බුදුගුණ සිසිල විදිමු.

හෙළ පියුමක් යම් සේ ජලයෙහි නොගැලී සුවඳ දෙමින් පවතී ද එමෙන් ම ලෝකයා සමඟ නොඇලි කටයුතු කරන බැවින් බුද්ධ යන නම භාවිත කරන බව මෙහි කියැවෙයි. අප මෙන් මනුෂ්‍යයකු ලෙස ඉපැදී මනුෂ්‍යයකු ලෙස කටයුතු කොට මනුෂ්‍යයකු වශයෙන් යාම් ඊම් ආදි විහරණයන් සිදු කර එහෙත් මනුෂ්‍යයකු තුළ පවතින සසර ගමනට හේතුවන ක්ලේශ දුරු කර සහමුලින්ම ඉවත් කර දැමූ නිසා උන්වහන්සේට බුද්ධ නම් වචනය යෙදේ. මේ සමාජය තුළ ජීවත්වෙමින් සමාජයේ නොඇලී නොගැටී කටයුතු කළ උත්තමයෙකි

අප වැනි අයට අමාමෑණි බුදුපියාණන් වහන්සේගේ ගුණයන් නිසි ආකාරව නොවැටහෙන ස්වභාවක් ඇති බවත්, බුදු කෙනකුගේ ගුණ වර්ණනා කර නිමකළ නොහැකි බවත් සත්‍යයකි. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ කවරෙක්ද යන පැනය අද පමණක් නොව අතීතයේදී ද පැන නැඟී ඇත්තකි. බුදුන් යනු කිසියම් දිව්‍යමය සම්භවයක් ඇත්තකු ලෙසත් ඒ නිසා උන්වහන්සේ පණිවිඩකාරයකුය යන මතය සමහරුන් සාකච්ඡාවට බදුන් කර ඇත. එහෙත් උන්වහන්සේගේ දේශනාවට අනුව බුද්ධත්වය යනු මනුෂ්‍යයකු වශයෙන් මනුෂ්‍යයකු විසින් දියුණු කරනු ලැබිය යුතු මානුෂීය ගුණධර්ම සංවර්ධනය තුළින් ලබාගත් තත්ත්වයකි. එහෙයින් කාගේ හෝ ශිෂ්‍යයකු ලෙස හෝ පණිවිඩකරුවකු ලෙස නොව මනුෂ්‍යත්වය තුළ සංවර්ධනය කරගත යුතු උතුම් බුද්ධිමය ශක්තිය දියුණු කරගත් උත්තමයකු ලෙස බුදුපියාණන් වහන්සේ හඳුන්වාදීම සුදුසු වේ.
උන්වහන්සේ පිළිබඳ අපට හඳුනා ගැනීමට ලැබෙන හොඳම අවස්ථාවක් නම් බෝ මැඩ සිට බරණැස ඉසිපතනාරාමයට ප්‍රථම ධර්ම දේශනාව සඳහා වැඩි ගමන අතර මඟදී හමුවූ උපක ආජීවක තෙම හා බුදුන්වහන්සේ අතර සිදුවූ සංවාදයයි. “ ඔබ වහන්සේ ප්‍රසන්නයි, ඔබ වහන්සේගේ ඉන්ද්‍රියයන් ප්‍රියජනකයි. ඔබවහන්සේ කිනම් ගුරුවරයකු පා සෙවණේ හැදෙන කෙනෙක්ද? කිනම් දහමක් අනුගමනය කරන්නේද ? “ යනුවෙන් උපක ආජීවක බුදුන්වහන්සේගෙන් විමසා සිටී.

න මෙ ආචරියො අත්ථි – සදිසො මෙ න විජ්ජති
සදෙවකස්මිං ලොකස්මිං – නත්ථි මෙ පටිපුග්ගලො

“මට ආචාර්යවරයෙක් නැත. මා හා සමාන වූවෙක් නැත. දෙවියන් සහිත ලෝකයේ මා හා සදිසි මා ඉක්මවා යා හැකි පුද්ගලයෙක් නැත” යනුවෙන් දේශනාකර ඇත.

