
බෞද්ධයන් වෙසෙන ගෙදර බෞද්ධ ගෙදර නම් වේ. මෙහි බෞද්ධ ය යි කීවේ නමින් නො ව ක්‍රියාවෙන් හා ගුණයෙන් හා බෞද්ධ වූවනට ය. බෞද්ධ නාමයක් තුබුණු පමණින් හෝ බෞද්ධ කුලගෙයක උපන් හැදුණු වැඩුණු පමණින් හෝ බෞද්ධ දෙමවුපියන් ගේ දරුවකු වූ පමණින් හෝ කෙනෙක් බෞද්ධ නො වෙති. බෞද්ධ ගෙයක උපන් පමණින් බෞද්ධයා යැ යි කියනුවා නම් බෞද්ධ ගෙවල උපදින තිරිසන් සත්නට ද, “බෞද්ධ බල්ලෝ – බෞද්ධ බළල්ලු” ය යි කිව යුතු නො වේ ද? බෞද්ධ ගෙදරක හැදුණු වැඩුණු පමණින් හෝ බෞද්ධයා යැ යි කියනුවා නම් බෞද්ධ ගෙවල හැදෙන වැඩෙන ගස් වැල් ආදියට ද, “බෞද්ධ වම්බොටු – බෞද්ධ මිරිස්” ය යි කිව යුතු නො වේ ද? එය එ සේ නොකියනුවා නම් යටැ කී කරුණු අනුව පමණක් කෙනකුට බෞද්ධයා යැ යි කියන්නේ කෙසේ ද? එය කිසිසේත් සුදුසු නැත. එ හෙයින් බෞද්ධයා යැ යි කිව යුත්තේ බෞද්ධ ප්‍රතිපත්ති ඇත්තාට ම ය. තෙරුවන් සරණ ගිය බෞද්ධයකුට අඩු ම ගණනේ පන්සිල් හා ශ්‍රද්ධා – ශීල – ශ්‍රැත – ත්‍යාගාදි ගුණයන් වත් තිබිය යුතු ය. එ බඳු බෞද්ධ ප්රතිපත්තීන් ගෙන් යුක්ත තැනැත්තන් වාසය කරන ගෙදර ම බෞද්ධ ගෙදර වේ.
මෙ සේ තම නිවෙස බෞද්ධ නිවසක්, වාසනාවන්ත ගෙදරක් කර ගැනීමට ගෙදරක සිටිනා සෑම දෙනා ම ආධාර විය යුතු ය. ඊට ප්‍රධාන වගකිය යුත්තේ අඹුසැමි දෙදෙනා වන බැවින් ඒ දෙදෙනා මුල් කැර ගෙන බුදුරජාණන් වහන්සේ සියලු පවුල් සතරකට බෙදා දැක් වූ හ.
පවුල් සතර
මරණින් මතු ලැබෙන අපාය හා දිව්‍යලෝකය ගැන ආගමයෙහි උගන්වා තිබේ. එහෙත් එය සමහර සමයවල උගන්වන අපාය සහ දිව්‍යලෝකය මෙන් සාර්වකාලික – සදහට ම නොවෙනස් ව – එක සේ පවත්නේ නො වේ. සියලු සංස්කාර ධර්මයන් අනිත්‍ය බැවින් එය ද කලෙක දී නැති වී යයි.
බුද්ධධර්මයේ හැටියට තම ගෙදර ම අපාය හෝ දිව්‍යලෝකය හෝ කැර ගත හැකි ය. සත්මහල් ප්‍රාසාදයෙක වුව ද ඉන්නා පිරිස තුළ ගුණ ධර්මයක්, ඔවුනොවුනට ප්‍රේමයක් හෝ සමඟියක් හෝ නැත් නම් ඒ ගෙදර අපායෙකි, හෙවත් නියම සැපතක් නැති තැනෙකි. අතුපැලෙක වුව ද ඉන්නා පිරිස ගුණදහමින් යුක්ත නම්, ඔවුනොවුන් ප්‍රේමයෙන් හා සමගියෙන් සම්පූර්ණ නම් ඒ පැල ඒකාන්තයෙන් ම දිව්යලෝකයෙකි, හෙවත් හිතට සැප ඇති තැනෙකි.
“සුද්ධිඅසුද්ධි පච්චත්තං
නාඤ්ඤො අඤ්ඤං විසොධයෙ.”
(ධම්මපදය)
“පිරිසුදු අපිරිසිදු
බව් තම තමා වෙත මැ යැ
අනෙකෙක් අනෙක් කෙනකුන්
පිරිසුදු කළ නො හේ මැ යැ”
“අත්තනා කුරුතෙ ලක්ඛිං
අලක්ඛිං කුරුත’ත්තනා
න හි ලක්ඛිං අලක්ඛිං වා
අඤ්ඤො අඤ්ඤස්ස කාරකො”
(සිරිකාළකණ්ණි ජාතකය)
“තම හට සිරි නොසිරි
කැරැ ගන්නේ තෙමේ මැ යැ
අනෙකෙක් අන් එකකු හට
සිරි හෝ නොසිරි නො කෙරේ.”
යන මේ ධර්මන්යායයන් අනුව තම නිවෙස අපාය හෝ දිව්‍යලෝකය හෝ කැර ගන්නේ තමන් – ගෙදර සිටිනවුන් විසින් ම ය. බැහැර සිටියකුට එය නම් නොකට හැකි ම ය.
