පුද්ගල ආර්ථිකය තුලින් රටක් ශක්තිමත් කිරීම කියාදෙන බෞද්ධ ආර්ථික විද්‍යාව …

වර්තමානයේ වුවද බටහිර වියතුන් බුදුදහම ලෞකික ජීවිතය කලකිරවන, පුද්ගලාභිවෘද්ධිය වසාලන දහමක්‌ සේ හැඳින් වුවද අද එම මතවාදයන් ප්‍රතික්‍ෂේප වී ඇත්තේ එහි පවතින ගෘහස්‌ථ ධර්මයන්හි හරවත් යථා ස්‌වභාවයන් ගැඹුරින් අවබෝධ කොට ගැනීම නිසාවෙනි. බුදුදහමෙහි එන පන්චශීල ප්‍රතිපදාවම පවුලක හා පුද්ගලයාගේ ලෝකොත්තර සැපත හා ලෞකික අභිවෘද්ධියට හේතුවන ආකාරයත් එයම සමස්‌ත රටක යහපතට හේතුවන ආකාරයත් විමසීමෙන් එහි ඇති සමාජමය වැදගත්කම පැහැදිළි වෙයි. පන්සිල් රැකීම යනු සමස්‌ත සමාජයක පුද්ගල විමුක්‌තිය උදාකරනු ලබන්නකි. එහි ඇති සමාජ විද්‍යාත්මක වැදගත්කම ඉතා ගැඹුරුය. නිදහසේ හැසිරීමේ, ආරක්‍ෂාවේ, පෞද්ගලිකත්වයේ ඇති අයිතිය පළමු ශික්‍ෂාපදයෙන් ප්‍රකට වෙයි. පුද්ගලයා හා සාමුහික දේපළ පරිහරණයේ අයිතිය දෙවැන්නෙන්ද පවුල් ඒකකයක නිදහස අභිවෘද්ධිය රැකෙන ආකාරය තුන්වැන්නෙන් ද, සත්‍ය ගරුක භාවයේ වැදගත්කම සිවුවැන්නෙන්ද, එළැඹි සිහියෙන් කටයුතු කිරීමේ වැදගත්කම පස්‌වැන්නෙන්ද පෙන්වා දී තිබේ. මින් වැඩි කොටසක්‌ සමස්‌ත මානව වර්ගයා විසින්ම ලෝකය පුරා ආරක්‍ෂා කරන සමාජ ධර්මතා සමූහයකි.

මනුෂ්‍යයාගේ මෙලොව දියුණුව සඳහා උපකාරී වන වැදගත් කරුණු රැසක් මංගල, වසල, පරාභව, වෙළුද්වාර, ධම්මික, කුමාරිකෝවාද වැනි සූත්‍ර වලදී පැහැදිලි කර දී තිබේ. එමෙන්ම සිඟාලෝවාද සූත්‍රයේ දී ද මෙයට අදාළ වන කරුණු රැසක් දක්වා තිබෙන අතර, මෙම සූත්‍රයේ මෙලොව දියුණුව සඳහා හේතු වන කරුණු හතරක් හා පරලොව දියුණුව සඳහා හේතු වන කරුණු හතරක් දේශනා කර තිබේ. පංචශීල ප්‍රතිපත්ති, සතර සංග්‍රහ වස්තු ආදිය පිළිබඳ වසල, පරාභව ආදී සූත්‍ර දේශනා මගින් ඉගැන්වෙන කරුණු පරීක්‍ෂා කර බලන විට පුද්ගලයෙකු මෙලොව දියුණුව සලසා ගත යුතු පිළිවෙත ගැන කරුණු රැසක් අපට හමුවෙයි.
අලස තැනැත්තාට කිසිවිටකත් දියුණුවක් නොසැලසෙයි. මනාලෙස ධනය උපයන්නකු වීම අවශ්‍ය ගුණාංග සතරක් ව්‍යග්ඝපජ්ජ සූත්‍රයේ සඳහන් වෙයි. එනම්,

1. උට්ඨාන සම්පද්‍රා
2. ආරක්ඛ සම්පද්‍රා
3.කල්‍යණ මිත්තතා
4. සමජීවිකතා
යනු ඒ සතරයි. (අං.නි. 08 නිපාතය)

