මිනිසා හා මිනිස්‌ සිත හඳුනා ගනිමු …

මේ ලෝකයේ විවිධ සත්ත්ව කොට්‌ඨාස ගැන පර්යේෂණ කළ පර්යේෂකයන්ට, සත්ත්ව විද්‍යාඥයන්ට සතුන් පිළිබඳ නිර්ණායක ලබාගැනීමට හැකියා තිබුණත් මිනිසා පිළිබඳව ඒ කිසිදු විද්‍යාඥයකුට නිවැරැදි දත්ත ලබා දීමට සමත්වී නැත. ලෝකයේ ඉපදුණු සත්ත්වයන් අතර මිනිසාට ප්‍රමුඛස්‌ථානයක්‌ ලැබී ඇත. ඒ අංග ප්‍රත්‍යයෙන් හා මානසික චින්තනයෙනි. වාචසික ශක්‌තියද මෙයට එකතුවී ඇත.

අනෙකුත් සත්ත්වයන්ට වඩා පහසුවෙන් යමක්‌ කරගැනීමට මිනිස්‌ ශරීරය තුළින් හැකියාව ලැබී ඇත. එසේම කෙනෙකුට යමක්‌ අවබෝධ කර දීමට ප්‍රබලව භාවිත කළ හැකි වචන ක්‍රියාත්මක කිරීමේ බලයද වැදගත් වේ. විශේෂයෙන්ම මිනිසාටම විශේෂ වූ උසස්‌ වූ මනසක්‌ හිමිවීම. මොළය අනෙක්‌ සතුන්ටත් ඇත. එහෙත් උසස්‌ ලෙස සිතීමට ශක්‌තියක්‌ නැත. මිනිසාට ලැබුණු අනර්ඝ දෙයක්‌ නම් උසස්‌ ලෙස සිතන්නට පිළිවන් මනසක්‌ ලැබීමය. මනුෂ්‍යයෙක්‌ වූ නිසාම මනස උසස්‌ වන්නේ නැත. එසේනම් හැම කෙනෙක්‌ම උසස්‌ විය යුතුයි. උදාහරණයක්‌ ලෙස දේවදත්ත හාමුදුරුවන්ට මනසක්‌ තිබුණයි කියල උසස්‌ වූයේ නැත. මන්ද ඒ හිමියෝ තම සිතින් උසස්‌ ලෙස සිතන්නට උත්සාහ කළේ නැති නිසාය. “ධර්මේනහීනාඃ පසුභිඃ නරානාං” ධර්මයෙන් හීන වූ පුද්ගලයා තිරිසන් සතුන් හා සමවන බව එම ශ්ලෝක පාඨයෙන් අර්ථවත් වේ. එසේනම් මිනිසුන් වූ තරමට නියම මනුෂ්‍යයෙක්‌ වන්නේ නැත. උසස්‌ වන්නේද නැත.
සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත් තත්ත්වයට නොපැමිණි හා වෙනත් ආධ්‍යාත්මික වශයෙන් විශේෂඥතාවකට නොපැමිණි මිනිසුන් “පෘථග්ජන” වශයෙන් හඳුන්වනු ලබයි. එම වචනය සිංහල භාෂාවෙන් “පුහුදුන්” ලෙස දැක්‌වෙයි. යම් කෙනකුගෙන් පොඩි

වැරැද්දක්‌ වූ විට “පෘථග්ජන මිනිස්‌සුනේ” කියා කියන අවස්‌ථා එමටය.

පෘථග්ජන යනුවෙන් දක්‌වා ඇත්තේ බොහෝ කෙලෙසුන් උපදවන යන අර්ථයයි.

“පුථු කිලේසේ ජනේතීති පුථුඡ්ජනෝ” වශයෙන් සඳහන් වන්නේ එයයි. එසේම “පථු පඤ්චසු කාම ගුණේසු රත්තෝ ගිද්ධෝ ගථිතෝ මුච්ජිතෝ අඡ්ජාධාපන්නෝ ලග්ගෝ ලහිතෝ පලිබුද්ධෝති” බොහෝ වූ පංචකාම ගුණයන්හි ඇදුණේ, ගිජු වූයේ, ගෙතුණේ, මුසපත් වූයේ, බැස ගත්තේ, වැලඳ ගැණුනේ, වැසුණේ, යටිකුරු වූයේ යන අර්ථයෙන් පෘථග්ජන නම් වේ.

