මිත්‍රයා පිළිබඳ බෞද්‍ධ සංකල්පය …

මිජ්ජති තායති චාති – මිත්තෝ: හිතජ්ඣාසයතාය සිනිය්හති අහිතාපගමතෝ රක්ඛති චාති අත්ථෝ” – යනු විවරණ පාඨ හෙයින් හිත වැඩ සැලැසීමේ අදහසින් ස්නේහ කරන්නා වූ ද, අහිතයෙන් – අවැඩින් – නපුරෙන් වැළැකීම වශයෙන් ආරක්‍ෂා කරන්නා වූ ද තැනැත්තා මිත්‍රයා නම් වේ.

සහ සමානං සද්ධිං වා, සුඛ දුක්ඛෙසු, කිච්චේසු ච අයති ගච්ඡති – පවත්තන්තී සහායෝ” – සුව දුක් දෙක්හි ද, අනෙක් කුදු මහත් කටයුත්තේහි ද එකට යන ක්‍රියා කරන හිතවතා ම යහළුවා බව ප්‍රකාශ වේ. මේ නිර්‍වචානාර්‍ථයන් ගැන සලකා බලන විට නියම මිත්‍රයන් ඉතා දුලබ බවත්, ලොව බහුලව සිටිනුයේ මිත්‍ර ප්‍රතිරූපකයන් – මිත්‍ර රූපයෙන් – මිත්‍රාකාරයෙන් පෙනී සිටින්නන් බවත් හොඳ හැටි පැහැදිලි වෙයි.

මිත්‍රයා අවශ්‍ය බව

මේ ලෝකයෙහි ඇති නොයෙක් දුක් කරදර හිරිහැර යටපත් කර ගැනීමටත්, චරිතය දූෂණය නොවන පරිදි නිවැරදි විනෝදයක් ලබා ගැනීමටත්, අයහපතෙන් මිදී යහපතෙහි යෙදීමටත් ප්‍රීතිමත් ජීවිතයක් ගත කිරීමටත් නියම මිත්‍රයා අවශ්‍ය ම ය.

බුදුරජාණන් වහන්සේ ද ආශ්‍රයට සුදුසු කෙනෙකු සිටිය යුතු බව, නියම මිත්‍රයා අවශ්‍ය බව නොයෙක් සූත්‍රයන්හි දී ප්‍රකාශ කළහ. ඉන් කීපයක් මෙසේ ය.

දුක්ඛං ඛෝ අගාරවෝ විහරති” – ආශ්‍රයට හොඳ කල්‍යාණ මිත්‍ර ගුරුවරයකු නැතිව වාසය ඉතා දුකෙකි.

දිනක් අනඳ මහ තෙරුන් වහන්සේට මෙබඳු අදහසක් පහළ වී ය. මේ ශාසන සම්පත්තියෙන් අඩක් ම කල්‍යාණ මිත්‍රයා නිසා සැලැසේ. එය එසේ නොවන බව පැහැදිලි කරන බුදුරජාණන් වහන්සේ “මා හේවං ආනන්‍ද, මා හේවං ආනන්‍ද, සකල මෙව හිදං ආනන්‍ද බ්‍රහ්මචරියං යදිදං කල්‍යාණමිත්තතා” – ආනන්‍දය, එසේ නොකියව, ආනන්‍දය, එසේ නොකියව, මේ ශාසනයෙහි සියලු සම්පත් සැලැසෙන්නේ කල්‍යාණමිත්‍රයා නිසාම යැයි වදාළහ.

මිත්ත සම්පදමාගම්ම – යෝනිසෝ චෙ පයුඤ්ජතෝ
විජ්ජා විමුත්ති වසීභාවෝ – සබ්බමේතේන ලබ්භති

-නිධිඛණ්ඩ සූත්‍රය

කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලැබ නුවණින් විදර්‍ශනායෙහි යෙදෙන තැනැත්තාහට ත්‍රිවිද්‍යා අෂ්ට සමාපත්ති නිර්‍වාණ යන සියල්ල ම ලැබෙන බව ද ප්‍රකාශ කළහ.

යස්ස ගාමේ සඛා නත්ථි යථාරඤ්ඤං තථෙවං තං” – යමකුට ගමෙහි යහළුවකු නැත්තේ නම් ඒ ගම මහවනයක් කැලයක් බඳු යැයි ද, “එවං මිත්තවතං අත්ථි සබ්බේ හොන්ති පදක්ඛණා” – යහපත් මිත්‍රයන් ඇතියවුනට සියලු යහපත දියුණුව සිදු වේ යන ආදි නොයෙක් තන්හී දී ලෞකික ලෝකෝත්තර දෙවැදෑරුම් දියුණුවට මිත්‍රයකු අවශ්‍ය බව බුදුරජාණන් වහන්සේ වදාළහ.‍

“ශොකාරාති භයත්‍රාණං – ප්‍රීති විශ්‍රම්භ භාජනම්
කෙන රත්නමිදං ඍෂ්ටං – මිත්‍ර මිත්‍යක්‍ෂරද්වයම්”

ප්‍රිය විප්‍රයෝගාදී නන් වැදෑරුම් ශෝකය ය, සතුරන් ගෙන් පැමිණෙන උවදුරු ය, භය ය, යන මේ කරදරවලින් වළක්වා ආරක්‍ෂා කරන්නා වුද, ප්‍රීති හා විශ්වාස යන ගුණ යුවළට භාජන – කාරණා වූද මිත්‍ර යන මේ අකුරු දෙක කවරකු විසින් මවාලූ මිණිරුවනක් ද?

