වසර 2000කට වඩා ඉපැරණි “හරබර” වැව …

ලංකා ඉතිහාසයෙහි මහත් කාය ශක්තියෙන් යුත් යෝධ පුරුෂයින් ගැන සදහන්ව ඇත්තේය.  දුටු ගැමුණු රජුගේ නන්දිමිත්‍ර‍ ආදී දස මහා යෝධයින් ගැනද, එළාර රජුගේ දීඝජන්තු ආදී මහා යෝධයින් ගැනද, ගජබාහු රජුගේ නීල මහා යෝධයා ගැනද විශ්මයජනක කරුණු ඉතිහාස පොත්වල දක්නට ලැබේ. දුටු ගැමුණු රජතුමාගේ දස මහා යෝධයන්ට අමතරව යුද්ධ හමුදාවට එක් වූ යෝධයකු  පිළිබද ජන කථාවක් පහත දැක්වෙයි.

දුටුගැමුණු රජතුමා මහියංගන ප්‍රදේශය අත්පත් කර ගැනීමෙන් පසුව මහියංගන චෛත්‍ය ප්‍ර‍තිසංස්කරණය කිරීමට පටන් ගත්තේය. දාගැබ බදවමින් සිටිය දී රජතුමාට බුලත් මෙහෙ වැඩීමට උඩුදුම්බර ප්‍රදේශයේ  කිරි පට්ටිය නම් ගමෙහි උපන් ශක්ති සම්පන්න පුරුෂයකු පත් කර ගන්නා ලදී. රජවාසල හැමෝම ඔහුට බුලතා යි කීහ. ඔහුගේ රාජකාරිය වූයේ දවසකට හත් වරක් බුලත්විට සාදා රජතුමාට පිළිගැන්වීමයි.

උදේ හීල වැළදීමෙන් පසු ද, දහවල් දස පැයට අතුරුපසෙන් පසුද, දහවල් භෝජනයෙන් පසුද, සවස් වරුවේ අතුරු පසෙන් පසුද, තිස් පැය වේලාවට සවස තේ පානයෙන් පසුද, රාත්‍රී භෝජනයෙන් පසුද, රාත්‍රී නිදා ගැනීමට පෙරද බුලත්විට සාදා පිළිගැන්විය යුතු විය. එක් වරක් බුලත් මෙහෙ කිරීමෙන් පසු ඊළග වාරය පැමිණෙන තුරු අවට සංචාරය කිරීමට බුලතා පුරුදු වී සිටියේය.

දිනක් මහියංගනයෙන් උතුරු පෙදෙසෙහි සංචාරයෙහි යෙදුනු බුලතාට ගල් කදු දෙකක් අතරෙහි පිහිටි පහත් බිමක් දකින්නට ලැබුණේය. ඒ අතරින් විශාල දොළ පාරක් ගලා බසිමින් තිබිණි. දොළ පාර අහුරා ගල් කදු දෙක අතර බැම්මක් බැන්ද හොත් අලංකාර වැවක් සාදා ගත හැකි බව ඔහුට පෙනුණේය. වැව බැන්දහොත් වැවටත් ගගටත් අතරේ පිහිටි ගව් ගණනක් විශාල භූමිය කුඹුරු කල හැකි වේවි යැයි බුලතා සිතුවේය. රජුට බුලත් පිළිගැන්වීම් අතරතුර ඉතුරු වන සුලු කාලයෙහි වරින්වර වැඩෙහි යෙදීමට මොහු කල්පනා කළේය.

බුලතා ගේ උදැල්ල සාමාන්‍ය මිනිසෙකුට එසවීමටවත් නොහැකි තරම් විශාල එකක් විය. සාමාන්‍ය මිනිසුන් විස්සකටවත් එසවිය නොහැකි තරම් පස් ප්‍ර‍මාණයක් ඔහු එක් වරකට කූඩයෙන් ගෙනෙන්නේය.

මෙසේ ගෙනෙන, ගෙනෙන පස්, ගල් කදු දෙක අතරේ  දමමින් පාග පාගා වැව් කන්ද ගොඩනැගුවේය. ස්වල්ප කාලයකින් වැව් වේල්ල බැදීම අවසන් කල බුලතා එහි ජලය බැහැර කරන සොරොව්ව සෑදීමට අදහස් කළේය. වැව් කන්දේ දෙකෙළවරෙහි ම පිහිටියේ ගල් පර්වතය. ඔහු මෑත කෙළවරේ ගල කපා විශ්මයාකාර ගල් සොරොව්වක්ද, ඈත කෙළවරේ ගලෙහි වැඩි ජලය බැස යාම සදහා ජල පැන්නුමක්ද සෑදීය. මේ ආශ්චර්යවත් ගල් සොරොව්ව ඉදිකිරීමට බුලතා ගේ කටුවට හා මිටියට වැඩි කලක් ගත නොවීය.