බුද්ධධර්මය අනුව අප ජීවත් වන්නේ හෙවත් අපේ ජීවිතය පවත්නේ එක මොහොතෙක ම ය. අතීත ක්ෂණයන්හිත් නො ව අනාගත ක්ෂණයන්හිත් නො ව දැන් පවත්නා – වර්තමාන ක්ෂණයෙහි ය. අතීත ක්ෂණ ගත වී ඉවර හෙයිනුත් අනාගත ක්ෂණ ගැන විශ්වාසයක් තැබිය නොහැකි හෙයිනුත් ඒකාන්ත බලාපොරොත්තුවක් තැබිය හැක්කේ වර්තමාන ක්ෂණය ගැන පමණ ය. එ සේ ම අතීත ජාති ගැන දැන් සිතීමෙන් වැඩක් නැත. මතු ජාතියක් ඇත ද එය සැපවත් කැර ගැනීමට පින් කට යුතු වුව ද, එය කවර ආකාරයෙකින් වේ දැ යි කිව නොහැකි හෙයින් නුවණැත්තන් විසින්, මේ ලැබූ ජාතිය තරම් වාසනාවන්ත උපතක් සමහර විට නිවන් දකින තුරු නො ලැබිය හැකි ය යි සිතා ජීවිතය ම සර්වප්රකාරයෙන් සාර්ථක කැර ගන්නට උත්සාහ දැරිය යුතු ය.
එ සේ නම් ගිය ජාති ගියාවේ. එන ජාති ආවාවේ. මතු ජාතියෙහි ස්වර්ගය ලැබුණොත් ලැබුණාවේ. එය ස්ථිර නැති නිසා බුදුරජාණන් වහන්සේ දෙශනා කළ අයුරින් පිළිපැදැ තම නිවෙස ම දිව්‍යලෝකයක් කැර ගත යුතු ය. පහත සඳහන් පවුල් සතර විස්තර කරන තැන යෙදූ මළ මිනිය යන අර්ථය ඇති ‘ඡව’ ශබ්දයට තේරුම් ගැනීමේ පහසුව සඳහා ප්‍රේත ශබ්දය අර්ථ වශයෙන් යොදන බව සැලැකිය යුතු ය.
1. ප්‍රේතයකු ප්‍රේතියක හා වෙසෙන පවුල
උභො ච හොන්ති දුස්සීලා – කදරියා පරාභාසකා
තෙ හොන්ති ජානිපතයො – ඡවා මංවාසමාගතා
යම් පවුලෙක භාර්යාව, ස්වාමිපුරුෂයා යන දෙදෙනා ම දුශ්ශීලයෝ ද හෙවත් තමනට අයත් පන්සිල් ආදි සිල් නැත්තෝ ද, තද මසුරෝ ද, නිතර ඔවුනොවුන් බැණ ගන්නා ස්වභාවය ඇත්තෝ ද, එ සේ ම ගුණවතුන් – සිල්වතුන් බැණ වදිද් ද, එ සේ වූ අඹුසැමියෝ ගුණ මළවුන් බැවින් මළ තැනැත්තෝ ය, එක් ව වාසය කරන ප්‍රේතයකු ප්‍රේතියක වැන්නෝ ය. මේ ලෝකයෙහි සිටින අවාසනාවන්ත ම පවුල ය. ධනසම්පත් ආදිය නොඅඩු ව ඇතත් මෙ බඳු අඹු සැමියනට නම් නියම සැපතක් නැත. පිටතට නොපෙනෙන්නට ඉතා අමාරුවෙන් වසාගෙන සිටිතත් ඔවුන් ගේ හිත් නම් දුකෙන් පිරිලා ය.
2. ප්‍රේතයකු දෙව්දුවක හා වෙසෙන පවුල
සාමිකො හොති දුස්සීලො – කදරියො පරිභාසකො
භරියා සිලවතී හොති – වදඤ්ඤු වීතමච්ඡරා
සා පි දෙවී සංවසති – ඡවෙන පතිනා සහ
යම් පවුලෙක ස්වාමිපුරුෂයා දුශ්ශීල ද, තද මසුරු ද, නිතර කිපී බණින ස්වභාවය ඇත්තේ ද, එහෙත් භාර්යාව තමනට අයිති ශීලයෙන් සිල්වත් ද, දුප්පත් අසරණයන් ගේ වචන දැනැ ඒ ඒ අවස්ථාවෙහි දෙනසුලු වේ ද, මසුරු ගති යට පත් කොට ඇත්තී ද, එය ගුණවත් බැවින් දෙව් දුවක වූ භාර්යාවක සමඟ නිර්ගුණ ප්‍රේතයෙක් වෙසේ යැ යි කිව යුතු පවුල වේ. මේ පවුල ද ඒ තරම් වාසනාවන්ත නැත.
3. දෙවියකු ප්‍රේතියක හා වෙසෙන පවුල
සාමිකො සීලවා හොති – වදඤ්ඤු වීතමච්ඡරො
භරියා හොති දුස්සීලා – කදරියා පරිභාසිකා
සා පි ඡවා සංවසති – දෙවන පතිනා සහ
යම් පවුලෙක ස්වාමිපුරුෂයා තමනට අයත් ශීලාදි ගුණයෙන් යුක්ත ද, දිය යුතු තැන දීමට පුරුදු ද, මසුරු කම් යටපත් කොට වෙසේ ද, ඒ තැන ම භාර්යාව දුශ්ශීල ද, දිය යුතු තැන නොදෙනසුලු වේ ද, නිතර කිපී ස්වාමියා හා වෙනත් නොයෙක් දෙනා හෙළා තළා කතා කරනසුලු වේ ද එ බඳු වූවන් වෙසෙන තැන ගුණවත් බැවින් දෙවියකු බඳු වූ ස්වාමිපුරුෂයකු හා නිර්ගුණ භාර්යාවක වූ ප්‍රේතියක වෙසෙන පවුල වේ. මේ පවුල ද එ තරම් වාසනාවන්ත නො වේ.