“ව්‍යා‍‍‍ධිතස්‍යාර්‍ථහීනස්ස – දෙශාන්තරගතස්ස ච
නරස්‍ය ශෝක දග්ධස්සු – සහෘද් දර්‍ශන මෞෂධම්”

ලෙඩින් පෙළෙනුවන් හට ද ධන හානියට පැමිණ සිටිනුවන් හට ද ස්වකීය දේශය අත්හැරැ වෙන පළාතකට ගියවුන් හට ද ශෝකයෙන් දැවෙමින් තැවෙමින් සිටිනුවන් හට ද හොඳ හිතවත් මිත්‍රයාගේ දර්‍ශනය හොඳ ම බෙහෙතෙකි.

“යස්‍ය මිත්‍රෙණ සම්භාෂා – යස්‍ය මිත්‍රෙණ සංස්ථිතිඃ
මිත්‍රෙණ සහයෝ භුඞ්තෙ – තළතා නාස්ත්‍රිහ පුණ්‍යවාන්”

යමකුට හොඳ මිත්‍රයකු හා පැවැත්තෙන හොඳ කථා ඇත්තේ ද හොඳ මිත්‍රයකු හා එකට ආහාරානුභවයෙක් ඇත්තේ ද, ඔහුට වඩා පිනැත්තකු මේ ලෝකයෙහි ම නැත්තේය. මේ ආදී බැහැරි පඬුවන්ගේ කියුම්වලින් ද මිත්‍රයා අවශ්‍ය බව පැහැදිලි වේ.

මිත්‍රයා තෝරා ගැනීම

“ධාතුසෝ භික්ඛවෙ සත්තා සංසන්‍දෙන්ති සමෙන්ති”

අදහස් වශයෙන් සත්ත්වයෝ එකතු වෙති යන කීමෙන් ඔවුනොවුන්ගේ එක්වීම ස්වාභාවික බව පෙනෙයි. හීන අදහස් ඇත්තා එබන්දකු සමග හා උතුම් අදහස් ඇත්තා එබඳු උතුමකු සමග ම එක් වෙයි. මිත්‍ර වෙයි,

“යා දෙක නොරත රත
සමග පෑසීමෙක් නැත”

අලගියවන්න මුකවෙටිතුමා කීවාක් මෙන් රත් වූ යකඩයන් නොරත් වූ යකඩයක් සමග පෑස්සීමක් නැත. එමෙන් හීන අදහස් ඇත්තා උතුම් අදහස් ඇත්තකු සමඟ ද, උතුම් අදහස් ඇත්තා හීන අදහස් ඇත්තකු සමඟ ද එක්වීම නොවන දෙයකි. යකඩ දෙකම රත් වූ කැල එකක් ලෙසට පෑස්සෙන්නාක් මෙන් අදහස් සම වූ විට එක්කෙනා මෙන් සම්බන්‍ධ වෙයි. මිත්‍ර වෙයි. එහෙත් මේ සම්බන්‍ධය උතුමන් අතර නම් මැනවි. හීනයන්ගේ හීන සමාගමය නම් ඉතා අනර්‍ථකර ය. එයින් කුඩා කලැ දෙමවුපියන් ගුරුවරයන් විසින්හොඳ මිතුරන් තෝරා දිය යුතුය. තරුණ කාලයෙහි තමන් විසින් ම හොඳ මිතුරන් තෝරා ගැනීම කටයුතු වේ.

මනුෂ්‍යයා උපතින් පිරිසිදුය, යහපත් ය. ලැබෙන ආශ්‍රය අනුව වෙනස් වෙයි. ස්වභාවයෙන් පිරිසිදු වතුරට සායම් කෑලි දැමූවිට එක්වුණු සායම් කෑල්ලේ පාට ඇතිවන්නාක් මෙනි. නරක මිතුරන්ගේ ආශ්‍රය නිසා හොඳ අය පවා ඉතා නරක් වන සැටි, නොමග ගිය අයුරු අජාතශත්‍ර ආදීන් ගේ පුවත්වලින් හා ඉතා නරක අය පවා හොඳ ආශ්‍රය නිසා හොඳ සත්පුරුෂයන් වූ සැටි අංගුලිමාල ආදීන්ගේ පුවත්වලින් ද වටහා ගත හැකිය. ප්‍රීතිමත් වාසනාවන්ත ජීවිතයක් ගත කිරීමට මිත්‍රයකු අවශ්‍ය වන්නාක් මෙන් ම හොඳ මිත්‍රයකු තෝරා ගැනීම ද ඉතා අවශ්‍ය ය. මඳ දැකුමෙකින් වත් සුළු ආශ්‍රයෙකින් වත් කෙනෙකුගේ හොඳ නරක තේරුම් ගත නොහැකිය. තඹ පිත්තල ආදී බඩුවල පිටතින් රත්‍රං ගා රන් බඩු ලෙස පෙන්වන්නාක් මෙන් ඇතුළත නරක ගති ඇතිව පිටතින් යහපත් ස්වභාවයක් පෙන්වන්නා වූ මිනිස්සු ද බහුල ය. එහෙයින් වදාළ හ.