4

බුලතා ගේ භාර්යාවද ඔහුටම සරිලන යෝධ කාන්තාවක් වූවාය. සාමාන්‍ය ස්ත්‍රීන් විස්සකගේ පමණ ශරීර ශක්තියක් ඇයට තිබුණේය. ඈ දිනපතාම කිරිපට්ටිය ගමේ සිට තම ස්වාමි පුරුෂයාට දවල් ආහාර ගෙන ගියාය. ගමන් පහසුව සදහා ගල් පඩි පෙළක් සෑදීමට ඇයට සිත් විය. ඈ යන විට ගල් කීපයක් ද, එන විට ගල් කීපයක් ද ගෙනැවිත් පඩි පෙළක් බැන්දාය. එහි අගය වැටහුණු බුලතා ද කදු මුදුනට විශාල ගල් ගෙනැවිත් දමා ඒවා බැදීම භාර්යාවට පැවරුවේය.

අඹුසැමි දෙදෙනාගේ මේ වැඩ දෙකද, දුටුගැමුණු රජතුමාගේ දාගැබ අලුත්වැඩියා කිරීමේ කටයුතුද එකවර නිම විය. මහියංගන චෛත්‍යයෙහි කොත පැළදවීමේ උත්සවයට මාගම්පුර, සිතුල්පව්ව ආදී ස්ථානවල වැඩ විසූ දහස් ගණන් භික්ෂූන් වහන්සේලා වැඩම කළහ. එමෙන්ම රුහුණු රටෙන් විශාල ජන සංඛ්‍යාවක් ද සහභාගි වූහ. මෙම උත්සවය අවසාන වූ දිනයෙහි බුලතා රජතුමා ඉදිරියට පැමිණ,

දේවයන් වහන්ස, මම තනිවම වැව් පොඩ්ඩක් බැන්දෙමි.  එය බලනු පිණිස වඩින මෙන් මම ආරාධනා කරමි.
යැයි සැළ කළේය. බුලතා ගේ ඉල්ලීම පිළිගත් රජතුමා සිවුරග සෙනග පිරිවරා වැව බලන්නට ගියේය.

පෙනෙන තෙක් මානයේ වතුර පිරී රැලි ගසමින් තිබෙන වැව දුටු රජතුමාගේ ප්‍රීතිය නිම්හිම් නැතිවිය. රජු සමග පැමිණ සිටි මැති ඇමති සෙන්පති ආදී පිරිසද, මහජනයාද, තනි මිනිසකුගේ වැඩක් වූ මේ මහා වැව දැක පුදුමයට පත් වූහ.

දරුව තෝ මේ වැඩය සදහා තව කොපමණ දෙනකුගේ සහාය ලබාගත්තෙහිද ? යි රජතුමා ප්‍ර‍ශ්න කළේය.

දේවහන් වහන්ස, මට සප්‍රාණික කිසිවකුගේ සහාය නොලැබුණේය. මට සහාය ලැබුණේ අප්‍රාණික මේ වස්තූන්ගෙන්
යැයි පසෙක සගවා තිබූ උදැල්ලත්, කූඩයත්, කටුව සහ මිටියත් රජතුමාට පෙන්වූයේය.

එම ද්‍ර‍ව්‍ය දුටු රජතුමා ඔහුගේ ශරීර ශක්තිය තේරුම් ගෙන ප්‍රීතියට පත්වී
දරැව! තොපගේ ඉතා හරබර වාරි කර්මාන්තය ගැන මම ඉමහත් සතුටට පත්වීමි.               රට ජාතිය දියුණුවට හා මතු පරම්පරාවට තොපගේ වැව් කර්මාන්තය පිහිට වන්නේයැ  යි  කියා ප්‍ර‍ශංසා කළේය.

එදා පටන් එම වැව හරබර වැව නමින් ප්‍ර‍සිද්ධ විය. හර බර යන්න පසු කලක දී සරබර, සොරබර ආදී වශයෙන් උච්චාරණය වී පසුව සොරබොර යන නමට පෙරලුනේ යැයි සිතිය හැකිය.