4. දෙවියකු දෙව්දුවක හා වෙසෙන පවුල
උභො සද්ධා වදඤ්ඤූ ච – සඤ්ඤතා ධම්මජීවිනො
තෙ හොන්ති ජානිපතයො – අඤ්ඤමඤ්ඤං පියංවදා
යම් පවුලෙක අඹුසැමි දෙදෙනා සැදැහැ ඇත්තෝ ද, දිය යුතු තැන දීමට පුරුදු ද, ශීලාදි ගුණයන් ගෙන් යුක්ත බැවින් තැන්පත් ව වෙසෙත් ද, කොතෙක් ලාභ ලැබිය හැකි වුවත් අයුතු මාර්ග අත් හැරැ දැහැමින් ජීවත් වෙත් ද ඒ අඹුසැමියෝ ඔවුනොවුනට ප්‍රිය මනාප කතා ඇත්තෝ ය. මෙය ගුණයෙන් උසස් වූ දෙවියකු හා දෙව්දුවක වෙසෙන පවුල වේ. මේ පවුල ඉතා වාසනාවන්ත ය. මෙ බඳු අඹු සැමියෝ කයට මෙන් හිතට ද සැප ඇති ව වසන්නෝ වෙති.
II
ආදර්ශවත් පවුලක්
බුදුරජාණන් වහන්සේ ගේ කාලයෙහි දඹදිව භග්ග නම් රට සුංසුමාර ගිරියෙහි ගුණවත් ආදර්ශවත් අඹුසැමි යුවළක් වුසූහ. මේ දෙදෙනාට නකුල නම් පුතෙක් වි ය. එ හෙයින් ඒ දෙදෙනා නකුලපිතා (නකුල ගේ පියා)නකුලමාතා (නකුල ගේ මව) නමින් ප්‍රකට වූහ. මේ දෙදෙනා තරුණ කාලයේ දී ම බුදු රදුන් ගේ බණ අසා සෝවාන් වූහ. දෙදෙනා ම ශ්‍රද්ධා ශීලාදි ගුණයන් ගෙන් යුක්තයහ. ඔවුනොවුනට ප්‍රියයහ, මනාපයහ.
දිනක් මේ දෙදෙනා බුදුරජාණන් වහන්සේ වෙතට ගොස් වැඳැ එකත් පසෙක සිට නකුලපිතා මෙ සේ කි ය
: ‘ස්වාමීනි, මේ නකුලමාතාව හා මා එක් ව වාසයට පැමිණියේ ඉතා තුරුණු වියෙහි දී ය. එ දා පටන් මේ වන තුරු අපේ කිසි ම අමනාපයක් නො වී ය. මෙ තෙක් කලකට මා නරක සිතිවිල්ලක් වත් ඇති කර ගත්තේ නැත, අන් ස්ත්‍රියක දෙස නුසුදුසු බැල්මෙකින් බැලුවේ වත් නැත, එ බඳු තැන නරක ක්‍රියා ගැන කවර කතා ද? මෙ සේ හෙයින් මම මේ ජාතියේ පමණක් නො ව මතු ජාතීන්හි ද මේ නකුලමාතාව හා එක් ව වාසයට කැමැති වෙමි’. එ විට නකුලමාතාව ද ‘ස්වාමීනි, ඉතා තුරුණු වියෙහි දී එක් ව වාසයට පැමිණි අපේ කිසි විටෙක වත් අසමගියක් අමනාපයක් නො වී ය. මෙ තෙක් කලකට මා ද නරක සිතිවිල්ලක් වත් ඇති කැර ගත්තේ නැත. වැරදි බැල්මෙකින් පරපුරුෂයකු දෙස බැලුවේ වත් නැත. එ බඳු තැන නරක ක්‍රියා ගැන කවර කතා ද? මෙ සේ හෙයින් මම ද මේ ජාතියේ පමණක් නො ව මතු ජාතීන්හි ද මේ නකුලපිතා හා එක් ව වාසයට කැමති වෙමි’ යි කීවා ය.
බුදුරජාණන් වහන්සේ ද දෙදෙනාට ම ප්‍රශංසා කොට හොඳ අඹුසැමි යුවළක් වෙතොත් මේ නකුලපිතා හා නකුලමාතාව මෙන් වාසය කට යුතු ය යි වදාරා මේ දෙදෙන ආදර්ශයට ගත යුතු පවුල ලෙස ද වදාළහ. තවත් දිනක් නකුල පියා ලෙඩ වී ඉතා දුර්වල අසාධ්‍ය තත්ත්වයට පැමිණි අවස්ථාවෙහි ගුණවත් නකුල මව ගුණවත් ස්වාමිපුරුෂයා වෙතට ගොස් තමන් ගුණ කියමින් සිත සනස්වමින් සතුටු කරවමින් හිමියා ගේ හිතට ශක්තිය දෙන්නට වූවා. එ සේ ලැබූ මානසික බලය නිසා නකුල පියා සුවපත් වී ය. ඊට පසු දිනෙක බුදුරජාණන් වහන්සේ වෙතට ගොස් මේ පුවත සැළ කොට එ කී ගුණ තම භාර්යාව වෙත ඇද්දැ යි නකුල පියා ඇසී ය. බුදුරජාණන් වහන්සේ ද, “එ සේ ය, ඊටත් වඩා ගුණ ඇත්තේ යැ” යි ප්‍රකාශ කළහ.