බුදුන්වහන්සේ අප්පටිපුග්ගල වේ. එහි අදහස අසමාන පුද්ගලයකු බවයි. උන්වහන්සේ තුළ සුවිශේෂී ගුණ රාශියක් දක්නට ඇත. ඒ අතර සමහර ගුණයන් බුද්ධිය, මනැස හා සම්බන්ධ වන අතර සමහර ගුණාංග හදවත හා සම්බන්ධ වන කරුණු ලෙස සැලකේ. හදවත හා සම්බන්ධ ගුණාංග ලෙස සැලකෙනුයේ කරුණාව මත පදනම් වූ ලක්ෂණයන් ය. උන්වහන්සේගේ මහා කරුණාව උත්තරීතරය. උන්වහන්සේ ගේ මනා පුහුණුව ලෙසින් හඳුන්වන බුද්ධිමය ශක්තිය හෙවත් ප්‍රඥාව සෙස්සන් අතර සුවිශේෂී වන හෙයින් අපි එයට මහා ප්‍රඥාව යැයි කියමු. උන්වහන්සේ මහා කරුණාවෙන් මහාප්‍රඥාවෙන් යුක්තය. උන්වහන්සේගේ ගුණ හැදෑරීමේදී අපට පැහැදිලි වන ගුණ, ශාරීරික හා අධ්‍යාත්මික වශයෙන් දෙයාකාරයකින් පෙන්වා දිය හැකි ය. කායික ලක්ෂණ වශයෙන් උන්වහන්සේ තුළ පැවැති දෙතිස්මහාපුරුෂලක්ෂණ, එමෙන්ම අසීතිඅනුව්‍යඤ්ජන, මංගල ලක්ෂණ, බ්‍යාමප්‍රභා මණ්ඩලය ආදිය හැඳින්වීමට හැකිය. මෙම දෙතිස් මහා පුරුෂ ලක්ෂණ උන්වහන්සේ තුළ පැවැතියේ ද යන සාකච්ඡාව සමහරුන් බුදුරජාණන් වහන්සේ ජීවමාන අවධියේම සිදුකර ඇත.

දීඝ නිකායේ හමුවන අම්බට්ඨ සූත්‍රය වැනි සූත්‍රවල මෙම ලක්ෂණ පිළිබඳ කරුණු දැක්වෙන අතර එම කරුණු ප්‍රතික්ෂේප කිරීමට කිසිවකුටත් හැකියාවක් නොමැත. පොක්ඛරසාදී බ්‍රාහ්මණයා බුදුන් වහන්සේ පිළිබඳ ඇතිවුණු මහා කීර්ති රාවය අසා තමා ගේ දක්ෂ ශිෂ්‍යයකු වූ අම්බට්ඨ මානවකයා බුදුන් වෙත පිටත් කළේය. අම්බට්ඨ බුදුන්වහන්සේ පිටුපස යමින් උන්වහන්සේ තුළ දෙතිස්මහාපුරුෂලක්ෂණ ඇත්දැයි පරීක්ෂා කළේය. මෙසේ සොයා බැලීමට හේතු වූයේ අතීතයේ වේද ග්‍රන්ථවල මහාපුරුෂලක්ෂණ ලියැවී තිබීමයි.

මේ පුරුෂලක්ෂණ ඇත්තකුට හිමිවන තත්ත්ව දෙකකි. ගිහි ගෙයි විසුවහොත් එවන් උත්තමයෝ චක්‍රවර්ති රාජ්‍යය ලබති. එසේ නැතහොත් පැවිද්දට පත්වීමෙන් ලොව්තුරා බුද්ධත්වයට පත් වේ යැයි වේද ග්‍රන්ථවල සඳහන්ව ඇත. බුදුන් වහන්සේගේ මහා පුරුෂලක්ෂණ පිළිබඳ සොයා බැලූ අම්බට්ඨ බාහිරව පෙනෙන ලක්ෂණ කිහිපයක් දැක හඳුනාගත් නමුත් පහුතජිව්හා ලක්‍ෂණය හා කෝසෝහිතවත්‍ථගුය්හ ලක්‍ෂණ නම් වූ බාහිරට නොපෙනෙන ලක්‍ෂණද්වය හඳුනා ගැනීමට හැකියාවක් නොලැබුණි. අම්බට්ඨ මානවකයාගේ සිත තේරුම් ගත් බුදුරජාණන් වහන්සේ ඔහුට පෙනෙන්නට එම අභ්‍යන්තර ලක්‍ෂණද්වය පිළිබඳ ඉද්ධාභිසංඛාරයක් පැවැත්වූ බව අම්බට්ඨ සූත්‍රයේ සඳහන්වේ.