දැන් සීතලයි, දැන් උෂ්ණයි, දැන් සවස යැයි සිතා අලසව කටයුතු අතපසු කළහොත් ධනයෙන් පිරිහෙයි. ජීවත්වීමේ ප්‍රශ්නය මැනවින් විසඳා ගැනීම සඳහා කෙනෙකු තුළ දැඩි වීර්යයක් උත්සාහයක් තිබිය යුතුයි. දැහැමින් උපයාගත් ධනය රැක ගැනීම ආරක්‍ෂාවයි. ජලය, ගින්න, සොර සතුරු වැනි උවදුරු වලින් පමණක් නොව වස්තුව නැසෙන වෙනත් කරුණුවලින් ද මිදී තම ධනය රැක ගැනීම වැදගත් ය. කළණ මිතුරන් ආශ්‍රය කිරීව වැදගත් වන්නේ එහෙයිනි. සමජීවිකාව නම්, අය, වැය සමව සිටින සේ දැන වියදම් කිරීමයි. සපයාගත් ධනයෙන් ප්‍රයෝජන නොගැනීමත් ආදායමට වඩා වියදම් කිරීමත් බෞද්ධ ජීවන පිළිවෙත නොවේ. ණය නැති බව ද සැපයකි.

“ඒකේන භොගේ භුඤ්ජෙය්‍ය
ද්වීහි කම්මං පයෝජයේ
චතුත්ථං ච නිධාපෙය්‍ය
ආපදාසු භවිස්සති”

මෙම ගාථාව ධනය වියදම් කිරීම පිළිබඳ මහඟු උපදේශයයි. තමා දැහැමින් උපයා සපයා ගත් ධනය සිවු කොටසකට බෙදා ගත යුතු ය. ඉන් එක් කොටසක් දෛනික ජීවිතයේ පරිභෝජනය සඳහාත් කොටස් දෙකක් අනාගත දියුණුව හෙවත් කර්මාන්ත ආදිය සඳහාත් යොදා ගත යුතු අතර, හතර වැනි කොටස තමන්ට විපතක් පැමිණි විට ගැනීමට තබාගත යුතු බව ද පෙන්වා දී තිබේ. එහිදී බුදුරජාණන් වහන්සේ ඉතා පැහැදිලිව හා නිරවුල් රක්‍ෂණ ක්‍රමයක් අනුදැන ඇත. මෙකී කරුණු වලින් බුදුරජාණන් වහන්සේ මිනිසාගේ ලෞකික අභිවෘද්ධිය ගැන ද කොතරම් සැලකිල්ලක් දැක් වූ සේ ද යනු පැහැදිලිව පෙනෙයි.

එසේම පුද්ගලයකුගේ මෙලොව අභිවෘද්ධිය සඳහා උපකාරී වන තවත් කරුණක් ලෙස උට්ඨාන වීර්යය හඳුන්වා දී තිබේ. උට්ඨාන වීර්යය ඇත්තකු නිරන්තරයෙන්ම දියුණුව කරා ගමන් කරන්නකු සේ හැඳින්වෙයි. කිසියම් ධාර්මික වූ ව්‍යාපාරයක් හෝ කර්මාන්තයක් සඳහා ගොඩනගන අඩිතාලමද ඉතා යහපත් එකක් විය යුතු ය. එමෙන්ම එය කරගෙන යෑම ද එසේම විය යුතු අතර එහි අවසාන ප්‍රතිඵලය ද සාර්ථක විය යුතු ය. ආර්ථික සම්පත්තිය දියුණු වූ පමණින් සමාජයක් යහපත් නොවේ. සමාජයේ ජීවත් වන්නා ශිෂ්ට විය යුතු ය. ඔහු යුතුකම් දන්නා අයකු ද විය යුතු ය. මවුපියන් පෝෂණය කිරීම අඹුදරුවන්ට සංග්‍රහ කිරීම, ඤාති මිත්‍රාදීන්ට සැලකීම ගරු කළ යුතු අයට ගරු කිරීම කළගුණ සැලකීම යන වැදගත් යුතුකම් මංගල සූත්‍රයෙන් පෙන්වා දී ඇත. මෙම කරුණු මැනවින් ඉටු වෙයි නම් ඔවුනොවුන් අතර හොඳ හිත වැඩෙයි. සමාජ දියුණුව ද සැලසෙයි.

බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ව්‍යාග්ගපජ්ජ සූත්‍රයෙහි දී ධනය විනාශ වන පිළිවෙත් වලින් ඈත්වීම පුද්ගලයාගේ මෙලොව දියුණුවට හේතු වන බව පෙන්වා දී ඇත. එහි දී සුරාව, සූදුව පර ස්ත්‍රීන් කරා යෑම, පාප මිත්‍ර සේවනය වැනි අයහපත් දේ වලින් ඈත් විය යුතු බව පෙන්වා දෙයි. සුරාවට ලොල් වූ තැනැත්තා බලා සිටියදී මෙන් පිරිහීමට පත්වෙයි. ඔහු සතු ධනය ඉක්මනින් විකාශයට පත්වෙයි. පාප මිත්‍ර සේවනය ද පුද්ගල පරිහානිය සලසන පිළිවෙත් බව එම සූත්‍රයෙහි සඳහන් වෙයි. මෙම කරුණු අපාය මුඛ, ලෙස හඳුන්වා දී ඇති අතර ගිහියකුට මෙලොව දියුණුව සලසන ප්‍රධාන සාධකයක් ලෙස ආර්ථික තත්ත්වය දියුණු කරගැනීම පෙන්වා දී ඇත. අණන සූත්‍රයේ දී ගිහියාට ලද හැකි සැප සතරක් පෙන්වා දී තිබේ. එනම්

01. අත්ථි සුඛ,
02. භෝග සුඛ
03. අණන සුඛ
04. අනවජ්ජ සුඛ යන හතරයි.

ප්‍රමාණවත් ධනයක් තිබීම, අත්ථි සුඛය යි. එය පරිභෝජනය කර සුවදායක ජීවිතයක් ගත කිරීම භෝග සුඛයයි. තව කෙනෙකුට ණය නොවී ජීවත්වීම අණන සුඛය යි. වැරැදිවලින් ඈත්ව, නිවැරැදි ජීවිතයක් ගත කිරීම, අනවජ්ජ සුඛය යි.

ඒ අනුව මිනිස් ජීවිතය පවත්වාගෙන යෑමට අනිවාර්යයෙන් ආර්ථිකය සම්බන්ධ බව පැහැදිලියි. දීඝ නිකායේ කූට දන්ත සූත්‍රය “ තුළ ගොවිතැන තුළින්, වෙළහෙළඳාම් තුළින්, රාජ්‍ය සේවය තුළින් මිනිසුන් ධනය සම්පාදනය කිරීමට කටයුතු කළ යුතු බව පෙන්වා දී තිබෙනවා. බුදු සමය ආර්ථිකය අවශ්‍ය බව පිළිගත්තත් ධාර්මික ලෙස ධනය ඉපයීම තමයි බුදු දහම අනුමත කරන්නේ. සම්පාදනය කිරීමේ ක්‍රියාවලිය කිසිසේත් තවත් සත්වයකුගේ පැවැත්මට හානිකර නොවන ලෙස පවත්වාගත යුතු බවයි, බුදුසමය පෙන්වා දී තිබෙන්නේ. ඒ අනුව මිනිස් සමාජයේත් සත්ව සමාජයේත් විනාශයට ප්‍රධාන හේතු සාධක වන බරපතල ව්‍යසන ඇතිවන අධාර්මික ව්‍යාපාර පහක් බුදුසමය මගින් ඍජුව ප්‍රතික්ෂේප කර තිබෙනවා. එනම් අවි ආයුධ වෙළෙඳාම මස් පිණිස සතුන් වෙළෙඳාම, විෂ වෙළෙඳාම වහල් වෙළෙඳාම සහ මත්ද්‍රව්‍ය වෙළෙඳාම යනු, ඒ ව්‍යාපාරයි. මේ වෙළෙඳාම් පහ තුළින් ඉතා ඉක්මනින් ධනය සම්පාදනය කරන්න හැකියාව ලැබුණත් බුදුසමය පෙන්වා දෙන්නේ එමගින් සමාජයට විශාල හානියක් සිදුවන නිසා එමගින් ධනය සම්පාදනයට ගිහියා නොපෙළඹිය යුතු බවයි. එසේම ධාර්මික වෙළෙඳාමක් සිදුකළත් තුලා කූට, මාන කූට, කංස කූට ආදී හොර කිරුම් මිනුම් ආදියෙන් තොරව එය කරගෙන යායුතු බවයි බුදුරදුන් දේශනා කර ඇත්තේ බුදු සමයෙන් ප්‍රකාශ වන ආර්ථික ප්‍රතිපත්ති වලින් එකක් පහත දැක්වෙයි.