දුටුගැමුණු රජතුමා බුලතා යෝධයාද ඔහුගේ භාර්යාවද කැදවා ගෙන එවකට මහියංගනයේ තාවකාලික මාලිගාවෙහි සිටි මවු බිසව වෙත පැමිණියේය. බුලතා විසින් කරන ලද වැව ගැනත්, භාර්යාව විසින් කරන ලද ගල් පඩි පෙළ ගැනත් ඒවායේ ප්‍රයෝජන ගැනත් රජතුමා විස්තර කළේය.

ඒ ඇසූ විහාරමහා දේවිය බලවත් ප්‍රීතියට පත්ව තමන් ගෙල පැලදි වටිනා මුතු මාලය බුලතා ගේ භාර්යාවට පලදවා උපහාර දැක්වූවාය. රජතුමාද තමන් කර පැලදි වටිනා ස්වර්ණමය උර පළදනාව ගලවා බුලතා යෝධයාගේ කර පලදවා උපහාර දැක්වූයේය. රජතුමා ඔහුට ගමක් සහ නම්බු නාමයක්ද පිරිනැමුවේය. නන්දිමිත්‍ර‍ යෝධයාගේ ඉල්ලීම අනුව බුලතා යෝධයා ද දුටුගැමුණු රජතුමාගේ යුධ හමුදාවට බදවා ගන්නා ලදී. මහියංගන ප්‍රදේශයේ ව්‍යවහාරයෙහි පවත්නා ජන කවියක් මෙසේය.

ඔන්න බලාපන් බුලතා කරපු                 බලේ
යතුරු දාපු ගල්දොර යට වතුර              හැලේ
එන යන්නෝ ඉඩ නෑරම බැලුම්             ගලේ
සොරබොර වැව නුදුටු ඇස් මොටද පින්  කළේ

පසු සටහන

ක්‍රිස්තු පූර්ව 102 දී පමණ එළාර රජ හා යුධ වැදීමට මාගම්පුර සිට රජරට දක්වා යන ගමනේ දුටු ගැමුණු රජතුමා සේනා සංවිධාන කටයුතු පිණිස කදවුරු බැදීම මහියංගණය ආශ්‍රිතව සිදු කර ඇත. මෙම කදවුරු බැද සිටි සමයේ තම සේනාව සංවිධානය කිරීම, ආහාර පාන රැස් කිරීම සිදු කල අතර ඊට අමතරව ප්‍රදේශයේ වැව් අමුණු, වෙහෙර විහාර ප්‍ර‍තිසංස්කරණයද සිදු කර ඇත.

උද්ධ චූලාභය රජු විසින් තිස් රියන් උසට කරවා තිබූ මියුගුණ සෑය ගරා වැටෙමින් තිබී ඇති අතර එය අසූ රියන් කර බදවන ලද බවට ථූපවංශය හා මහාවංශය ආදී අපේ වංශකථා වල සදහන් වේ.  මේ සෑය බදින ලද පිරිස් සදහා බත් බුලත් සපයා ඇත්තේ බුලතා නම් සෙනෙවියෙකි. රජුට සේවය පිණිස දිනපතා යන එන ගමන් මෙහි භූගෝලීය පිහිටීම දුටු බුලතා විසින් ගලින් ගල එක්තැන් කර සොරබොර වැව ඉදිකල බැව් ජනප්‍ර‍වාදයේ පවතී.

දේශීය වාරි කර්මාන්තයේ සොරබොර වැවට අද්විතීය ස්ථානයක් හිමිවන්නේ එහි ඓතිහාසික බව මෙන්ම  මෙම සොරොව්ව නිර්මාණයේදී දක්වා ඇති අති විශිෂ්ඨ වාරි ඉංජිනේරැ තාක්ෂණය නිසාවෙනි. ස්වභාවිකව පිහිටි ගල් පර්වතයක් සෙරොව්ව ඉදිකිරීමට යොදාගෙන ඇති අතර, සොරබොර වැව මේ තාක්ෂණය සහිත ලංකාවේ එකම නිර්මාණයයි.