“පුථුනං ජනනාදීහි කාරණෙහි පුථුඡ්ජනෝ

පුථුඡ්ජනන්තෝ ගධන්තා ප්‍රථුවාය ජනෝ ඉති ඉහත දැක්‌වූ ආකාරයට බොහෝ වූ කෙලෙස්‌ ඉපදවීමාදී කාරණයෙන් ද බොහෝ අනායර්ය ජනයන් හා එකතු වුණු බැවින්ද ආර්යයන් හෙවත් කල්‍යාණ මිත්‍ර සත්පුරුෂ සේවනයෙන් වෙන්වූ නිසාද පෘථග්ජන නම් වේ.

පෘථග්ජන පුද්ගලයන් කොටස්‌ දෙකකි. අන්ධපෘථග්ජන හා කලහණපෘථග්ජන වශයෙනි. අන්ධපෘථග්ජන යනු කුසල් අකුසල්, පින් පව්, හොඳ නරක, වැරැද්ද නිවැරැද්ද නිසියාකාරව තේරුම් ගැනීමට නොහැකි පුද්ගලයන්. මෙවැනි මිනිසුන් බොහෝ අවස්‌ථාවල දැකගත හැකිය. කළ යුතු හොඳ දේ සිදුනොකර නරකම දේ තෝරාගෙන කිරීම අන්ධපෘථග්ජන පුද්ගලයාගේ ලක්‍ෂණයයි. අනෙක්‌ පුද්ගලයන් ප්‍රියකරන වචන තිබුණත් ඒ වචන භාවිත නොකර අප්‍රියකරන නරක වචනයෙන් කතා කිරීම මෙවැනි අයගේ ගතියකි. යහපත් ගුණ ගරුක පුද්ගලයන් සිටිද්දී දුෂ්ට, දුර්ජන පාපී පුද්ගලයන් හා එකතුව කටයුතු කිරීමද විශේෂය. මෙවැනි පුද්ගලයන් ප්‍රතිපත්තිගරුකව සිටින පුද්ගලයන්ට කැමැති නැත. කොහේ හෝ සිටින දුෂ්ටයෙක්‌ ළං කරගෙන ඇසුරු කරයි. මොවුන්ගේ ඇති අනෙක්‌ ලක්‍ෂණය වන්නේ කේලාම් කියමින් අනිත් අය බිඳවන ආත්මාර්ථකාමී පුද්ගලයන්ට කැමැති වීමයි. එවැනි අයත් සමග ඕනෑ තරම් වේලාවක්‌ ගත කරන්නට අන්ධ පෘථග්ජනයා රුචිකරයි. මේනිසා එම පුද්ගලයා මොහොතින් මොහොත නිරයේ සිටින කාලය වැඩිකර ගනී. ඒ සඳහා පව් රැස්‌කරයි. ඉන් මිදීමට ඔහුට නුවණින් බුද්ධියක්‌ නැත.

බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලේ සිරිගුත්ත සහ ගරහදින්න යෑයි යාළුවෝ දෙදෙනෙක්‌ වාසය කළහ. සිරිගුත්ත බෞද්ධ උවසුවෙකි. ගරහදින්න නිගණ්‌ඨ ශ්‍රාවකයෙකි. ගරහදින්න නිරත්තර සිරිගුත්ත සමග ඇසුරේ සිටියේය. ගරහදින්නගේ බලාපොරොත්තුව සිරිගුත්ත නිගණ්‌ඨ ආගමට ගැනීමටයි. ඒ නිසා සිරිගුත්ත සමග යන එන හැම තැනම ගියේය. ටික දිනක්‌ ගිය විට ගරහදින්න මෙසේ කියන්නට විය. යහළුව, බුදුරජාණන් වහන්සේටම දන් දිදී ඉන්නේ ඇයි? අපේ නිගණ්‌ඨ පූජකයන්ටද දන් දෙන්නැයි ඇවිටිලි කළේය. ඒ නිගණ්‌ඨ පූජකයන් දන්නේ මොනවාදැයි ගරහදින්නගෙන් ඇසීය. අතීත, අනාගත, වර්තමාන තුන් පැලය ගැනම නිවදි දැනුමක්‌ තිබෙනවා. අනුන් හිතන දේ පවා කියන්න පිළිවන්. එසේ නම් ඇයි මෙච්චර කාලයක්‌ ඒ ගැන මට මට නොකීවේ. ගරහදින්න ඔබ ඒ පූජකයන්ට ආරාධනා කරන්න. මාගේ නිවසට නිගණ්‌ඨයන් පන්සියයක්‌ හෙට දාවල දානයට එන ලෙස ආරාධනා කරන්නැයි ගරහදින්නට කීවේය. ඔහු නිඝණ්‌ඨ පූජකයන්ට එම ආරාධනාව කළේය. එවිට නිගණ්‌ඨයෝ බොහෝ සතුටු වී මෙසේ කියන්නට වූහ. එහෙනම් අපි සිරිගුත්තත් අල්ල ගත්තා. මින්පසුව අපිට කිසිම අඩුවක්‌ සිදුවෙන එකක්‌ නැහැ.

අදත් මේ ආකාරයෙන් විවිධ ආගමික කණ්‌ඩායම් ක්‍රියාත්මක වේ. ඔවුන්ගේ බලාපොරොත්තුවත් මෙසේමයි. බුදුදහම අනුව ජීවත්වන මිනිසුන් වෙනත් ආගම්වලට හරවා ගැනීමට සංවිධානාත්මක වැඩසටහන් එදාට වඩා අද ක්‍රියාත්මක වන බව මේ ලිපිය කියවන ඔබට පැහැදිලි කාරණයක්‌ බව මම සිතමි. නමුත් නුවණත් බුද්ධියත් ඇති කිසිදු මිනිහෙක්‌ බුදුදහම අත්හැර යන්නේ නැත. යනවානම් යන්නේ නුවණේ, බුද්ධියේ අඩුවක්‌ තිබේනම් පමණයි.

කෙසේ නමුත් සිරිගුත්ත නිගණ්‌ඨයන්ට ගෙදරට එන්නැයි ආරාධනා කළේ ඔවුන් කරන බොරුව හෙළි කිරීමටය. ඔවුන්ට මතක හිටින පාඩමක්‌ උගන්වන්න ඕනෑ යෑයි සිතූ සිරිගුත්ත ඒ සඳහා විශේෂ වැඩපිළිවෙළක්‌ සූදානම් කළේය. සිරිගුත්තගේ නිවස විශාලය. එම නිවසේ ඉදිරිපසින් පළල් වූ වළක්‌ හාරවා එහි අසූචි පුරවා අයිනේ කණු සිටුවා කිසිවක්‌ නොපෙනෙන ලෙස ඇතිරිලි දමා ඉදිරිපස පුටු කකුල පමණක්‌ පෙනෙන සේ සකස්‌ කළේය. එහි වාඩිවූ සැණින් හිස බිමට යොමුවන සේ වැටෙයි.

නිගණ්‌ඨයෝ නියමිත වේලාවට එම ස්‌ථානයට පැමිණියහ. එහි සිටි මිනිස්‌සු මෙසේ කියන්නට වූහ. ස්‌වාමිනී අපගේ චාරිත්‍රයක්‌ තිබේ. නිඝන්ඨයන් එය කුමක්‌දැයි ඇසීය. දානයට සියලු දෙනාම එක වේලාවටම වාඩිවිය යුතුයි. හොඳයි ඒ ආකාරයෙන්ම හිඳගමු යෑයි කතාබහ වූහ. සිරිගුත්ත නිගණ්‌ඨයන් පිළිගෙන මෙසේ කීවේය. ඔබ වහන්සේලා ගැන ගරහදින්න මට කියා තිබේ. අතීත, අනාගත, වර්තමාන යන තුන්තැන් සියලු දැනීම ඇති බව කියා ඇත. එසේ දැනුමක්‌ ඇත්නම් ගෙට යන්නැයි කීය. එසේ නොවේ නම් නොයන්නැයි කීය. එසේ ගියොත් දානයත් නැති බව සඳහන් කළේය.

