බුදුරජාණන් වහන්සේ ගේ සමාජ සංවර්ධන සැලැස්ම

වෙසක් පුර පසළොස්වක පොදුවේ සමස්ත ලෝක බෞද්ධයනටත් ව්ශේෂයෙන් සිංහල බෞද්ධයනටත් ජාතික වූ ද ආගමික වූ ද ඉතා උතුම් දිනය වේ.

ඒ උතුම් දිනයෙහි ආමිස පූජා ප්‍රතිපත්ති පූජා වශයෙන් බුදුරජාණන් වහන්සේ පිදිය හැකි ආකාර දෙකකි. එයින් ප්‍රතිපත්ති පූජාව ම බුදුරජාණන් වහන්සේ උසස් කොට සැලැකූහ. එ හෙයින් ඉහළ සීලයන්හි පිහිටා භාවනාදි පිළිවෙත් පුරමින් ප්‍රතිපත්ති පූජා ද මල් පහන් ආදිය පුදමින් ආමිස පූජා ද පැවැත්විය යුතු ය. ඒ අතර බුදුරජාණන් වහන්සේ ගේ සමාජ සංවර්ධන සැලැස්ම අනුව තමනුත් දියුණු වන අතර අනාගත පරපුර ද දියුණු කැරැගන්නට ඉටා ගත යුතු ය.

ජාතියේ උතුම් වස්තුව වන දරුවන් නොමඟින් මුදා සුම‍‍ඟෙහි යොදා රටට ජාතියට භාෂාවට හා ආගමට වැඩ ඇති වැ ආදර්ශයෙන් හා උපදේශයෙන් හැදීම දෙමාපියන් ගේත් ගුරුවර ගුරුවරියන් ගේත් පරම යුතුකම බව බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. මෑත යුගයෙහි දී දෙමාපියන් හා ගුරුවර ගුරුවරියන් මේ යුතුකම ගැන සැලැකුවේ නැති අතර පාලක පක්‍ෂයත් පූජ්‍ය පූජක පක්‍ෂයත් අනාගත පරපුර හැදීම ගැන වැඩි සැලකිල්ලක් දැක්වූයේ නැත. එහි අනිෂ්ඨ විපාක මුළු රටට ම විඳින්නට සිදු වුණා නො වේ ද?

සමාජ සංවර්ධනය නම් සමාජයේ හෙවත් සමාජයට අයත් පුද්ගලයා ගේ දියුණුව යි. එයිනුත් අනාගත පරපුරේ දියුණුව විශේෂ යි. එ හෙයින් මතු සඳහන් වන කරුණු පොදු ජනතාව ගේ සැලැකිල්ලට භාජනය කරමි.

වාසනාවන්ත පුණ්‍ය භූමිය

ලෝක සිතියමෙහි ලංකාව හඳුන්වනු ලබන්නේ කුඩා තිතෙකිනි. ප්‍රමාණයෙන් කුඩා වුවත් ලංකාව තරම් වාසනාවන්ත භූමියක් ලෝකයෙහි වෙන කොහි වත් නැතැ යි කියැ යුතු වේ.

ලංකාව එ තරම් වාසනාවන්ත භූමියක් යැයි කියන්නේ කවර හෙයින් ද? ස්වාභාවික සෞන්දර්යයෙන් පිරුණු, ස්වාභාවික විපත්වලින් මිදුණු, ලොවී ලොවුතරා දියුණුවට උවමනා හැම අඟපස‍ඟෙකින් ම යුක්තවීම නිසයි. ස්වාභාවික සෞන්දර්ය හැටියට සැලැකෙන නිල් තණ, ගහ කොළ, මල් පල, සරු කෙත්, තුනී බිම්, කඳු හෙල්, ඇල දොළ ගංගා වැව් පොකුණු, මුතු මිණි ආකර ලේවා ආදියෙන් ලංකාව පිරී ඇත. ස්වාභාවික විපත්ති හැටියට සැලැකෙන ඍතු පෙරැළියෙන් වන පීඩා, භූමි කම්පා, ගිනි කඳු පිපිරීම්, ජල ගැලුම්, සුළි සුළං, වසංගත රෝග ආදියෙන් ලංකාව මිදී ඇත. ජල ගැලුම්, සුළි සුළං, වසංගත රෝග මෙහි වරින්වර ඇති වෙතත් අන් බොහෝ රටවල එ බඳු විපත් හා සසඳා බලන විට ඒවා ගණන් ගත යුතු තරම් විපත් නො වේ.

