රට හදන්න නම් මිනිහා හදන්න …

‘මිනිහා නො හදා රට හදන්න බැහැ’ යන බොදු පිළිවෙත වර්තමාන උගත් ලෝකය ම පිළිගන්නා තත්ත්වයට පැමිණ ඇත. පෙරදිග පඬිවරු මනුෂ්‍ය ශබ්දය විවිධාකාරයෙන් විග්‍රහ කල හ. ඒ අතර බෞද්ධ පඬිවරු “මනස්ස උස්සන්නතාය මනුස්සො – දියුණු වන මනසක් ඇත්තේ මනිසා යැ” යි විග්‍රහ කළ හ.

තිරිසනාටත් මනසක් ඇත. එහෙත් දියුණු කිරීමක් නැත. එ හෙයින් තිරිසනා උපන් දාත් තිරිසනා ම යි, මැරෙන දාත් තිරිසනා ම යි. දෙවියන්ට මිනිස් වැ සිටිය දී දියුණු කැරගත් මනසක් ඇත. දෙවියන් ඒ මනස රැකැගෙන ඉන්නවා විනා වැඩි දියුණු කිරීමක් නැත. එ හෙයින් දෙවියා උපන් දාත් දෙවියා ම යි, මැරෙන දාත් දෙවියා ම යි. සුද්ධාවාස බ්‍රහ්ම ලෝක හැර ඉතිරි බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්මයන් හට ද මිනිස් වැ සිටිය දී වැඩි දියුණු කැරගත් මනසක් ඇත. බ්‍රහ්මයන්ද ඒ මනස රැකැගෙන ඉන්නවා විනා වැඩි දියුණුවක් නැත. එ මෙයින් බ්‍රහ්මයා ද උපන් දාත් බ්‍රහ්මයා ම යි, මැරෙන දාත් බ්‍රහ්මයා ම යි.

නියම මිනිසා මොහොතක් පාසා මනස දියුණු කරයි. එ හෙයින් බොහෝ කරුණුවලින් තිරිසනකුට සමාන වැ උපන් මිනිස් මනස දියුණු කොට අතිශ්‍රෙෂ්ඨත්වයට පත් වෙයි. මනස දියුණු කොට දේවත්වයට යන්නේ ද මිනිසා ම ය. බ්‍රහ්මත්වයට යන්නේ ද මිනිසා ම ය. මනස දියුණු කිරීමෙන් දෙවියනට හා බ්‍රහ්මයනට ද නො ලැබිය හැකි බුද්ධත්වය ලබන්නේ ද මිනිසාම ය. බුද්ධත්වයලැබිය හැක්කේ මිනිසාට පමණක් ය යි දේශනා කෙළේ එ හෙයිනි.

බුද්ධ ධර්මයෙහි පින්කම් රාශියක් ගැන උගන්වා ඇත. එයින් හැමට වඩා උතුම් පින්කම කුමක් දැ යි ප්‍රශ්න කළොත් නොයෙක් දෙනා නොයෙක් පින්කම් ගැන සඳහන් කරනවා ඇත. එහෙත් නොවරදින පිළිතුර නම් මිනිසා හැදීම ය යි කිව යුතු ය. මිනිසා හැදීම නම් මනස හැදීමයි, දියුණු කිරීම යි. බුදු කෙනෙකුන් වහනසේ නමක් පහළ වන්නේ ද මිනිසා හෙවත් මනස හැදීමට ය. උන් වහන්සේ අවුරුදු 45 ක් මුළුල්ලේ කළ සේවය ද මිනිසා හෙවත් මනස හැදීම යි එයින් ගෙදරත් හැදුණා, පන්සලත් හැදුණා, ගමත් හැදුණා, රටත් හැදුණා, ලෝකයත් හැදුණා. මිනිසා හැදුණා ම රට ද ලෝකය ද හැදෙයි ‘මිනිසා නො හදා රට හදන්න බැහැ’ යන බෞද්ධ සිද්ධාන්තය ඇති වූයේ ද එ හෙයිනි.