සියල්ල දන්නා නුවණ නැති වූවොත් අසූචි වළේ ලගින්ට වෙනු ඇති බව සිතමින් සිරිගුත්ත බලා සිටියේය. සියලුම පූජකයෝ එහි ඇති පුටු ළඟ සිටියහ. සියලු දෙනාම පැමිණි විට එක්‌වරම සියල්ලෝම වාඩි ගත්හ. ඒ සමගම සියලු දෙනාම අසූචි වළේ වැටුණාහ. පසුව එක්‌ එක්‌ කෙනා වළෙන් උඩට එන්නට උත්සාහ කළේය. දසකල්හි නුවණ ඇද්දැයි උඩට එන අයගෙන් අසමින් පොලුවලින් ගැසුවේය. ඒ හැම දෙනාම අසූචි තැවරුණු ශරීර ඇතිව හොඳටම පහර කා ගියේය.

නිගණ්‌ඨයන් ගරහදින්නගේ ගෙදරට ගියේය. තෝ අපි කෑවායි කියමින් ගරහදින්නට බණින්නට පටන් ගත්තේය. ගරහදින්න සිරිගුත්තට බණින්න පටන් ගත්තේය. මගේ පූජකයන්ට කරදරයක්‌ කළා යෑයි දොස්‌ නැඟීය.

සිරිගුත්ත කළ මේ ක්‍රියාව නිසා ගරහදින්න උසාවියට ගොස්‌ නඩු දැම්මේය. සිරිගුත්තට කහවණු සියයක්‌ ගෙවීමට දඩයක්‌ නියම කළේය. සිරිගුත්ත උසාවියට ගොස්‌ නඩුකාරතුමා හමුවී වැඳ පැමිණිලි පාර්ශ්වයෙන් පමණක්‌ නොවෙයි විත්තියෙ පැත්තෙනුත් කරුණු අසා සැබෑ වරදකරුට දඩ නියම කරන්නැයි කීය. සියලු විස්‌තර නඩුකාරතුමා දැන ගත්තේය. එසේනම් දඩය නියම කළ යුත්තේ ගරහදින්නට බව දැන්වීය. ගරහදින්නට කහවණු සියයක්‌ ගෙවීමට සිදුවිය.

ඉන්පසුව ගරහදින්න සිරිගුත්ත සමග කතා නොකර හැරියේය. එහෙත් ටික දිනකින් යළිත් හිතවත්කම් පාන්නට සිතා ගත්තේය. ඒ බොරු හිතවත්කමටය. අද වුවත් යම් කෙනකුගෙන් පළිගන්නට එක එල්ලේම නොහැකි වුවොත් ඔහු හා හිතවත් වී එකට සිටිමින් පළිගන්නට කටයුතු කරන අය ඕනෑ තරම් දකින්නට ලැබෙනවා. ඒ වගේ ගහරදින්න සිරිගුත්ත සමග වෙනදා සේ හිතවත්කම් පාන්නට විය. ඔහු හා නිතර ගමන් බිමන් ගියේය. මෙසේ සිටින අතරේ දිනක්‌ මෙසේ ඇසීය. ඔයාගේ බුදුරජාණන් වහන්සේ සියල්ල දන්නවද? ඔව්, සියලු කාරණාවන් මනාව දන්නවා. ඇයි ඉතින් ඒ ගැන මට මීට පෙර කීවේ නැත්තේ? එහෙනම් අපේ ගෙදරට බුදුරජාණන් වහන්සේ ඇතුළු පන්සියය නමකට දානයට ආරාධනා කරන්නැයි ගහරදින්න කීවේය. සිරිගුත්ත එම ආරාධනාව බුදුරජාණන් වහන්සේ හමුවී සිහිපත් කළේය. ස්‌වාමීනි මා මීට පෙර නිගණ්‌ඨයන්ට යම්කිසි කටයුත්තක්‌ කළා. ඒ නිසා ඒකට පළිගන්නම මේ කටයුත්ත සූදානම් කළාදැයි මම නොදනිමි. ඔබ වහන්සේ ඒ ගැන බලා වදාරන්නැයි කීය. අනතුරුව බුදුරජාණෝ ගරහදින්න පිළිබඳ අවධානය යොමු කළහ. ගරහදින්න කරන්න සූදානම් වන අකටයුත්ත පිළිබඳ බුදුරජාණන් වහන්සේට දකින්නට ලැබිණි. ඒ සියලු දේ වෙනස්‌කර ගත හැකි ආකාරයද සිතූහ. මා එහි වැඩියොත් ගහරදින්නත්, සිරිගුත්තත් සෝවාන් ඵලයෙහි පිහිටන බවද දැක ආරාධනාව පිළිගත්හ. ගරහදින්න බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය ලැඡ්ජාවට පත් කිරීමේ බලාපොරොත්තුවෙන් විශේෂ වැඩසටහනක්‌ ක්‍රියාත්මක කළේය. ගෙවල් දෙකක්‌ අතර විශාල වළක්‌ හාරා එයට බරකරත්ත අසූවක කිහිරි දර ලා ගිනි තබා අඟුරුකොට උඩින් ඇතිරිලි දමා සකස්‌ කළේය. දානය සකස්‌ කළ බව පෙන්වීමට හැළිවළං ඉදිරියෙන් තබා සැළිවල කට වසා තිබිණි.

