
මෙහෙණි සස්නේ ඇතිවීමත් වැඩි වීමත් නැති වීමත් පිළිබඳ කෙටි සටහනක් මුල දී ම සඳහන් කරන්නේ ඒ පිළිබඳ යෝජකයන් ද ඇතුළු ව බුද්ධිමත් ශාසන භාරධාරී ගිහි පැවිදි උතුමන් ගේ සැලැකිල්ලට භාජනය කරවනු සඳහා ය.
බුදුරජාණන් වහන්සේ ගේ කාලයෙහි දී මහා ප්‍රජාපතී ගෝතමී දේවිය මෙහෙණි සස්න ඇති කරන ලෙස කීප වරක් ම ඉල්ලා සිටි අතර බුදුරජාණන් වහන්සේ “ගෝතමිය, කම් නැත, තථාගතයන් වහන්සේ විසින් ප්‍රකාශ කොට වදාරන ලද ධර්ම විනය අනුව ගිහි ගෙයින් නික්ම අනගාරික වූ ශාසනයෙහි මාගම ගේ පැවිද්ද නුඹට රුචි නොවේ.” (චුල්ල වග්ග දෙවැනි කාණ්ඩය – බෞද්ධ මහා සම්මේලනයේ ත්‍රිපිටක පරිවර්තන පිටු 407) යනුවෙන් ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කොට වදාළ සේක. එයින් කලකට පසු මහා ප්‍රජාපතී ගෝතමී දේවිය තමාත් ශාක්‍ය කුමාරිකාවන් 500 ක් සමඟ හිස මුඩු කොට කහට පෙවූ වස්ත්‍ර හැඳ පෙරව කපිලවස්තුවේ සිට පා ගමනින් ම විශාලා මහනුවරට ගොස් පැවිද්ද ඉල්ලා සිටියා ය. එ වර ද ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ සේක. එසඳ අනඳ මා හිමියන් වහන්සේ ඉදිරිපත් වී නොයෙක් කරුණු කියා ස්ත්‍රී පක්ෂයට පැවිද්ද ලබා දෙන මෙන් ඉල්ලා සිටිය හ. බුදුරජාණන් වහන්සේ එයින් සිදු වන ශාසන හානිය පෙන්වා මහා ප්‍රජාපතී ගෝතමී දේවිය අෂ්ට ගරු ධර්ම පිළිගන්නවා නම් පැවිද්ද ලබා ගත හැකි බව ප්‍රකාශ කළ හ.
බුදුරජාණන් වහන්සේ ශාසන හානිය ගැන දේශනා කළේ මෙසේ ය.:
“ආනන්දය, ඉදින් මාගම තථාගතයන් වහන්සේ විසින් ප්‍රකාශ කොට වදාරන ලද ධර්ම විනය අනුව ගිහි ගෙයින් නික්ම අනගාරික ව ශාසනයෙහි පැවිද්ද නො ලැබුවා නම්, ආනන්දය, මාර්ග බ්‍රහ්මචර්ය බොහෝ කල් පවතින්නට තිබුණේ ය. අවුරුදු දහසක් ප්‍රතිවේධ සද්ධර්මය පවතින්නේ ය. ආනන්දය, යම් හෙයකින් තථාගතයන් වහන්සේ විසින් ප්‍රකාශ කොට වදාරන ලද ධර්ම විනය අනුව මාගම ගිහි ගෙයින් නික්ම අනගාරික වු ශාසනයෙහි පැවිදි වුයේ ද ආනන්දය දැන් අවුරුදු පන් සියයක් කල් පමණක් ම ප්‍රතිවේධ සද්ධර්මය පවතින්නේ ය.” (චුල්ලවග්ග, දෙවැනි කාණ්ඩය – සිංහල පරිවර්තනය පිටු 417) මෙසේ වදාළේ වී නමුත් අෂ්ට ගරු ධර්ම පිළිගැනීම නිසා එකී ශාසනාන්තරය දුරු වී ගිය බව අටුවාචාරීන් වහන්සේ ප්‍රකාශ කොට ඇත.
මෙසේ ශාසනයට අනතුරක් යැයි ප්‍රකාශ කරත්දීත් මෙහෙණි සස්න පිහිටුවීමට ඉදිරිපත් වීම ගැන අනඳ මාහිමියන් වහන්සේට එකල ද විසූ සංඝයා දොස් පැවරූ බව සඳහන් වේ. බලවත් ඉල්ලීම පිට මෙහෙණි සස්න අනුදැන වදාළ බුදුරජාණන් වහන්සේ වැඩි ආරක්ෂාව සඳහා ප්‍රධාන ශික්ෂාපද තුන්සිය එකොළහක් (311) ක් පැන වු සේක.
සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු මෙහෙණි සස්න පිටරටවල ද පැතිරී ගියේ ය. සංඝමිත්තා මෙහෙණින් වහන්සේ ගේ පැමිණීමෙන් පසු ශ්‍රී ලංකාවෙහි ද මෙහෙණි සස්න පිහිටියේ ය. එය එකොළොස් වැනි සියවස දක්වා නිර්මල ව පැවති බව ඉතිහාසයෙන් පෙනේ. මහා විජයබාහු රජතුමා ගේ කාලයෙහි හට ගත් නොයෙක් අර්බුද නිසා භික්ෂු ශාසනය ද පිරිහිණ. ඒ සමග ම භික්ෂුණී ශාසනය ද පිරිහෙන්නට ඇතැයි සිතිය හැකි වේ. මහා විජයබාහු රජතුමා බුරුම රට රාමඤ්ඤ දේශයෙන් ත්‍රිපිටකධර භික්ෂූන් වහන්සේලා ගෙන්වා භික්ෂු ශාසනය නැවත පිහිට වු නමුත් භික්ෂුණී ශාසනය පිහිට වු බවක් සඳහන් නො වේ. එහෙයින් භික්ෂුණී ශාසනයෙහි අවසානය මහා විජයබාහු රජතුමා ගේ කාලයේ යයි සිතිය හැකි වේ.
ලක් රජය කළ මහානාම රජතුමාගේ කාලයෙහි ශ්‍රී ලංකාවෙහි මෙහෙණින් වහන්සේලා චීනයට ගොස් මෙහෙණි සස්න පිහිට වූ බව චීන ධර්ම ග්රන්ථ වල සඳහන් වේ. මෙකල ද චීනය, වියට්නාමය ආදී රටවල මෙහෙණි සස්න ඇතත් දැන් පවත්නා මෙහෙණි සස්න ථෙරවාද විනයානුකූල ව පිළිගත නො හැකි ය යනු මුල පටන් ම ථෙරවාදී ත්‍රිපිටකධාරී මහතෙරුන් වහන්සේලා ගේ අදහස විය. බුරුම, සියම්, කාම්බෝජය, ලාඕසය යන ථෙරවාද බුද්ධ ධර්මය පවතින එකද රටක වත් මෙහෙණි සස්නක් නැත. ඒ රටවල මෙහෙණි සස්න ඇති කරවන කතාත් නැත. එය විනයානුකූලව නො කළ හැක්කක් හෙයිනි.
මෑතක සිට ශ්‍රී ලංකාවෙහි වරින් වර මෙහෙණි සස්න පිහිටුවීමේ ප්රශ්නය පැන නැගී ඇත. මේ සම්බන්ධ ව නොයෙක් අය තම තමන්ගේ අදහස් පළ කරමින් පුවත්පත් වල ලිපි ලියා ඇත. ඔවුන් මහ උගතුන් විය හැකි වුවත් ධර්ම විනය නො දත්තවුන් බව හොඳට ම පැහැදිළි ය. ඔවුනට දොස් නො පැවරිය යුතුය. කරුණු පැහැදිළි කර දුන් විට උගතුන් නිසා කාරණය පිළිගන්නවා ඇත.
බුදුරජාණන් වහන්සේ ලොව පහළ වු කාලයෙහි අන්ධ විශ්වාසයට තිබුණු තැන නැති කොට බුද්ධි විශ්වාසයට මුල් තැන දී ඇත. “නාචින්තයන්තෝ පුරිසො විසෙසමධිගච්ඡති”. නො සිතන තැනැත්තා විශේෂ දියුණුවක් ලබන්නේ නැතැයි ප්‍රකාශ කෙරෙමින් ජනතාව සිතීමට පුරුදු කරන ලදි. කාලාම සුත්‍රයේ සිතීමේ කලාව පුරුදු කරන ලදි. මහාපදේශ දේශනාවෙන් සිතීමේ හා සිතීමෙන් පැන නඟින ප්‍රශ්න තර්කානුකූල ව විසඳා ගැනීමේ මාර්ගය දේශනා කරන ලදි. ධර්ම ප්‍රශ්නයක් නම් අනෙක් ධර්ම පද සමඟ සසඳා බලා තීරණය කර ගත යුතු ය. උපසම්පදාව විනය කර්මයකි. එහෙයින් මෙ කලැ භික්ෂුණී උපසම්පදාවක් විනයානුකුලව කළ හැකි දැයි නුවණින් විමසා බැලිය යුතු ය.
බුදුරජාණන් වහන්සේ ගේ කාලයෙහි උපසම්පදා ක්‍රම අටක් තිබුණු බව පැහැදිලි ය.
එහි භික්ඛු උපසම්පදා
සරණාගමන උපසම්පදා
ඔවාදපටිග්ගහන උපසම්පදා
පඤ්හ ව්‍යාකරණ උපසම්පදා
ගරු ධම්ම උපසම්පදා
දූතෙන උපසම්පදා
අට්ඨ වාචික උපසම්පදා
ඤත්තිචතුත්ථකම්ම උපසම්පදා