මෝනෙය්‍ය පිළිස්වෙත (නිශ්ශබ්ද පිළිවෙත) පුරණ භික්ෂුන් අතුරෙහි අග්‍රස්ථානය ලැබූ නාලක මහරහතන් වහන්සේ …

නාලක මහරහතන් වහන්සේ මෝනෙය්‍ය පිළිස්වෙත (නිශ්ශබ්ද පිළිවෙත) පුරණ භික්ෂුන් අතුරෙහි අග්‍රස්ථානය ලැබූ සේක. උන්වහන්සේ දර්ශනයෙහි (” නැවත බුදුන් දකිමි යි යන කැමැත්ත” ) ශ්‍රවනයෙහි (“නැවත ධර්මය අසමි” යි යන කැමැත්ත) විවරණයෙහි (” නැවත මොනෙය්‍ය ප්‍රතිපදාව විචාරමි” යි යන කැමැත්ත) යන ස්ථාන තුනෙහිම නිශ්ශබ්දතාව නොහොත් අල්පෙච්ඡාතාව ඇත්තේය. ඒ නිසා මෝර්නෙය්‍ය පිළිවෙත පුරණ භික්ෂුන් අතුරෙහි අග්‍රස්ථානය ලබන ලද්දේ ය. උන්වහන්සේ ගේ පුර්වාපර චරිතාපදානය යට දක්වනු ලැබේ. විය

මෙයින් කල්ප ලක්‍ෂයකට පුර්වයෙහි ලොව පහළ වූ පදුමුත්තර නම් සර්වඥයන් වහන්සේගේ කාලයෙහි එක්තරා කුල පුත්‍රයෙක්ව උපන් මෙතුමා එම බුදුරජාණන් වහන්සේන්ගෙන් බණ අසමින් සිටි අවස්ථාවක එක්තරා භික්ෂුවක් මෝනෙය්‍ය පිළිවෙත පුරණ භික්ෂුන් අතුරෙහි අග්‍රස්ථානය ලබනු දැක මම ද අනාගතයෙහි මෙබඳු පදවියක් ලබන්නෙමි යි සිතීය. ඒ අනුව එම කුලපුත්‍රයා එක් දවසක් මහදන් දී සත්වන දින බුදුරජාණන් වහන්සේ පාමුල වැඳ වැටී තමන්ගේ අභිප්‍රාය සැලකර සිටියේ ය.

බුදුරජාණන් වහන්සේ අනාගතය බලා එකී ප්‍රාර්ථනාව සඵල වන බව දැන ” එම්බා කුලපුත්‍රය, මෙයින් කල්ප ලක්‍ෂයකට මත්තෙහි බුදු වන ගෞතම නම් බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි ඔබට මෙම අග්‍රස්ථානය ලැබෙන්නේන්ය ” යි විවරණ දුන් සේක. එතෙම එතැන් පටන් බොහෝ කුසල් කරමින් සිට මිය පරලොව ගොස් අපගේ බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි එක්තරා බමුණු කුලයක කාලදේවල (අසිත) තාපස තුමාගේ බෑනණුවන් ව උපන්නේය.

මේ කාලදේවල (අසිත) තාපසතුමා සුදොවුන් මහරජතුමාට බාලකාලයේ ශිල්ප ශාස්ත්‍ර උගන්වා පසුව තාපසයෙක් ව විසුවෙකි. සිද්ධාර්ථ කුමාරයා උපන් බව අසා කුමාරයා දැක බලා ගැනීමට මුලින් ම පැමිණියේ මෙතුමා ය. ඒ පැමිණි ගමන්නේ කුමාරයා ඒකාන්තයෙන් මතු බුදුවන බව දැන තමන්ට එපමණ කාලයක් ජීවත් වීමට ආයුෂ මද බව සලකා තමාගේ නැගණියගේ පුත් නාලක කුමාරයා හමුවී දැන්ම ගිහිගෙන් ගොස් ඒ බුදුන්ගේ නාමයෙන් පැවිදිව උන්වහන්සේ බුදු වූ කල බුදුබණ අසා සසරින් එතරවෙව යි අනුශාසනා කොට ගියේ ය. නාලක තෙමේ තම මාමාගේ අවවාදය පිළිගෙන අසු සත් කෝටියක් ධනය හැරපියා පැවිදිව හිමාලවනයට ගොස් මහණ දම් පිරීය. අප බෝසතාණන් වහන්සේ බුදු ව සත්සති ගෙවා බරණැස දන් දෙසූ සත්වන දා නාලක තෙරණුවෝ එහි පැමිණ බුදුරජාණන් වහන්සේ වැඳ මෝනෙය්‍ය පිළිවෙත අසා ගගත්හ.

නාලක තෙරණුවෝ එතැන් පටන් මෝනෙය්‍ය පිළිවෙත් පුරමින් දැඩිසේ අල්පේච්ඡා වූ හෝ පර්වත පාදයට ගොස් එක් වනයක දෙදවසක් නො නැවතී, එක් ගමක දෙදවසක් පිඩු සිඟා නොගොස්, වනයෙන් වනයට, ගසින් ගසට, ගමින් ගමට ඇවිදිමින් අල්පේච්ඡ ප්‍රතිපදාව පුරන්නේ අන්තිමේ දී රහත් ඵලයට පැමිණි සේක. මේ අපේච්ඡා ප්‍රතිපදාව උත්කෘෂ්ට ලෙසින් පුරන්නාට ජීවත්විය හැක්කේ මාස සතක් පමණි. මධ්‍යම ලෙසින් පුරන්නාට සත් වසක් ජීවත්විය හැකිය. හීනව පුරන්නාට සොළොස් වසක් ආයුෂ ඇති වෙයි. නාලක තෙරණුවෝ අල්පේච්ඡා ප්‍රතිපදාව (මෝනෙය්‍ය පිළිවෙත) උත්කෘෂ්ට අන්දමින් පිරූ හෙයින් සත්මසක් ජීවත්ව සිට තමන්ගේ ආයු කාලය අවසන් බව දැන ස්නානය කොට අඳනය ඇඳ පටිය බැඳ සිවුර පොරවාගෙන බුදුරජාණන් වහන්සේ වැඩ සිටි දිසාවට පසඟ පිහිටුවා වැඳ ඇඳිලි බැඳ ගෙන සිටි පිය නො සොල්වා නිරුපධිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවි සේක. 

බුදුරජාණන් වහන්සේ නාලක නම් තෙරුන් වහන්සේ මොනෙය්‍ය වත පුරන්නාවූ භික්ෂුන් අතුරෙහි අගයයි අග්‍රස්ථානයෙහි තබා වදාළ සේක. (එතදග්ග පාලියෙහි මුන්වහන්සේ ගේ නම ඇතුළත් ව නැත. එහෙත් සුත්ත නිපාතයෙහි නාලක සුත්‍රය විස්තර කරන අටුවාව මුන් වහන්සේ මොනෙය්‍ය වත පිරීමට විවරණ ගත් බව සඳහන් කොට ඇත.)

error: Content is protected by www.ifbcnet.org.