බුදු රදුන් කුල කාන්තාවනට දුන් අවවාද …

බුද්ධ ධර්මයෙහි විශේෂයෙන් කුල දූන් හට දෙන ලද අවවාද රාශියෙකි. පුරුෂ පක්‍ෂයට වඩා විශේෂ අවවාද රාශියක් ස්ත්‍රී පක්‍ෂය සඳහා ප්‍රකාශ කළේ යම්කිසි රටෙක යහපත් සමාජයක් ඇති කිරීමට නම් මවුවරුන් සිල්වත් ගුණවත් විය යුතු බැවිනි‍.

ස්වාමිපුරුෂයාගේ ප්‍රධානත්වය පවත්නේ ධන සම්පත් ආදී බාහිර කටයුතු සම්පාදනයෙහි ය. ගේ දොර පාලනයත් දූ දරුවන් නිසි ලෙස තැනීමත් අයිති භාර්ය්‍යාවට ය. යම් ගෙදරක භාර්ය්‍යාව සිල්වත්, ගුණවත්, නැණවත් නම් ඒ ගෙදර හැදෙන වැඩෙන දූ දරු පිරිස එ බඳු ම වීම නිරායාසයෙන් ම සිදු වෙයි.

යහපත් භාර්ය්‍යාවනට අවනත නොවන ස්ව‍ාමිපුරුෂයෙක් නැතැ යි කිව යුතු ය. ඉතා නරක ගති පැවැතුම් ඇති පුරුෂයන් පවා යහපත් භාර්ය්‍යාවන් නිසා සුමඟට බැසැගත් අයුරු ප්‍රකාශ වන පුවත් අප රටේ ද දුබල නැත. එසේ ම සමහර ස්වාමිපුරුෂයන් ගේ නොමනා හැසිරීම්වලටත් දරුණුකම් හා අපරාධවලටත් භාර්ය්‍යාවන් ගේ දුර්වල කම් මුල් වන බව හොඳින් විමසා බලන විට මැනැවින් වැටැහෙයි.

භාර්ය්‍යාවනට දේශනා කළ ධර්‍ම කොට්ඨාශයන් සියල්ල සඳහන් කිරීමෙන් ලිපිය දික්වන නිසා මෙහි විවාහයට සූදානම් වන කුලකුමරියන් හට දෙන ලද අවවාද පමණක් සඳහන් කරනු ලැබේ.

උග්ග සිටාණන් ගේ නිවසෙහි තම දූවරුන් විවාහ කරදෙන මංගලයක් එළඹියේ ය. සිටාණෝ බුදුරජාණන් වහන්සේ වැඩම කරවා දන් පිළිගන්වා අවසානයෙහි මෙසේ සැළ කළ හ.

“ඉමා මෙ භන්තෙ කුමාරියො පතිකුලානි ගමිස්සන්ති. ඔවදතු තාසං භන්තේ භගවා, අනුසාසතු තාසං භන්තෙ භගවා, යං තාසං අස්ස දීඝරත්තං හිතාය සුඛායාති”

“ස්වාමීනි” මාගේ මේ කුමාරිකාවරු – දූවරු විවාහ වී පතිකුලයන් කරා යන්නා හ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔවුනට බොහෝ කල් හිත සුව පිණිස හේතු වන්නා වූ අවවාද දී වදාරන සේක් වා! අනුශාසනා කරන සේක් වා!”

මේ ආරාධනය පිළිගත් බුදුරජාණන් වහන්සේ, උපන්දා පටන් අපමණ දුක් ගනිමින් හැම යහපතක් ම සැලැසූ දෙමවුපියන් අත්හැර, අලුත් ම ජීවිතයකට පත් වී මීට ප්‍රථම කිසි ම සම්බන්ධයක් නොතුබුණු අලුත් තැනකට යන මේ කුමාරිකාවනට එහි දී වාසනාවන්ත ජීවිත ගත කිරීමට උපක‍ාර වන පහත සඳහන් කරන අවවාද රාශිය ප්‍රකාශ කළ සේක.