යට කී ලෙස පවුල් සතරෙහි ලක්ෂණ ප්‍රකාෂ කළ බුදුරජාණන් වහන්සේ සතරවනු ව කී යහපත් පවුලට මෙ ලොව හා පරලොව වශයෙන් ලැබෙන අනුසස් ද දෙශනා කළහ.
අත්ථා සම්පචුරා හොන්ති – ඵාසත්ථං උපජායති
අමිත්තා දුම්මනා හොන්ති – උභින්නං සමසීලිනං,
ඉධ ධම්මං චරිත්වාන – සමසීලබ්බතා උභො
නන්දිනො දෙවලොකස්මිං – මොදන්ති කාමකාමි නො.
(අංගුත්තර – චතුක්ක නිපාතය)
සතරවනු ව කී හොඳ ම පවුලක් ව වාසය කරන අඹු සැමි දෙදෙනාට අර්ථයෝ (දියුණුව – ධනය) බොහෝ වෙත්. සම වූ සිල් – පැවැතුම් ඇති ඔවුනට ගෙදර පහසුවෙන්, ප්‍රේමයෙන් හා සමඟියෙන් විසිය හැකි වේ. ඔවුන් ගේ යහපත් පැවැත්ම නිසා සතුරනට නපුරක් – විපතක් නොකළ හැකි වේ. එ හෙයින් සතුරෝ නොසතුටු සිත් ඇත්තෝ වෙත්. සමාන වූ ශීලව්‍රත ඇති ඒ අඹුසැමි දෙදෙනා මෙ ලොව ධර්මයෙන් ප්‍රීතිමත් ජීවිතයක් ගත කොට මරණින් මතු දිව්‍යලෝකයෙහි තමන් කැමැති කැමැති සම්පත් විඳිමින් සතුටු වන්නාහ.
නන්දිය නම් වෙළෙඳ මහතා
පූර්වයෙහි ශ්‍රී ලඞ්කාද්විපයෙහි නන්දිය නම් වෙළෙඳ මහතෙක් වී ය. ඔහු තෙරුවන් සරණ ගිය ගුණවත් සිල්වත් උපාසක මහතෙකි. ඔහු හා ගෘහබන්ධනයට ඇතුළත් වූ සුරූපී තරුණ කාන්තාව රූපසෞන්දර්යයෙන් මෙන් ම ගුණ සපුවෙන් ද නොඅඩු වූවා. මෙ සේ දෙදෙනා දැහැමින් සෙමෙන් හා ගුණදහමින් යුතු ව වෙසෙන අතර ස්වාමිපුත්‍රයාට වෙළෙඳාම සඳහා බැහැරට යන්නට සිදු වී ය. හේ සියලු කටයුතු සම්පාදනය කොට තබා දියයුතු අවවාද ද දී නැව් නැගී පිටරට ගියේ ය. හොඳ ගුණවත් භාර්යාවෝ තම ස්වාමියා රටින් බැහැර ගියේ ද තමන් ගේ බ්රහ්මචර්යය වත් අනෙක් යහපත් පැවැතුම් වත් වෙනස් කැර නො ගනිති. මේ වෙළෙඳ භර්යාව ද හිමියා බැහැරට ගොස් තුන් අවුරුද්දක් ගත වූයේ නමුදු තම ගුණවත් බවේ මඳකුදු අඩුවක් ඇති කැර නොගත්තී ය.
එ කල්හි වුසූ රජතුමා සිව නම් අමාත්‍යයකුට මේ වෙළෙඳ භාර්යාව වාසය කරන පළාත පාලනය කිරීමට පැවැරී ය. ඔහු ඒ නගරයට පැමිණෙන උත්සවයෙහි දී මුළු නුවර ම අලඞ්කාර කොට සරසා එහි ස්ත්‍රී පුරුෂයෝ ද ඇඳ පැළැඳ සැරසී සිටියහ. ස්වභාවයෙන් රූමත් වෙළෙඳ භාර්යාව අලඞ්කාර ඇඳුම් පැළැඳුම් නිසා පුහුදුන් පුරුෂයන් මුළා කරවන තරම් වූවා. සිව නම් අමාත්‍යයා ද නුවර සිරි බලමින් වීථි සංචාරය කරන අතර රූමත් වෙළෙඳ භාර්යාව දැක කාමයෙන් අන්ධ ව ඇය භාර්යාව කැර ගන්නට සිතී ය. තම නිවෙසට ගිය ඇමැතියා වෙළෙඳ භාර්යාව ගේ ස්විමිපුරුෂයා රටින් බැහැර ගොස් සිටින බව දැනැ දුත ස්ත්‍රියක අත පඬුරු ද සමඟ තම අදහස් ද කියා එවී ය.
මේ ගුණවත් වෙළෙඳ භාර්යාව පඬුරු ද ආපසු හරවා ආගම හොඳින් දැනැ ඉගෙන සිටි හෙයින් ධර්මයෙහි සඳහන් වන පරිදි කාමයන් ගේ ආදීනව නන් ලෙසින් කියා ඇරියේ මෙ සේ ය:
“කායො’යං කුණපෙ ජාතො – කුණපො කුණපෙ රතො
ඉන්දජාලකරූපො’ව – බාලානම’භිපත්ථිතො.