උට්ඨාන විරියාධි ගතා
සේදා වක්ඛිත්තා
බාහා බල පරිචිතා
ධම්මිකා ධම්ම ලද්දා ‘

මිනිසුන් විසින් දැහැමිව ධනය සම්පාදනය කරනවා නම් එහිදී අනිවාර්යයෙන් එය, උට්ඨාන වීර්යයෙන් හෙවත් කම්මැලි නැතිව උත්සාහයෙන් බානා බල පරිචිතා “ යැයි දෙසු ලෙස බාහු බලය යෙදවීමෙන් දහඩිය වැගිරීමෙන් (සේදා වක්ඛිත්තා ) එපමණක් නොව “ ධම්මිකා ධම්ම ලද්දා “ ධාර්මිකව ඉපැයූ ධනයක් විය යුතු බවයි පෙන්වා දී තිබෙන්නේ. ඒ නිසා

ඔබ බෞද්ධයකු ලෙස ධනය සම්පාදනය කිරීමෙහි ක්‍රියාවලියෙහි යෙදී ‘අත්ථි සුඛය “ හෙවත් මට තිබෙනවාය කියන ඒ සතුට භුක්ති විඳින්නට අපේක්‍ෂා කරනවා නම් ඉහත සඳහන් ක්‍රම ඔස්සේ ධනය සම්පාදනය කළ යුතු බවයි. බුදු සමය ඔබට පෙන්වා දී තිබෙන්නේ.

විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ කුටදන්ත සූත්‍රයේදී පෙන්වා දී තිබෙනවා රජවරුන් විසින් රාජ්‍යය විසින් අනිවාර්යෙන් දැහැමි වු ව්‍යාපාරයන්ගේ නියැළෙන්නා වූ පිරිසටත් ගොවිතැනෙහි කෘෂිකර්මාන්තයෙහි යෙදෙන්නා වූ පිරිසටත් ධනය අඩු පොළියට ණය වශයෙන් ලබා දිය යුතු බව කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය බීජ පොහොර, භූමිය ආදිය ලබාදීමත්, වෙළෙඳාම් සඳහා වෙළෙඳපොළ සකසාදීමත් වැනි කරුණු රජය විසින් ඉටු කළ යුතු ය.

ඒ අනුව බුදු දහම ඍජුව ආර්ථික විද්‍යාවක් ලෙස හැඳින්විය නොහැකි වුවත් ආර්ථිකයට සම්බන්ධ බොහෝ කාරණා බුදු සමය විසින් අවධාරණය කර ඇති බවත් අපට මෙහිදී අවබෝධ කරගන්නට පුළුවන්. බෞද්ධ විමුක්ති මාර්ගයේ මූලික අරමුණ වන්නේ ජීවිතය අනිත්‍ය , දුක්ඛ, අනාත්ම බව කල්පනා කර ලෝකය පිළිබඳ ඇලීමකින් ගැටීමකින් තොර තත්ත්වයට පත්වීම හෙවත් නිර්වාණාවබෝධයට පත්වීමයි. එහෙත් එතෙක් යන ගමනේදී අනිවාර්යයෙන් ආර්ථික දියුණුව අවශ්‍ය බව බුදු සමය පිළිගනියි. භාවනානුයෝගියකුට කිසිසේත් මධ්‍යම ප්‍රතිපදාවේ නොසිට ආහාරපාන නොගෙන භාවනාව කරන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. එසේ නම් භාවනාව තුළින් විමුක්තිය සොයන යෝගියකු නඩත්තු කිරීමේ කාර්යය උපාසක උපාසිකා සමාජයට පැවරෙනවා. උපාසක උපාසිකා සමාජය විසින් විමුක්තිය සොයා යන කෙනෙකු නඩත්තු කිරීමට නම් අනිවාර්යයෙන් ඔවුන් විසින් ධනය සම්පාදනය කළ යුතු වෙනවා. එබැවින් අපි අවබෝධ කරගත යුත්තේ ආර්ථික කටයුතු වලින් නිදහස් වෙලා ආර්ථිකයෙන් අයින්වෙලා ගිහියාට විමුක්තිය ලබාගැනීම අසීරු බවයි.