“න වණ්ණ රූපෙන නරෝ සුජානෝ
න විස්සසේ ඉස්සරදස්සනේන
සුසඤ්ඤතානං හි වියඤ්ජනේන
අසඤ්ඤතා ලෝකමි මං චරන්ති”

-කෝසල සංයුත්තය

පැහැයෙන් සටහනින් – මිනිසා නො දතැ හැක්කෙ යැ
මඳ දැක්මෙකින් පමණක් – නො විස්වස්නෙ යැ නො විමසැ
මොනවට දැමුණුවන් – ලකුණෙන් පිටත පෙනෙනා
නොදැමුණුවෝ ද හැසිරෙත් – බෙහෙවින් මෙ සත්ලෙව්හි

-බෞධ ළමයා

යම් කිසිවකු කෙරෙහි විශ්වාසයක් තැබීමට, කෙනෙකු මිතුරකු ලෙස ගැනීමට කරුණු හතරක් හොඳින් පරීක්‍ෂා කළ යුතු බව බුදු රජාණන් වහන්සේ කොසොල් රජහට ප්‍රකාශ කළහ.

  1. සංවාසේන ඛො මහාරජ සීලං වෙදිතබ්බං

මහරජ, එක්ව වාසය කිරීමෙන් ශීලය – ශීලාචාරකම දත යුතුය. යම් කිසිවකු සමඟ එකට වාසය කරන නුවණැත්තාට කතාව – හිනාව – ගමනබිමන – ඉඳීම – සිටීම – කෑම – බීම – ආදිය පවත්වන ආකාරයෙන් ඔහුගේ ශීලාචාරකම වටහා ගත හැකි‍ වෙයි. එය ද දවසක් දෙකක් නොව දිගු කලක් හොඳින් පරීක්‍ෂා කට යුතුය.

  1. “සංවෝහාරෙන ඛො මහාරාජ සොචෙය්‍යං වෙදිතබ්බං”

මහරජ, කථා ව්‍යවහාරයෙන් ඔහුගේ පිරිසිදුකම දත යුතු ය. ඇතැම් අය පිටතින් හොඳ බවක් පෙන්නන්නේ වී නමුත් ඇතුළතින් ඉතා නරක ය, අදහස් ඉතා නපුරුය.කෙනෙකුගේ අදහස් එළියට එන්නේ කථාවෙනි. කථාවෙන් අදහස් දත හැකි වුනත් එය දවසෙකින් දෙකෙකින් කළ නො හැකිය. දිගු කලක් පරීක්‍ෂාවෙන් කථා කරන්නකුට ඔහුගේ අදහස් අනුව පිරිසුදුකම හෝ අපිරිසිදුකම දැන ගත හැකි වේ.

  1. “ආපදාසු ඛො මහරාජ ථාමෝ වෙදිතබ්බෝ”

මහරජ, විපත්තීන්හි පවතින ආකාරයෙන් ඥාන ශක්තිය ධෛර්යය දත යුතු ය. බොහෝ දෙනා විපත්තීන්හි දී තැවෙති, ළතැවෙති, සුසුම් හෙළෙති. “චපලේන සහ ස්නෙහඃ සර්‍වථා න කර්‍තව්‍යඃ” යී කී පරිදි ඉතා සුළු දෙයිනු දු වෙනස් වන චපලයකු සමග සෙනෙහසක් නම් කිසි විටෙකත් නොකට යුතු ය. ධීරයකු ම සොයා ආශ්‍රයට මිතුරුකමට ගත යුතු ය.

  1. “සාකච්ඡාය ඛො මහාරාජ පඤ්ඤා වෙදිතබ්බා”

මහරජ, සාකච්ඡාවෙන් ප්‍රඥාව දැන ගත යුතු ය. “සෙය්‍යො අමිත්තො මතියා උපේතො නතෙව මිත්තෝ මතිවිප්පහීනෝ” – නුවණ නැති මිතුරාට වඩා නුවණැති හතුරා හොඳ යැයි වදාළ හෙයින් නුවණ ඇති මිතුරකු ම ආශ්‍රයට ගත යුතු ය. නුවණැත්තා නිසරු බස් නො දොඩයි. දෙලොවට ම වැඩ ඇති සත්‍ය වූ ද මිහිරි වූද අර්‍ථවත් වූ ද වචන ම කතා කරයි‍. එහෙයින් සාකච්ඡා කිරීමෙහි දී ඔහුට නුවණ ඇති නැති බව දත හැකිය.