බුදුරජාණන් වහන්සේ ලොවුතුරා දියුණුවට මෙන් මැ ලොවී දියුණුවට ද, උපකාර වන පරිදි දේශනා කළ ධර්ම මාර්ගය මේ රටෙහි සම්පූර්ණ වැ ම ඇත. ධනය උතුරුවන උල්පත් එමට ය. අධ්‍යයන පහසු කම් නොඅඩු වැ ම ඇත. සෞඛ්‍ය තත්ත්වය ද හොඳ ය. ලෙඩට පිළියම් පහසු ය. සදාචාරයෙන් එ තරම් පිරිහී නැත. එය දියුණු කැර ගැනීම පහසු ය. ආශ්‍රයට මිනිස්සු ඇත. සුමඟ පෙන්වන නයුවෝ ඇත. මෙ සේ ලොවී ලොවුතුරා දියුණුවට උවමනා හැම අඟපස‍ඟෙකින් ම ලංකාව පිරී ඉතිරී ඇත.

සංවර්ධනය යනු කිම?

යම් කිසි ජාතියෙක රටෙක සංවර්ධනය හෙවත් දියුණුව සාමයික සංවර්ධනය, සාමාජික සංවර්ධනය යයි දෙ කොටසකට බෙදිය හැකි ය. එයින් සාමයික සංවර්ධනය නම් රටෙහි ජනතාව ගුණ දහමින් දියුණුවීම යි. සාමාජික සංවර්ධනය නම් රටෙහි ජනතාව ආර්ථික – සෞඛ්‍ය – අධ්‍යයන – සදාචාර යන සතරාකාරයෙන් දියුණු වීම යි. මෙ කී තාක් දියුණු, අභ්‍යන්තර දියුණුව යැ – බාහිර දියුණුව යැ යි දෙකොටසකට බෙදිය හැකි ය. යම් කිසි රථයක් මැනැවින් පැදවීමට රෝද දෙකක් හෝ දෙපැත්තට සමාන ගණනක් හෝ තිබියැ යුත්තාක් මෙන් ම සමාජයක් සම්පූර්ණ වැ දියුණු වන්නට නම්, අභ්‍යන්තර දියුණුවත් බාහිර දියුණුවත් එක හා සමාන වැ තිබිය යුතු මැයි.

බෞද්ධ රටෙක බෞද්ධ ප්‍රදේශයෙක සාමාජික දියුණුවට මුල් විය යුත්තේ පන්සල යි. වෙනත් වචනවලින් කියනවා නම් ආදර්ශයෙන් හා උපදේශයෙන් ජනතාව සුමඟ යැවිය හැකි ශීලයෙන් ගුණයෙන් නුවණින් දියුණු වූ භික්‍ෂූන් වහන්සේ ය. එ බඳු භික්‍ෂූන් වහන්සේ අප රටෙහි තවමත් වැඩ සිටිති. සාමාජික දියුණුවට උවමනා කරන කොටස් රජයේ පුරෝගාමිත්වයෙන් සපුරා ගත යුතු ය.

තරුණ සහභාගිත්වයේ අවශ්‍යතාව

අනෙක් කොටස ජනතාව ම සංවිධානය වී සපුරා ගත යුතු වේ. රජය කළ යුතු කොටස සපුරාලන්නට ඒ ඒ කලට පත්වන හැම රජයක් ම විශාල වියදමක් දරන බව ඉතා ප්‍රකට ය. එහෙත් ඒ කටයුතු කරන ඇතැමුන් තුළ ජාතික ආගමික හැඟීම් අඩු නිසා දෝ කරන වියදමේ තරමට ප්‍රතිඵල නැති බව ද ඉතා ප්‍රකට ය. එ හෙයින් ද රටට ජාතියට භාෂාවට හා ආගමට ද ළැදියාවක් ඇති අනාගත පරපුරක් ඉතා අවශ්‍ය වී ඇත.

ජනතාව සංවිධානය වී සපුරා ගත යුතු කොටස සඳහා නන් අරමුණු ඇති සංවිධාන අති විශාල සංඛ්‍යාවක් අප රටෙහි ඇත. එහෙත් ඒ සංවිධානවල සංඛ්‍යාවේ තරමට ලැබෙන ප්‍රතිඵල ප්‍රමාණවත් නො වේ. විශේෂයෙන් බෞද්ධ සංවිධානවල ක්‍රියාකාරී ශක්තිය ඇති තරුණයන් ගේ සම්බන්ධය හොඳට ම අඩු ය. තරුණ සංවිධානවල පවා බහුල ව සිටින්නෝ ද තලතුනා අය මැ වෙති. ඊට ප්‍රධාන හේතුව ජාතික ආගමික හැඟීම් අඩු වීම යි. එ මඟින් ද රටට ජාතියට භාෂාවට හා ආගමට ළැදියාවක් ඇති අනාගත පරපුරක් ඉතා අවශ්‍ය වී ඇත.

