථි ධාතුව මහියංගන මහා සෑය තුළ වැඩ සිටිති. කේශ ධාතු ලක්දිව තිරියායේ ගිරිහඬු සෑය, සේරුවිල මහා සෑය, මහියංගන මහා සෑය, මුතියංගන මහා සෑය, කතරගම කිරිවෙහෙර, අම්බලන්තොට ගිරිහඬු සෑය, මාවතගම අරම්පොළ මකුළාන සෑය, කලමැටියේ විහාරභවය, ගොඩවාය ගෝඨපබ්බත විහාරය, මහනුවර ඓතිහාසික යටිහෙලගල රාජමහා විහාරය, කොළඹ හුණුපිටිය ගංගාරාමය, මාදම්පේ සේනානායකාරාමය යනාදී සිද්ධස්ථාන තුළ වැඩ සිටිති. ඌර්ණරෝම ධාතුව මිහින්තලා මහා සෑයේ ද සර්වඥ නඛ ධාතු දීඝවාපී මහා සෑයේ ද අනුරාධපුර නඛා වෙහෙරේ ද වැඩ සිටිති. මේ ධාතූන් වහන්සේලා ගැන වැඩිදුර කරුණු ධාතු විස්තරයෙන් දැන ගත හැක.

දිනමිණ පුවත්පතෙහි පලවූ ලිපියක් අසුරිනි.

ඒඩිස් පාලනයට හොදම මග බුදුදහමයි.
බෝසත් ගුණැති පනාමුරේ ඇත්රාජා ...

Leave a Reply

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.