“නිහීයති පුරිසෝ නිහීනසෙවී
න ච හායෙථ කදාචි තුල්‍යසෙවී
සෙට්ඨමුපනමං උදේති ඛිප්පං
තස්මා අත්තනෝ උත්තරිං භජෙථ”

-අංගුත්තර තික නිපාතය

“ත ම හට පහත් අය සෙවුනේ පිරිහෙන්නේ
ස   ම අය සෙවුනේ එම තතුයෙන් නො නම හෙන්නේ
සැ ම තින් වැඩේ උතුමකු සෙවුනට යන්නේ
ත   ම හට වැඩියකු ම බජනේ එ බැවින්නේ”

මෙසේ හොඳින් පරීක්‍ෂා කර බලා තමාට වඩා ගුණ නුවණින් උස්වූවකු නැත්නම් සමානයකු වත් ආශ්‍රයට ගන්නේ මැනවි. එසේත් නො ලැබෙතොත් එකචර්‍යාව තනියම හැසිරීම – හුදෙකලා වාසය උතුමයි බුදුරජාණන් වහන්සේ ද වදාළහ.

“නෝ වේ ලභෙථ නිපකං සහායං
සද්ධිං චරංසාධු විහාරි ධීරං
රාජා ව රට්ඨං විජිතං පහාය
එකෝ චරේ මාතඞ්ග රඤ්ඤේව නාගෝ”

-කෝසම්බි ජාතකය

නුවණැති මනා පැවතුම් ඇති – ධෛර්‍යයෙන් යුක්ත – එකට හැසිරෙන මිතුරකු නොලැබේ නම් තම රාජ්‍යය අත් හැරැ හැසිරෙන රජකු මෙන් ද, ඇත්මුළ අත් හැරැ තනියෙම හැසිරෙන ඇතකු මෙන් ද තනියම හැසිරෙන්නේ ය.

“චරං චෙ නාධිගච්ඡෙය්‍ය – සෙය්‍යං සදිසමත්තනො
එකචරියං දළ්හං කයිරා – නත්‍ථි බාලේ සහායතා”

-ධම්මපද බාලවග්ග

මිතුරකු වශයෙන් තමාට වඩා උසස් වූවකු හෝ තමා හා සම වූවකු හෝ නොලැබේ නම් එකචර්‍යාව ස්ථිරව ම කරන්නේය, හුදෙකලාව වාසය කරන්නේය. බාලයන් සමග එක්වීමෙහි ඵලක් නැත.

“භජන්ති සේවන්ති ච කාරණත්‍ථා
නික්කාරණා දුල්ලභා අජ්ජමිත්තා
අත්තට්ඨ පඤ්ඤා අසුචිමනුස්සා
එකෝ චරෙ ඛග්ගවිසාණ කප්පෝ”

-ඛග්ග විසාණ සූත්‍රය

බොහෝ දෙනා යම් කිසිවක් බලාපොරොත්තතුවෙන් ම සේවනය බජනය කෙරෙති. නිකරුණේ මිත්‍ර ධර්‍මය සම්පූර්‍ණ කිරීමක් වශයෙන් සේවනය කරන මිතුරෝ මෙකලැ දුලබ වෙති. වැඩිදෙනා තමාගේ වැඩේ ම බලනා මහ කැත මිනිස්සු ය. ඒ නිසා කඟවේණාගේ තනි අඟ වගේ තනියෙම වාසය කරන්නේය. මේ කරුණු වලින් නරක මිතුරන් ආශ්‍රය කිරීමට වඩා එකචර්‍යාව හෙවත් තනියම වාසය උතුම් බව පැහැදිලි වෙයි. මිත්‍ර ප්‍රභේද හා දුමිත්‍ර සුමිත්‍ර ලක්‍ෂණ ද බොහෝ ය. ඒ සියල්ල මෙහි දැක්විය නොහැකි හෙයින් අත්‍යාවශ්‍යක කරුනු ස්වල්පයක් මතු දක්වනු ලැබේ.

ආත්ම මිත්‍රයා

තමහට සිටින හොඳම මිත්‍රයා තෙමේ ය. අත්තාහි අත්තනෝ නාථෝ කෝහි නාථෝ පරෝ සියා – තමහට පිහිට තෙමේ ම ය, අන් කවරෙක් පිහිට වේද? අත්තනාථා භික්ඛවේ විහරථ අත්තසරණා අනඤ්ඤසරණා – තමහට තෙමේ ම පිහිට කොට වසවු, අනුන්ගේ පිහිට නොපතවු යන ආදී දෙසුම් වලින් හැම මිතුරාට ම වඩා ආත්ම මිත්‍රයා හොඳ බව ඔප්පු වෙයි. තම හිත හොඳ හැටි පිහිටුවා ගත හොත් එයින් තමනට ලැබෙන පිහිට අන් කවරකුට වත් ලබාදිය නො හැකිය.

න තං මාතා පිතා කයිරා – අඤ්ඤෙ වා පි ච ඤාතකා
සම්මා පණිහිතං චිත්තං – සෙය්‍යසෝ නං තතෝ ක‍‍රේ

-ධම්මපද චිත්තවග්ග

මනා කොට පිහිටුවන ලද සිත ඒ තැනැත්තා අතිශයෙන් උත්තම කරන්නේ ද එය දෙමව්පියන්ට හෝ අන් නෑ කෙනෙකුනට හෝ කළ නො හැකිය.