බෝසතාණන් වහන්සේ ලෙස සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පාරමී ධර්ම සම්පූර්ණ කර කාලය, දීපය, දේශය, කුලය සහ මව යන පංචමහාවිලෝකනයන්ගෙන් අනතුරුව මිනිස් ලොව සුවිශේෂී පුද්ගලයෙක් වශයෙන් උපත ලබා ගත්හ. එහෙයින් බුදුන් වහන්සේ අප හා සමාන මනුෂ්‍යයකු යන්න නොසිතිය යුතු කල්පනාවකි. එකිනෙකට වෙනස් අයුරින් මෙලොව ඉපැදෙන මිනිසුන් අතර බෝධිසම්භාර ධර්ම පිරූ උත්තමයකු අතිශයින් ම අපට වඩා වෙනස් සුදුසුකම්වලින් හා ශාරීරික, බුද්ධිමය ශක්තීන්ගෙන් යුක්ත වීම විය යුත්තකි.

අද අප අතර උන්වහන්සේ ගේ දේශනාවන් ඇත. එම ධර්මය දෙස බලන කල පැහැදිලිවන කරුණක් නම් තියුණු නුවණකින් විනා මෙතරම් ගැඹුරු දහමක් අවබෝධ කරගෙන සෙස්සන්ට වැටහෙන සේ දේශනා කළ නොහැකි බවයි. මේ අනුව බැලූ කල බුදුන්වහන්සේ යනු මනුෂ්‍යත්වයේ ඉපිද මිනිසුන් සතු ක්ලේශයන් සුන්කළ සුවිශේෂී අධිමානුෂීය පුද්ගලයකු බැව් පැහැදිලි වේ. එහෙත් මේ කාරණය අනුව බුදුරජාණන් වහන්සේ මිනිසකු නොවන ලෙස වරදවා වටහා ගත යුතු නොවේ.

සුදොවුන් රජුට දාව මහාමායා දේවියගේ කුසින් බිහි වූ බෝසතාණෝ කුමාරයකු ලෙස හැදී වැඩී, කෙළි සෙල්ලම් කොට සූසැට කලාවන් ඉගෙන තම තරුණ වියේදී විඳිය යුතු, ලැබිය යුතු අත්දැකීම් සියල්ල නිසිලෙස ලබා යශෝධරා දේවිය හා විවාහ වී පිය පදවිය ද ලැබූ මනුෂ්‍යයෙකි. මේ සියලු කරුණු දෙස බලන කල ගිහියකු ලෙස උන්වහන්සේ තුළ මහාපෞරුෂීය ලක්‍ෂණ තිබූ බව පෙනේ. එමෙන්ම සුත්තනිපාතයේ පබ්බජ්ජා සූත්‍රයේ උන්වහන්සේ තමන්වහන්සේ පැවිදි වූයේ ඇයි ද යන්න දේශනා කර ඇත.

සම්බාධොයං ඝරාවාසො – රජස්සායතනං ඉති
අබ්භොකාසොව පබ්බජ්ජා – ඉති දිස්වාන පබ්බජි
(පබ්බජ්ජාසුත්තං)

මේ ගිහිගෙහි වාසය අතිශයින් බාධක සහිතයි. කෙලෙස් වැඩීමට ආකරයකි. පැවිද්ද ආකාශය වැනිය. මම පැවිද්දෙහි නිදහස දැක පැවිදි වීමි. පැවිද්ද සඳහා ගිහිගෙය හැරයෑමට තමන් වහන්සේ පෙළැඹුණේ මේ සමාජයේ පවතින දුක නමැති යථාර්ථය අවබෝධ කර ගනිමින් ඒ සඳහා විසැඳුමක් සොයමින් බව මේ කියමනට අනුව පැහැදැලිය.