අමෙජ්ඣපොත්ථකො චායං – චින්තිතො බාලනන්දිතො
ද්වත්තිංසවිධ කොට්ඨාසො – කෙසලොමාදිකො අයං.”
මේ ශරීරය මුතු මැණික් ආදි වටිනා දැයෙන් නිමියේ නො වේ. සුචිපවිත්‍ර තැනෙක උපන්නේත් නො වේ. මවු කුස නමැති අපවිත්‍ර ස්ථානයෙහි පණුවකු මෙන් උපන්නේ ය. මෙ සේ උපන්නා වූ මුළා වූ පුරුෂයෝ තමාටත් වඩා මාතුගාම නමැති කුණපයෙහි ඇලුම් කරන්නෝ ය. ඉන්ද්‍රජාලයෙහි පෙනී ගිය රූපයක් වැනි මේ අස්ථිර අසාර කය අඥානයෝ ශුභ දෙයෙකැ යි ප්‍රාර්ථනා කෙරෙති. මේ ශරීරය කෙස් ලොම් ආදි දෙතිස් කුණපයෙකින් යුක්ත හෙයින් ඇතුළේ අසුචි පුරවා පිටත සිතියම් කළ රූපයක් වැනි ය. එහෙත් අඥානයෝ මීට ප්‍රිය කෙරෙති.
මෙ සේ කියා යැවුයේ වී නමුත් කාමයෙන් ආතුර ව සිටි අඥාන ඇමැතියා දෙවනු තෙවනු ව ද වඩ වඩාත් පඬුරු දී දුත ස්ත්‍රිය එවී ය. නුවණැති ගුණවත් වෙළෙඳ භාර්යාව ඊට ද පිළිතුරු යවන්නී:
“දුග්ගන්ධො අසුචී කායො – කුණපො උක්කරූපමො
නින්දිතො චක්ඛුභූතෙහි – කායො බාලාභිනන්දිතො.
අල්ලචම්ම පටිච්ඡන්නො – නවද්වාරො මහාවණො
සමන්තතො පග්ඝරති – අසුචී පූතිගන්ධියො.
ආගන්තුකෙන කායො’යං – අලංකාරෙන මණ්ඩිතො
රාගන්ධකත චක්ඛූනං – සුභරූපංව දිස්සති.”
මේ ශරීරය ඉතා දුර්ගන්ධ ය, අපවිත්‍ර ය, පණුවන් වැහෙන කුණපයක් වැනි ය, කුණුකසළ ගොඩක් ද වැන්න. නුවණැතියන් විසින් නින්දා කරන ලද්දා වූ මේ කය මෝඩයනට නම් සන්තෝෂ උපදවන්නේ ය. දෙතිස් කුණප කොටසින් ගහන ව තෙත් ගතිය ඇති සමකින් වසන ලද ඇස්, කන, නාසාදි නව දොර නමැති මහා වණ මුඛවලින් දුර්ගන්ධ අසුචි වහනය වන්නේ ය. මේ ශරීරය බාහිර අලඞ්කාරයන් ගෙන් සරසන ලද්දේ අඥාන සත්ත්වයනට යහපත් රූපයක් මෙන් පෙනෙන්නේ ය. මේ ආදි නන් අයුරින් කාමයන් ගේ ආදීනව කියා තම හිමියා මිහි පිට සිටින තුරු අන් හිමියකු ප්‍රාර්ථනා නොකරන බව ද කියා යැවී ය. කාමයෙන් අන්ධ වූ අමාත්‍යයා වෙළෙඳ පුත්‍රයා මරා හෝ ඇය භාර්යා කර ගන්නට සිතා අහිංසක වෙළෙඳ ප්රත්රයා මැරීමට උපායක් සිතී ය.
මේ මූඪ අසත්පුරුෂ අමාත්‍යයා එ බඳු ම දුෂ්ට මන්ත්රකාරයන් ගේ ද ආධාර ලැබ අමුසොහොනකට ගොස් මන්ත්‍ර ජප කොට නන්දිය නම් වෙළෙඳ පුත්‍රයා මරනු සඳහා යකකු පිටත් කොට යැවී ය. මේ වේලාවෙහි වෙළෙඳ මහතා නැව් නැගී ආපසු එමින් සිටියේ ය. යක්ෂයා ද මන්ත්‍ර බලයෙන් හා ඍද්ධ්‍යනුභාවයෙන් ද ක්ෂණයෙකින් ගොස් නැවට ගොඩ වී ය. මෙය දුටු නැවේ සියලු දෙනා ම බියෙන් කෑගාන්නට වූහ. එ විට නන්දිය නම් වෙළෙඳ පුත්‍රයා ඉදිරියට පැමිණ කෑගෑමෙන් වැඩක් නැත, තුනුරුවන් සරණ යන්නැ යි කී ය. මරණ බියෙන් බියපත් ව සිටි සියලු දෙනා ම “බුද්ධං සරණං ගච්ඡාමි – ධම්මං සරණං ගච්ඡාමි – සඞ්ඝං සරණං ගච්ඡාමි” යි කියන්නට වන්හ. බුද්ධ යන නාමය ඇසෙත් ම යකාට එ තැන සිට ගත නොහැකි වී ය. ක්ෂණයකින් යක්ෂයා ආපසු හැරී අමුසොහොනට ගියේ ය. යකැදුරෝ නැවැතත් මන්ත්‍ර ජප කොට යකා පිටත් කළහ. එ විට ද නැවේ සිටියෝ තෙරුවන් සරණ යන්නට වූහ. ඒ වර ද යකා ආපසු පැන දිව්වේ ය. තෙවන වර ද එ සේ ම වී ය. කාමයෙන් අන්ධ වූ අසත්පුරුෂ අමත්යයා ද තමා ගේ අභිමතාර්ථය සිදු කැර ගැනීමට වෙළෙඳ පුත්‍රයා මරා එන තුරු සොහොනෙහි ම නැවැතී සිටියේ ය. යකැදුරෝ සිවු වන වර ද යකා පිටත් කොට යැවූහ. යකා නැවට ඇතුළු වෙනුවත් සමඟ ම එහි සිටියෝ තෙරුවන් සරණ යන්නට වූහ. බුද්ධ යන වචනය ඇසෙත් ම යකාගේ හිස පැළෙන තරම් වේදනා ඇති වී ය. එයින් කොපාවිෂ්ට වූ යක්ෂයා ක්ෂණයකින් අවුත් අමාත්‍යයා හා යකැදුරුන් ද මරා දැම්මේ ය.