එසේ ම තමහට තමා ම මිතුරා ද විය හැකි ය. “චරන්ති බාලා දුම්මේධා අමිත්තෙනෙ ව අත්තනා” – බොහෝ මූඪයෝ තුමූ ම තමහට හතුරුව වාසය කෙරෙති යි වදාළේ එහෙයිනි.

“දිසෝ දිසං යං තං කයිරා – වේරී වා පන වේරිනං
මිච්ඡා පණිහිතං විත්තං – පාපියෝ නං තතෝ කරෙ”

-ධම්මපද චිත්තවග්ග

වරදවා පිහිටු වන ලද සිතින් ඒ තැනැත්තා අතිශයින් ලාමක පාපක කරන්නේ ද එය වෙන හොරකුට හෝ හතුරකුට හෝ නොකළ හැකිය.

තමාට සිටින හොඳම මිතුරා මනා කොට පිහිටු වන ලද තමාගේ ම හිත බවත් තමාට සිටින ලොකුම හතුරා වරදවා පිහිවු වන ලද තමාගේම හිත බවත් මෙයින් වටහා ගත හැකිය.

ලොව සිටිනතාක් අනෙක් මිතුරන් වයසින් වයසට කලින් කලට ප්‍රස්ථාවයෙන් වෙනස් වෙතත් ආත්ම මිත්‍රයා නම් කිසි කලෙකත් වෙනස් නොවේ. හැම වයසට හා කාලයට සිටිය යුතු එක ම මිතුරාත් ආත්ම මිත්‍රයා ම ය.

ප්‍රාණසම මිත්‍රයා

භරියා ව පරමො සඛා” භාර්‍ය්‍යාව හැමට වඩා උසස් මිතුරා යහළුවා යැයි වදාළ හෙයින් ස්වාමිපුරුෂයාගේ ප්‍රාණසම මිත්‍රයා නම් භාර්‍ය්‍යාව ය. සඛී භරියා – යෙහෙළි බිරිය හොඳ භාර්‍ය්‍යාව ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කළ හෙයින් හොඳ අඹු සැමියන් යහළුවකු හා යෙහෙළියක මෙන් වාසය කට යුතු ය. කෙනෙක් ජීවත්ව සිටින තුරු ප්‍රාණය වෙන් නොවන්නාක් මෙන් බෞද්ධ ශිෂ්ටාචාරය අනුව ජීවත්ව සිටින තුරු අඹුසැමියන් ගේ වෙන් වීමක් නැත. එ‍හෙයින් අඹු සැමියෝ ඔවුනොවුනට ප්‍රාණසම මිත්‍රයෝ වෙති.

ගෘහ මිත්‍රයෝ

මාතා මිත්තං සකේ ඝරෙ” ගෙදර මිතුරා නම් අම්මා යැයි වදාළ බුද්‍ධ වචනය අනුව ගෙදර සිටින හොඳම මිතුරෝ දෙමව්පියෝ වෙති. කුඩා කල හැදෙනු වැඩෙනුයේ දෙමව්පියන්ගේ ආශ්‍රයෙනි. දරුවන් හොඳ වීම හෝ නරක් වීම හෝ මව්පියන්ගෙන් ලැබෙන ආදර්‍ශ හා උපදේශ අනුව සිදුවන්නකි. එහෙයින් මිත්‍ර ශබ්දාර්‍ථය අනුව තම දරුවන් හිත වැඩ සැලැසීම වශයෙන් ස්නේහයත් කෙරෙමින් ඇවැඩෙන් නපුරෙන් මුදවා ලීම් වශයෙන් ආරක්‍ෂාත් කෙරෙමින් තනා නම් ඒ දෙමව්පියෝ හොඳ ම මිතුරෝ වෙති.

එසේ නොව ගුණ ධර්‍ම ගැන හැඟීමක් වත් නැතිව හුදෙක් කඳ බඩ මහත් කොට ශිල්ප ශාස්ත්‍රඤාණය පමණක් ලබා දෙමින් දරුවන් තනා නම් “මාතා ශත්‍රැඃ පිතා වෛරී” යි කියූ පරිදි එබදු දෙමව්පියෝ ගෙදර ම සිටින සතුරෝ වෙති. දරුවන් නිසි ලෙස නොහැදීමෙන් ඒ දෙමව්පියන් දරුවාට පමණක් නොව මුළු ජන සමාජයට ම අපරාධයක් කරදරයක් කරන හෙයිනි.