මේ අනුව බුදුන්වහන්සේ පිළිබඳ කල්පනා කළ යුතු වන්නේ මනුෂ්‍යයකු ලෙස ඉපැදී මනුෂ්‍යයකු ලෙස විඳිය යුතු සැප සම්පත් විඳ එමෙන් ම ළඟාකර ගතයුතු සුව පහසුකම් ලබාගෙන එහෙත් ඒ ආස්වාදය තුළ ඇති ආදීනවයන් දැක, එහි නිස්සරණය තේරුම් ගෙන ඉදිරියට ගිය කෙනකු ලෙස ය.

ඉහත අප සාකච්ඡා කළේ බුදුරජාණන් වහන්සේගේ ශාරීරික හා මානුෂීය ලක්‍ෂණ කිහිපයක් පිළිබඳ පමණි. උන්වහන්සේගේ වචනය ගත් කල ඒ තුළ සුවිශේෂී වූ ලක්‍ෂණ ගණනාවක් දැක්විය හැකිය. බින්දු, සුස්සරතා, සුසණ්ඨාන ආදි ලක්‍ෂණ උන්වහන්සේගේ වචන තුළ අන්තර්ගත විය. අෂ්ඨංගසමුපේත ස්වර උන්වහන්සේ සතු විය. බින්දු යනු වචනයේ වටකුරු බවයි. උන්වහන්සේ දේශනා කරන ආකාරය ඉතා මිහිරි ය. බුදුරජාණන් වහන්සේ සුගත නම් වන සේක. “සුගතොති සොභනගමනත්තා සුන්දරං ඨානං ගතත්තා සුගතො” යනුවෙනි. උන්වහන්සේ නිරන්තරයෙන් දේශනා කළ වචන සියල්ලන් ගේ හදවත දිනාගත් මිහිරි වචන වූ අතර මට්ට සුමට්ට වචන වන හෙයින් එම වචන බින්දු නමින් හඳුන්වනු ලැබේ.

එසේම උන්වහන්සේ තුළ පැවැති සුස්සරතා ගුණය වැදගත් වේ. සුස්සරතා යනු නියම ස්වර උච්චාරණය කරමින් කතා කිරිමයි. වර්තමානයේ මාධ්‍යයන්හි නිවේදනය දෙස බැලූ විට පැහැදිලි වන කරුණක් නම් නියම ස්වර උච්චාරණය නොකොට අපේ භාෂාවට ආගන්තුක ස්වරයක් ඇතුළත්ව තිබීමය. ඕනෑම කෙනකුට ඕනෑම භාෂාවක් කතා කිරීමට හැකියාවක් ඇති කරගත හැකි අතර ඒ සඳහා නිදහසක් ඇත. එහෙත් කුමන බසක් කතා කළත් ඒ බසෙහි නිශ්චිත තීරණ හා නිශ්චිතව බැසගත් භාෂාත්මක න්‍යායයන් හඳුනාගෙන කටයුතු කළ යුතුය. බුදුන් වහන්සේ දේශනා කරන්නේ නියම වශයෙන් ස්වර හඳුනාගෙනය.

සුසණ්ඨාන යන්නෙන් නියම ආකාරයෙන් අක්‍ෂර උප්පත්තිස්ථාන ඇසුරු කරගෙන දේශනා කිරීම ප්‍රකාශ වෙයි. එසේ අක්‍ෂර උප්පත්තිස්ථාන ඇසුරු නොකිරීම නිසා භාෂාවේ ව්‍යක්ත බව පිරිහී යයි. එබැවින් වචන නියම ස්වරවලින් උච්චාරණය කිරීම ඉතා වැදගත් කාරණයකි.

