බුදුන් වහන්සේ දේශනා කළ විද්‍යාවේ මූල ධර්ම

බටහිර වෛද්‍ය විද්‍යාව සහ තාක්ෂණය ඉතා දියුණු මට්ටමක පවතින බවත් ඉන් ලෝකයාට අත්වන යහපත් ප්‍රතිඵලත් පිළිබඳ අද වන විට ලෝක ප්‍රජාවම දැනුවත්ය.

බටහිර වෛද්‍ය විද්‍යාවට සහ තාක්ෂණයට සමගාමීව බුදුදහම ද ලෝකය පුරා ඉතා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වේ.
බටහිර වෛද්‍ය විද්‍යාව සහ බුදු දහම එකිනෙකට බැඳී පවතින්නේ අද ඊයේ නොවේ. එහි විස්තර කෙරෙන කරුණු කාරණා පිළිබඳ බුදුරජාණන් වහන්සේ මැනවින් වදාළ සේක.
බටහිර වෛද්‍ය විද්‍යාවේ පියා ලෙස හඳුන්වන්නේ හිපොක්‍රටිස්ය. ඔහු ක්‍රි.පු.460 දී පමණ තුර්කියානු මුහුදු තීරයේ ඉපදී පසුව ග්‍රීසියට ගොස් තම වෛද්‍ය පරීක්ෂණ පැවැත්වූවේය.
ඔහුගේ ඉගැන්වීම් අතර පහත සඳහන් කාරණා විශේෂ ස්ථානයක් ගනියි. ඉන් පළමුවැන්න ලෙස දේව කෝපය, අමනුෂ්‍ය දෝෂ ප්‍රතික්ෂේප කර, රෝග නිධානයට හේතුව සිරුරේ ක්‍රියාකාරීත්වය සහ පරිසරයේ විෂමතාව මත බලපාන බව පෙන්වා දීමයි. දෙවැන්න ලෙස වෛද්‍යවරයකු තුළ තිබිය යුතු ගුණාංග ආචාර ධර්ම පද්ධතියක් ලෙස හිපොක්‍රටිස් දිවුරුම ඉදිරිපත් කිරීමද තෙවැන්න ලෙස රෝග සුවවීම සහ උත්සන්න වීම සඳහා රෝගියාගේ මනස බලපාන බව පෙන්වා දීමයි.
“හිපොක්‍රටිස්’ පෙන්වා දෙන මේ මූලධර්ම අප මහා බුදුරජාණන් වහන්සේ ක්‍රි.පූ. 560 ටත් පෙර අනාවරණය කරන ලදී. උදාහරණයක් ලෙස අංගුත්තර නිකායේ පංචක නිපාතයේ ගිලානෝපට්ඨාන සුත්‍රයේ සඳහන් ගිලනුන්ට උපස්ථාන කරන්නකු සතුව තිබිය යුතු ගුණාංග මෙහිදී සැලකිය හැකිය.