අන්‍ය ආගමික නිවසකට බුදුරජාණන් වහන්සේ වඩින නිසා විශාල පිරිසක්‌ පැමිණියහ. මේ කාරණාව දැනගත් අය බුදුරජාණන් වහන්සේ ඇතුළු සංඝරත්නයට සිදුවන අකරතැබ්බය දැක බලා ගැනීමට පැමිණෙති. යහපත් වූ මිනිස්‌සු බුදුරජාණන් වහන්සේගෙන් බණ අසන්නට පැමිණෙති. දැන් සියල්ල සූදානම්. එම වේලාවටම මහා සංඝරත්නය වැඩම කළහ. එහි සිටි පිරිසගේ ඉල්ලීම අනුව එක්‌සිත් වනම වඩින්නැයි ආරාධනා කළෝය. ඒ අනුව පළමුව බුදුරජාණන් වහන්සේ එම ස්‌ථානයට ගොස්‌ ශ්‍රීපාදය දිග් කළහ. එකෙණෙහි උඩින් දමා තිබූ පැදුරු නැති වී යට තිබුණු ගිනි අඟුරුද නැති විය. ඒ මැදින් පියුම් නැඟ ආයේය. බුදුරජාණන් වහන්සේ පියුම් කෙටි මතින් තිබුණු ආසනයේ වැඩහුන්ය. භික්‍ෂූන් වහන්සේලාද ඒ පියුම් මතින් වැඩියහ. මේ දුටු ගරහදින්නයන්ගේ ශරීරයෙන් දහදිය ගලන්නට විය. ඔහු බියට පත්ව අනේ මාව බේරගන්න යෑයි කියමින් සිරිගුත්ත ළඟට ආවේය. ඇයි මොකද ඇසූ විට ඔහු කීවේ ස්‌වාමීන් වහන්සේට දානයට කිසිවක්‌ සූදානම් කළේ නැති බවයි. අර තිබෙන හැළිවළංවල මොනවාදැයි ඇසූ විට ඔහු කීවේ ඒ වසා තිබෙන්නේ හිස්‌ භාජන බවයි. දැන් ගිහින් එම හැළිවළං හැර බලන්නැයි සිරිගුත්ත කීවේය. එම භාජන හැර බලන විට ඒ සෑම ව්‍යාංජනයක්‌ම, බතක්‌ම තිබුණේය.

ස්‌වාමීන් වහන්සේට දානය පූජා කළේය. අවසානයේ බුදුරජාණන් වහන්සේ බුක්‌තානු මෝදනා ධර්ම දේශනාව සිදුකළහ.