නිවැරැදි යහපත් වෙළෙඳ පුත්‍රයා ගේ ජීවිතයට හා ගුණවත් වෙළෙඳ භාර්යාව ගේ බ්‍රහ්මචර්යයට ද අනතුරු කරන්නට සූදානම් වූ අමාත්‍යයාට හා ඊට ආධාර වූ යකැදුරනට ජීවිතක්ෂයට පත් වන්නට සිදු විය. ගුණවත් අඹුසැමි දෙදෙනා ධර්මය විසින් රැක ගනු ලැබ ජීවිතාන්තය තෙක් යහතින් වාසය කොට කම් වූ පරිදි මිය පරලෝ ගියෝ ය.
යම් කිසි පවුලෙක අඹුසැමි දෙදෙනා ගුණ දහමින් යුතු ව සතුටින් හා නුවණින් ද, ප්‍රේමයෙන් හා සමඟියෙන් ද වාසය කරත්හොත් ඔවුනට මෙහි දී ම දිව්යලොකයෙක මෙන් වාසය කරන්නට ලැබෙනුවා පමණක් නො ව, හතුරනට ද කිසි අනතුරක් නොකට හැකි වේ. ධර්මචාරී වන ඔවුහු නිතර ම ධර්මය විසින් ම රැකෙනු ලැබෙති.
මෙ තැන් සිට තම නිවෙස හොඳ බෞද්ධ ගෙදරක් කර ගැනීමට – තමන් නියම බෞද්ධයන් වීමට ඒ ඒ අය තුළ තිබිය යුතු ගුණ, කළ යුතු යුතුකම් ආදිය විස්තර කරනු ලැබේ. එ සේ ම නියම බෞද්ධයන් විසින් ධන සැපැයිය යුතු අයුරු හා වියදම් කටයුතු අයුරු ද ගිහි ගෙදර වාසය කටයුතු ආකාරය ආදිය ද ඉතා සැකෙවින් සඳහන් කරනු ලැබේ.
III
හොඳ පුරුෂයා හා හොඳ ස්ත්‍රිය
චාතුම්මහාරාජිකය තාවතිංසය යන දෙදෙව් ලොවට අධිපති ශක්රදෙවේන්ද්රයා නිතර ම උයන් සිරි දකිනු සඳහා යයි. එ සේ ම එහි යෑමට පිටත් වන්නට පෙර සියලු දිශාවන් වැඳීම ද සිරිත ය. දිනක් එ සේ වඳිනු දුටු මාතලී දිව්‍ය පුත්‍රයා, “දෙවෙන්ද්‍රය, වෙදත්‍රය හදාරන්නා වූ සියලු මනුෂ්‍යයෝ ද, ක්ෂත්රියයෝ ද, සතර වරම් මහරජහු ද, අනෙකුත් දෙවියෝ ද ඔබ වහන්සේ වඳිති. මේ ඔබ වහන්සේ වඳින්නේ කවරකුට දැ?’ යි ඇසී ය. එ විට ශක්‍ර දෙවෙන්ද්රයා තමන් වඳින පිරිස සඳහන් කෙරෙමින් මෙ සේ කී ය.
යෙ ගහට්ඨා පුඤ්ඤකරා – සීලවන්තො උපාසකා
ධම්මෙන දාරං පොසෙන්ති – තෙ නමස්සාමි මාතලි
(සංයුත්ත – සක්කනමස්සන සූත්‍රය)
පින් කරන්නා වූ, 2. සිල්වත් වූ, 3. උපාසක ගුණයන්හි පිහිටියා වූ, 4. දැහැමින් අඹුදරුවන් රකින්නා වූ යම් ගිහි කෙනෙක් වෙත් ද මාතලිය, මම ඔවුන් වඳිමි යි යන මේ ශක්‍රදෙවෙන්ද්‍රයා ගේ කියමනෙන් ගුණ නුවණින් යුතු ව ගිහිගෙයි වාසය කරන්නා වූ හොඳ පුරුෂයා හට ශක්‍රාදි දෙවියන් පවා වඳින බව මැනැවින් පැහැදිලි වේ. මෙහි සඳහන් වූ සතර ගුණය බෞද්ධ වූ කවර ගිහියකුට වුව ද ඇති කැර ගැනීම අපහසු නො වේ.