එසේම උන්වහන්සේගේ දේශනාවල ඇති ගම්භීර බව ඉතා විශිෂ්ටය. අද සමාජයේ සමහර පුද්ගලයන් තමන් කතා කළ යුතු ආකාරය නිසි ලෙස හඳුනාගෙන නොමැත. බුදුන් වහන්සේ කාලවාදීය; භූ®තවාදීය; අත්‍ථවාදීය. ( බ්‍රහ්මජාලසුත්තං )

කාලවාදී යනු අවශ්‍ය වෙලාවට කතා කිරීමයි. මෙයට හොඳම නිදසුන දාරුචීරිය තාපසතුමාගේ කථාවයි. බුදුන් වහන්සේගේ පසුපස පැමිණි දාරුචීරිය තාපසතෙම බුදුන් වහන්සේ පිණ්ඩපාතයේ වඩින විටත් ධර්ම දේශනා කරන ලෙස ඉල්ලා සිටියේ ය. එවිට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ “ අකාලො ඛො තාව බාහිය. අන්තරඝරං පවිට්ඨම්හා පිණ්ඩායා’ති” යනුවෙනි. බාහිය, මෙය පිඬු පිණිස වඩින වෙලාව යි. බණ කීමට සුදුසු වෙලාවක් නොවේ යැයි පවසා ඇත. දාරුචීරිය යළි යළිත් ඇවිටිලි කළේය. එහිදී උන්වහන්සේ ධර්මය දේශනා කළද උන්වහන්සේ සුදුසු අවස්ථාවෙහි පමණක් ධර්මය දේශනා කරන සේක.

පුණ්ඩරීකං යථාවග්ගු – තොයෙන නූපලිප්පති
නූපලිත්තොම්හි ලොකෙන – තස්මා බුද්ධොස්මි බ්‍රාහ්මණාති
(ද්‍රෙණ ( ලොක ) සුත්තං)

හෙළ පියුමක් යම් සේ ජලයෙහි නොගැලී සුවඳ දෙමින් පවතී ද එමෙන් ම ලෝකයා සමඟ නොඇලි කටයුතු කරන බැවින් බුද්ධ යන නම භාවිත කරන බව මෙහි කියැවෙයි. අප මෙන් මනුෂ්‍යයකු ලෙස ඉපැදී මනුෂ්‍යයකු ලෙස කටයුතු කොට මනුෂ්‍යයකු වශයෙන් යාම් ඊම් ආදි විහරණයන් සිදු කර එහෙත් මනුෂ්‍යයකු තුළ පවතින සසර ගමනට හේතුවන ක්ලේශ දුරු කර සහමුලින්ම ඉවත් කර දැමූ නිසා උන්වහන්සේට බුද්ධ නම් වචනය යෙදේ. මේ සමාජය තුළ ජීවත්වෙමින් සමාජයේ නොඇලී නොගැටී කටයුතු කළ උත්තමයෙකි.

උන්වහන්සේ කාලවාදී ය; භූ®තවාදී ය; අත්ථවාදී ය; ධම්මවාදී ය, අවස්ථානුරූපීව යථාර්ථය දේශනා කරන උතුමෙකි. දුටු දේ දුටු දේ ලෙසත්, ඇසුණු දේ ඇසුණු දේ ලෙසත්, දැනුණු දේ දැනුණු ලෙසත් කල්පනා කළ යුතු ය යනාදී වශයෙන් බුදුරජාණන් වහන්සේ කෙටි ධර්මානුශාසනාවක් කරමින් දාරුචීරිය වෙතින් ඉවත්ව පිණ්ඩපාතයේ වැඩම කළ සේක.

ඉන් බුදුහාමුදුරුවන් කාලවාදී බව පැහැදිලිය. එසේම උන්වහන්සේ තුළ පැවැති ඉතා වැදගත් ලක්‍ෂණයක් වන්නේ අත්‍ථවාදී බවයි. එනම් අනවශ්‍ය දේ දේශනා නොකොට අර්ථාන්විත දේ පමණක් දේශනා කිරීමයි.

භූතවාදී යනු සිදුවූ දේ පමණක් දේශනා කරන අතර අභූතයන් දේශනා නොකිරීමයි. සාකච්ඡාවට ගතයුතු දේ පමණක් සාකච්ඡා කළ සේක. උන්වහන්සේගේ දේශනා සතර ආකාරයකි.