වෛද්‍ය විද්‍යාලවල ඉගෙනුම ලබන වෛද්‍ය සිසුන් පළමු වසර දෙකක කාලය තුළදී කරනු ලබන කායච්ඡේද විද්‍යාව (ඒදචබධථර) යනුවෙන් හඳුන්වන මළ සිරුරක් කපා අධ්‍යනය කිරීම තුළින් මිනිස් සිරුරේ කොටස් ගැන, මනා අවබෝධයක් ලබා ගනියි. ඇරිස්ටෝටල් කායච්ඡේද විද්‍යාවේ පියා ලෙස හැඳීන්විය හැකිය. පසුව ඇන්ඩ්‍රියස් වෙසලියස් (1514) ඉතා ගැඹුරින් කායවිචච්ඡේද විද්‍යාව හදාරා එය චිත්‍රයට නැඟීමට උත්සුක විය. එමෙන්ම 1578 දී පමණ විලියම් හාවේ රුධිර සංසරණ පද්ධතිය අධ්‍යයනය කළේය.
අප ගෞතම බුදුරජාණන් වහන්සේ කායවිචච්ඡේදය හෙවත් අපගේ ශරීරය සෑදී ඇති කොටස් පිළිබඳව අවස්ථා දෙකක දී මැනවින් විග්‍රහ කර ඇත.
සතිපට්ඨාන සූත්‍ර දේශනාවේදී පාද තලයෙන් උඩ කෙස් මත්තෙන් යට සෙමෙන් කෙලවර කොට ඇති මෙම ශරීරය ගැන සිතන්න. මේ ශරීරය සෑදී ඇත්තාවු කෙස්, ලොම්, නිය, දත්, සම, මස්, නහර, ඇට, ඇට මිදුළු , වකුගඩු, හෘදය, අක්මාව, ඇලදිව, ප්ලිහාව, පපුමස, බඩවැල, කුඩාබඩවැල, ආදී වශයෙන් දැක්වූවාවූ අංග තිස් දෙකකින් යුත් මේ ශරීරය සෑදී ඇත්තා වූ කොටස් පැහැදිළි කර ඇත.
අංගුත්තර නිකායේ දශක නිපාතයේ එන ගිරිමානන්ද සූත්‍ර දේශනාවේදී දස සංඥා විස්තරයද මෙහිදී ඉතා වැදගත් ය. එනම් අනිච්ච සංඥා, අනන්ත සංඥා ආදී වශයෙන් විස්තර කරන්නේ ශරීරය සෑදී ඇති අංග තිස් දෙකය.
මේ අන්දමින් බලන කල මිනිස් සිරුරක් කපා නොබලා තම බුද්ධ ඥාණය උපයෝගී කර ගනිමින් ශරීරය සෑදී ඇති අන්දම මෙලෙස විස්තර කිරීම පුදුම සහගතය.
රෝග ගැන බුදුන් වහන්සේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ ඉන්ද්‍රිය මග්ගයේ රෝග සූත්‍රයේ මෙසේ සඳහන් කර තිබේ.” මහණෙනි රෝග නම් දෙවර්ගයකි. එනම් කායික රෝග සහ චෛතසික රෝග හෙවත් මානසික රෝගයි. මහණෙනි, කායික රෝගයෙන් අවුරුද්දක් නිරෝගී බව දක්වන, අවුරුදු දෙකක්, තුනක්, හතරක්, දහයක් සියයක් නිරෝගී බව පළ කරන කෙනෙකුන් දක්නට සිටින නමුත් චෛතසික රෝගයන්ගෙන් මොහොතක්වත් නිරෝගී යැයි පළකරන, රහතුන් වහන්සේලා හැර වෙනත් සත්වයෙක් නැත.
සිග්මන් ප්‍රොයිඩ් නැමැති මෑත කාලීන බටහිර මනෝ විද්‍යාවේ පියා සඳහන් කරන අන්දමට සෑම පුද්ගලයෙක්ම නියුරෝසියාව (සුළු මානසික රෝග) නැමැති රෝගයෙන් පෙළෙන බව සඳහන් කිරීමෙන් ඉහතින් කී බුද්ධ වචනය කොතරම් සත්‍යදැයි පැහැදිළි වෙයි.
අංගුත්තර නිකායේ එන ගිරිමානන්ද සූත්‍රයේ ආදීනව සංඥා යටතේ බුදුන් වහන්සේ මෙසේ දේශනා කර තිබේ. මහණෙනි මෙම කයේ විවිධ ආබාධ උපදිති. ඒවා කායික රෝග හතළිස් අටක් වශයෙන් විස්තර කර ඇත.