බුදුරජාණන් වහන්සේ බෞද්ධ ගිහියාට අය වැය සමව පවත්වාගෙන යන්නට ලබාදී ඇති උපදේශනය පුද්ගලයාගේ ආර්ථිකය උන්වහන්සේ ආර්ථිකයට සම කර දක්වන්නේ වැවකට . වැවක වතුර, වැවට ඇතුළු වන දොරටු සහ වැවේ ජලය පිටවන දොරටු වශයෙන් දොරටු වර්ග කිහිපයක් තිබෙනා බවත් යම් කිසි කෙනකු විසින් වැවේ ජලය ඇතුළු වෙන දොරටු වසා දමා පිට වන දොරටු පමණක් විවෘත කර තැබුවහොත් අනිවාර්යෙන් ම එම වැවෙහි ජලය සම්පූර්ණයෙන්ම හිස්ව යන්නා සේ , ධනය සම්පාදනය නොකර, වියදම් කිරීම පමණක් කළහොත් ඔහුගේ ආර්ථිකය පරිහානිය, කරා යන බවයි, බුදු සමය පෙන්වා දී තිබෙන්නේ. එමෙන්ම යම් ආකාරයකින් වැවට ජලය එන දොරටුත් වැවේ ජලය පිටවන දොරටුත් විවෘත කළහොත් එහි ජලය නොරැඳෙන්නේ සේ තමන් විසින් හරිහම්බ කරන සියලු ධනය ඉතා කෙටි කලකින් කෑම බීම ඇඳුම් පැළදුම් උදෙසා විය පැහැදම් කිරීමෙන් කටයුතු කිරීම තුළ පුද්ගලයා ආර්ථිකමය වශයෙන් පරිහානිය කරා යන බවත්, පැහැදිලි කර ඇත. එපමණක් නොවෙයි වැවේ ජලය පිට වන දොරටු වසා දමා ජලය ඇතුළුවන දොරටු ඇර තැබීමත් බුදුසමය අනුමත කරන්නේ නෑ.

පරිභෝජන කාර්යේදී ආත්මාර්ථකාමී වීමද සුදුසු නොවන බවයි. බුදු සමය පෙන්වා දී තිබෙන්නේ. ඒ අනුව “ රාජ බලි “ රජ්ජුරුවන්ට ගෙවිය යුතු අය බදු, “ ඥාති බලි “ නෑයන් වෙනුවෙන් කළ යුතු සංග්‍රහ “ අතිති බලි” ආගන්තුකයන් වෙනුවෙන් කළ යුතු සංග්‍රහ,

‘පුබ්බ පේත බලි ‘ (මිය ගිය ඥාති මිත්‍රාදීන් වෙනුවෙන් කළ යුතු පින්දීම් ) ආදිය සේම “දේවතා බලි” ආගම දහම වෙනුවෙන් සිදු කළ යුතු සංග්‍රහද ඉටු කළ යුතු බව බුදුරදුන් පෙන්වා දී තිබෙනවා. යම් කිසි පුද්ගලයකු විසින් “ පංච බලි “ ලබාදීමෙන් තොරව තමන් තනිවම භුක්ති විඳිනවා නම් එය වැවක ජලය පිටවන සියලු දොරටු වසා දැමූ විට එහි ජලය පිරී ඉතිරී බැමි කැඩී විනාශ වී යන්නා සේ පුද්ගලයා සමාජයීය වශයෙන්ද ආධ්‍යාත්මික වශයෙන්ද පිරිහීම කරා යන බවයි. බුදු සමය පෙන්වා දෙන්නේ.

එබැවින් වැවට ජලය එන දොරටු ඇර, පිට වන දොරටු වසා තැබුවත් අවශ්‍ය මොහොතේදී අතිරික්ත ජලය ඉවත් වීමට අවශ්‍ය දොරටු පමණක් විවෘත කර තබන ලෙස පෙන්වා දෙන බුදුසමය අත්‍යවශ්‍ය මොහොතේදී හැකි පමණින් මිනිසුන්ට උදව් උපකාර කරමින් අනෙක් අයගේ ජීවිතවලට ද උපකාරයක් රැකවරණයක් වෙමින් අරපරිස්සමෙන්ද කටයුතු කළ යුතු බව පරිභෝජන ක්‍රියාවලිය පිළිබඳ මඟපෙන්වමින් දේශනා කර ඇති ආකාරය අපට දැකගන්නට පුළුවන්.

“පත්තකාම්ම සූත්‍රයේදී” බුදුන්වහන්සේ විසින් පෙන්වා දෙනු ලැබූ “ආයතන පරිභෝජනය” මනා සමාජයක්‌ ගොඩනගාලන ගෘහස්‌ථ ධර්මතාවකි. පුද්ගලයා හුදකලා ප්‍රාණියකුම නොව මහා සමාජයේ එකකයකි. ඔහු තමා උපයන දෙය සමග තම වටපිටාවටද දායක විය යුතුය. ආහාරය මෛතුන්‍යය හා නින්ද පමණක්‌ ජීවිතයෙහි පරම අරමුණ කොටගත් තිරිසනුන්ගෙන් මනුෂ්‍යයා වෙනස්‌ වන්නේ මේ නිසාය. තවත් සරළව දැක්‌වුවහොත් තමා අවට සිටින්නත්, විවිධ සමාජ සංස්‌ථා, ආදිය සමග සහසම්බන්ධතා පැවැත්විය යුතුය. තමාගේද, මා පියන්ගේද, ඥති හිතමිත්‍රාදීන්ගේද, ආගන්තුකයන්ගේද, මියගියවූවන්ට, දෙවියන්ට, රජයට, පූජකයන්ට ආදී වශයෙන් ‘බලි’ ලෙසින් හඳුන්වන දානයන් සමාජ සම්බන්ධතා ලෙස පවත්වා ගත යුතුය. එසේ නොකරන පුද්ගලයා අත පත් ධනය නුසුදුසු ස්‌ථානයට පත්වූ දෙයක්‌ ලෙසින් අංගුත්තර නිකායේ පත්තකම්ම සූත්‍රයේදී දක්‌වා තිබේ.