“තස්ස භවිස්සාම පුබ්බුට්ඨායිනියො – පච්ඡානිපාතිනියො – කිංකාරපටිස්සාවිනියො – මනාපචාරිනියො – පියවාදිනියොති. එවං හි කුමරියො සික්ඛිතබ්බං”

ඉර පායන තුරු නිඳාගන්නේ නැති ව ස්වාමිපුරුෂයාට ප්‍රථම හිමිදිරි පාන්දර නැඟිට ඒ ඒ කටයුතු සංවිධනය කිරීම,

රෑ නිඳන විට ද හැමට ම ප්‍රථම නින්දට නො ගොස් පසු දා උදෑසනට වුවමනා දෑ සොය‍ා බලා නියම කොට, ඇතුළත තැන්පත් කටයුතු දෑ එ සේ කර තිබේ ද ආදී කොයි කටයුතුත් විමසා බලා හැමට පසු ව නින්දට යෑම,

නියම වශයෙන් ස්වාමිපුරුෂයාට කරන උපස්ථානාදිය හැර දිනපතා ම ස්වාමියා වෙතට ගොස්, ස්වාමීනි, තමුන්නාන්සේ ගේ සුව පහසු සඳහා කළ යුතු යමක් ඇද්දැ යි ඇසීම, එසේ ම විශේෂ හැම කටයුත්තක් ම ස්වාමියා ගේ අනුමැතිය ලබාගෙන කිරීම මෙන් ම ස්වාමියා ගේ වචනයට කීකරු වීම, තමන් ගේ හැම කටයුතු ම ස්වාමියාටත් අන් අයටත් කරදර නොවන ලෙස ම කිරීම, හැම විට ම ස්වාමියාගේ සතුට හා ප්‍රේමය වැඩි වන ලෙස ම ක්‍රියා කිරීම,

‘මහා පුඤ්ඤා නාම මනාපකථා හොන්ති.’ – මහා පුණ්‍යවන්තයෝ නම් ප්‍රිය මනාප කථා ඇත්තෝ වෙති යි යන්න නිතර ම සිහියේ තබාගෙන, ඇසුවන් මන වඩන මුදු මොළොක් මට සිලිටි වචන ම කථා කිරීම යන මේ කරුණු මැනැවින් පවත්වන්නෙමු ය යි හික්මිය යුත්තේ ය. තව ද නුඹලා විසින් මෙසේ ද හික්මිය යුතු ය.

“යෙ තෙ භත්තුගරුනො භවිස්සන්ති මාතාති වා පිතාති වා සමණ – බ්‍රාහ්මණාති වා තෙ සක්කරිස්සාම ගරු කරිස්සාම මානෙස්සාම පූජෙස්සාම අබ්භාගතෙ ව ආසනොදකෙන පූ‍ෙජස්සාමා’ති එවං හි වො කුමරියො සික්ඛිතබ්බං”

ස්වාමි කුලයට ගිය පසු එහි දී තම ස්වාමියා විසින් “මේ මාගේ මෑණියෝ ය, පියාණෝ ය, මහණබමුණෝ ය යි ගරු බුහුමන් කරනු ලබන යම් කිසි කෙනෙක් වෙත් ද ඔවුනට ගරු බුහුමන් කරන්නෙමු. තමන් වෙතට පැමිණි කල සුදුසු ලෙස ඉදුම් හිටුම් දීමෙන් හා කෑම් බීම් ආදියෙන් සංග්‍රහ කරන්නෙමු යි නුඹලා විසින් හික්මිය යුත්තේ ය.