මිත්‍ර රූපයෙන් සිටින අමිත්‍රයෝ

“අඤ්ඤදත්ථුහරෝ මිත්තෝ – යෝ ච මිත්තෝ වචීපරෝ
අනුප්පියං ච යෝ ආහ – අපායේසු චයෝ සඛා”

මිත්‍රයාගෙන් යමක් ගැනීමට ම බාලාපොරොත්තු වන අඤ්ඤදත්ථුහර මිත්‍රයා ය. වචනයෙන් පමණක් සංග්‍රහ කරන වචීපරම මිත්‍රයා ය. මිත්‍රයාට පසුව වන හොඳක් හෝ නරකක් හෝ නොසලකා ඒ ඒ වෙලාවට පමණක් සතුටු කිරීමට කතා කරන අනුප්පියභාණි මිත්‍රයා ය. හැම පිරිහීමකට ම හවුල් වන අපායසහාය මිත්‍රයා ය යන සතර දෙනා මිත්‍ර ප්‍රතිරූපකයෝ ය, මිත්‍රරූපයෙන් පෙනී සිටින අමිත්‍රයෝ ය, හතුරෝ ය.

මෙබඳු මිත්‍රයෝ කවර කාලවලත් දුර්ලභ නොවෙති. මෙකල ද සිටිති. මෙබඳු අය හඳුනා ගත් පසු සොර සතුරන් සිටින මගක් අත්හරින්නාක් මෙන් ආශ්‍රයෙන් දුරු කළ යුතු බව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළහ.

කුමිත්‍රයා

කුමිත්‍රයා නම් පහත් අයහපත් ගති ඇති මිත්‍රයා ය. ඔහුගේ කථා ක්‍රියා සිතිවිලි ගොරෝසු ය. අනුන්ගේ කේලාම් ආදිය අසයි, විශවාස කරයි. සුළු කරුණුවල දී පවා මිත්‍ර ධර්‍මය බිඳියි, අමනාප වෙයි, වෛර වෙයි.

කුමිත්‍රයෝ මැටි කල වැන්නාහ. මැටි කල ඉතා ලෙහෙසියෙන් බින්ද හැකිය. නිය පිටින් තට්ටු කිරීම් වැනි සුළු පහරකිනු දු බින්ද හැකිය. නැවත පෑස්සීම ද ඉතා අපහසු ය. අමාරුවෙන් පෑස්සුව ද වර පෙනෙයි, කැලල පෙනෙයි.

කුමිත්‍රයා ද ඉතා සුළු කරුණෙහි දී භේද වෙයි. නැවත සමගි කිරීම ඉතා අපහසු ය. ඉදින් අමාරුවෙන් සමගි කළත් හිතේ කැලල කහට තබා ගනියි.

“ප්‍රාක් පාදයෝඃ පතති ඛාදති පෘෂ්ඨ මාංසං
කර්ණේ නලං කිම පි රෞති ශනෛර් විචිත්‍රම්
ජිදාං නිරූප්‍ය සහසා ප්‍රවිශත්‍ය ශඞ්කඃ
සර්‍වං ඛලස්‍ය චරිතං මශකඃ කරොති”

යනුයෙන් හිතෝපදේශයෙහි සඳහන් වන පරිදි කුමිත්‍රයා මැලේරියා මදුරුවකු හා සමානය. මදුරුවා පළමුව පාමුල අවට හැසිරෙමින් සිටියි. අනතුරුව කනට ද කොඳුරමින් පිටිපසින් ලේ ද උරා බොයි. එපමණකිනුදු නො නැවතී විෂ බීජ දමා යයි. දුර්ජනයා – කුමිත්‍රයා ද පළමුව අවුත් වටින් පිටින් හැසිරෙමින් සිට ඉතා මිහිරි ලෙස කේලාම් ආදිය කනට කොඳුර කොඳුරා කියයි. ඒ අතර ම මිත්‍රයා ගෙන් ගත හැකි කොටස ගනියි. එපමණකිනුදු නො නැවතී මිත්‍රයා ගේ ජීවිතය පවා නැති විය හැකි මහා භේද කර විෂ බීජ ද දමා යයි.

කුමිත්‍ර ලක්‍ෂණ

“න තං උම්භයතේ දිස්වා – න ච නිං පටිනන්දති
චක්ඛුනිස්ස න දදාති – පටිලොමං ච වත්තති.
අමිත්තෙ තස්ස භජති – මිත්තෙ තස්ස න සේවති
වණ්ණකාමෙ නිවාරෙති – අක්කොසන්තේ පසංසති.
ගුය්හං ච තස්ස නක්ඛාති – තස්ස ගුය්හං න ගූහති
කම්මං තස්ස න වණ්නේති – පඤ්ඤස්ස නප්පසංසති.
අභවෙ නන්‍දති තස්ස – භවේ තස්ස නනන්‍දතී
අච්ඡරියං භෝජනං ලද්ධා – තස්ස නුප්පජ්ජතෙ සති
ගතෝ නං නානු කම්පති – අහෝ සොපි ලභෙය්‍යතෝ
ඉච්චතෙ සොළසාකාරා – අමිත්තස්මිං පතිට්ඨිතා
යෙහි අමිත්තං ජානෙය්‍ය – දිස්වා සුත්වා ච පණ්ඩි‍තෝ”

