
මහා උදායී මහරහතන් වහන්සේ මෙයින් කල්ප ලක්ෂයකට පූර්වයෙහි ලොව පහළ වු පදුමුත්තර නම් සර්වඥයන් වහන්සේ ගේ කාලයෙහි හංසවතී නුවර කුලගෙයක ඉපිද වැඩි වියට පත්ව එම බුදුරජාණන් වහන්සේන්ගෙන් බණ අසා ” මම අනාගතයෙහි රහත් බවට පැමිණ සසර දුකින් එතෙර වන්නෙමි” යි ප්‍රාර්ථනා කළහ. එතැන් පටන් බොහෝ කුසල් රැස්කොට දෙව් මිනිස් සැප අනුභව කරමින් සිට අපගේ බුදුරජාණන් වහන්සේන්ගේ කාලයෙහි කපිලවස්තු නුවර බ්‍රාහ්මණ කුලයක ඉපිද වාසය කළේය. නමින් උදායී විය.
උදායි බ්‍රාහ්මණ තෙම බුදුරජාණන් වහන්සේ කපිල වස්තු නගරයට පැමිණ ඥාතීන්ට සංග්‍රහ පිණිස දහම් දෙසන අවස්ථාවෙහි ඒ බණ අසා ශ්‍රද්ධාව උපදවා ගෙන පැවිදි විය. නොබෝ කලකින් රහත් භාවයට ද පත් වූ සේක. උදායී නමින් (කාළුදායි, ලාලුදායි) කීප දෙනකුන් පැවිදිව සිටි හෙයින් මුන් වහන්සේ මහා උදායි නමින් ප්‍රසිද්ධ වු සේක. .
මහාඋදායි මහරහතන් වහන්සේ තමන් වහන්සේ විසින් ලබන ලද නිවන් සුවය පිළිබද ප්‍රීතිය වර්ණනා කෙරෙමින් මෙසේ උදන් ඇනු සේක. එය බුදුරජාණන් වහන්සේට කළ ස්තුති පුජාවකි.
” ඇවිල ගත් මහා ගින්න දර නැති වීමෙන් මොහොතකින් නිවී යයි. අඟුරු ඉතිරි වුවත් ගිනි නැතැයි යන සඥාව ලබයි. මේ වනාහී නුවණැතියන් විසින් ප්‍රකාශ කරන ලද උපමාවකි. රහත් නාගයන් අතර බුද්ධ නාග තෙම ශ්‍රේෂ්ඨ යි. පහවූ රාගය ඇති, පහවූ ද්වේෂය ඇති, පහවූ මෝහය ඇති, කෙළෙසුන් නැසු බුද්ධනාග තෙමේ පිරිනිවන් පාන්නේය “
මහා උදායි මහරහතන් වහන්සේ අසූ මහා ශ්‍රාවක රහතන් වහන්සේලා අතර එක් මහා රහතන් වහන්සේ කෙනෙක් වු සේක.