එසේම පස් පව්වලින් වැළකී සිටීම ද අංගුත්තර නිකායේ දසක නිපාතයෙහි සඳහන් දස අකුසල් වලින් වැළකීම ද මෙලොව දිවිය සාර්ථක කරයි. බුදු දහමේ සඳහන් කළ යුතු දේ කිරීමටත්, නොකළ යුතු දේ නොකිරීමටත් පෙළඹෙන පුද්ගලයා සමාජයෙහි ගෞරවාදරය දිනා ගන්නා කෙනෙකි. එපමණක් නොව සතර අගතිවලට පත්වීමෙන් තොරවීම ද පුද්ගලයකුගේ මෙලොව දියුණුව සලසා ගැනීමට අවශ්‍ය වෙයි.

හොදයි, දැන් අපි වර්තමාන ලෝකය පිලිබද මදක් සලකා බලමු.

අද ලෝකය යළිත් වරක් ආර්ථික අර්බුදයක නිමග්න වී සිටියි. බැංකු ප්‍රමුඛ මූල්‍යායතන පවත්වා ගෙන යෑම සඳහා රාජ්‍ය ආධාර අවශ්‍ය වී තිබේ. ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට රැකියා නොමැති අතර දහස් ගණනින් මිනිසුන් රැකියා වලින් ඉවත් කරනු ලැබේ. නිෂ්පාදන විකුණා ගැනීමට අපහසු වී ඇති නිසා ආනයන අපනයන වෙළෙඳාම අනතුරකට භාජනය වී තිබේ. ධන කුවේරයන්ගේ පරිභෝජන රටාව පවා වෙනස් කළ යුතු බවට යෝජනා ඉදිරිපත් කෙරේ. ලබාගත් ණය ආපසු නොගෙවීම නිසා මූල්‍යායතන බංකොලොත් බව ලබමින් තිබේ. මේ ආදී වූ අනේක විධ ආර්ථික අර්බුද උද්ගත වෙමින් පවතී.

විශේෂයෙන් සංවර්ධනයෙහි උපරිමයේ සිටින ඇමෙරිකාව වැනි රටවල සුපිරි ධනවතුන්ගේ ක්‍රියා කලාපය මෙයට හේතු වී ඇති බව ප්‍රකාශ වී තිබේ. පංචකාම සම්පත් අනුභවයෙහි කෑදරකමින් පෙළෙන කෝටිපති ධන කුවේරයන් ඉහළම ලාභ ලැබීමේ අපේක්ෂාවෙන් කෙරෙන අර්ථික කපටිකම් නිසා අතිමහත් ජනතාවක් දුෂ්කරතාවනට පත්වී ඇත්තේ ගෝලීයකරණයේ අනිෂ්ට විපාක වශයෙනි.

බටහිර ආර්ථික විද්‍යාවට අනුව “දියුණුව” නොහොත් “සංවර්ධනය” යනු “නිශ්ච්ත ආර්ථිකයක ඇති සම්පත් එහි සිටින ජනතාවගේ වුවමනා සංතෘප්ත කිරීම සඳහා ප්‍රශස්ත අන්දමින් බෙදා හැරීම, ආර්ථිකයේ ප්‍රමාණත්මක සහ ගුණාත්මක වර්ධනයක් ඇති කිරීම සහ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම” යි.

බටහිර ආර්ථික විද්‍යාවට අනුව එහි මූලික උපකල්පනයක් වන්නේ, මිනිස් වුවමනා අසීමිතයි, ඒ අසීමිත වුවමනා තෘප්ත කර අවසාන කළ නොහැකියි කියන එක. ඒ අනුව ඊනියා සංවර්ධනය කිසි දාක බටහිර ආර්ථික විද්‍යාවට අනුව ලබාගත නොහැකියි. බොහෝ බටහිර රටවල් සංවර්ධිත රටවල් කියල කිව්වත් ඒවායේ HDI (Human Development Index) එක වඩාත් හොඳ අගයක් වුණත් එහි ජනතාව තෘප්තිමත් කියල කියන්න අමාරුයි. ඒකට හේතුව ඔවුන්ගේ වුවමනාවන් අසීමිත වීම සහ ඒවාට සාපේක්ෂව සම්පත් හිඟ වීම.