යථා සංකරාධනාස්‌මිං උඡ්ඤ්ධිතස්‌මිං මහාපෙථි
පදුමං තත්ථ ජායේත සුචිගන්ධං මනෝරමං
ඒවා සංකාරභූතේසු අන්ධභූතො පුථුඡ්ජනේ
අතිරෝචති පඤ්ඤාය මාසම්බුද්ධ සාවකෝ

යම්සේ මහමඟ දැමූ කසළ ගොඩක මනා සුවඳැති සිත් කථවූ පියුමෙක්‌ උපදනේවේද එපරිද්දෙන් (කසළ ගොඩක හට ගත් පියුමක්‌ මෙන්) කසළ ගොඩක්‌ බඳු අන්ධ වූ පෘථග්ජනයන් අතුරෙහි උපන් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක තෙමේ ප්‍රඥවෙන් පෘථග්ජන ලෝකය යටපත්කොට බබළයි යනු එම ගාථාවේ අර්ථයයි. සිරිගුත්ත සහ ගරහදින්න සෝවාන් ඵලයෙහි පිහිටියහ. අනෙක්‌ හැමට සියලු සෙත ශාන්තිය උදාවිය.

පෘථග්ජන මිනිසුන්ට බාහිර ඇස්‌ පිහිටා තිබුණත් නුවණින් අන්ධ නිසා යහපත අයහපත, වැරැද්ද, නිවැරැද්ද තේරුම් ගැනීමට නොහැකිය. ඒ නිසා කෙනකුගේ ඇස්‌ ලස්‌සනට පිහිටා තිබුණත් නිවැරැදිව දැකීමේ නුවණ නමැති ඇස නොමැති වූවොත් හෙතෙම අන්ධ පුද්ගලයෙක්‌ බව බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. එසේ වූ පුද්ගලයා නිරන්තර පාපකර්ම සිදුකරගනු ඇත. සත්පුරුෂයා කවුද අසත් පුරුෂයා කවුදැයි තේරුම් ගැනීමට නොහැකිවනු ඇත. දේවදත්ත හාමුදුරුවෝ බුදුරාජණන් වහන්සේ ළඟ බොහෝ කාලයක්‌ සිටියත් බුදුරජාණන් වහන්සේ කුමන කෙනෙක්‌දැයි අවබෝධ කර ගන්නට නොහැකි විය. එවැනි මිනිස්‌සු අදත් අප සමාජයේ ජීවත් වෙති.

“යාවජීවම්පි ෙච් බාලෝ පණ්‌ඩිතං-පයුරුපාසති නසෝධම්මං විජානාති- දබ්බීසුපරසං යථා”

මුළු ජීවිත කාලයම අනුවණයා පණ්‌ඩිතයකු, සත් පුරුෂයකු ඇසුරු කළත්, ඔහුට ඒ ශේ්‍රෂ්ඨ ඇසුරින් කිසිදු ඵලක්‌ නොවනු ඇත.

කල්‍යාණ පෘථග්ජන යනු දුක්‌ඛ, සමුදය, නිරෝධ මාර්ග යන චතුරාර්ය සත්‍ය දහමට අනුව නිවැරැදි දැක්‌මෙන් හොඳ නරක කුසලය, අකුසලය නියමාකරයෙන් දැන ක්‍රියා කරන්නාය.

යම් දෙයක්‌ පිළිබඳ යථා තත්ත්වයෙන් දැකිය හැක්‌කේ සාංසාරික වශයෙන් පුහුණු කරන ලද මනසක්‌ තිබුණොත් පමණි. ජීවිතවලට ඇතිවන ගැටලු ප්‍රශ්න ගැන යම් අවබෝධයක්‌ ඇතිකර ගැනීමට නොහැකි වූවොත් පුද්ගලයා අවුලෙන් අවුලට පත්වනු ඇත. සමහර මිනිසුන් මෙලොව උපත ලබා සිදුකරන්නේ අන් අයට හිරිහැර වධහිංසාය. ඒ ඔවුන්ගේ ආත්මෙන් ආත්මෙට ගෙනෙන ලද පුරුදුය. අපි විෂකුරු සර්පයන්ට, කොටි, වලසුන්ට බිය වුවත් සත්‍ය වශයෙන්ම බියවිය යුත්තේ දෙපිටකාට්‌ටු මිනිසුන්ටය. එනම් දෙපැත්තටම කේලාම් කියා ඔවුනොවුන් තරහ කරන අයටය. දෙපිටකාට්‌ටු මිනිස්‌සු හඳුනාගන්න නම් සමාජ අධ්‍යාපනයක්‌ අවශ්‍ය වෙනවා. පොතපත කියවා ලබාගන්නා දැනුම වගේම සමාජයේ මිනිසුන් ඇසුරු කර තිබීම වැදගත් වෙනවා. ඒ කොපමණ ඇසුරු කළත් මිනිසුන්ගේ ලක්‍ෂණ හඳුනා ගැනීමේ නුවණ නැතිනම් එයින්ද ඵලක්‌ නොවනු ඇත.