6

ඉහත්තෑව නමින් හදුන්වන ජල පෝෂක ප්‍රදේශ මගින් පැමිණෙන ජලය කුලු වැව් නමින් හදුන්වන කුඩා වැව් 3 ක් හරහා ගමන් කරයි. පළමු වැනි වැව පිටාර යන විට දෙවැන්නටත්, දෙවැන්න පිටාර යන විට තෙවැන්නටත්, තෙවැන්න පිටාර යන විට සොරබොර වැවටත් මේ ජලය එක්වේ.  කුල්ල යනු අනවශ්‍ය දෑ බැහැර කර අවශ්‍ය දේ ලබා ගැනීමට ගේ දොර භාවිතා වන උපකරණයකි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම එම තාක්ෂණය මෙහිදීද භාවිතා වේ. කදු සේදී යාමෙන්  වැසි ජලයට එකතු වන මඩ කුලු වැව් තුන හරහා යාමේදී බොහෝ අඩුවන අතර එමගින් සොරබොර වැවට මඩ එකතු වීම අවම මට්ටමකට පත් වී ඇත.  පිටවාන, සොරොව්ව, බිසෝ කොටුව, සළපනාව, වැව් බැම්ම ආදී  වැවක පොදු ලක්ෂණ වලින් සොරබොර වැව පොහොසත් වුවද, එහි මඩ සොරොව්වක් දක්නට නැත…වැවේ එකතුවෙන මඩ, ජලය ගමන් කිරීමේදී සොරොව්වෙන් යෙදෙන අධි පීඩනය නිසා බිසෝකොටුව හරහා සොරොව්වෙන් ඉවතට ගලා යයි. මේ මඩ ඇළ මාර්ග දිගේ ගමන් කර පසුව කුඹුරැ මත තැන්පත් වීමෙන් සාරවත් අස්වැන්නක් පොහොර යෙදීමකින් තොරව  ලබා දීමට  දායක වී ඇත.

1

එදවස දුටුගැමුණු රජතුමා යුද්ධයක් අභිමුව සේනාව රැස් කරමින් සිටි නිසාම, බුලතා යෝධයා එතුමාගේ වාරිමාර්ග ඇමති ලෙස පත් කල බවක්ද අසන්නට ලැබේ. යුද්ධ කිරීමට කාය ශක්තිය වැදගත් වන අතර කාය ශක්තිය සදහා ආහාර වැදගත්වේ. ඒ අනුව වැඩි ආහාර නිෂ්පාදනයක් සදහා වැව් අමුණු වල දායකත්වය ඉතා ඉහළින් ලබා ගැනීම ඔහු එම තනතුරට පත්කිරීමෙන් අපේක්ෂා කලා විය හැක.

වාරි තාක්ෂණය එතරම් දියුණුවට පත්නොවී තිබූ අවධියක මෙතරම් පීඩනයකින් ජලය ඉවතට යන සොරොව්වක් නිර්මාණයට බුලතා සෙනෙවියා දක්වන ලද කුශලතාව පුදුම සහගතය. කලුගල් පර්වතය මැද්දෙන් මෙම කැපුම සිදු කිරීමට ශාක කීපයක් මගින් ලබා ගත් යුෂ අනුසාරයෙන් කලුගල්  උණුකල හැකි රහස් සංයෝගයක් භාවිතා කල බවක්ද ජනප්‍ර‍වාදයේ පවතී.

බිසෝ කොටුව ආසන්නයේ කලුගල් තලාව මත බොහෝ දුරට ඛාදනය වී ගිය  ශිලා ලිපියක් ඇති අතර එය පුරාවිද්‍යා මහාචාර්ය සෙනරත් පරණවිතානයන් විසින් කියවීමට ලක්කර නැති බව ගම්වාසීන් මගින් දැනගතිමි.

වැවේ තාක්ෂණික තොරතුරු
ධාරා ප්‍රදේශය  ව.සැ 16.89
උපරිම ජල ධාරිතාව අක්කර අඩි 16800
පූර්ණ සැපයුම් මට්ටමේදී ජල පැතුරුම් ප්‍රදේශය  අක්කර 1440
වැව් බැම්මේ දිග අඩි 1590
වැව් බැම්මේ පළල අඩි 20
වගා බිම් ප්‍ර‍මාණය අක්කර 3000
වම් ඉවුර ප්‍ර‍ධාන ඇලේ දිග සැ. 1 දම්වැල්  32.5
දකුණු ඉවුර ප්‍ර‍ධාන ඇලේ දිග සැ. 3 දම්වැල් 20
මෙම ලිපිය http://siragekamare.blogspot.com/ වෙබ් අඩවියෙන් උපුටා ලත්බව කරුණාවෙන් සලකන්න.

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.