උගත් ලෝකය පිළිගත් උදාරණයක්. ලෝක සිතියමකි, එහි අනෙක් පැත්තේ මිනිස් රූප සටහනෙකි. නුවණැති පියෙක් මේ ලෝක සිතියම කෑලිවලට කඩා වෙන් කොට අවුල් කොට ලෝකය නියම විදියට හදා දෙන්නැ යි නුවණැති පුතකුට දුන්නේ ය. නුවණැති පුතා සිතියමේ කොටස් එකතු කොට ලෝකය හදන්නට බලවත් උත්සාහයක් දැරුවේ වී නමුත් වැඩක් නො වී ය. පසු වැ අනෙක් පැත්තේ තුබුණු සටහන අනුවැ කෑලි එකතු කොට මිනිහා හදා අනෙක් පැත්ත පෙරළා බැලූ විට ඉබේ ම ලෝකයත් හැදී ඇති බව පෙනිණි. ලෝක සිතියම දුන් විට මෙය හැදුවේ කෙසේ දැ යි පියා ඇසී ය. පියාණෙනි, මා මිනිසා හැදුවා, එ විට ලෝකය ඉබේ හැදුණා ය යි නුවණැති පුතා කී ය.

මනුෂ්‍යයාට ජීවත්වීම සඳහා නැති වැ ම බැරි කරුණු සතරක් සිවුපසය නමින් බුද්ධ ධර්මය පෙන්වා දෙයි. එ නම් අඳින්නට වස්ත්‍රය, කන්නට ආහාර, ඉන්නට ගෙදර, ලෙඩට බෙහෙත යනු යි. ශ්‍රී ලංකාවට නිදහස ලැබී අවුරුදු 30 ඉක්ම ගොස් ඇත. කොළඹ ක්‍රමය, ලෝක බැංකුව ආදි විවිධ ආධාර ක්‍රම ලැබෙන්නට පටන්ගෙන අවුරුදු 25 ඉක්ම ගොස් ඇත. මේ කාලය තුළ පත් වු හැම රජයක් ම මනා සැලැසුම් හදා රට සංවර්ධනය කිරීමට උත්සාහ දරා ඇත. මේ කාලය තුළ රට සංවර්ධනය නූණා නො වේ. එහෙත් මහජනතාවට නැති ව ම බැරි සිවුපසයෙන් එක් පසයක් වත් සපුරා නැත. එය එ සේ නම් කොහි හෝ වරදක් තිබිය යුතු ය. ඒ වරද අන් කිසිවක් නො වැ සංවර්ධන සැලසුම් නිසි පරිදි ක්‍රියාත්මක කොට අපේ රට සංවර්ධනය කැරගත යුතු යන උදාර අදහස් ඇති අය අඩු වීම යි.

ඒ අඩුව පසුරාලන්න නම් මිනිහා හෙවත් මනස හැදිය යුතු වේ. බැංකොක් හි පිහිටි එක්සත් ජාතිත් ගේ ප්‍රාදේශීය මණ්ඩලය ද මේ කරුණ පිළිගෙන ඇත. මෙ තෙක් ආර්ථික සංවර්ධනයට මුල් තැන දුන් ඔවුන් මේ වර මුල් තැන දී තිබෙන්නේ මානව සවර්ධනයට යි. ශ්‍රී ලංකාවෙහි ද මේ අඩුව සපුරාලන්නට ජාති භේද හා දේශපාලන භේද නො සලකා ධර්ම විජය සමාජය සිරිලක පුරා පතුරුවමු. එයින් ජනතා සමඟියත් සංවර්ධනයත් ඇති කොට ශ්‍රී ලංකාව නැවැතත් ධර්මද්වීපයක් බවට හා පෙරදිග ධාන්‍යාගාරයක් බවට ද පත් කැරගත හැකි වෙනවා ඇත.

 

සිළුමිණ 1978.05.21

ප්‍රඥාප්‍රභා 1

යතුරුලිවීම: සැන්ටා ටයිප්සෙටින්

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.