1. එකංසබ්‍යාකරණීය

ඉන් අදහස් කරන්නේ යම්කිසි ප්‍රශ්නයකට ගැටලුවකට තනි වදනින් පිළිතුරු සැපයීම යි. ඔව් ද, හැබෑව ද, නැද්ද යනාදී අර්ථයෙන් එක උත්තරයක් ප්‍රකාශ කිරීමට හැකි අවස්ථා ඇත. එවන් අවස්ථාවන්හිදී එකංසබ්‍යාකරණය භාවිතයට ගෙන ඇත.

2. විභජ්ජබ්‍යාකරණීය

බෙද බෙදා දැක්වීමයි අවබෝධ කරගැනීම උදෙසා ප්‍රශ්නයක් විමසූ කල්හි විශ්ලේෂණාත්මකව පිළිතුරු සැපයීම මෙයින් අදහස් වේ.

3. පටිපුච්ඡාබ්‍යාකරණීය

ප්‍රශ්න අසන අයගෙන්ම ප්‍රතිප්‍රශ්න අසා ඒ තුළින් උත්තරය සොයා ගැනීමට ඔහුට අවකාශ සැලසීමයි.

4. ඨපනීයා ධම්මා

පසෙකින් තැබීම යන්නයි. ඨපනීය ධර්ම නැතහොත් ඨපනීය දේශනා යනු සාකච්ඡාවට නොගෙන පසෙකින් තබන කරුණුය. ඇතැම් ගැටලු විමසූ අවස්ථාවන්හි එය නිර්වාණගාමී ප්‍රතිපදාවට නොයෙදේ. නම් නිහඬ වූ සේක. මක් නිසාද එම පැනය ප්‍රයෝජනයකට නැති පසෙකින් තැබිය යුතු ප්‍රශ්නයක් ලෙස සැලකීමයි.

බුද්ධදේශනාවේ ඇති ස්වරය ඉතා මිහිරිය. මිහිරි බව ගම්භීර බව මෙන්ම වැදගත් ලක්‍ෂණයකි. නින්නාද ලක්‍ෂණය ද දේශනයේ වැදගත් ලක්‍ෂණයකි. උන්වහන්සේගේ ධර්ම ශ්‍රවණයට පැමිණි දහස් සංඛ්‍යාත පිරිසට අදහස් වූයේ උන්වහන්සේ තමන් වෙනුවෙන්ම දම් දෙසන ස්වභාවයක් බව සඳහන්වේ. ඒ අනුව සාමාන්‍ය මනුෂ්‍ය ස්වරූපය ඉක්මවා ගිය තත්ත්වයක් උන්වහන්සේ තුළ ඇත. මෙම කරුණු සනාථ වන තවත් අවස්ථාවක් නම් බුදුන් වහන්සේ හා ද්‍රෝණ බමුණා අතර ඇති වූ සාකච්ඡාවයි. (ද්‍රොණ (ලොක ) සුත්තං ) ද්‍රෝණ බමුණා බුදුන් වහන්සේ මුණ ගැසී ඔබ කවුදැයි ප්‍රශ්න කළේය. තමන් වහන්සේ මිනිසකු දෙවියකු යක්‍ෂයකු හෝ නොවන බවත් ඒ කිසිවකු සතු ක්ලේෂ ධර්මයන් තමන් වෙත නොමැති බවත්, එබැවින් උත්තරීතර මිනිසකු බවත් එහි ලා පැහැදිලි කොට තිබේ.

බුද්ධානුස්සතිය වඩන කල කෙනකුට උන්වහන්සේ තම හදවත තුළ ජනිත කරගන්නට හැකියාව ඇත. පසුබිමේ තිබෙන පිළිමයකින් එයට උදව්වක් ලැබුණද උන්වහන්සේ ගේ නව අරහාදී බුදුගුණ තේරුම් ගෙන බුදුන් අප හදවතේ නිර්මාණය කර ගැනීමට හැකියාවක් ඇත්නම් නියම බුදුන් වැඩ සිටින්නේ එහිය. තුනුරුවන් කෙරෙහි අකලංක විශ්වාසයක් ඇතිකර ගැනීමට බුද්ධාදී අටතැන පිළිබඳ සැක දුරුකළ යුතුය. එවන් සැක ඇති අයකු ශ්‍රද්ධාවන්තයකු නොවන බවත් මිත්‍යා දෘෂ්ඨිකයකු වන බවත් පැහැදිලිය. බුදුන් වහන්සේ පිළිබඳ අප සැක නැතිකර ගන්නේ කෙසේද? නව අරහාදී බුදුගුණ තුළ අප උන්වහන්සේ දැකිය යුතුය. උන්වහන්සේ තුළ විද්‍යාමාන වූ ඒ ගුණධර්ම කිහිපයක් පිළිබඳ සොයා බලමු.