ඔන්න ඔය ගැටලුවට පිළිතුර බෞද්ධ ආර්ථික විද්‍යාවේ තිබෙනවා. බෞද්ධ ආර්ථික විද්‍යාවේ සුවිශේෂී අවධානය යොමු කෙරෙන්නේ හිඟ සම්පත් ප්‍රශස්ත අන්දමින් ආර්ථික කාරක කරා බෙදා හැරීම නොව, මිනිස් වුවමනා හැකි තාක් සීමිත කරගැනීමටයි. එහිදී ජනතාවගේ ආධ්‍යාත්මික සංවර්ධනය ප්‍රමුඛස්ථානයක් ගනී. ලොව වඩාත් සතුටින් සිටින ජනතාවක් වාසය කරන රට “ටිබෙටය” ලෙස පිළිගැනීම පි‍ටුපස ඇති රහසනම් එහි ජනතාවගෙන් බහුතරයක් බුදු දහම තම ජීවිතයට බද්ධ කරගනිමින් අට ලෝ දහමෙන් හැකි තාක් කම්පා නොවී ලද දේ සැපක් යැයි සිතමින් අල්පේච්ඡ ජීවිතයකට පුරුදු වී සිටීමයි. (තවමත් බහුතරයක් බෞද්ධයින් වෙසෙන ශ්‍රී ලංකාව HDI අනුව 22 ස්ථානය ගෙන තිබීමත් මෙහිදී සළකා බැලිය යුත්තක්)

සතුට කියල කියන්නේ මහා පුදුමාකාර දෙයක්, සමහර වැඩිහිටියො කියනව “පුතේ ආං බලාං යායම පීදිලා, කිරිබංඩි ගොයම හිනා හෙනව දකිද්දී බඩත් පිරුණා වගේ” කියල. මාර්ගඵල ලද උතුමන්ලාට නිරාහාරව සක්මන් කරමින් ජීවත් විය හැකියි කියල දහමේ දැක්වෙනව, සමහර විට එතුමන්ලා ලද ලෝකෝත්තර සතුට ආහාරයක් කරගන්නව ඇති. ඒ විතරක් නොවෙයි අග්ගඤ්ඤ සූත්‍රයට අනුව ආභස්සර ලෝකයෙන් මෙලොවට පැමිණි බ්‍රහ්මයින් මුල් කාලයේදී සතුට ආහාරයක් කරගෙන ජීවත් වෙන බව දැක්වෙනව. ඔය සියල්ලෙන්ම පෙනෙන්නේ බඩේ ගින්න නිවීමට වඩා හිතේ ගින්න නිවීම වැදගත් බවයි.

සංවර්ධනය යනු ධනය රැස් කිරීමනම්, ශ්‍රී මුඛ දේශනාවට අනුව “සංතුට්ඨී පරමං ධනං” ලෙස විග්‍රහ වෙද්දී වඩාත්ම සතුටින් වාසය කරන ජනතාවක් වෙසෙන රට ලොව සංවර්ධිතම රට බවට පත් වෙයි. ඒ අනුව අප රට ලොව සංවර්ධිතම රාජ්‍යය බවට පත් කිරීමටනම් කළ යුත්තේ, බටහිර කසිකබල් ආර්ථික විද්‍යාවට අනුව, තිබෙන ගස් කොළන් ටික කපා දමා වැව් කුඹුරු ටික ගොඩ කර දමා අහස උසට ගොඩනැගිලි ඉදි කරමින් සිංගප්පූරුව මෙන් කොන්ක්‍රීට් වනාන්තරයක් බවට පත් කිරීම නොවේ. බෞද්ධ ආර්ථික විද්‍යා මාවතේ ගොස් ජනතාවගේ වුවමනාවන් හැකි තාක් සීමිත කරගනිමින් ආධ්‍යාත්මිකව නිදහස් ජීවිතයකට ඔවුන්ව යොමු කිරීමයි. ඒ සඳහා ඉවරයක් නොමැතිව රූපවාහිනියෙන් පෙන්වන සහ හංදියක් හංදියක් ගානේ ඇති වෙළඳ දැන්වීම් ටිකවත් පාලනය කරගනිමින් යම් ආරම්භයක් දීමට රජයට හැකි විය යුතුයි.