-මිත්තාමිත්ත ජාතකය

මිත්‍රයා දැක සතුටු නොවීම, කතා නොකීරීම, මිත්‍රයා තමන් දෙස බැලු කලැ නොබැලීම, විරුද්ධව කතා කිරීම, මිතුරාගේ හතුරන් ආශ්‍රය කිරීම, මිතුරන් ආශ්‍රය නොකිරීම, මිතුරාගේ ගුණ කියනු කැමතියවුන් වළකා දැමීම, අගුණ කියනවුනට ප්‍රශංසා කිරීම, තමාගේ රහස් නොකීම, මිතුරාගේ රහස් එලිදරව් කිරීම, මිතුරාගේ කටයුතු වර්‍ණනා නොකිරීම, නුවණ ගැන ප්‍රශංසා නොකිරීම, පිරිහීම ගැන කැමති වීම, දියුණුව ගැන නොකැමැති වීම, රසවත් කෑමක් ලැබුණ විට මිත්‍රයා අමතක කිරීම, රසවත් දෙයක් මිතුරාටත් දෙන අනුකම්පාවක් නැතිවීම යන මේ කරුණු සොළොස (16) කුමිත්‍රයාගේ ලක්‍ෂණයෝ ය. මේ කී ලක්‍ෂණයන් දකින අසන නුවණැත්තා විසින් කුමිත්‍රයා බජනය නොකළ යුතුයි. දුරු කළ යුතු යැයි බුදුරජාණන් වහන්සේ වදාළ සේක.

සන්මිත්‍රයා

සන්මිත්‍රයා නම් යහපත් ගති ඇත්තා ය. නිවැරදි කථා ක්‍රියා හා සිතිවිලි ඇත්තා ය. කවර කරුණකදී වත් ‍භේද නොවී, මිත්‍රයා අයහපතින් මුදවමින් යහපතෙහි යොදවමින් ආශ්‍රය කරන තැනැත්තා ය.

සන් මිත්‍රයෝ රං කල වැන්නාහ. රං කල ලෙහෙසියෙන් බින්ද නො හැකිය. ඉතා අමාරුවෙන් බින්දත් ඉතා ලෙහෙසියෙන් පෑස්සිය හැකිය. එසේ පෑස්සු පසු කිසිදු කැලලක් ඇති නොවෙයි. මුල් කලය මෙන් ම වෙයි. ඇතැම් විට මුල් කලයට වඩා ඔපමට්ටම් වෙයි.

සන් මිත්‍රයා ද ලෙහෙසියෙන් භේද කළ නො හැකිය. ඉතා අමාරුවෙන් භේද කළත් නැවත සමගි කිරීම ඉතා පහසු ය. සමගි වූ පසු හිතේ කහටක් තබා නො ගනියි. ඇතැම් විට මුල් වරටත් වඩා මිතුරුකම තහවුරු වෙයි. එබඳු සන් මිත්‍රයන් හතර දෙනකු ගැන බුදුරජාණන් වහන්සේ වදාළ වදාළහ.

“උපකාරෝ ච යෝ මිත්තො – යෝ ච මිත්තො සුඛෙ දුඛෙ
අත්‍ථක්ඛායි ච යෝ මිත්තො – යෝ ච මිත්තානුකම්පකො

(සිඟාලෝවාද සුත්‍රය)

සුදුසු තැන දී නොමසුරුව මිතුරාට උපකාර කරන උපකාරක මිත්‍රයා ද, සැපතෙහි මෙන් ම විප‍තෙහි ද අත් නොහරනා සුඛදුක්ඛ මිත්‍රයා ද, මෙලොව පරලොව දියුණුවට මග කියා දෙන අත්‍ථක්ඛායී මිත්‍රයා ද මිත්‍රයාගේ ප්‍රමාද දෝෂ ඇති වුවත් ඒවා ගැන නොසලකා නිතරම අනුකම්පාවෙන් ක්‍රියා කරන අනුකම්පක මිත්‍රයා දැයි යන මොවුහු සන් මිත්‍රයෝය.

සන් මිත්‍ර ලක්‍ෂණ

දුද්දදං දදතී විත්තං – දුක්කරං වා පි කුබ්බති
අථො පිස්ස දුරුත්තානි – ඛමති දුක්ඛමානිපි.
ගුය්හං චස්ස අක්ඛාති – ගුය්හස්ස පරිගුහති
ආපදාසු න ජහති – ඛීණෙන නාති මඤ්ඤති.
යස්මිං එතාති ඨානානි – සංවිජ්ජන්තීධ පුග්ගලේ
සො මිත්තෝ මිත්තකාමෙහි – භජිතබ්බො තථාවිධෝ.

-අංගුත්තර සත්තක නිපාතය

යමෙක් දීමට අමාරු වටිනා දේ තම මිතුරාට දේ ද, දුෂ්කර දෑ කෙරේ ද, වැරදීමෙන් හෝ කිපීමෙන් හෝ මිතුරා විසින් කියැවුණු රළු පරොස් බස් පවා ඉවසා ද, තමාගේ රහස් මිතුරාට කියා ද, මිතුරාගේ රහස් තමන්ගේ රහස් මෙන් ප්‍රකට නොකෙරේ ද, විපත්තීන්හී දී අත් නොහරී ද, ධනය නැතිවීම් ආදී අවස්ථාවන්හිදී මිතුරා පහත් කොට නොසලකා ද යන මේ සුමිතුරු ලකුණු යමකු කෙරෙහි වෙත් ද එබඳු සන් මිත්‍රයා බජනය කට යුතුය.