රහසත් පව් නොකොට – කෙලෙසරයනුත් දුරු කොට
නිසි වූයෙන් පුදට – අරහ යන නම කියති මුනිදුට

මේ අරහං ගුණය අළලා බුදුන් වහන්සේ පිළිබඳ විවිධ අයුරින් කල්පනා කළ හැකිය. එමෙන්ම සම්මාසම්බුද්ධ, විජ්ජාචරණසම්පන්න, සුගත, ලෝකවිදූ ආදී වශයෙන් නව අරහාදී බුදුගුණ යථාර්ථවත්ව දකින්නට හැකි අයට දහම මැනැවින් දැකීමට හැකි අයට බුදුන් දැකීමට හැකියාව ලැබේ. බුදුහාමුදුරුවන් පිරිනිවන් පෑමෙන් බොහෝ කලකට පසුව බුදුපිළිම ඉදි විය. එයට හේතුව බුදුරදුන් වැනි සුවිශේෂ උත්තමයකු පිළිරුවකට නඟන්නේ කෙසේද යන ප්‍රශ්නය එදා ඇතිවීමයි. එහෙයින් බුදුන් වහන්සේ නියෝජනය කිරීම සඳහා සිරිපතුල යොදාගත් බව පෙනේ. සාංචි තොරණ ආදියේ පෙනෙන ආකාරයට බෝධීන් වහන්සේ, ධර්මචක්‍රය, පද්මය මෙසේ යොදාගත් සංකේත වේ.

පසු කලෙක බුද්ධියෙන් පිරිහෙන අයට බුදුන් වහන්සේ හදවතේ මවා ගැනීමට උදව්වක් ලෙස බුදුපිළිම නෙළීම ඇරැඹිණ. එහෙත් එම පිළිම තුළින් බුදුන් තුළ පැවැති මෙත්තා, කරුණා, මුදිතා, උපේක්‍ෂා වැනි ගුණයන් ඒ අයුරින්ම පිළිබිඹු කරන්නට කලාකරුවාට හැකියාවක් නොමැත. එහෙත් බුදුරුව ඉදිරියෙහි ඒ උතුම් බුදුගුණ සිහිකරන්නට අපට හැකියාව ඇත්නම් සුගත ශ්‍රාවකයකු වශයෙන් බුදුන් වහන්සේගේ ගුණ සිසිලස හදවත තුළ ජනිත කරගන්නට අපට හැකියාව ලැබේ.

උත්තරීතර වූ දහමක් තුළින් අපට විමුක්තිය පසක් කර ගැනීමට මාර්ගය හෙළි කළ උන්වහන්සේ සරණ යෑම සුගති මඟ, නිවන් මඟ විවර කර ගැනීම වේ. ‘කරුණාසීතලහදයං’ – කරුණාවෙන් සිසිල් වූ හදවතක් ඇති උත්තමයෙකි. මහා කරුණාවෙන් යුතු උන්වහන්සේ ලෞකික ලෝකෝත්තර සියල්ල අවබෝධ කරගත් මහාප්‍රඥාවෙන් යුක්ත වේ.

මේ උතුම් ගුණධර්ම පිළිබඳ ඇතිකර ගන්නා ප්‍රසාදය තුළින් හදවත පවිත්‍ර වන අතර එයින් නිර්වාණාවබෝධය සඳහා අපගේ සිත ශක්තිමත් වේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි

මෛත්‍රී බුදුන් දකින්නෝ සහ නොදකින්නෝ ...
බුදු ඇස දුටු භූමිකම්පාව ...
IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.