දෙපිටකාට්‌ටු පුද්ගලයාගේ ලක්‍ෂණය ඉතා කෙටියන් මෙසේ දැක්‌විය හැකිය. කොහේ හෝ ස්‌ථාන ප්‍රධානියාගේ සිට වගකීම් භාර අනෙකුත් කීප දෙනා කවුදැයි විමසිල්ලෙන් බලනවා. තමාගේ බලාපොරොත්තුව පදවිය උසස්‌කර ගැනීමට නම් හෝ වෙනත් රස්‌සාවක්‌ ලබා ගැනීමට නම් හෝ තමාට සුදුසුකම් නැති නිසා එතනින් ඉවත් නොවී මෙහිම රැඳීම සඳහා නම් හෝ තමන්ට වඩා වරප්‍රසාද ලබන පුද්ගලයෙක්‌ ඉවත් කිරීමට නම් මොහු කුමක්‌ද කරන්නේ? සෙමෙන් සෙමෙන් අර වගකිවයුතු පුද්ගලයන්ට සමීප වෙනවා. තේ එක, බත් එක, බෑග් එක පුටුව ළඟටම ගෙනත් දෙනවා. වෙනත් කිසි කෙනකුට එතනට එන්නට දෙන්නේ නැත. හැම දෙයක්‌ම මම විතරයි කරන්නේ යන හැඟීම ඇතිවන ආකාරයෙන් හැම දෙයක්‌ම කරයි. එහෙත් වගකිවයුත්තා පෙනෙන තෙක්‌ මානයේ පමණයි ඔහුගේ සියලු වැඩකටයුතුද පවතින්නේ. එසේම නිරන්තර ප්‍රධානීන්ගේ ඇඟේ වෙළෙමින් ඔවුනට අවශ්‍ය දේ සපයයි. අනෙක්‌ අයගෙන් සිදුවන පොඩි වැරැදි පවා වැඩි දියුණුකර විශාල

වැරැද්දක්‌ ලෙස ගොතා වගකිවයුත්තන්ට කියයි. සමහරවිට වෙනත් කෙනෙක්‌ නොකියූ දෙයක්‌ නිර්මාණය කර කියයි. වගකිවයුත්තන්ට දැන් මොහු නැතිවම බැරිය. දෙපිටකාට්‌ටු පුද්ගලයා කීවොත් අර පුද්ගලයා අස්‌කරන්න ඕන කියලා පාලනාධිකාරිය ඔහුගේ වචනය ගැන දෙවරක්‌ නොසිතා කටයුතු කරයි. දැන් මේ පුද්ගලයා පාලනාධිකාරියේ හැම දෙනාගේ සිත් දිනාගෙන ඇත. මොහු දැන් කල්පනා කරන්නේ අනිත් අයගෙන් සිත් දිනාගැනීමටය. ඒ සඳහා පාලනාධිකාරිය කියන දේ අනිත් අයට කියයි. ආපසු තමන් විසින්ම කියපු දේ වෙනත් කෙනෙක්‌ මෙහෙම කීව කියල පාලනාධිකාරියට කියයි. දෙපැත්තෙම හොඳ හිත දිනාගෙන දෙපැත්තෙන්ම ලාභ ප්‍රයෝජන ගැනීමට කූට උපක්‍රමයක යෙදෙයි. මෙහි ප්‍රතිඵලය වන්නේ දෙපැත්තේ අය ඔවුනොවුන්ගේ මූණු නොබැලීමයි. කතාකරන්නේද නැත. මෙහි ප්‍රතිඵලය වන්නේ ප්‍රධානියාගේ සිත් දිනාගැනීමට වැඩ නොකරන, පෙනෙන්න වැඩ නොකරන අවංක වූ පුද්ගලයන්ගේ සේවය අහිමිවී යැමයි. ඒ නිසා මිනිස්‌සු ගැන දැනුමක්‌ නොමැති වූවොත් එවැනි දෙපිටකාට්‌ටුන්ට හසුවී තමන්ද විනාශයට පැමිණෙනු ඇත.