මහා කාරුණික බුදු රජාණන් වහන්සේ ගේ දේශනාවට ගැලපෙන සේ බැහැරි පඬුවන් ද සන්මිත්‍ර ලක්‍ෂණ ප්‍රකාශ කළේ මෙසේ ය.

“පාපන් නිවාරයති යොජයතේ හිතාය
ගුහ්‍යං ච ගූහති ගුණාන් ප්‍රකටී කරෝති
ආපද්ගතං ච න ජහාති දදාති කාලෝ
සන් මිත්‍ර ලක්‍ෂණමිදං ප්‍රවදන්ති ශන්තඃ”

තම මිත්‍රයා පාපයෙන් – අපරාධයෙන් – නපුරෙන් වළකා ගැනීමත්, යහපතෙහි – ගුණ දහමෙහි යෙදවීමත් මිත්‍රයාගේ ගුණයක් ප්‍රකාශ කටයුතු අවස්ථාවක් පැමිණිය හොත් මඳකුදු නොසඟවා හෙළි කොට කීමත්, අන්‍යයන් අතර හෙළි නො කටයුතු යයි කතිකා කර ගත් යම් රහසක් වෙතොත් කවර කරුණක් නිසාවත් එය හෙළි නොකිරීමත්, සම්පත්තියෙහි මෙන්ම විපත්තියෙහි ද තම මිතුරා අත් නොහැරීමත්, මිතුරාට කවර ආකාරයෙක හෝ දියයුතු උවමනාවක් ඇති වූ විට මඳකුදු මසුරු නොවී තමාගේ කටයුත්තක් මෙන් සිතා ඒ උවමනා දේ දීමත් යන මේවා යහපත් කල්‍යාණ මිත්‍රයාගේ ලක්‍ෂණයෝ වෙති.

“නපුරෙනි වැළැකීමත් – යාපතේහී යෙදීමත්
ගුණ හෙළිකොට කීමත් – නෙක් රහස් දොස් නො පෑමත්
විපතෙහි නො හැරීමත් – කල්හී දීමත් රිසී දෑ
සුමිතුරු ලකුණු වෙත් – යී කියත් සත් ගුණැත්තෝ”

නොහළ යුතු මිතුරා

පියො ච ගරු භාවනීයෝ – වත්තා ච වචනක්ඛමො
ගම්භීරං ච කථං කත්තා – නො චට්ඨානේ නියොජයෙ
යස්මිං එතානි ඨානානි – සංවිජ්ජන්තීධ පුග්ගලෙ
සො මිත්තො මිත්තකාමෙන – අත්‍ථකාමානුකම්පකො
අපි නාසියමානේන – භජිතබ්බො තථාවිධො

-අඞ් ගුත්තර නිකාය

යම් මිත්‍රයකු දකින්න – කතා කරන්න හා ආශ්‍රයට ප්‍රිය වේ ද, ගරු කිරීමට සුදුසු වේ ද, ප්‍රශංසා කටයුතු වේ ද, කටයුතු නොකටයුතු හොඳ නොහොඳ කියා දීමට සමර්‍ථ වේ ද?

තමාගේ අඩු පාඩු වැරදි පෙන්වා දුන් කල සතුටින් පිළිගනීද, හමු වූ විට නිස්සාර කතා නොකොට ගැඹුරු අර්‍ථවත් කතා කෙරේ ද, ආශ්‍රය කරන්නවුන් නුසුදුසු ක්‍රියාවන්හී හෝ නුසුදුසු ස්ථානයන්හී නො යොදා ද යන මේ ගුණයන් ඇති මිතුරා දියුණුව කැමැත්තන් විසින් නෙරෙපනු ලබන කල්හි ද අත් නොහැර ම බජනය කටයුතු ය. මෙබඳු මිතුරාගේ ආශ්‍රය කෙසේ වත් නො හළ යුතු ය.

න භජේ පාපකෙ මිත්තෙ – න භජේ පුරිසාධමෙ
භජෙථ මිත්තෙ කල්‍යාණෙ – භජෙථ පුරිසුත්තමෙ

-ධම්මපද පණ්ඩිත වග්ග

දුශ්චරිතාදියෙන් ඇලුණු පාප මිත්‍රයන් සේවනය නොකරන්නේ මැනැවි. පහත් ගති ඇති අධම පුරුෂයන් සේවනය නොකරන්නේ මැනවි. කල්‍යාණ මිත්‍රයන් සේවනය කරන්නේ නම් මැනැවි. උසස් ගති පැවතුම් ඇති උත්තම පුරුෂයන් සේවනය කරන්නේ මැනැවි. මෙය බුදුරජාණන් වහන්සේ ගේ කාරුණික අවවාදය යි.

 

1967 වසරේ දී පළ කැරුණෙකි

ප්‍රඥාප්‍රභා 8

යතුරුලිවීම: ඇම්. ඒ. බන්‍දුල මහතා

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.