පුරාණ කාලයෙහි ගම්වල පැවැති සමුපකාරය, සාමූහික ජීවිතය අති ශ්‍රෙෂ්ඨ ය. එ හෙයින් ගම්වැසියන් අතර සමඟිය, සදාචාරය හා ආර්ථික පිරිමැස්ම වචනයෙන් කියන්නට බැරි තරම් හො‍ඳින් පැවැතිණි. එහෙත් ගම්වල දැන් තත්ත්වය ඉඳුරා ම වෙනස් අතකට හැරීගෙන යයි. මරණයක්හි දී පවා නො දැන්නුවොත් නොයන තරමට සාමූහික ජීවිතය වෙනස් වී ඇත.

සමඟිය වෙනුවට භේදය වැඩි වී ඇත. දැනට සිටින වැඩිහිටියන් ගේ අභාවයෙන් පසු එ කී තත්ත්වය හොඳට ම නරක් වන බවට ලකුණු පහළ වී ඇත. තරුණ පක්‍ෂයෙහි බොහෝ දෙනා තුළ ජාතික ආගමික දැනුම හා වේදනාව හීන වේගෙන යන බව පෙනෙන්නට ඇත. එ හෙයින් ද රටට ජාතියට භාෂාවට හා ආගමට ළැදියාවක් ඇති අනාගත පරපුරක් ඉතා අවශ්‍ය වී ඇත.

අද සමහර තරුණ තරුණියන් තමන් ගේ තරුණ ශක්තියේ වටිනා කම සලකන්නේ නැත. තමනටත් අනුනටත් වැඩ පිණිස යෙදිය හැකි තරුණ ශක්තිය අවැඩ පිණිස යොදන බව පෙනෙයි. තරුණ ශක්තිය නිසි විදියට යෙදැවීමෙන් ලැබෙන අනුසසුත් වරදවා යෙදැවීමෙන් ලැබෙන ආදීනවත් තරුණ තරුණියනට කරුණාවෙන් කියා දිය යුතු කාලය පැමිණ ඇත.

තරුණකම මහදිග පළල් දෙයක් නො වේ. අවුරුදු දහ අටෙන් විස්සෙන් ආරම්භ වී තිස් පහෙන් හතළිහෙන් අවසන් වෙයි. ඉන් අවුරුදු විස්සක් පමණ වූ මේ තරුණ කාලය වරදවා යෙදුවොත් ජීවත් වන ඉතිරි සම්පූර්ණ කාලය මැ අඳුරු වෙයි. ඒ අවුරුදු විස්සක් පමණ වූ කාලය නිසි පරිදි යෙදුවොත් ජීවත්වන ඉතිරි සම්පූර්ණ කාලය ම ආලෝක වෙයි. වාසනාවන්ත වෙයි. මෙයින් අදහස් කරන්නේ තරුණ තරුණියන් යෝගීන් කොට තැබීමක් නො වෙයි. ඔවුන් ගේ තරුණ ශක්තිය වරදවා යෙදැවීම වළක්වනු පමණය.

තරුණ ශක්තිය නිසි විදියට යෙදීම දියුණුවට උපකාර වන්නාක් මෙන් ම විනෝදයට බාධාවක් නොවනු ඇත. මෙය තරුණ තරුණියනට හරිහැටි අවබෝධ කරවුව හොත් ඔවුන් ද එය පිළිගන්නවා නොඅනුමාන ය. එ හෙයින් තරුණ ශක්තිය තමන් ගේ ලොවී ලොවුතුරු දියුණුවටත් රටට, ජාතියට, භාෂාවට හා ආගමට වැඩ වන පරිදි යෙදවීමටත් පුහුණු කරන වැඩ පිළිවෙළක් අවශ්‍ය වී ඇත.

ඒ අවශ්‍ය වැඩ පිළිවෙළ සාසන සේවක සමිතිය විසින් පිළියෙළ කොට ඇති බව මේ උතුම් වෙසක් පුර පසළොස්වක් දා බලවත් ප්‍රීතියෙන් ප්‍රකාශ කෙරෙමි.

ජනතා 1977.04.29 (වෙසක්)

ප්‍රඥාප්‍රභා 3

යතුරුලිවීම: ඇම්. ඒ. බන්‍දුල මහතා

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.