එක්‌තරා පුද්ගලයෙක්‌ පසුගිය දිනක මට මෙවැනි කතාවක්‌ කීවේය. ස්‌වාමීනි අපේ ළඟම ඥතිවරියක්‌ ඇමරිකාවේ සිටිනවා. ඇය අපත් සමග බොහොම සුහදව බොහෝ කාලයක්‌ තිස්‌සේ කාලය ගත කළා. නමුත් දැන් ඒ තිබුණු හිතවත්කම් නැතිවෙලා ගිහින්. මා ඇසුවා ඇයි එහෙම වෙනස්‌ වුණේ කියා? ස්‌වාමීනි ළඟකදී පටන් ලංකාවේ සිටින ඇයගේ ඥතියෙක්‌ අප ගැන වැරැදි තොරතුරු දීම නිසා එවැනි තත්ත්වයක්‌ ඇතිවුණා. මෙවැනි තත්ත්වයක්‌ දැනගත් පසු අප ලංකාවේ සිටින ඒ පුද්ගලයන් සමග කතාබහ කිරීම අත්හැරියා. නමුත් ටික දවසක්‌ ගත වුණාට පසුව ඔහු වෙනත් දෙයක්‌ නිර්මාණය කර කියන්නට පටන්ගෙන ඇත. එනම් ඇයට අපි මීට ඉස්‌සර අර විදියට බැන්නා. මේ විදියට බැන්නා කියාය.

ඒ අනුව බලන විට මෙවැනි කේලම්කාරයන් නිසා ගෙවල්වල සමගිය බිඳෙනවා. ආයතනවල පරිහානිය ඇති වෙනවා. ගමේ සමගිය නැති කරනවා. අන්තිමට රටෙත් සමගිය නැති කරනවා. එවැනි පුද්ගලයන් විනාශ වෙන්නේ රටත් විනාශ වූ පසුවයි.

මේ අනුව බලන විට කේලම් කියා හැම තැනම ගිනි තියාන මෙවැනි පුද්ගලයන් එක්‌වරම කෙනකුට තේරුම් ගැනීමට නොහැකියි. එහෙත් සමාජය ගැන දැනුමක්‌ ඇති සත්පුරුෂයන් මේ ගැන වැටහීමකින් යුතුවයි කටයුතු කරන්නේ. එසේ නොවුණොත් රජ වෙන්නේ දෙපිටකාට්‌ටුන්ය. වංචාවෙන් කපටිකමෙන් ජීවිතය ගෙන යන ඔවුන්ට ස්‌ථානයක ඉහළ තනතුරක්‌ ලැබුණොත් සියලු දෙනාම දුකට පත්කරනු ඇත. ගුණ යහපත්කම් ඇති මිනිසුන් බිල්ලට තබා ඔවුන්ගේ ඕනෑ එපාකම් ඉටුකර ගනු ඇත. එසේ නම් මිනිසුන් නියමාකාරයෙන් දැන හඳුනා ගත යුතුය. ඉන් සාධාරණ නිහතමානී පුද්ගලයා හඳුනා ගත හැකිය. ඒ තුළින් තමන්ටත් අනුන්ටත් මහත් වූ දියුණුවක්‌ උදාකර ගත හැකිය.

ගෝනදෙණියේ සීවලී හිමිගේ ධර්ම දේශනාවක් ඇසුරිනි.

සෑයකට රන් ගඩොලක් පුදා රන්වන් සිරුරක් ලද මහා කච්චාන මහරහතන් වහන්සේ ...
සිත ගත සනසන භාවනා මහිමය ...
IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.