වැදගත් කාරණාව වන්නේ අල්පේච්ඡ ජීවිතය කියන එක, අධ්‍යාත්මික සුවය සදහා මුල් තැන ලබා දුන් ඒ තුළින්ම අවුරුදු දහස් ගණනක් හික්මුණු ජාතියක් වන සිංහල බෞද්ධ ජනතාවගේ ඇඟේ තියෙන එකක්. නමුත් අලෙවිකරණය මගින් අසීමිත වුවමනාවන් කෘතිමව ජනතාව වෙත ආරෝපණය කිරීමෙන් සිදුවී ඇත්තේ, එම වුවමනාවන් උපයෝජනය (Utilise) කර ගැනීමට ජනතාව ප්‍රමාණවත් ආර්ථිකමය නිෂ්පාදනයක් සිදු නොකරද්දී අතේ මුදල් නොමැති වීම නිසා ජනතාව ඉච්ඡාභංගත්වයට පත් වීමයි. එහි ආතතිය අන්තිමේදී පවත්නා ඕනැම රජයක් පිටින් යාම 48 සිටම සිදුවූ ආකාරය අළුතෙන් පැහැදිළි කළ යුතු නෑ. ඔන්න ඔය හේතුව නිසාත් වුවමනාවත් සංතෘප්ත කරන කසිකබල් සංවර්ධනයෙන් මිදීම පක්ෂ බේධයකින් තොරව ඕනෑම රජයකට වැදගත් වේවි.

අද බටහිරයන් පවා “Simple Life” යන සංකල්පය තුළින් අනුගත වෙන්නට උත්සාහ ගන්නේ ඒ බෞද්ධ ආර්ථික විද්‍යාත්මක සංවර්ධනයේ භෞතික අංගය වන අල්පේච්ඡ ජීවිතයටයි. නොසි‍ඳෙන ආශාවන්ගෙන් ගිනිගන්නා බටහිර ලෝකය, අතිපූජ්‍ය අජාන් බ්‍රහ්මවංසෝ වැනි හිමිවරුන් දෙසන සුමධුර දහම් අමා වැසි වල සිසිලසින් නිවී ගොස් ආධ්‍යාත්මික සංවර්ධනයකුත් ඇති වුන දාට, කේන්ස් – ඩේවිඩ් රිකාඩෝ – ඇඩ්ෆ්‍රඩ් මාෂල් ලාගේ නූතන පරපුර අපටත් “Buddhist Economics” උගන්වාවි, අන්න එදාටනම් අපේ සරසවි වල ඇදුරොත් බටහිරයන්ගෙන් නැවතත් කොපි කරගන්නා අළුත් ආර්ථික විද්‍යාව වැළඳගනීවි.

පින්වත් යාලුවනේ වෙන මොන දහම තුලද මේ ආර්ථික විද්‍යාව තියෙන්නේ. මේ තරම් ශ්‍රේෂ්ඨ දහමක් මේ විශ්වය තුල යලි කිසි දිනක ඔබට දකනට නොලැබේ. එසේ හෙයින් අනන්ත බුදුගුණය කෙරෙහි වැඩි වැඩියෙන් යොමුවන්න. දහම හදවතින් වැලදගන්න. ඒ දහම ඔබට දෙලොවම යහපත උදාකරාවි.

බුදුසරණ පුවත්පතේ ලිපි හා සිංහල බෞද්ධයා වෙබ් අඩවියේ ලිපි එක්කොට සකස්කල ලිපියකි.

මෙහි මුල් ලිපි සකස්කල අයට අපමණ පින් අත්වේවා. මෙපින් බලෙන් ශ්‍රී සම්බුදු සාම සංදේශය ලොව පුරා පතුරවමින් සසර කතරේ අපමණ දුක් විදින අසරණයන්ට අමාදම් වැසි වස්සවමින් නිවන් මගට යොමු කිරීමට මාහට යෝධ බල, යෝධ ශක්තිය ලැබේවා. සත්වගට යහපත සැලසීමට නිවන් දක්නා ජාති දක්වා මේ පින් කම් යහපත් ප්‍රාර්ථනාවන් සියල්ල ඉටුකරත්වා. කෙළවර මා පතන බෝධියෙන් නිවන් දකිමින් අසරණ සත්වගට නිවන් මගෙහි දොරටු විවර කිරීමට මේ පින්කම් පාරමිතාවන් බවට පත්වේවා … … …

අනන්ත බුදුගුණ බලෙන් තුන් ලොවටම සැනසිල්ල උදාවේවා … … …

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.