පින් නම්: සිත කිලිටි කරන්නා වූ රාගාදීනට ප්රතිපක්ෂ වූ ප්‍රඥාදි ශොභන ධර්මයන් හා එක් ව යෙදුණා වූ උපනුපන් තන්හි ඉෂ්ට විපාක ගෙන දෙන ස්වභාවය ඇති චෙතනාවෝ (=සිතිවිලි) යි. මෙ කී පින්, දාන – ශීල – භාවනා වශයෙන් තුන් වැදෑරුම් කොට ද , දාන ය – ශීල ය – භාවනා ය – පින් දීම ය – පින් අනුමොදන් වීම ය – වතාවත් කිරීම ය – වැඩි හිටියන් පිදීම ය – බණ දෙසීම ය – බණ ඇසීම ය – දෘෂ්ටිය ඍජු කිරීම ය යි දස වැදෑරුම් ලෙස ද,ඇතැම් ආචාර්යවරු,
1 දන් 2 සිල් 3 භාවනා
4. පින් දෙනු 5 අනුමෝදනා
6 බණ’සනු 7 දේසනා
8. පිදිය යුත්තන් පුදනු සමනා
9. කරනු ද වතාවත්
10. පින්කරු ගුණ වැනීමත්
11. සරණ 12 සිහි වීමත්
දොළොස් පින් දැන කවර යහපත්
(කාව්‍යශේඛරය)
යනුයෙන් දොළොස් වැදෑරුම් කොට ද දැන්වූහ.
සිල්වත් බව නම්: පඤ්ච දුශ්චරිතයන් ගෙන් මිඳීම හා සතුන් මැරීම සොරකම් කිරීම – කාමයෙහි වරදවා හැසිරීම – බොරු කීම – කේලාම් කීම – රළු බස් බිණීම – හිස් වදන් දෙඩීම – වැරැදි ජීවිකාව යන මෙයින් වැළැකෙන ආජීවාෂ්ටමක ශීලයෙන් යුක්ත වීම යි. කාමයෙහි වරදවා හැසිරීමෙහි මද්‍යපානය ද ඇතුළත් වේ.
උපාසකයා නම්: “බුද්ධං සරණං ගතො හොති – ධම්මං සරණං ගතො හොති – සඞ්ඝං සරණං ගතො හොති, එත්තාවතා ඛො මහානාම උපාසකො හොති” යි මහානාම සූත්‍රයෙහි වදාළ පරිදි බුදුන් දහම් සඟුන් සරණ ගිය තැනැත් තේ ය. ශ්‍රද්ධා – ශීල – ශ්‍රැත – ත්‍යාගාදී ගුණයන්හි පිහිටීම නියම උපාසක ලක්ෂණය වේ.
දැහැමි අඹු දරු පෝෂණය නම්: දැහැමින් සපයා ගත් වස්තුවෙන් කටයුතු සංග්‍රහ ඒ ඒ අවස්ථාවෙහි දී නො පිරිහෙළා කෙරෙමින් සැප පහසු ද සලසා දෙමින් පිනට දහමට ද මඟ යොදා දෙමින් භාර්යාව කෙරෙහි හොඳ පියකු – සොහොයුරකු – යහළුවකු මෙන් පවතිමින් සතර සංග්‍රහ වස්තුවෙන් ද සංග්‍රහ කෙරෙමින් භාර්‍ය්‍යාව දූ පුතුන් පෝෂණය කිරීම යි.
මෙ කී ගුණ ඇති තැනැත්තාට දෙවියන් ගෙන් පවා වැඳුම් ලැබෙනුවා පමණක් නො ව, තමන් ගේ අඹුදරුවන් සමඟ ප්‍රේමයෙන් හා සමඟියෙනුත් සුවයෙන් හා සතුටුනුත් වාසය කරන්නට හැකි වෙයි. ඒ නිසා ම සැම පුරුෂයකු විසින් ම මෙ කී ගුණ තමන් තුළ ඇති කැර ගන්නටත් වැඩිදියුණු කැර ගන්නටත් උත්සාහ දැරිය යුතු ය.
ඉතා පුරාණයෙහි සුරුචි නම් රජ කෙනෙක් වූහ. එතුමා ගේ අගමෙහෙසිය ඉතා සිල්වත් ය, ගුණවත් ය. මේ බව දත් ශක්‍රදෙවෙන්ද්‍රයා මෙහෙසිය ගේ ගුණ ලොවට ද ප්‍රකට කොට ගුණදහම් පිරීමෙහි ලෝකයා ද උනන්දු කරවනු සඳහා මිනිස් ලොවට එන්නට සිතා ගති.
දිනක් සුරුචි රජහු ගේ බිසවුන් උයනෙහි සිටින විට ශක්‍රදෙවෙන්ද්‍රයා ඍෂියකු ගේ වේශයෙන් එ තැනට පැමිණ කථා කෙරෙමින් සිට, දේවිය විසින් ‘ඔබ කවරෙක් දැ’ යි අසන ලදු ව තමන් ශක්‍රදෙවෙන්ද්‍රයා බව සඳහන් කොට මෙ සේ ද කී ය:
ඉත්ථියො ජීව ලොකස්මිං – යා හොන්ති සමචාරිණී
මෙධාවිනී සීලවතී – සස්සුදෙවා පතිබ්බතා
තාදිසාය සුමෙධාය – සුචිකම්මාය නාරියා
දෙවා දස්සනමායන්ති – මානුසියා අමානුසා
(සුරුචී ජාතිකය)
1 සම ව හැසිරෙන්නා වූ, 2 නුවණැත්තා වූ, 3 සිල්වත් වූ, 4 නැන්දා හා මාමා දෙවියන් කොට සලකන්නා වූ, 5 පතිව්රතා ධර්මයෙන් යුක්ත වූ, යම් ස්ත්‍රීහු මේ ලෝකයෙහි වෙත් ද මනා නුවණැති පිරිසිදු ක්‍රියා ඇති මනුෂ්‍ය වූ එ බඳු ස්ත්‍රීන් දැකීමට මනුෂ්‍ය නො වූ දෙවියෝ ද පැමිණෙති.