“යෙ තෙ භන්තු අබ්භන්තරා කම්මන්තා උණ්ණාති වා කප්පාසාති වා තත්‍ථ දක්ඛා භවිස්සාම අනලසා තත්‍රෑපායාය වීමංසාය සමන්නාගතා අලං කාතුං අලං සංවිධාතුන්ති එවං හි වො කුමාරියො සික්ඛිතබ්බං”

කුමරියෙනි, ස්වාමියා ගේ එළු ලොම් ය, කපු පුළුන් ය යන මෙයින් ගෙදර තුළ දී කැරෙන යම් කර්මාන්තයක් වේද එහි දක්‍ෂ විය යුතු ය. අනලස ව යෙදිය යුතු ය. නුවණින් විමසා බලා තමන් ද කළ යුතු ය. අනුන් ලවා කැරවිය යුතු ය යි ද නුඹලා විසින් හික්මිය යුත්තේ ය. මෙකී කර්මාන්ත මෙ කල ගෙවල්වල නැතත් හැම ගෙදරක ම තිබෙන ඉවුම්, පිහුම්, මැහුම්, ගෙතුම් ආදී කුදු මහත් කටයුතුවල දක්‍ෂ විය යුතු ය. අනලස ව යෙදිය යුතු ය යනුවෙන් මෙ කලට ගැළැපෙන්නට සිතට ගත යුතු ය.

“යෙ සො භත්තු අබ්භන්තරො අන්තොජනො දාසාති වා පෙස්සාති වා කම්මකාරාති වා, තෙසං කතං ච කතතො ජානිස්සාම, අකතං ච අකතතො ජානිස්සාම, ගිලානකානං ච බලාබලං ජානිස්සාම, ඛාදනීයං භොජනීයං චස්ස පච්චයෙන විභජිස්සාමාති. එවං හි වො කුමාරියො සික්ඛිතබ්බං”

කුමරියෙනි, ස්වාමියා ගේ අභ්‍යන්තර වූ දාසි දාසයෝ ය, පණිවුඩ පණත් ගෙන යන මෙහෙකරුවෝ ය, බරවැඩ කරන කම්කරුවෝ ය යන මොවුන් විසින් මේ මේ කටයුතු කරන ලදි, මේ මේ කටයුතු නොකරන ලදී ආදී වශයෙන් මෙහෙකරුවන් ගේ කටයුතු හොඳින් බලා ගනිමු යි ද, ඔවුන් ගේ කාය ශක්තිය අනුව කටයුතු නියම කිරීම ද, ඔවුනට කෑම බීම් ආදියෙන් නිසි ලෙස සංග්‍රහ කිරීම හා ඔවුන් ලෙඩ වූ විට බෙහෙත් සපයාදීම් ආදියෙන් හොඳින් උපස්ථාන කිරීම ද යන මේ කටයුතුවල යෙදෙන්නට ද නුඹලා විසින් හික්මිය යුත්තේ ය.

“ යං භත්තා ආහරිස්සති ධනං වා ධඤ්ඤං වා රජතං වා ජාතරූපං වා, තං ආරක්ඛෙන ගුත්තියා සම්පාදෙස්සාම, තස්ස භවිස්සාම අධුත්තී අථෙනී අසොණ්ඩී අවිනාසී කායො’ති. එවං හි වො කුමාරියෝ සික්ඛිතබ්බං”

(අංගුත්තර – පඤ්චක නිපාතය)

කුමරියෙනි, ස්වාමි පුරුෂයා ධන – ධාන්‍ය හෝ රන් රිදී කහවණු ආදිය හෝ සපයා ගෙනෙන්නේ ද එය රැක බලා ගන්නෙමු, නානා දුසිරිත් සඳහා නොයොදන්නෙමු. සොරසිතින් ගෙන තමන් හට උවමනා දෑහි නොයොදන්නෙමු. විනාශ නොකරන්නෙමු යැ යි නුඹලා විසින් හික්මිය යුත්තේ ය.

 

දිනමිණ වෙසක් කලාපය 2501 / 1957

ප්‍රඥාප්‍රභා 2

යතුරුලිවීම: චමිත ලක්මාල් මහතා

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.