රෝග ගැන පමණක් නොව රෝග නිධාන ගැන මෙන්ම මනා ශරීර සෞඛ්‍යයක් පවත්වාගෙන යෑමට අවශ්‍ය කාරණා 5ක් බුදුන් වහන්සේ දේශනා කරන ලදී. එනම් එහි සිංහල තේරුමගෙන බැලූවිට, පෝෂ්‍යදායී ආහාර ලබා ගැනීම, ශරීර සෞඛ්‍යයට ගැලපෙන ඉඳුම් හිටුම් පැවතුම් හා ව්‍යායාම, සෘතුවලට ගැලපෙන පරිදි ඇඳුම් පැළඳුම් ආහාර ජලය පාවිච්චිය, නිවැරදි පුද්ගලයන් ඇසුරු කිරීම අධ්‍යාත්මික දියුණුව ඇති වන අන්දමට කටයුතු කිරීම ඒවා වේ.
කායික රෝගවලට ප්‍රතිකාර රාශියක් විනය පිටකයේ මහාවග්ග පාලියෙහි සෙජ්ඣක්ඛකයේ සවිස්තරව දේශනා කර තිබේ. එහි එන සමහර ප්‍රතිකාර ක්‍රම අදටත් ආර්යුවේද වෛද්‍ය විද්‍යාවේ ප්‍රකටව භාවිතා කරයි.
දත් රෝග හා මුඛ රෝග සම්බන්ධව චුල්ලවග්ග පාලියෙහි සහ අංගුත්තර නිකායේ දන්නකට්ඨි සූත්‍රයේ විස්තර කර තිබේ.
බුදුන් වහන්සේ රෝගවලට ප්‍රතිකාර පමණක් නොව රෝග වළක්වා ගන්නා විධිහෙවත් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමද දේශනා කර තිබේ. මහාවග්ග පාලියෙහි සේනාසනන්ඛන්ධකයේ මේවා සඳහන් වේ. බුදුන් වහන්සේ විසින් විවිධ මනෝචිකිත්සක ක්‍රම භාවිතා කරමින් මනුෂ්‍යයාට පිහිට වූ හැටි ඉතා චමත්කාරය. එම අවස්ථා අතුරින් තම දරුවා මිය ගිය බව නොපිළිගත් කිසාගෝතමීය. තම සිත එක්තැන් කරගෙන භාවනා කළ නොහැකි වූ නන්ද තෙරුණ්, චුල්ලපන්ථක තෙරුණ් ඊට නිදසුන්ය.
ජාතක කතා පොතේද මානසික රෝග සහ මනෝ චිකිත්සක ක්‍රම උපයෝගී කරගත් අවස්ථා බොහෝ සුලභය.
බටහිර වෛද්‍ය විද්‍යාවේ අත් සෝදා ගෙන ශල්‍යකර්ම කිරීමෙන් ශල්‍යකර්ම තුවාලවල ආසාදන තත්ත්වය පැහැදිළිවම අඩුකරගත හැකි බව දැනගෙන දැනට වසර පන්සියක් පමණ වේ. නමුත් බුදුන් වහන්සේ “අත්සේදූ ශල්‍ය වෛද්‍යවරයෙක් ලෙස මා සූදානම්ව සිටින්නමියි. සඳහන් කිරීමෙන් පෙන්නුම් කෙරෙන්නේ අවුරුදු 2500කට පෙරද උන්වහන්සේ එහි වටිනාකම අවබෝධ කරගෙන තිබූ බවයි.
මෙලෙස බලන කළ බටහිර වෛද්‍ය විද්‍යාවේ අදට පරීක්ෂණ මඟින් ඔප්පු කළ සහ අනුමාන කළ දත්ත සියල්ලක්ම පාහේ බුද්ධ ධර්මය තුළ පැහැදිළිවම සාක්ෂාත් කරගෙන තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ
විකලාංග ශල්‍ය වෛද්‍ය විශේෂඥ
වෛද්‍ය ආනන්ද පෙරේරා

ලෝසත සිත් බොදු බැතියෙන් නිවාලනු වස් සත්කෙරේ මෙත්සිත් පෙරදැදිව එරන්ද ලක්මාල් විසිනි

මනෝකාය ...
විශ්මිත බුදුනුවණ ගැන කියැවෙන සුමදුර දේශනය චූලනිකා සූත්‍රය ...

Join the discussion One Comment

Leave a Reply

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.