ගුණ නුවණැති හොඳ භාර්යාවන් දැකීමට දෙවියන් කැමති බවත්, අපේ ඇසට නො පෙනුණත් එ බඳු ගුණවත් ස්ත්‍රීන් දැකීමට – ගරු කිරීමට ශක්‍රාදි දෙවියන් පවා පැමිණෙන බවත් මෙයින් මැනැවින් පැහැදිලි වේ. යටැ කී පස් ගුණය බෞද්ධ වූ හැම ස්ත්‍රියක විසින් ම පිරිය හැකි, පිරිය යුතු ගුණයෝ වෙති.
සම ව හැසිරීම නම්: මනා – යහපත් – හැසිරීම යි. සම පැවැත්ම ය, විෂම පැවැත්ම යැ යි මෙ ලොව මිනිසුන් ගේ පැවැතුම් දෙකකි. ඉන් සම පැවැත්ම නම් තමන් ගේ කථාවෙන් හා ක්‍රියාවෙන් හා ලෝකයාට කරදර හිරිහැර නොවන සේ හැසිරීම යි. විෂම පැවැත්ම නම් තමන් ගේ කථා සහ ක්‍රියා ලෝකයාට කරදර හිංසා පීඩා වන සේ පැවැත්වීම යි. මෙය මෙ තැන දී හොඳ ස්ත්‍රියක ගේ ගුණයක් ලෙස සඳහන් වුව ද ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ කාටත් සාධාරණ වූ ගුණයෙකි. යමකු තමන් ගේ කථා සහ ක්‍රියා අන්‍යයනට කරදර නොවන සේ පවත්වනුවා නම් එය ජන සමාජයට කරන ලොකු සේවයෙකි. සුචරිතයෙක පිහිටීම නිසා තමනට කුසල් ද රැස් වෙයි.
නැණවත් බව ද පුරුෂ පක්ෂයට මෙන් ස්ත්‍රී පක්ෂයට ද තිබිය යුතු ය. එ සේ ම නිවැරැදි ශිල්පශාස්ත්‍ර විෂයයෙහි උගත්කම ද බහුශ්‍රැතභාවය ද තිබිය යුතු ම ය.
‘අප්පස්සුතා’යං පුරිසො
බලිවද්දො’ව ජීරති
මංසානි තස්ස වඩ්ඪන්ති
පඤ්ඤා තස්ස න වඩ්ඪති
(ධම්මපදය)
‘ඇසුපිරු තැන් නැතියෙ
ගොනකු මෙන් ජරපත් වේ
ඔහු ඇඟ මස් මතු වැඩේ
නුවණෙක් නම් නො ම වැඩේ’
බහුශ්‍රැත භාවය පමණක් නො ව නුවණ ද තිබිය යුතු ය. i ආයකෞශල්යඥානය = දියුණුවෙහි දක්ෂ නුවණ හෙවත් මේ මේ දේ කිරීමෙන්, මෙ සේ හැසිරීමෙන් දෙලොව දියුණුව සැලැසේ යී දන්නා නුවණ ය, ii අපායකෞශල්යඥානය = පිරිහීම පිළිබඳ දක්ෂ නුවණ හෙවත් මේ මේ දේ කිරීමෙන්, මෙ සේ හැසිරීමෙන් දෙලොවින් ම පිරිහීම සැලැසේ යී දන්නා නුවණ ය, iii උපායකෞශල්‍යඥානය = ස්ථානොචිත ප්‍රඥාව ය යන මේ ඥානයන් ගෙන් ද යුක්ත විය යුතු ය.
සිල්වත් බව නම්: හොඳ පුරුෂයා ගේ ගුණ කී තැනැ ප්‍රකාශ වූ පරිදි පඤ්ච දුශ්චරිතයන් ගෙන් වැළැකීම හා ආජීවාෂ්ටමක ශීලයෙන් සම්පූර්ණ වීම යි.
නැන්දා හා මාමා දෙවියන් කොට සැලැකීම: ආවාහ විවාහයෙන් ලැබෙන නැන්දාට පාළියෙන් ‘සස්සු’ යනු ද සකුයෙන් ‘ස්වශ්රැ’ යනු ද මාමාට ‘සසුර’ ‘ශ්වශූර’ යනු ද ව්‍යවහාර වේ. එ කී නැන්දා සහ මාමා දෙවියන් කොට සැලැකීම ද හොඳ භාර්‍ය්‍යාවක ගේ ගුණය වේ.
පතිව්රතා ධර්මය නම්: ස්වපුරුෂ සන්තුෂ්ටියෙන් යුක්ත ව තම හිමියා දෙවියකු ලෙස සලකමින් සිතින් වත් තම ස්වාමි පුරුෂයා ඉක්මවා නොසිතන, සිහිනෙන් වත් අන් පුරුෂයන් නොපතන උතුම් ගුණය යි.